ඉඳහිට නමුත් ලිට්සීකර්ගේ ලියමන්වලට පුවත්පත් පිටු අතර ඉඩක් ලැබෙන්නේය. අනිද්දා පුවත්පතේ දේදුන්න අතිරේකය ටැබ්ලොයිඩ් ප්‍රමාණයට සැකසූ පළමු පුවත්පතේ කෙටිකතා පිටුව ලිට්සීකර්ගේ පරිවර්තනයකට වෙන්ව තිබුනේ මෙසේය. මේ 2022 ජූනි 09 දින මේ බ්ලොග් එකේම පළවූ කවද හරි දවසක . . . කතාවයි.
මේ සතියේ එනම් 2025 ඔක්තෝබර් 17 පුවත්පතේ කෙටිකතා පිටුව ද මා වෙනුවෙන් වෙන්කර තිබුනේ මෙසේය. එය කලින් බ්ලොග් එකෙහි පළ නොවූවක් බැවින් මේ සමග ඒ කතාව ද ඉදිරිපත් කරමි.
මකියවෙල්ලි බාලාංශ පන්තියේදී
හිතවත් මකියවෙල්ලි මහත්මියනි,
මා මෙම ලිපිය ලියන්නේ අද පන්තියේදී සිදුවූ ඔබගේ පුත් නිකලෝ සම්බන්ධ සිදුවීමක් දැනුම්දීම සඳහායි. කෙටි කාලසීමාවකට මට පන්ති කාමරයෙන් බැහැර යාමට සිදුවූ නිසා මා ළමුන්ට උපදෙස් දුන්නා හිස මේසය මත තබාගෙන නිශ්ශබ්දව සිටින ලෙස. ආපසු පැමිණි විට මට දක්නට ලැබුනා ඔබේ පුතා මගේ මේසය මත තිබූ දේවල් අවුස්සමින් සිටින බව. ඔහු කරන්නේ කුමක් දැයි මා විමසූ විට ඔහු කියාසිටියා අනාගතයේ දවසක ඔහුට ඉතිහාසයේ ගමන්මග වෙනස් කිරීම සඳහා මා මේ තරම් සාර්ථක නායකයෙකු උනේ කෙසේදැයි දැනගැනීමට අවශ්‍ය වූ බව. පළමු වතාවටයි මම එහෙම දෙයක් ඇසුවේ. මකියවෙල්ලි මහත්මිය, මම මොහොතකටවත් ඒක නම් විශ්වාස කරන්නේ නෑ. මා හිතන්නේ මගේ උඩ ලාච්චුවේ මා තබාගෙන සිටි ගෙදරින් හදාගෙන ආ විස්කෝතු ඔහුට අවශ්‍ය උනා කියලයි. මට හිතෙන හැටියට සත්‍යය කතාකිරීම හා අනෙක් අයට අයිති විස්කෝතු වලින් ඈත්වී සිටීම පිළිබඳව පාඩමක් නිකොලෝට කියා දිය යුතුයි.
විශ්වාසී,
බර්ටොලිනී මෙනවිය
* * *
හිතවත් මකියවෙල්ලි මහත්මියනි,
නිකලෝ කියන්නේ මොන තරම් අමුතු පිරිම ළමයෙක් ද? ඊයේ මා See Dick Run කතන්දර පොත් මාලාවේ එක පොතක් පන්තියේ කියවමින් සිටියදී ඔබේ දඟකාර දරුවා අත උස්සලා ඇහුවා ඩික් බලය අල්ලාගැනීම ගැන එක පොතක් හරි තියනවද කියලා. එදාම තවත් ටික වෙලාවකට පසුව මා නොහික්මුණ ළමයින් කිහිපදෙනෙකු පාලනය කිරීමට උත්සාහ කරමින් සිටියදී නිකලෝ යෝජනා කළා මම ඒ ළමයින්ගෙන් වඩාත්ම දඩබ්බර ළමයාගේ බඩවැල් එළියට ඇද්දොත් මට පන්තිකාමරය තුළ පූර්ණ බලයක් පවත්වාගෙන යන්න පුළුවන් කියලා. අද පන්තිය ඉවරඋන ගමන්ම නිකලෝ මට කියා සිටියා ඔහු තවදුරටත් මා සාර්ථක පාලකයෙකු ලෙස නොසැලකුවත් තවමත් ඔහු මට කැමතියි කියලා. ඊලඟට ඔහු මගෙන් ඇසුවා කුමන වෙලාවක හෝ මගේ හිස ගසාදමනු ලැබුවහොත් ඒ හිස ඔහුට හිමිකරගන්න පුළුවන් ද කියලා. මකියවෙල්ලි මහත්මියනි, නිවසේ පවතින්නේ සාමකාමී වාතාවරණයක්ද?
සංවේගයෙන්,
බර්ටොලිනී මෙනවිය
* * *
හිතවත් මකියවෙල්ලි මහත්මියනි,
පසුගිය අඟහරුවාදා සවස දෙමාපිය රැස්වීමේදී ඔබ හා ඔබේ සැමියා මුණගැසීමට ලැබීම සතුටට කාරණයක්. ඔබේ සැමියා කියූ ලෙසට නිකලෝ කියන්නේ නියමිත කාළයට කලින් පැසුන පුංචි රාජ්‍යතාන්ත්‍රිකයෙක් කියන අදහසට මම සපුරාම එකඟයි. ඒත් ඔබේ පුතා මෑතකදී කියපු එක දෙයක් සමග නම් මම එකඟවෙන්නේ නෑ. ඒ කියන්නේ දේශපාලනය කියන්නේ තුවක්කු හා ප්‍රබල පාබල හමුදාවක් තියන බාලාංශ පන්තියක් විතරයි කියන එක. කරුණාකර ඔබේ පුත්‍රයාට උදව් කරන්න ප්‍රදර්ශනය කර විස්තර කිරීමේ ක්‍රියාකාරකම සඳහා "බාලාංශ පන්තියේ ගුරුවරිය බලයෙන් පහකරන්නේ කෙසේද?" කියන එකට වැඩිය හොඳ මාතෘකාවක් තෝරාගන්න. සමහර විට නිකලෝට මතක් කරලා දෙන එක හොඳයි මමයි පන්තියේ ගුරුවරයා කියලා. ඒ කියන්නේ මමයි පන්තිය පාලනය කරන්නේ, මොනම විදියකවත් බලයෙන් පහකිරීමක් මම ඉවසන්නෙ නෑ කියන එක.
විශ්වාසී,
බර්ටොලිනී මෙනවිය
* * *
හිතවත් මකියවෙල්ලි මහත්මියනි,
ප්‍රදර්ශනය කර විස්තර කිරීමේ ක්‍රියාකාරකම සඳහා ඔබේ පුතා තෝරාගත් "පාසැල පාලනය කරන්නේ කෙසේද?" කියන මාතෘකාවට මා ඉතාමත් කැමතියි. ඒ උනත් සතුරන් දණ්ඩන අසුනක් මත උලතැබීම ළමයින්ට පෙන්වීම අවශ්‍ය දෙයක් ලෙස මා සිතන්නේ නෑ. කරුණාකර නිකලෝට කියාදෙන්න කොයිතරම් ආයාචනා කළත්, කන්නලව් කළත්, විදුහල්පතිගේ පුටුව මට ලබාදෙන බවට පොරොන්දු වුවත් මම ඔහුව ශාලා ශිෂ්‍යනායක කරන්නේ නෑ කියලා. ඔහු දැනටමත් නිල ඇඳුම මිලදී ගෙන තියනවා කියන එක මට අදාළ දෙයක් නෙමෙයි. නිකලෝට කියන්න ශාලා ඒකාධිපති කියලා කෙනෙක් නෑ, උත්තරීතර ශාලා වාසිකයා කියලා කෙනෙක් කොහෙත්ම නෑ කියලා. අවංකවම කියනවනං මට අහම්බෙන් අසන්න ලැබුනා ඔබේ ළමයා ඔහුගේ මිතුරෙකුට කියනවා අභ්‍යන්තර කොරිඩෝවල පාලනය අල්ලාගැනීම යනු පාසැල පාලනය කිරීමයි කියලා. මේ නිසා මගේ ස්නායුත් දැන් හොඳටම පිරිහිලා තියෙන්නේ. මගේ තීරණය අවසාන තීරණයයි.
විශ්වාසී,
බර්ටොලිනී මෙනවිය
* * *
හිතවත් මකියවෙල්ලි මහත්මියනි,
නිකලෝ නම් හරිම කපටි පුංචි බාලාංශ ශිෂ්‍යයෙක්. ඊයේ කෙටි නින්ද ගැනීමට නියමව තිබෙන වේලාවේ මට පන්තියෙන් බැහැරට යන්නට සිදුඋනා. ආපසු එනවිට මම නැතිව සිටි කාලය තුළ කුමන්ත්‍රණයකට සමාන දෙයක් වෙලා තිබුනා. පෙනෙන්න තිබුන විදියට මම නැති අතරේ ශාලා ශිෂ්‍ය නායක විදියට පත්ව සිටි අහිංසක, පුංචි රුඩොල්ෆෝ ඉවත්කරලා ඔබේ පුත්‍රයා ඒ තැනට එයාවම පත්කරගෙන තිබුනා. ඒක ලේ නොහැලුන කුමන්ත්‍රණයක් වීම ගැන මම ස්තූතිවන්ත වෙන්න ඕනැ කියලයි මට හිතෙන්නේ. හැබැයි කිරි නම් නොසෑහෙන්න හලලා තිබුණා. මගේ පන්තිකාමරය සඳහා ශාලා ශිෂ්‍ය නායකයින් පිළිබඳ සියළුම තීරණ ගැනීමේ අයිතිය මට තියනවා කියලයි මා සිතාගෙන සිටියත් විදුහල්පති කැපිටනී මට දැනුම්දුන්නා ඒක එහෙම නොවෙයි කියලා. ඒත් තවමත් මට නිකලෝට දඬුවම් කිරීමට හැකියාව තිබෙනවා. මා නියම කරනවා ඔහුට "මා ජීවත්ව සිටිනතාක් කල් නැවත කිසිම දවසක බර්ටොලිනී මෙනවියට අකීකරු නොවෙමි." කියන වාක්‍යය 3000 වාරයක් ලියන්නට. කරුණාකර හෙට උදයේ පන්තිය ආරම්භ වන වෙලාව වන විට එය සම්පූර්ණ කර තිබෙන බවට වගබලා ගන්න.
විශ්වාසී,
බර්ටොලිනී මෙනවිය
* * *
හිතවත් මකියවෙල්ලි මහත්මියනි,
මා සිතන විදියට මකියවෙල්ලි මහත්මිය, මා ඔබේ පුත්‍රයා අවතක්සේරු කළා. එක කාරණයක් පැහැදිළිවම කිව හැකියි. සත්තකින්ම ඔහුට දේශපාලන විද්‍යාව සඳහා 'ඒ' සාමාර්ථයක් හිමිවිය යුතුයි. පාසල හත්වන ශ්‍රේණිය තෙක් ඒ විෂය උගන්වන්න ආරම්භ කරන්නේ නැහැ. ඉගැන්වීමෙන් ඈත්ව සිටීමට ලැබුන අවස්ථාව මම සතුටින් ගතකරනවා. එසේ වුවත් එය නැති අඩුවත් මට දැනෙන බවත් කියන්න ඕනෑ. වැඩියෙන්ම පන්තියේ දරුවන් තමයි මතක් වෙන්නේ. මා වෙනුවට තෝරාගත් පුද්ගලයා පිළිබඳව මගේ ඇති බලවත් විරෝධය ඔබට දන්වා සිටින්නට කැමතියි. සොලොස්සෝ මහතා පාසල බලාගන්නටත් එහි පවිත්‍රතා කටයුතු කරන්නටත් සිටින පුද්ගලයා. ඉගැන්වීම පිළිබඳව ඔහු කිසිම දෙයක් දන්නෙ නෑ. මා දන්නවා සොලොස්සෝ මහතා ඔබේ පුතා සමීපව ආශ්‍රය කරන බව. ඒත් ඔහු එතරම් හොඳ පුද්ගලයෙකු නොවෙයි. කුමන ආකාරයක හෝ ඉගැන්වීම් ක්‍රියාවලියක් පන්තිකාමරය තුළ සිදුකරන්නේ කෙසේ දැයි මට නම් සිතාගැනීමට අපහසුයි. කරුණාකර ඔබේ දරුවාට මා මේ සමග එවා ඇති ගෙදර හැදූ විස්කෝතු රසවිඳින්න කියන්න. මා ගැන විදුහල්පති කැපිටනීගේ සිත තුළ හොඳ ආකල්පයක් ඇතිවන ලෙස ඔහු සමග කතාකරන මෙන් නිකලෝට කියා සිටින්නේ නම් ඒ සම්බන්ධව මා ඔබට අතිශයින්ම කෘතඥ වෙනවා.
අතිශය ගෞරවයෙන්,
බර්ටොලිනී මෙනවිය
පීටර් ෂෝෆ් (Peter Schooff)
දේදුන්න අතිරේකයේ කෙටිකතා පිටුව සංස්කරණය කරන කසුන් සමරතුංගට මගේ කෘතඥතාව
No comments:
Post a Comment