රජකාලේ රසකතා

 


ලෝකය පුරාම පෙර රජවරුන් රජ කළ සමයේ ද අද මෙන්ම රජුගේ රාජ සභාවේ කවටයකු සිටි බව ප්‍රකට ය. මේ කාලයේ මෙන්ම ඒ කාලයේ ද කවටයාගේ රාජකාරිය වූයේ රජතුමා සතුටින් තැබීම ය. මෙම කාර්යය සඳහා කෙරුනු අකට විකට වලදී සියුම් උපහාසය තුලින් රජතුමා පවා විවේචනයට ලක් කරන්නට ඔහු පසුබට නොවුන බව ද  එවන් අවස්ථාවලදී රජු කෝපයට පත් නොවුන බව ද එම යුගවලට අයත් ජන ප්‍රවාද පිරික්සීමෙන් පෙනී යයි. එසේම අදට වඩා හොඳින් එවකට සිටි කවටයින් එම කාර්යය කළ බව ද ඒ කතා වලට සවන් දීමේදී පෙනී යයි. 

එම සියුම් උපහාස රසය නිසාම එවන් චරිත ජන ප්‍රවාද අතරට එක්වී ජනයා අතින් තව දුරටත් ඔප මට්ටමි වී ජන සමාජයට රසය බෙදමින් අද දක්වාම පැවත එයි. ලංකාවේ නම් ජනප්‍රියම කවටයා අන්දරේ ය. හැමෝම රස විඳ ඇති නස්රුද්දීන්ගේ කතා තවත් උදාහරණයකි. මෙසේ බිහිවී ලෝකයේ විිවිධ රටවලින් අසන්නට ලැබෙන සමහරක් කතන්දර එකිනෙකට බෙහෙවින් සමාන විම ද තවත් අපූරුවෙකි.  ඉන්දියාවෙන් ද මෙවන් කවටයින් ගැන අසන්නට ලැබේ.එයින් එක් ප්‍රකට චරිතයක් නම් තුන්වන මෝගල් අධිරාජයා වූ අක්බාර් රජුගේ රාජසභාවේ සිටි රාජා බිර්බල් ය.(මෙම නාමය අක්බාර් රජු විසින් පිරිනමන ලද ගෞරව නාමයකි. එය නිර්භිත හදවත, ප්‍රඥාවන්තයා යන අරුත් දෙන බව කියවේ.)  1528 ඉපදුනු ඔහු 1586 දී කැරැල්ලක් මැඩ පැවැත්වීම සඳහා හමුදා කණ්ඩායමක් මෙහෙය වූ බව ද එහිදී ඔහු කැරලිකරුවන් සැඟව සිට එල්ල කළ ප්‍රහාරයකින් මියගිය බව ද සඳහන් වෙනවා. ඔහු හුදෙක් විහිලුකාරයෙක් පමණක්ම නොවන බව මෙයින් පැහැදිළි වෙනවා. එමෙන්ම ඉන්දියාවේ ඉතිහාසය පිළිබඳ තතු දත් අය පවසන්නේ මෝගල් රාජසභාව දැඩි විනය නීති යටතේ පාලනය වූ ස්ථානයක් බවත් එහිදී බිර්බල් වැන්නෙකුගේ කටකාර විහිළුවලට රජුගෙන් ඉඩක් ලැබෙන්නට ඇතැයි සිතිය නොහැකි බවත් ය. කෙසේ වුවද  අපේ රටේ අන්දරේ ගැන මෙන්ම ඔහු වටා ද බොහෝ ජනකතා ගෙතී ඇත. මෙවායින් සමහරක් සත්‍ය වන්නට ඉඩ ඇති අතර වැඩි හරියක් ජනතාව අතරම පැවති ජනකතා ය. මෙවන් කතා එකතු කොට අක්බාර් හා බිර්බල් නමින් ඉන්දියානු ලේඛිකා මොනීෂා මුකුන්දන් විසින් පළකර ඇති ළමා කතන්දර පොතකින් උපුටා ගත් කතාවකි, මේ.

                                                           බිර්බල් මුණගැහුන හැටි

මෝගල් අධිරාජයා හරිම ආස කරපු දෙයක් තමයි දඩයමේ යාම. කුඩා කාලයේ පවා ගුරුවරුන් හා පාඩම් වැඩ මගෑරලා අශ්වයින් පිටේ ගිහින් දඩයම් කරන්න ගිය වාර අනන්තයි. ලොකු වෙලා වැඩිහිටියෙක් උනාම ඔහුට වඩා දක්ෂ අසරුවෙක්වත් නිර්භීත දඩයක්කාරයෙක්වත් මුළු රාජසභාවෙම හිටියෙ නෑ. එක දවසක් රජතුමත් හේවායන් කිහිප දෙනෙකුත් කොටියෙක් පස්සෙ එළවගෙන යද්දි කොයි තරම් වේගයෙන් ගියාද කියනවනම් අනෙක් අතවැසියන් පිරිස මග හැරුනා. අග නගරය උන අග්‍රාවලින් හුඟක් ඈතට ගිහින් හොඳටම හවස් උනාම තමා තේරුනේ තමන් අතරමං වෙලා කියලා. ඔවුන් හිමීට, හිමීට ඉදිරියට ගියා. රස්නෙ ඉවසන්න බැරි තරම්, දූවිලි ඇඟ පුරාම, හොඳටම තෙහෙට්ටුයි. මෙහෙම යනකොට පාරවල් තුනක් මුණගැහෙන තුංමං හන්දියකට ලඟා උනා. "ඇති යංතං." රජතුමාට ඉබේටම කියවුනා. තමන්ගෙ අතවැසි පිරිස දෙසට හැරුන අධිරාජයා, "කොයි පාරෙද අපි යන්නෙ? අග්‍රාවට යන්නෙ කොයි පාර ද?" කියලා ඇහුවා. 

පාරවල් තුනම එක වගෙයි පෙනුනෙ. කොයි පාර ද අග්‍රාවලට කියලා හිතාගන්න බෑ. මිනිස්සු එකිනෙකාගෙ මුණ දිහා බැලුවා. ආයෙත් පාර දිහා බැලුවා. අශ්වයින්ගෙ කුර වලින් ඇවිස්සුන දූවිලි දිහා බැලුවා. කවුරුවත් වචනයක්වත් කතා කරේ නෑ. 

එතකොටම එක පාරක් දිගේ තරුණයෙකු එනවා පෙනුනා. සතුටට පත් වූ අධිරාජයාගේ අතවැසි පිරිස තරුණයාට කතා කරලා ඉදිරියට එන්න අණකළා.  තරුණයා ඉදිරියට ආවේ වටිනා ඇඳුමින් සැරසී ඇස් ලොකු කරගෙන කුතුහලයෙන් බලා ඉන්න දඩයම්කරුවන් දිහා බලමින්. "ළමයා", අක්බාර් අධිරාජයා කතා කළා. "මේවගෙන් අග්‍රාවලට යන්නෙ කොයි පාරද?" ඔහු ඇසුවා. 

තරුණයාගේ මුහුණට සිනහවක් නැගුනා. "උතුමාණනි, හැමෝම දන්නවනෙ පාරවල්වලට කොහෙවත් යන්න බෑ කියලා. මේ පාර කොහොමද අග්‍රාවලට හරි වෙන කොහාට හරි යන්නෙ?" කියලා පිළිතුරු දුන්න ඔහු තමන්ගෙම විහිලුවට බකස් ගාලා හිනා උනා. 

හැමෝම නිශ්ශබ්ද උනා. අධිරාජයා ඇස් ලොකු කරලා තරුණයා දිහා බලා හිටියා. සොල්දාදුවෝ ඉහලට ගත්ත හුස්ම පහලට දැම්මෙ නෑ. අධිරාජයාගේ ඉක්මන් කෝපය ගැන ඔවුන් දැනගෙන හිටියා. කාටවත් වචනයක්වත් පිටකරන්න තරම් ශක්තියක් තිබ්බෙ නෑ.  එකපාරටම ඇතිඋන නිශ්ශබ්දතාවේ අනතුර ගැන නොතේරුන විදියට තරුණයා නවත්වන්නෙ නැතිවම කතා කළා. "ගමන් කරන්නෙ මිනිස්සුනෙ. පාරවල් නෙවෙයිනෙ, නැද්ද?" 

"නෑ නේන්නං!" හයියෙන් කියපු අධිරාජයා එක්වරම හිනා වෙන්න පටන් ගත්තා. සොල්දාදුවොත් බයෙන් බයෙන් වගේ හිනාවෙන්න පටන් ගත්තා. ඔවුන්ව ගානකටවත් ගත්තෙ නැති තරුණයාගෙ ඇස් කෙලින්ම  යොමු වෙලා තිබ්බෙ අධිරාජයා වෙතයි. "ඔබේ නම මොකක්ද?" අධිරාජයා තරුණයාගෙන් ඇසුවා. 

"මහේෂ් දාස්." පිළිතුරු දුන් තරුණයා  "උතුමාණනි, ඔබේ නම කුමක්ද?" ඇසුවා.

අධිරාජයා වටිනා මැණික් අල්ලපු ලොකු මුද්දක් තමන්ගේ අතින් ගලවලා අරන් ඉදිරියට නැමිලා තරුණයාට දුන්නා. 

"ඔබ කතා කරන්නේ හින්දුස්ථානයේ අධිරාජයා වන අක්බාර්ටයි. මහේෂ් දාස්, අපේ රාජ්‍ය සභාවට අවශ්‍ය ඔබ වගේ බය නැති තරුණ අය තමයි. මේ මුද්දත් අරගෙන එන්න. එවිට මට ඔබ මතක් වෙයි. දැන් අග්‍රාවලට යන්න අපි යන්න ඕනැ පාර පෙන්වන්න." 

මහේෂ් දාස් හිස නමා ආචාර කර අගනුවරට යන පාර පෙන්නුවා. අශ්වයා හරවා ගත්තු අධිරාජයා සොල්දාදුවන් ද සමග අසු පන්නාගෙන යන්න ගියා. පාරේ වංගුවකින් ඔවුන් නොපෙනී යන තුරුම මහේෂ් දාස් ඔවුන් දෙස බලා සිටියා. 

අවුරුදු කිහිපයක් ගත උනා. මහේෂ් දාස් තමන්ගේ අධ්‍යාපනය හමාර කළා. ඔහුට සිතුනා රාජසභාවට ගිහින් වාසනාව උරගා බලන්නට. අග්‍රාවට පැමිණි ඔහු පොහොසතුන්ගේ මහා මන්දිර පසුකරමින්  නගරයේ වීදි දිගේ  ඇවිද ගියා.  මුළු ජීවිතයම ගමේ ගතකරපු මහේෂ් දාස්ට මේ හැමදෙයක්ම හරි අමුතුයි. ඒත් මහේෂ් දාස් කියන්නෙ සාමාන්‍ය ගැමියෙක්මත් නෙමෙයි. ඔහු අධිරාජයාගේ මුද්ද දාගෙන ආපු රෙදි පසුම්බිය අතේ තියාගෙන වටපිට බැලුවා. යමුනා ගං ඉවුරෙ තිබුන හින්දුස්ථාන් අධිරාජයා වාසය කළ මහ විශාල බලකොටුවට ඔහු ළඟාවෙන කොට හවස්වෙලා තිබුනා. ආපස්සට නොයන, නිර්භීත තරුණයෙක් උනත් බලකොටුවෙ ශක්තිමත් දොරටුව ළඟට ගිය මහේෂ දාස්ට දැනුනෙ තමන් පුංචිම පුංචි කුරුමිට්ටෙක් වගෙයි. ලීයෙන් නිමවුන දැවැන්ත දොරටුව විවෘත කරල තිබුනා. වැදගත් පෙනුමෙන් යුතු මිනිසුන් ඉක්මන් ගමනින් ඇතුළටත් පිටතටත් යනවා එනවා පෙනුනා. හෙල්ල අතින් දරාගත්ත ශක්තිමත් පෙනුමින් යුත් ආරක්ෂක සෙබළු දෙදෙනෙක් දොරටුවෙන් පිටත සිටගෙන සිටියා. හොඳ හුස්මක් අරගෙන හිතට ධෛර්යය ගත්ත මහේෂ් දාස් එක් සෙබලෙක් ළඟට කිට්ටු උනා. "මම ආවේ අධිරාජයා මුණගැහෙන්න. එතුමා මට ආරාධනා කළා රාජසභාවට එන්න කියලා." ඔහු කිව්වා. 

"ආ, ඇත්තද?" තරුණයාගේ දූවිලි වැකුන පා දෙකත් චාම් කපු ඇඳුමත් දිහා බලපු හේවායා කිව්වා.  "රජතුමා තමුසෙට ජනහමුවට ආරාධනා කළාද නැත්නම් උසස් නිලධාරීන් මුණගැහෙන රාජ්‍ය සභාවට ආරාධනා කළාද?" එතැන පසුකර යන කිහිපදෙනෙක් ගැමි තරුණයා ලජ්ජාවට පත්වෙන හැටි බලලා සිනාසුනා.

 "සමහර විට වෙන්න පුළුවන්." හිතට බයක් දැනුනත් ඒ බව නොපෙන්වා ඔහු ඉදිරියට පැමිණ පිළිතුරු දුන්නා. 

"මා ළඟ තියනවා එතුමා මට දුන්න මුද්ද මා කියන දේ ඔප්පු කරන්න." ඔහු පසුම්බියෙන් අක්බාර් අධිරාජයාගෙන් ලැබුන අලංකාර ලෙස කැටයම් කරපු මුද්ද එළියට ගත්තා. ආ! ආරක්ෂක භටයා අඩියක් පස්සට ගත්තා. 

"මේක නම් සාමාන්‍ය මුද්දක් නෙමෙයි. මේ තරුණයාට ඇතුළට එන්න ඉඩ දෙන එක නුවනට හුරුයි." එතැනින් යමින් සිටි දැනඋගත් පුද්ගලයෙක් කිව්වා. 

"හොඳයි" අහිංසකයෙකු පීඩාවට පත්කරලා සතුටක් ලබන්න සූදානම් වූ ආරක්ෂක භටයා බලාපොරොත්තු කඩ වූ ස්වභාවයෙන් කතා කළා. 

"මම ඔබට ඇතුළට යන්න දෙන්නම් එක කොන්දේසියක් උඩ. ඔබ අධිරාජයා බැහැදැක්කම ඔබට ස්ථිර වශයෙන්ම තෑගි ලැබෙනවා. අධිරාජයාගෙන් ලැබෙන දෙයින් බාගයක් මට දෙන්න දිව්රලා පොරොන්දු වෙනව නම් ඇතුල්වෙන්න ඉඩ දෙනවා." 

වටේට රැස්වෙලා මේ සිද්ධ්ය දිහා බලාගෙන හිටපු මිනිස්සු එකිනෙකාගෙ මූණ බලාගෙන මුණු මුණු ගාන්න උනා. ආරක්ෂක භටයාගේ කෑදරකම දැනගෙන හිටපු මේ අය බලාගෙන හිටියේ දැන් තරුණයා කොයි විදිහට මෙකට මුහුණ දෙයි ද කියලා. ඒත් ඒ හැමෝම පුදුමයට පත් කරමින් මහේෂ් දාස් එක්වරම එකඟ උනා කිසිම විරුද්ධත්වයක් පෙන්වන්නෙ නැතිව. ආරක්ෂක භටයා නැවතත් කතා කළා, හිමීට උනත් තර්ජනය කරන විදිහට. "අමතක කරන්න එපා.එහෙම උනොත් තමුසෙට මම යහතින් යන්න තියන්නෑ." 

"නෑ, මම අමතක කරන්නෙ නෑ." හිස වනා පිළිතුරු දුන් මහේෂ් දාස් බලකොටුවට ඇතුළු උනා. අධිරාජයා ජනතාව මුණගැසෙන ශාලාවේ අසුන්ගෙන සිටියා. බිත්ති මත වූ කැටයමි ද බිම අතුරා තිබූ අලංකාර බුමුතුරුණු ද පහන් එළියෙන් ආලෝකමත්ව තිබුණා. දැවැන්ත කුළුණු මත ඉදිව තිබූ ශාලාව ඉතා අලංකාර ලෙස වියූ වටිනා ඇඳුම්වලින් සැරසුන මැති, ඇමති, ප්‍රභූවරුන්ගෙන් පිරී තිබුණා. එහෙත් මහේෂ් දාස්ගේ දෑස් යොමු උනේ ශාලාවේ ඈත කෙළවර පීඨිකාවක් මත ගාම්භීර ලෙස වාඩිවී සිටි අධිරාජයා වෙතටයි. හිස නමා ආචාර කරමින් ඔහු සිංහාසනය දිසාවට පා නැගුවා. රාජසභාවේ සිටි ප්‍රභූවරු විශ්මයට පත්ව එකිනෙකා සමග රහස් හඬින් කතා කරන්න පටන් ගත්තා. "මේ කවුරු වෙන්න පුළුවන් ද?" ඒත් අක්බාර් අධිරාජයා ඒ මොහොතේම හිස ඔසවා බැලුවා. ඔහු එක්වරම තරුණයා හඳුනාගෙන ඔහුට ඉදිරියට එන ලෙස කියා සිටියා. "මහේෂ් දාස්, මට ඔබ මතකයි. ඔබේ පැමිණීම ගැන මා සතුටට පත් වෙනවා. ඔබේ සිතට එන ඕනෑම දෙයක් ඉල්ලා සිටින්න. එය ඔබට ලැබෙනු ඇති."  

"අප මහරජතුමාණන් අතිශයින්ම කාරුණිකයි." මහේෂ් දාස් පිළිතුරු දුන්නා. "ඔබතුමාණන් සතුටු නම් මගේ එකම ආශාව නම් කස පහර පණහක් ලබාගැනීමයි." "පිස්සු! කොල්ලට නම් පිස්සු!" රැස්ව සිටි පිරිස එකිනෙකාට කොඳුරාගත්තා. එහෙත් කෙලින් බලන, දීප්තිමත් ඇස් දෙකක් හිමි මේ තරුණයා ගැන අධිරාජයා පැහැදීමකින් හිටියේ. "ඔබේ ඉල්ලීම ඉටුකිරීමට පෙර ඔබ අපට පැවසිය යුතුයි මෙවැනි අරුම පුදුම ත්‍යාගයක් ඔබට අවශ්‍ය උනේ ඇයි කියලා." 

තවත් වරක් හිස නමා ආචාර කල මහේෂ් දාස් මෙසේ පැවසුවා. "මහරජතුමාණන්ගේ බලකොටුව මුර කරන ආරක්ෂක භටයා මට ඇතුල්වීමට අවසර දුන්නේ මට ලැබෙන ත්‍යාග වලින් බාගයක් ඔහුට දෙන පොරොන්දුව පිටයි. මා සූදානම් කසපහර විසිපහක් ලබාගන්නට. ඉතිරි විසිපහ මා ආරක්ෂක භටයාට ලබාදෙනවා." 

මෙය ඇසූ අක්බාර් රජු බෙහෙවින් කෝපයට පත්උනා. "කෑදර, අනුකම්පාවක් නැති ආරක්ෂකයෙක් විසින් අපේ ජනයා වැළැක්විය යුතු ද? ඒ තක්කඩියා වහාම මා වෙත කැඳවනු." ඔහු ගිගුරුවා. 

කසපහර පණහේ සම්පූර්ණ ත්‍යාගයම ආරක්ෂක භටයාට ලැබුනා. ඔහුු නම් නැවත කවදාවත් අධිරාජයා බැහැදැකීමට පැමිණි අසරණ මිනිසුන්ට හිරිහැර කිරීමට පෙළඹුනේ නෑ. 

මහේෂ් දාස්ට රාජසභාවේ තනතුරක් හිමි උනා. ඔහුට අවශ්‍ය සියළු පහසුකම් ද ලැබුනා. "අප ඔබට රාජා බිර්බල් යන ගරු නාමය මෙතැන් සිට පිරිනමනවා." අධිරාජයා ප්‍රකාශයට පත්කළා. "මින් ඉදිරියට ඔබට අප සමීපයෙහි සිට අප විනෝදමත් කිරීමටත් අපට අවශ්‍ය උපදෙස් දිමටත් පුළුවන්."   

    

    

9 comments:

  1. ලස්සන කතාවක්. 💚

    ReplyDelete
  2. ඔහුට රාජසභාවේ විශාල බලයක් තිබුණ. සිටුතනතුරකුත් ලැබිල තිබුනද කොහෙද.

    ReplyDelete
  3. කතාව අහල තිබුනා ඉතා කෙටියෙන් අවසන් කොටස පමණක්. ලස්සනට් මුළු විස්තරයම ලියා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අගය කිරීමට.

      Delete
  4. බිර්බල් කියන්නෙ වංග ඌරුවට, "වීරබල" කියන තේරුමද දන්නෑ?

    පට්ට කතාව, ඒ් වගේම පට්ට ලිවීම. විස්තරාත්මකයි... රසවත්

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ විවිධ භාෂාවලින් මෙම වචනයට විවිධ අරුත් පෙන්වනවා. ඔහු දක්ෂ හමුදා නායකයෙක්, කවියෙක් වගේම ගායකයෙක් වශයෙන් ප්‍රකටයි.හින්දි භාෂාවෙන් නිර්භීත හදවත, උර්දු භාෂාවෙන් දක්ෂ චින්තකයා ආදී වශයෙන්. මෙය රජු විසින් දුන් ගෞරව නාමයක් ලෙසයි සැලකෙන්නේ.

      Delete
  5. https://theprint.in/pageturner/excerpt/when-birbal-died-something-broke-inside-akbar/409383/

    ReplyDelete
  6. ස්තූතියි. තොරතුරු විශාල ප්‍රමාණයක් ලැබුනා.ඉතාම කෙටියෙන් ඉදිරිපත් කරලා කතාවට මුල්තැන දුන්නා, නීරස වෙයි කියලා හිතලා.

    ReplyDelete