විනිශ්චය xxv

 කතාව ඇරඹුන හැටි මෙතැනින් බලන්න. 

                                             පරිච්ඡේදය 17

                                             පළමු කොටස 




හන්ටර් විනිසුරුවරයා සිරගෙදරට ලඟාවන විට ඔහුගේ කෝපය ඉහවහා ගොස් තිබිණ. සුළු මොහොතකට පෙර ඔහුගේ බිරිඳ ඉවත්ව යනු ඔහු දැක ඇති බව සැනෙකින් බක්ට අවබෝධ විය. ඔහුගේ අතෙහි ලිපි කිහිපයක් තිබුනද ඇතිව තිබූ අධික කෝපය නිසාදෝ ආ විගස ඔහු ඒවා බක් අතට බාරදුන්නේ නැත. "හෙනම ගහන්ඩ! මම ඔහේට කිව්වා නේද අර ගෑනිට ඔය බැල්ලිගේ පුතා බලන්න ඉඩදෙන්න එපා කියලා."කෝපය නිසා කැඩෙමින් නැගුන හඬකින් ඔහු ඇසුවේය. 

බක්ට කියන්නට තරම් දෙයක් තිබුනේ නැත. මැක්ග්‍රාත් බලන්නට ඉඩලීන්ට අවසරදීම නිවැරදි යයි පෙන්වාදෙන්නට හැකියාවක් තිබුනද එයින් සිදුවන්නේ විනිශ්චයකාරයාගේ කෝපය තවදුරටත් උග්‍රකිරීම බව ඔහු දැන සිටියේය.

ඔහු අතින් සිදුවූයේ වරදක් විය හැකිය යන හැඟීම ද ඔහුට වද දුන්නේය. කඳුළු වගුරන ගැහැනියකට නැහැ බැහැ කීම කවදත් ඔහුට අතිශය දුෂ්කර කටයුත්තක්ව තිබුනේය. ඇගේ හැසිරීම ගැන ඔහු කුමන ආකාරයකට සිතුවද ඇය මැක්ග්‍රාත්ට කොතරම් ආදරයක් දැක්වූයේ ද යන්න ඔහු තම ඇස් දෙකින්ම දැක ගත්තේය.

හන්ටර් කෝපයෙන් ගුගුරා හැලුනේය. "ඔහේට කියන්න දෙයක් ඇත්තෙම නැද්ද?"

බක්ගේ කෝපය ද ඇවිස්සින. අද දවස පුරාම වේදනාවට හා වෙහෙසට පත්වෙමින් මේ සිදුවීමට මැදිව සිටි ඔහු ඉන් හෙම්බත්ව සිටියේය. "විනිශ්චයකාරතුමා, ඕනම කෙනෙකුට සිරකාරයෙක් බලන්න තියන අයිතිවාසිකම  ප්‍රතික්ෂේප කරන්න මට අයිතියක් නෑ."

"එයා උදේ  මිනිහට පිස්තෝලයක් හොරෙන් ගිහින් දුන්නා. මං හිතුවා ඔබට මොලේ ඇති කියලා . . . "

"මම ඇය පරීක්ෂා කෙරෙව්වා." 

හන්ටර්ට එක්වරම හෘදයාබාධයක කම්පනය දැනුනාක් මෙන් විය. "මොකද්ද කරා කිව්වේ?" 

"මම ඇයව පරීක්ෂා කෙරෙව්වා."

"කාට කියලද?" 

"කලබල වෙන්න එපා. තවත් කාන්තාවක් ඒක කළේ. මම පිටුපස හරවගෙන හිටියේ." 

හන්ටර් සිටියේ කෝපයෙන් වෙව්ලමිනි. ඔහු ටික වේලාවක් පහර දෙන්නට මෙන් බක් දෙස දෑස් දල්වා බලා සිටිය ද අවසානයේ නිවැරදි තීන්දුවක් ගත්තේය. මහත් වෙහෙසක් දරා ආවේගය පාලනය කරගත් ඔහු ලිපිලේඛන බක් වෙත බාරදුන්නේය. "මෙන්න මම පොරොන්දු උන ලියකියවිලි."

දෑත් තදින් මිටමොලවාගෙන, මුහුණේ මාංශපේශි පිටතට නෙරා එනතෙක් හකුපාඩා සිරකරගෙන මොහොතක් සිටගෙන බලාසිටි ඔහු ඊලඟ මොහොතේ සැනෙකින් ආපසු හැරී කාර්යාලයෙන් පිටතට පා තැබීය.

බක්ට ඉබේටම මෙන් සෙමින් උරුවම් බෑවින. දොරෙන් එළියට ආ ඔහු හන්ටර් නඩුකාරයා වේගයෙන් වීදිය දිගේ උඩහට ඇවිද යනු බලා සිටියේය. මෙතරම් දරුණු ලෙස කෝපයට පත්ව සිටි අයෙකු මීට පෙර දැක ඇති බවක් ඔහුගේ මතකයෙහි නොවීය.

ඉඩලීන්ට දෙවියන්ගේ පිහිටයි. ඔහුට සිතිණ. හන්ටර් උගත්කමක් ඇති, ප්‍රඥාවන්ත හැසිරීමක් අපේක්ෂා කළහැකි පුද්ගලයෙකු වන්නට පුළුවන. එහෙත් මේ මොහොතේ ඔහු තම බිරිඳගේ ද්‍රෝහී හැසිරීම දුටු සාමාන්‍ය මහලු මිනිසෙකි. හන්ටර් ගොඩනැගිල්ලෙහි මුල්ලෙන් හැරී නොපෙනී ගියේය. ඉඩලීන් කොහේ ඇත්දැයි බක් කල්පනා කළේය. විනිසුරුවරයාට අසු නොවන සේ ඇය තම මිතුරන් සමග රාත්‍රිය ගතකිරීමට යාමට තරම් කල්පනාකාරී වනු ඇතැයි ඔහු බලාපොරොත්තු විය. උදෑසන වනවිට විනිසුරුවරයාගේ කෝප වියරුව සමහන් වී තිබෙන්නට ඉඩ තිබේ

දොර වසා අගුලු දැමූ ඔහු කොර ගසමින් මද වේලාවක් එහා මෙහා ඇවිද්දේ එක තැන නිශ්චලව සිටින සෑම විටම දරඳඬු වන පාදය ලිහිල් කරගැනීම සඳහා ය. විනාඩි කිහිපයක් ඇවිදීමෙන් පසු  මේසය අසල වාඩි වූ ඔහු විනිසුරු හන්ටර් ගෙනැවිත් තිබූ ලියකියවිලි පරීක්ෂා කළේය. ඉන් එකකින් සිරකරුවා කැනන් සිටි බන්ධනාගාරයට ගෙනගොස් එහි පාලකවරයාට බාරදීමට ඔහුට බලය පවරා තිබුණි. දෙවැන්න පාලකවරයාට යොමු කෙරුනු මුද්‍රා තබන ලද ලියුම් කවරයකි. බක් අනුමාන කළේ මැක්ග්‍රාත් මරණීය දණ්ඩනයට යටත් කිරීම පිළිබඳ බන්ධනාගාර බලධාරීන්ට අවශ්‍ය උපදෙස් එහි අඩංගුව ඇති බව ය.   

ලිපියත් ලියුම්කවරයත් නමා කමිස සාක්කුවට ඔබාගත් බක් තුවාල වූ පාදය ඔසවා උත්සාහ මේසය මත තබාගන්නට ගත් උත්සාහය නැවැත්වූයේ කවුරුන් හෝ මහත් කලබලයකින් දොරට තඩිබාන හඬ ඇසීමෙනි. බලාපොරොත්තු නොවූ බාධා කිරීමෙන් කෝපයට පත්ව ශාප කරමින් නැගී සිටි බක් කාමරය හරහා ඇවිද ගොස් පතරොම් තුවක්කුව අතට ගෙන ක්ලික් හඬින් එය වසා වෙඩිතැබීමට සූදානම්ව දොරෙහි සොයිබය පස්සට තල්ලුකර, "ඇරලා තියෙන්නේ." යි හඬ නගා පැවසීය. 

දොර විවෘත වී හිරාම් කිල්බර්න් ඇතුල් විය. "ඉක්මන් කරලා එන්න! හන්ටර් නඩුකාරයා එයාගේ නෝනට වෙඩි තියලා!"

කිල්බර්න් ජීවත් වූයේ හන්ටර්ගේ නිවසට යාබද නිවසේ ය.  ඔහු ගොතගසමින් කතා කළේය. "මට වෙඩි ශබ්දයක් ඇහුනා. මම ගිහිල්ලා හන්ටර් නඩුකාරයාගේ ගෙදර ජනේලෙන් බැලුවා. එයා දුම් පිටවෙන පිස්තෝලයක් අතේ තියාගෙන හිටගෙන හිටියා. ඉඩලීන් - හන්ටර් මහත්මිය බිම වැටිලා හිටියා." 

"එන ගමන් දොස්තරට කියලද ආවේ?" 

"නැහැ. එන ගමන් මට එහෙම . . ." 

"දැන්මම ගිහිල්ලා ඒ වැඩේ කරන්න හිල්බර්න්. සමහර විට ඉඩලීන්ට තවම පන තියනවා වෙන්න පුළුවන්." 

"හොඳමයි සර්." කිල්බර්න් ඉක්මන් ගමනින් පිටව ගියේය. 

ඔහු තුවක්කුව කඩා බිත්තියට හේත්තු කළේය. කිසිවක් නොසිතාම අත ස්වයංක්‍රීයව ඉන පටියෙහි කොපුවෙහි රඳවා තිබූ රිවෝලවරය වෙත ගියේය. දැන් ඔහුට ශක්තිමත් දොරක් ලැබී තිබූ නිසා හන්ටර් නඩුකාරයාගේ නිවසට යාමට ගතවන තරම් වේලාවක් සිරගෙදරින් බැහැර වී සිටිය හැකි ය.  

එළියට පැමිණි ඔහු දොර අගුල් දැමීය. හිරාම් කිල්බර්න් ඔහුට හැරෙන්නට වෙනත් කිසිවෙකුටත් මෙම සිදුවීම කියා නැතිබව පෙනෙන්නේ වීදියෙහි කිසිම කලබලයක් දකින්නට නොමැති බැවිණි. බක් හන්ටර් ඉක්මන් ගමනින් නඩුකාරයාගේ නිවස වෙත ගියේය. 

අද සවස මැක්ග්‍රාත් බැලීම සඳහා ඉඩලීන්ට ඉඩ නොදිය යුතුව තිබුණු බව දැන් ඔහුට තේරුම් ගොස් තිබිණ. වගකීම පිළිබඳ හැඟීමක් ඊයම් බරුවක් මෙන් ඔහුගේ සිතුවිලි අතර රැඳී තිබිණ. ඉඩලීන්ට මැක්ග්‍රාත් බලන්නට ඉඩ නොදුන්නා නම් ඇය තවමත් ජීවතුන් අතර සිටින්නට ඉඩ තිබුණි. ඔහු නිවැරදි යයි තමාටම තහවුරු කරගන්නට කොපමණ උත්සාහ කළ ද මේ වනවිටත් ඇය මියගොස් ඇත්නම් ඒ මරණයට ඔහු වගකිව යුතු ය. 

මේ වන විට ඔහු දිවීමට ආසන්න වේගයකින් ඇවිදිමින් සිටියේය. නැම්මකින් හැරුන ඔහු වේදනාවෙන් නොන්ඩි ගසමින් ගොඩනැගිල්ලක් පසුකර තවත් නැම්මකින් හැරුනේය. හිරාම් කිල්බර්න් හා දොස්තර විනිසුරු හන්ටර්ගේ නිවසට යනු ඔහුට දිස්විය. විනාඩි බාගයකටත් අඩු කාලයකදී එතැනට ළඟා වූ ඔහු අඩිපාර දිගේ ගොස් දොරෙන් ඇතුල් විය. 

ඉඩලීන් උඩුබැලි අතට බිම වැතිර සිටියාය. ෂෙරිෆ්ගේ අත්ල තරම් විශාල ලේ පැල්ලමක් ඇයගේ ගවුමේ ඉදිරිපස දැකගත හැකි විය. ඇයගේ ඇස් වැසී තිබූ අතර මුහුණ ඉටියෙන් වාත්තු කලාක් මෙන් දිස්විය. ඇය අසල බිම දණ ගසාගත් දොස්තර ඔහුගේ වෙද නලාව ඇයගේ හෘදය මත තැබීය. හන්ටර් විනිසුරුවරයා පිස්තෝලය අතැතිව වේදනාවෙන් පීඩිතව තැතිගත් දෑසින් තම බිරිඳගේ සිරුර දෙස බලා සිටියේය. දොස්තර හිස හරවා බක් දෙස බැලීය. "ඇය මිය ගිහින්." 

කම්පනයෙන් ගල්ගැසුන බක්ට ඊට ප්‍රතිචාර දැක්වීමට හැකිවූයේ මොහොතක් ගතවූ පසුව ය. විනිසුරුවරයා වෙත ගිය බක්, "විනිශ්චයකාර තුමනි, පිස්තෝලය මා අතට දෙන්න." යයි පැවසීය.  ගල්ගැසී නිහඬව සිටි හන්ටර් විනිසුරුවරයා පිස්තෝලය ඔහු අතට දුන්නේය. එය තම ඉනපටිය තුළ රඳවාගත් බක්, "විනිශ්චයකාරතුමනි, ඔබට මා සමග එන්නට සිදුවෙනවා." යි දැනුම් දුන්නේය. 

තවමත් දෑස් තම බිරිඳ වෙත රඳවාගෙනම හන්ටර් හිස සැලීය. ඔහුට කතාකරන්නට මෙන්ම ඇවිදින්නට ද නොහැකි බවක් පෙනෙන්නට තිබුණි. ඔහුගේ බාහුවෙන් අල්ලාගත් බක් ඔහු දොර දෙසට කැඳවාගෙන ගොස් හිස හරවා දොස්තරවරයා දෙස බැලීය. "ඔබට මෙතැන කටයුතු බලාගන්න පුළුවන් ද?" 

දොස්තර හිස සැලූ අතර කිල්බර්න් ද ප්‍රතිචාර දැක්වීය.  "මම උදව් කරන්නම්."

"ස්තුතියි." බක් හන්ටර් පිටතට කැඳවාගෙන ගියේය. කිල්බර්න්ගේ බිරිඳ ගෙයි ඉදිරිපස ආලින්දයේ සිට විනිසුරු නිවස දෙස බලා සිටියාය. විදියෙන් අනෙක් පස තවත් අසල්වැසියන් දෙදෙනෙක් එක් අයෙකුගේ නිවස ඉදිරිපිට පදිකවේදිකාවේ සිට කුතුහලයෙන් යුතුව දෑස් යොමාගෙන සිටියහ. වැඩි වේලාවක් යන්නට පෙර ආරංචිය නගරය පුරාම පැතිරයන බව බක් දැනසිටියේය. 

හන්ටර් කිසිවක් නොකියා නිහඬවම සිටියේය. පෙනෙන්නට තිබුණේ කතා කරගැනීමට බැරි තරම් ඔහු කම්පනයට පත්ව සිටි බව ය. බක් අල්ලාගෙන සිටි අතෙහි ග්‍රහනය ලිහිල් කරේ නැත. ඒ හන්ටර් ඔහුගෙන් මිදී පැනයාම ගැන ඇතිවූ සැකයකින් නොවේ. ඕනෑම වෙලාවක විනිසුරුවරයා පසුපස එළවා අල්ලාගැනීම අපහසු කාර්යයක් නොවන බව ඔහුට විශ්වාස ය. ඔහු කරදර උනේ විනිශ්චයකාරයා පය පැකිළී වැටේ ද යන සැකය නිසා ය. හන්ටර් බලාගෙන සිටියේ ඔවුන් ඇවිදගෙන යමින් සිටි මාවත දෙස නොවේ. ඔහුගේ  අරමුණින් තොර වූ දෑස් එල්ල වී තිබුනේ ඔහුට ඉදිරියෙන් වූ කොහේදෝ තැනකට ය. 

බක්ට කල්පනා උනේ මුල සිටම ඔහුට අවශ්‍යව තිබූ දෙයක් දැන් ලැබී ඇති බව ය. එය නම් ඔහුට පැවරී ඇති බලතල පාවිච්චි කර මැක්ග්‍රාත්ගේ මරණීය දණ්ඩනය කල්දැමීම සඳහා නිදහසට කරුණකි. සිදුවීම් සිදුව ඇති ආකාරයට රටේ ඕනෑම විනිශ්චයකාරවරයෙකු පැවති නඩු විභාගය ව්‍යර්ථ කොට මැක්ග්‍රාත් වෙනුවෙන් නව නඩු විභාගයක් ප්‍රකාශයට පත් කිරීමට නොපැකිළෙනු ඇත.   


6 comments:

  1. ඇර මාටින්! ඔහොම යං.👌🙏💐

    ReplyDelete
  2. https://www.youtube.com/watch?v=YiG33GyQO3k

    ReplyDelete
  3. හම්මට සිරි විනිශයකාරයා පවුලට වෙඩි තිබ්බ නේද??
    නීතිය නමල මිනිහා බේරාගනිද ???

    ReplyDelete
  4. රහ පිරි කොටසක් අද. අපූරුයි
    ජයවේවා

    ReplyDelete
  5. අපූරු කොටස . මෙතන බක් කොච්චර වැරදිද කියල තේරෙනවා . හන්ටර් වුනත් වැරදියි . එයාට මක්ග්රාත් ගැන විසඳන්න වෙන කෙනෙකුට දෙන්න තිබ්බේ . වැරදි දෙකකින් කෙනෙක් මියය යනව .

    ReplyDelete
    Replies
    1. හැබැයි අනෙක් අතට බැලුවොත් වැඩේ යන විදියට පලාතෙ වෙන්න ගිය දරැණු කලබලේ නවතිනව

      Delete