තුවාලයට ප්‍රතිපෝෂණයක්!

 

(cartoon movement වෙතින්)


මා පෙර ලියූ ලිපිය මා බලාපොරොත්තු වූ අතට නොව වෙනත් අතකට ගසාගෙන යන බව පෙනෙන්නට ඇති බැවින් ඊට ඌණපූර්ණයක් ලියන්නට සිත්විය. වඩාත්ම එයට හේතුවූයේ ඉන් වීරරත්නට ( සැබෑ අනන්‍යතාව සඟවනු වස් යොදාගත් ආරූඬ නාමයකි.) යම් අසාධාරණ චෝදනාවකට මුහුණ දෙන්නට සිදුවී ඇති බවක් පෙනෙන නිසා ය. 

ඔහු අප නිවසට මුලින්ම ආවේ මීට දශක එකහමාරකට පමණ පෙර ය. එතැන් සිට ඔත්පල වනතෙක්ම අපගේ වත්තපිටියේ වැඩ කෙරුනේ ඔහුගේ අතිනි. ඒ එන විටත් ඔහු කොඳුඇට පෙළෙහි හා දණිස්වල ආබාධයනට ලක්ව සිටියේය. හේතුව දරාගත හැකි පමණට වඩා බර ඉසිලීම ය. ආසන්නයෙහි පිහිටි මූලික රෝහලෙහි සායනයට සහභාගි වූ ඔහුට ගුණයක් නොවූයෙන් මා මැදිහත් වී විකලාංග විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වූයෙමි. ඔහුගේ ප්‍රතිචාරය මෙසේ විය. 

"ඔයා මෙච්චර දවස් ගිහින් තියෙන්නේ ආතරයිටිස් සායනයටනේ. ඔයා යොමුකරන්න තිබුනේ මගේ සායනයට. අපරාදෙ, මුලින්ම ආවනං මෙලහට දනිස් දෙක දාල දිලා. දැං වැඩේ බඩු ඉවරයි. කමක් නෑ. ලබන සතියෙම ගිහිල්ලා මගේ සායනයේ ලියාපදිංච් වෙන්න. ආපහු දණිස් ලැබුනහම දැනුම් දෙයි. එතකොට ඇවිත් කරගන්න." 

ඔහුගේ කකුලෙහි වූ තුවාලයකට විෂබීජයක් ඇතුළු වී තිබුනේ මේ අතර ය. එයට ප්‍රතිකාර කිරීමට පටන්ගෙන වසර දෙකක් පමණ ගතවුවත් සම්පූර්ණ සුවයක් නැත. මා හිතවත් වෛද්‍යවරයෙකු වෛද්‍ය වාර්තා පරීක්ෂා කොට පැවසුවේ මෙවැනි තුවාල හොඳවීමට කල්ගතවන බවයි. පෝෂ්‍යජනක ආහාර නොමැති වීම නිසා ලේ අඩුවීම ද මීට හේතුවිය හැකි බව පැවසීය. මහනුවර රෝහලෙන් ලේ බාහිරව ලබාදීමට නිර්දේශ කර තිබුනත් කුමක් හෝ හේතුවක් නිසා එය සිදුව තිබුනේ නැත. කෙසේ වුවද මේ වන විට යම් සුවයක් පෙන්වන තුවාලය තව ටික දිනකින් සමක් බද්ධ කිරීමෙන් සුවකරගත හැකි බව රෝහලෙන් පවසා තිබේ. ඔහු කට්ටඬියන් සොයාගෙන දුවන්නේ මේ අතර ය. උවමනාව හැකි ඉක්මනින් තුවාලය සුව කරගැනීම ය. එක හේතුවක් නැවත වැඩට ඒමට ඇති උවමනාව ය. අනෙක වැඩ නොකර අපෙන් මුදල් ඉල්ලීමට ඇති අකමැත්ත ය. ඔහුගේ නිවස ඇත්තේ දුෂ්කර තැනක ය. එතැන් සිට ත්‍රිරෝද රථයකින් රෝහලට යාමට ඒමට රුපියල් හයසියයකි. දිනක් හැර දිනක් ප්‍රතිකාර කළ යුතුය. ඊට අමතරව තුවාලයට අවශ්‍ය ක්‍රීම් වර්ගය, බැන්ඩේජ් යනාදිය ද ෆාමසියෙන් රැගෙන යා යුතුය. නිතිපතා යන්නේ මගේ රොස්පරොස් අසන්නට බැරි නිසා ය. නැත්නම්  මුදල් නොඉල්ලා ගෙදරට වී සිටියි. 

මට අවශ්‍ය වූයේ මෙසේ අසරණව යා යුතු අතක් සිතාගත නොහැකි මිනිසුන්ගේ අසරණකම නිසා මිථ්‍යා විශ්වාස පණගසා ඉහල එන සැටි පෙන්වීම ය. ඉතින්, මා මගෙන්ම ප්‍රශ්න කරගනු ලබන්නේ අන්ධ විශ්වාස පසුපස දිවීම වැළැක්වීමට නිවැරදි මග කියාදීමටත් වඩා වැඩි යමක් කිරීමට තිබෙනවා නේද කියායි.

                                                                * * * 

ලිව්වේ මෙතැනට නොවූවත් මේකත් මෙතනම එල්ලන එක හොඳයි කියලා හිතුන නිසා . . .

කල් ගිය පොත් දැක්ම

සිමෙන්ති කොට්ටෙ කරේ තියන්

එක හුස්මට ඉනිමග දිග

 ඉහල ගියපු,  

ගල් අයියා ගමේ අයට

අපෙ ගෙදරට වික්‍රමසිරි.

කොහේ ඉඳන් ආවද නැති

කොහොම නැවතුනාදත් නැති

කොන්දෙ අමාරුවත් අරන්

අපෙ ගෙදරට ආ වික්‍රමසිරි. 

සිමෙන්ති කොලයක පාටට 

දණින් පහල වෙලුම් දාපු

බිම තියන්නට පයට සවි නැති 

ගල් අයියා, වික්‍රමසිරි.

ඉල්ලන්නට කැමති නැතත් 

නොගෙනත් කොහොමද

වික්‍රමසිරි?

දෑවුරුද්දත් කාලයක්යෑ

කොහොම හරි පය බිම ගහමු අපි.

ඒත් ඉතින් ඒ වෙනකල්;

මේඩ් ඉන් ඉන්ඩියා 

 සාරි ඇඳපු පිරිමින්ගෙන් 

පිරිමි ඇඳපු සාරි අරන් 

ඔබ ශාන්තිම දැයි බලන්නට 

ලබන අවුරුද්දෙවත් යන්නම්. 


2 comments:

  1. ආරූඬ වීරරත්නගෙ කතාව කියෙව්වාම, මට අපේ වයෝවෘධ දුප්පත් පරපුර ගැන දුක හිතුනා. ඔය මිත්‍යා විස්වාස හින්දා තත්ත්වය තවත් නරක අතට හැරෙනවා.

    මා කුඩා කල දුටු එවැනි අයෙකුගේ රූපය, නොමැකී මගේ හිතේ තියනවා. මතක විදිහට නම ඇල්බට්. කාත් කවුරුවත් නොහිටි ඇල්බට් හිටියෙ, මැහුම් වැඩ කල ඇනී අක්කලගෙ ගෙදර කාමරයක. දන්න විදිහට රැකියාවක් කලත් නෑ, බාගදා පැන්ෂන් එකක් ලැබෙන්න ඇති. අපේ දානෙ ගෙදරකට ඇවිත් තුන් පාරක් බෙදන් කෑවා මතකයි.

    මට ඒක දැකලා ඉහේ ඉඳන් සීතල වුනා, අපටත් දවසක මෙහෙම වෙයිද කියලා. එහෙම නොවෙන්න, ඇල්බට් මට පහන් ටැඹක් වුනා කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්, එදිනෙදා කුලියක් කරගෙන ජීවත්වෙන අය වයසට යනවිට අසරණ වෙනවා. ඒ සඳහා වැඩපිළිවෙලක් අවශ්‍යයි. මේ අය තරුණ කළ හොඳට උපයනවා. ඒත්, ඉතිරිකරන්න දන්නෙ නෑ. අඩු වශයෙන් ඒ පැත්තෙන් වත් මග පෙන්වීමක් කරන්න පුළුවන් නම් හොඳයි.

      Delete