විනිශ්චය xxiv

                                           පරිච්ඡේදය 16

                                          දෙවැනි කොටස




"ඇයි, මොකටද මේ රෑ බලන්නේ? ඔබට පුළුවන් උදේම බලන්න . . ." ඔහු කතාව නැවතුවේ ඇයගේ මුහුණෙහි පැහැය වෙනස් වී සුදුමැලි පාටට හැරී දෑස භීතියෙන් පිරීගිය බව දුටු නිසා ය. "මම එන්නෑ . . . හෙට. මට එන්න බැරිවෙයි. එච්චර උදේම. මගේ ස්වාමියා . . ."  ඇගේ ඇස් කඳුළින් පිරී අසරණ ලෙස හඬන්නට පටන්ගත්තාය. "මේ අන්තිම වතාව වෙන්න පුළුවන් ෂෙරිෆ් බක්. මට එයා බලන්න ලැබෙන අන්තිම සැරේ . . ." ඇයට තම කතාව අවසන් කිරීමට නොහැකි විය. 

"තනියම නං කතාකරන්න බැරි වෙයි. දැන් තව සිරකාරයෝ දෙන්නෙක් ඉන්නවා සිරමැදිරිවල." බක් පැවසීය. එය ඇසූ ඇය නොසන්සුන් වූවාය. "වෙන විදියක් නැද්ද, ෂෙරිෆ් බක්? කරුණාකරලා . . ."

බක් හිස සොලවා එම අදහස බැහැර කළේය. "මම ඔබට ආපසු ඇතුලට යන්න දෙන්නෙ නෑ පරීක්ෂාවකට ලක්නොකර."

ඇගේ මුහුණ රත් පැහැයට හැරුනද ඇය තීරණයකට එළඹි අයුරින් ඔහුගේ දෑස දෙස බැලුවාය. "හරි, කමක් නෑ. ඔබට අවශ්‍ය නම්."

"මම නෙවෙයි. වෙනත් කාන්තාවක් ඕනෑ. ඔබ දන්නවද මෙතැනට ඇවිල්ලා ඒක කරන්න පුළුවන්, මට විශ්වාසවන්ත කවුරුහරි?"

ඉඩලීන් මොහොතක් කල්පනා කළාය. "මට පුළුවන් ජෝගෙන්සන් මහත්මිය එක්ක එන්න."

ඇලිස් ජෝගෙන්සන් සිරගෙදරට ඉඩම් කට්ටි එකහමාරකට පමණ ඔබ්බෙන් නේවාසිකාගාරයක් පවත්වාගෙන ගියාය. "හොඳයි, ඇය එක්ක එන්න. හැබැයි ඉක්මන් කරන්න. තව ටිකකින් විනිශ්චයකාරයා එනවා ලියකියවිලි වගයක් අරගෙන මෙහාට." බක් සිය තීරණය ලබාදුන්නේය. 

හිස වනා එය පිළිගත් ඉඩලීන් ඉක්මන් ගමනින් පිටව ගියාය. ඇය නොපෙනී ගිය විගස බක් ඇයට මැක්ග්‍රාත් බැලීමට ඉඩදීමට එකඟවීම පිලිබඳව පසුතැවිලි විය. එහෙත් ඔහු දැන් වචනයක් දී හමාර ය. කළේ කොතරම් මෝඩ වැඩක් වුවත් හැකිතාක් හොඳින් එය නිම කිරීමට ඔහුට සිදුව ඇත.    

ඔහු කාමරය තුළින් ගොඩනැගිල්ලේ පසුපස පෙදෙසෙහි තිබෙන සිරමැදිරි කරා ගියේය. මැක්ග්‍රාත් කුඩා ඇඳෙහි අද්දරට වී ඉඳගෙන සිටියේය. ඔහු වේදනාවෙන් පෙළෙමින් සිටින බව පැහැදිළි ය. කොරිඩෝවෙහි තිබූ ලාම්පුව ද දුම් දමන්නට පටන්ගෙන තිබුණි. බක් එහි තිරයෙහි මුදුණ ද කඩා දැමුවේය. කොරිඩෝවේ අනෙක් පස සිර මැදිරි තුළ සිටි දෙදෙනා නින්දට වැටී සිටින අයුරු දිස් විය. 

බක් මැක්ග්‍රාත්ට කතා කළේය. "ඉඩලීන්ට ඔබ බලන්න ඕනැ වෙලා. තව විනාඩි කිහිපයකින් ආපහු එයි." මැක්ග්‍රාත් නැගී සිටියේය. කැඩුන අතට ආධාරකයක් දමා තිබුණ ද ඔහු එය නුහුරට අල්ලාගෙන සිටියේය. "මේක ඇතුලේ හුඟවෙලාවක් හිටපු නිසා මට කියන්න බෑ ගඳ තාම තියනවද කියලා. කොහොමද දැනෙන්නේ?"

බක් සිය හිස දෙපසට සෙලවීය.  "නරකක් නෑ. පරණ සුරුට්ටු ගඳ තමයි දැනෙන්නේ, වෙන දේකට වැඩිය."

මැක්ග්‍රාත් තම ඇඟිලි හිසකෙස් තුලින් යවා පීරා ගත්තේය. "පෙනුම හොඳයි." පැවසූ බක් ඉඩලීන් එනතෙක් රැඳී සිටීම සඳහා ආපසු කාර්යාල කාමරය වෙත ගියේය. ඔහුගේ එකම බලාපොරොත්තුව වූයේ නඩුකාරයාට ඇය මෙතැනදී අසු නොවනු ඇත යන්නයි. ඒ සමගම ඔහු කල්පනා කළේ  ඉඩලීන්ගේ ඉල්ලීමට ඉඩදීමෙන් ඔහු කරගත්තේ මොනතරම් මෝඩකමක් ද යනුවෙනි. ඔහුට නැහැ යනුවෙන් කියන්නට හැකි වූවා නම් හැම අතින්ම පහසුවක් වන්නට ඉඩ තිබුණි. ගැටළුව වූයේ ඔහුට කාන්තාවන්ට, විශේෂයෙන් රුවැති කාන්තාවන්ට, නෑ බෑ කියන්නට තිබූ අපහසුතාවයි. ඔහුගේ හැඟීම වූයේ ඒ අතින් ඔහු ද අනෙකුත් බොහෝ පිරිමින්ගෙන් වෙනස් නොවන බවයි. 

පිටව ගොස් විනාඩි පහළවකට පමණ පසුව ඉඩලීන් හිසකෙස් සුදු පැහැයට හැරෙමින් තිබූ මැදි වියේ සිටි තරබාරු කාන්තාවක වූ ජෝගෙන්සන් මහත්මිය ද කැටුව ආපසු පැමිණියාය. බක් ඇයට කතා කළේය. "ජෝගෙන්සන් මහත්මිය, මෙයා අද උදේ මැක්ග්‍රාත්ට පිස්තෝලයක් හොරෙන් ගෙනත් දුන්නා. ඒ වැඩේ නිසා මගේ කකුලට වෙඩි වැදුනා. තවත් සැරයක් ඒ වගේ අවදානමකට ලක්වෙන්න මට බෑ. ඔබට පුළුවන් ද ඇය හොඳින් පරීක්ෂා කරන්න? මම ලාම්පුවේ එළිය අඩුකරලා ජනේලය ලඟට ගිහිල්ලා ඔබට පිටුපාලා සිටගෙන ඉන්නම්."

ජෝගෙන්සන් මහත්මිය එයට එකඟ වුවාය. යන්තම් දුර්වල එළියක් පමණක් විහිදෙන තෙක් ලාම්පුවේ දැල්ල අඩුකළ බක් ජනේලය වෙත ගොස් ඉන් පිටතට නෙත් යොමාගත්තේය. ජෝගෙන්සන් මහත්මිය ඉඩලීන් පරීක්ෂා කරද්දී ඇගේ ඇඳුම්වලින් නැගුන සර සර හඬ  පිටුපසින්  ඔහුට ඇසිණ. මුහුණ ජනේලයට හේත්තු කළ ඔහු විනිසුරුවරයා ආ යුතුව තිබෙන වීදිය දෙස බැලීය. පෙනෙන්නට කිසිවෙකුත් නොවීය. 

පිටුපසින් ජෝගෙන්සන් මහත්මියගේ කටහඬ ඇසින. "ඔක්කොම හරි, ෂෙරිෆ් බක්. කිසිම ආයුධයක් හංගාගෙන ඇවිල්ලා නෑ."

 ඔහු හිස හරවා ආපසු බැලුවේය. "ස්තූතියි."

"මම එහෙමනම් යන්නං." ජාගෙන්සන් මහත්මිය ඉදිරිපස දොරෙන් පිටව ගියාය. බක් හිස එළියට දමා නඩුකාරයා එන්නේදැයි බලා දොර වසා ඉඩලීන් දෙසට හැරුනේය. "හරි, දැන් ඇතුළට යන්න. කොයි මොහොතේ හරි ඔබේ සැමියා මෙහෙට එනවා. මම කියනකං ආපසු කාර්යාල කාමරයට එන්න එපා." "හොඳයි සර්." ඉඩලීන්ගේ ඇස්වලට කඳුළු පිරුනි.

 ඇතුල්වීම සඳහා ඔහු දොර  විවෘත කළවිට මැක්ග්‍රාත් හා කතාකිරීමට ඇය ඇතුලට ගියාය. ජොනී වෙත දුවගිය ඇය යකඩ කූරු අතරින් ඔහු වැළඳගත් ආකාරය බක්ට පෙනිණ. ඔහුට දැනුනේ ඉඩලීන් වැනි තරුණ හා රූමත් කාන්තාවක් ඇයට වඩා තුන්ගුණයක් වයස මිනිසෙකු හා විවාහවීම කණගාටුවට කරුණක් ලෙස ය. එහෙත් ඇය එවන් තීරණයකට එළඹුනා නම් ඉන් පසුව ඇය ඔහු කෙරෙහි විශ්වාසවන්ත විය යුතුව තිබුණි. බක්ට සිතෙන ආකාරයට ඇගේ රූමත්බව ඇයට විශේෂ වරප්‍රසාද ලබාදෙන්නේ නැත. 

දොර වසා දැමූ ඔහු නොසන්සුන් ලෙස කවුලුව වෙත ගියේය. හන්ටර් නඩුකාරයා පැමිණියහොත් ඉඩලීන් මෙහි පැමිණිබව ප්‍රතික්ෂේප කිරීමට හැකි ය. බක්ගේ අවසරය නොමැතිව සිරමැදිරි තිබෙන පෙදෙසට බලෙන් යාම හන්ටර්ට කෙසේවත් කළ නොහැකි ය. 

එහෙත් ඔහු බොරුකීම පිළිකුල් කළේය. රැවටීම සඳහා කෙරෙන කුමන්ත්‍රණයක කොටස්කරුවෙකු වීම පිළිකුල් කළේය. 

ඔහු තම ඔරලෝසුව දෙස බැලීය. ඉඩලීන්ට හා මැක්ග්‍රාත්ට විනාඩි දහයක් දීමට පුළුවන. ඊට වඩා තත්පරයකටවත් ඉඩක් නැත. ඔහු ඔරලෝසුවේ තත්පර කට්ට දෙස බලාසිටියේය. පෙනුනේ එය එකතැන නතර වී තිබෙන්නාක් මෙනි. 

කවුළුව අසලින් මෑත්වූ ඔහු නොසන්සුන් සිතින් එහා මෙහා ඇවිදීමට පටන් ගත්තේය. වරෙක ඔහු සිරමැදිරිවලට ඇතුළුවන දොර අසලට ගොස් සවන් දුන්නේය. යන්තමින් මුණු මුණු හඬින් ඇසුන කටහඬ විනා වචන පැහැදිළිව අසාගැනීමට නොහැකි විය. 

නැවතත් ජනේලය අසලට පැමිණි ඔහු වීදිය දෙසට නෙත් යොමු කළේය. ඔරලෝසුව යළිත් අතට ගත් ඔහු මෙවර සෙමින් කැරකෙන ඔරලෝසු කටු දෙස බලාගත්වනම සිටියේය. අවසානයේ විනාඩි දහය ගතවූ හන්ටර් විනිසුරුවරයා එන්නේදැයි දැනගැනීම සඳහා වීදිය දෙස ක්ෂණික බැල්මක් හෙලා වහා කාර්යාල කාමරය හරහා ගොස් සිරමැදිරි කරා යන දොර විවෘත කළේය. 

මැක්ග්‍රාත් හා ඉඩලීන් එකිනෙකා වැළඳගෙන සිටියහ. විනාඩි දහයම ඔවුන් දෙදෙන සිටින්නට ඇත්තේ මෙලෙස ද යන සිතුවිල්ල ඔහුගේ සිතට නැගුනි. "වෙලාව හරි, ඉඩලීන්." ඔහු පැවසීය. ඇය කඳුළු තැවරුන මුහුණ හරවා "අනේ, ෂෙරිෆ් බක් තව විනාඩි කීපයක් දෙන්න." යි අයැද සිටියාය. 

ඔහු හිස දෙපසට වනා එය ප්‍රතික්ෂේප කළේය. "ඔබට විනාඩි දහයකට වැඩිය දීල තියනවා. ඔබ දැන් යන්න ඕනෑ. ඔබේ ස්වාමියා කොයි වෙලාවෙ හරි දැන් මෙතැනට එනවා. මට ඕන නෑ ඔබ නිසා ඔහුට බොරු කියන්න."

අවසාන වශයෙන් තවත් එක් වරක් මැක්ග්‍රාත් සිප වැළඳගත් ඇය මොහොතක් එලෙසම රැඳී සිට අකමැත්තෙන්ම ඈත් වී බක් සිටි දෙසට පැමිණියාය. දොර ලඟට  පැමිණි ඇය ආපසු හැරී හඬා වැලපෙමින් මැක්ග්‍රාත්ට පෙනෙන සේ හාදුවක් පාකර යැවුවාය. ඇය පසුපසින් කාර්යාල කාමරයට ඇතුළු වූ බක් දොර වසා දැමීය. ඔවුහු දෙදෙනම එකවර කාර්යාල කාමරය තුළින් ඇවිද ආ පසු බක් ඇයට පිටව යාම සඳහා දොර විවෘත කළේය. දොරෙන් හිස එළියට දමා විනිසුරු හන්ටර් එන්නේදැයි දැනගැනීම සඳහා  පාර දෙස බැලූ ඔහු ආපසු හැරී, "ඉක්මනට හිරගෙදර ලඟින් අනිත් පැත්තට හැරිලා පටු පාර දිගේ යන්න. පාරෙන් යන්න ගිහිල්ලා මූණට මුණගැහුනොත් ආයේ සැකයක් නෑ දැනගනියි කොහෙද ගියේ කියලා."

"හොඳයි, සර්." දොරෙන් පිටවූ ඇය වහා සිරගෙදර කෙළවරින් හැරී නොපෙනී ගියාය. ආපසු හැරී බැලූ බක් දුටුවේ  සිරගෙදර දෙසට එන විනිශචයකාර හන්ටර් ය. ඔහු  වීදිය කෙළවරින් හැරෙන්නට ඇත්තේ මේ දැන් ය.

අවුල් වූ මනසින් යුතුව ඔහු කල්පනා කළේ ඉඩලීන් සිරගෙදරින් පිටව යනු ඔහු දකින්නට ඇත්ද කියා ය.    

7 comments:

  1. පිංතූරෙ හොඳයි. AI එකක්ද?
    මම හිතුවෙම ඉඩලීන් මොකක් හරි ගේමකට ආවෙ කියලයි?🤔

    ReplyDelete
    Replies
    1. AI තමා පිහිටට ඉන්නේ. ඕන විදියටම කරගන්න දැනුමක් නෑ.

      Delete
    2. ඒකෙ කිසි වැරැද්දක් නෑ. ඔය තියෙන්නෙ යස අගේට.

      Delete
  2. හරිම ලස්සන යි අද කොටසත්. ඇත්තටම මම නම් හිතන්නේ ඉඩලීන්ව දකින්න නැතුව ඇති.
    අපූරුයි කතාව.
    ජයවේවා

    ReplyDelete
  3. //ජෝගෙන්සන් මහත්මිය, මෙයා අද උදේ මැක්ග්‍රාත්ට පිස්තෝලයක් හොරෙන් ගෙනත් දුන්නා. ඒ වැඩේ නිසා මගේ කකුලට වෙඩි වැදුනා. // එහෙම වෙලත් ඉඩ දුන්න එක මානුෂිකයි

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඒක ඕනවට වැඩී. ඒ ගෑනිට කලින් පාර කරපු උදව්වට ලැබුනෙ උන්ඩයක්.

      Delete