මේ දක්වා:
ඕවන් බක් අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරීෆ්වරයාය. මිනීමැරුමකට වරදකරු වූ මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවීම ඔහුට පැවරී ඇත. එහෙත් මැක්ග්‍රාත්ට සාධාරණ නඩු තීන්දුවක් නොලැබුන බව විශ්වාස කරන ෂෙරිෆ් ඔහුට සාධාරණ නඩු තීන්දුවක් ලබාදීමට වෙහෙසෙයි. ඒ නඩුකාරයාගේ බිරිඳ හා මැක්ග්‍රාත් අතර අනියම් සබඳතාවක් තිබීමත් නඩුකාරයා ඒ ගැන දැන සිටීමත් නිසා ය. ඒ අතර මැක්ග්‍රාත්ට පක්ෂ හා විපක්ෂ දෙපසින්ම එන තර්ජනවලට මුහුණ දෙන්නට ද ඔහුට සිදුවෙයි. ඒ මැක්ග්‍රාත්ගේ හිතවතුන්ට ඔහු මරණීය දණ්ඩනයෙන් ගලවාගැනීමටත් මරණයට පත්වූ අයගේ හිතවතුන්ට මැක්ග්‍රාත් එල්ලා මරණවා දකින්නටත් අවශ්‍ය නිසා ය. මැක්ග්‍රාත්ගේ සිරකුටිය පරීක්ෂා කිරීමට යන ෂෙරිෆ්ට සිරගෙදරින් පළායාමට තැත් දරන මැක්ග්‍රාත්ගේ ප්‍රහාරයකට ලක්වී තුවාල ලබයි.
පරිච්ඡේදය 12
බක්ගේ කකුල ගින්නෙන් දැවෙන්නාක් මෙන් වේදනා දෙන්නට පටන් ගත්තේය. අත ද දරාගෙන සිටිය නොහැකි තරමට කකියන්නට විය. කොරගසමින් මේසය අසලට ඇවිද ගිය ඔහු ඉඳගත්තේය. තුවාල වී තිබූ කකුල ප්‍රවේශමෙන් ඔසවා මේසය මත තැබූ ඔහු ඊලඟට අනෙත් කකුල ද ඔසවා තැබී ය. අත මෙතරම් වේදනා දෙන්නේ රුධිරය ගලා ඒම නිසා යයි සිතූ ඔහු වැලමිට පුටුවේ ඇන්ද මත තබා අත ඉහලට ඔසවා ගත්තේය. එහෙත් එයින් පලක් ලැබුනේ නැත.