හෝඩි පොතින් රෙද්ද උස්සා පෙන්නීම

 



(cartoon movement වෙතින්)

ඒ යහපාලන ආණ්ඩුව රට පාලනය කළ සමයයි. කාටත් මතක ඇති ලෙස සමාජ මාධ්‍ය තුළින් රජය හා එහි තනතුරු දැරූවන් නිර්දය විවේචනයකට ලක් වෙමින් පැවතිණ. මගේ ගෞරවාදරයට ලක් වූ සම්මාන දිනූ ලේඛිකාවක් ද්වේශ සහගත, අසභ්‍ය යයි සම්මත භාෂා විලාසයට බෙහෙවින් ආසන්න වූ වචන භාවිත කරමින් රජය විවේචනය කරන සටහනක් තම ෆේස්බුක් ගිනුම තුළ හුවමාරු කරගෙන තිබිණ. එවන් භාෂා විලාසයකින් හෙබි විවේචනයක් පළකිරීම ඇය වන් අයෙකුට තරම් නොවන බව මා සඳහන් කළවිට ඇය එයට දැක්වූ ප්‍රතිචාරය වූයේ "ඔබ රනිල්ට ද සජිත්ට ද?" යනුවෙන් මගෙන් පෙරලා ප්‍රශ්න කිරීමයි. (ඇය එවකට උග්‍ර රාජපක්ෂවාදිනියක් වූවාය.)

මේ සටහනට ආසන්නතම හේතුව ලෙස සැලකිය හැකි සටහන් දෙකක් පසුගිය දා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ දක්නට ලැබිණ. එයින් එකක වත්මන් රජයේ නායකයෙකු 'පරයා' යන වචනයෙන් හඳුන්වා තිබිණ. එයට ප්‍රතිචාරයක් ලෙස එක් පුද්ගලයෙකු ඉලක්ක කර ද්වේෂ සහගත ලෙස කරන පහර දිමෙන් පලක් නොවන බව මා කළ සටහනට ලැබුන පිළිතුර වූයේ බඩගින්නෙන් පෙළෙන විට එවන් සදාචාරාත්මක දේ ගැන සිතීමට වෙලාවක් නැති බවත් වයස්ගත මා හට එය තේරුම් කර දීමට ගතකරන කාලය අපරාධයක් බවත් ය. එම ප්‍රතිචාරය මා හට දැක්වූයේ වෘත්තීය මට්ටමින් සමාජයේ ඉහලින් සිටින්නේ යයි සැලකිය හැකි කාන්තාවකි. අනෙක් සටහනින් බෞද්ධ ආගමික ව්‍යුහය නිර්දය ලෙස විවේචනයට ලක් කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු හැඳින්වීම සඳහා 'පිස්සා', 'කාලකණ්ණියා', 'සක්කිලියා' යන වදන් යොදාගෙන තිබිණ. එම සටහන තබා තිබුනේ උගත්, ඇසූපිරූ තැන් ඇති, බහුශ්‍රැත හිමිනමකි.

 මීට අමතරව මේ ලිපිය සකස් කිරීමෙහි යෙදී සිටින අතරතුර සිදුවූ සිදුවීමක් ද මෙහි සටහන් කිරීම වටී. මහාචාර්යවරයෙකු ද වන වෛද්‍යාචාර්යවරයෙක් ප්‍රකට දේශපාලකයෙකුට වෛද්‍ය ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කිරීම අගය කරමින් මගේ FB ම්තුරු ලැයිස්තුවේ මිතුරකු විසින් තබන ලද සටහනක් පිළිබඳව ඇතිවූ අදහස් හුවමාරුවේදී මගේ මතය වූයේ වෛද්‍යවරයෙකු ලෙස එසේ රෝගීන් වෙන්කර සැලකීම වැරදි බවයි. එහිදී ඔහු දැක්වූ අදහස් දෙකක් පහත දැක්වේ. 

1. මානවයෙකුට මානව දයාවෙන් සලකනව වගේම යක්ශයෙකුගෙ හිස කුඩු වෙන්න ගහන්නත් හැකියාව මිනිසෙකුට තිබිය යුතුයි.
මා අයිති වෙන්නෙ ඒ මිනුස් ඛාන්ඩයට.

2. ස්තුතියි ඔබට ..දේශපාලකයෙකු වෙනුවෙන් පෙනීසිටීම ගැන නොව අදහස් දැක්වීම ගැන. 

මින් පළමුවැන්නෙහි යක්ෂයා යනුවෙන් හැඳින්වෙන්නේ අමනුෂ්‍යයකු නොව මනුෂ්‍ය සමාජයට අහිතකර ලෙස හැසිරෙන තවත් මනුෂ්‍යයෙකු බව පැහැදිළි ය. දෙවැන්න ඔහු එම සංවාදය නිම කළ අයුරු දක්වයි.  ඉතා සංයමයෙන් කෘතඥතාපූර්වකව විවේචන ඉවසන බවක් පෙන්වමින් ලියැවී ඇති බවක් දිස් වුවද එහි යටිපෙළින් කියැවෙන අදහස ද කියවාගැනීම අපහසු නොවෙි.

 ඔබ යක්ෂයෙකු වැනි වූ දේශපාලකයෙකුගේ  වෙනුවෙන් පෙනී සිටී. 

වෛද්‍යවරයාගේ ක්‍රියාවෙහි සදාචාරාත්මක බව ප්‍රශ්න කිරීම එම ක්‍රියාවලියෙහි කොටසක් වූ දේශපාලකයාගේ පැත්තෙහි සිටගැනීම ලෙස ලඝු වෙයි. 

මේ උදාහරණ කිහිපයෙන්ම පෙනී යන්නේ සමාජයට හා රටට හානිකර යයි අපට හැඟෙන අය විවේචනයට හා ඔවුන්ට පහර ගැසීම සඳහා වෛරී හාෂාව යොදාගැනීමේ වරදක් නොමැති බව හා එසේ ඔවුන් ඇමතීම ඉතා සාධාරණය යන මතය සමාජයේ බොහෝ දෙනෙක් අතර මුල්බැසගෙන ඇති බව ය. එමෙන්ම මෙහි ඇති උත්ප්‍රාසය වන්නේ අප භාවිත කරන එම භාෂාවම පෙරලා අපට පිළිතුරු දෙන්නට යොදාගැනුන හොත් එය ආනන්තරිය පාප කර්මයක් කොට සැලකීමට ද අප පසුබට නොවීමයි. උගත්කම හෝ බහුශ්‍රැත බව එවන් අදහසක් දැරීමට බලපෑමක් නොකරන බව ද පෙනී යයි. එමෙන්ම කෙතරම් ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ගැන සංවේදී වූවත් තමා දරන මතයට විරුද්ධ මතයක් ඉදිරිපත් වූ සැනින් ඒ සංවේදී බව වාෂ්ප වී අනෙකාට ප්‍රතිවිරුද්ධ මතයක් දැරීමට ඇති අයිතිය ද අමතකව වෛරී භාෂාව යොදාගනිමින් පිළිතුරු සැපයීමට මෙන්ම එසේ අදහස් දක්වන්නා කුමක් හෝ පක්ෂයක නැත්නම් සමාජ කාණ්ඩයක ගොඩට තල්ලුකර පිළිවදන් දීමෙන් බිම දමා පෑගීමේ උපක්‍රමය ද නිවැරදි සටන් කලාවක් ලෙස සමාජගත වී ඇති බව ද පෙනී යයි. 

"නුඹ වැරදි නිසා මට කැමති ආකාරයට කැමති ආයුධයකින්  රිසි සේ නුඹට පහර දීමට මට අයිතියක් ඇත. එහෙත් නුඹ වැරදි නිසාත් මා නිවැරදි නිසාත් මා ගැන විවේචන ඉදිරිපත් කිරීමට නුඹට අයිතියක් නැති සේම එසේ කරන්නේ නම් මගේ මානව හිමිකම් සුරැකෙන සේ එසේ  කිරීමට වග බලා ගත යුතු ය."

 යනුවෙන් එම මතය සරල ලෙස ඉදිරිපත් කළ හැකිය. ඒ සමගම එවන් භාෂා භාවිතයකින් අරමුණු කෙරෙන්නේ කුමන කරුණක් ඉටුකර ගැනීම දැයි සලකා බැලීමේදී මගේ සිතට නැගෙන්නේ තමාගේ විවේචනයට ලක්වන පුද්ගලයාට රිදෙන්නට පහර ගැසුවා යයි තමාටම දැනෙන තෘප්තිය, සටහන කියවන අවශේෂ හිතවතුන්ගේ අගය කිරීම හා අනුමැතිය, අවමානයට භාජනය වන පුද්ගලයාට පක්ෂපාතිත්වය දක්වන අයට රිදුනා යයි දැනගත් විට දැනෙන තෘප්තිය හා ඔවුන්ගේ ප්‍රතිචාර වලට ඒ හා සමාන කර්කෂ භාෂාවෙන් පිළිතුරු දීමෙන් ලැබෙන සතුට, අඩු වශයෙන් එක් අයෙකු හෝ තමාගේ විවේචනය කියවීමෙන් තමා සිතන ආකාරයට සිතන්නට පෙළඹෙන්නට ඉඩ ඇති බවට වූ අනුමානයෙන් දැනෙන තෘප්තිය හා වැරැද්ද නිර්දය ලෙස විවේචනය කිරීමෙන් තමා අතින් ඉටු විය යුතු වගකීමක් ඉටු කළේය යන හැඟීම වැනි කරුණු ය. 

මේ හැරෙන්නට ප්‍රහාරයට ලක්වන පුද්ගලයාගේ තනතුර හා සමාජ තත්ත්වය ඉහල යන්නට යන්නට ඔහු හෝ ඇය මෙය කියවීමට ඇති ඉඩකඩ බෙහෙවින් අඩු නිසා එවැන්නක් බලාපොරොත්තු වේ යයි සිතිය නොහැකිය. කෙසේ වුවද මෙවන් වෛරී භාෂාවෙන් එල්ල කරන විවේචනයෙහි පළමු ගොදුර වන්නේ තමාම බව සිතන්නේ කී දෙනාද? එය එසේ වන්නේ කෙලෙසදැයි බැලීමට පහසුම ක්‍රමය වන්නේ මෑත භාගයේ පාලකයින්ට විරුද්ධව සමාජ මාධ්‍ය ජාල හා අනෙකුත් ජනමාධ්‍ය හසුරවන ලද ආකාරය හා ඉන් අරමුණු කරගත් බලාපොරොත්තු ඉටු වූ පසු බලය ලබා ගත්තවුන් මුහුණ දුන් ඉරණම හැදෑරීමයි.

යහපාලන රජයට විරුද්ධව එල්ල වූ  ප්‍රධාන විවේචන කිහිපයකි. එකක් නම් පොරොන්දු වූ පරිදි පෙර රජයේ දූෂිත දේශපාලකයින්ට විරුද්ධව නීතිමය පියවර නොගැනීමයි. මේ චෝදනාව එල්ල වූයේ එම රජය බලයට පත්කරන්නට මූලික වූ බලවේගයන්ගෙන්ම ය. ඒ හැරෙන්නට එම රජයට විරුද්ධ බලවේග විසින් එල්ල කරන ලද ප්‍රධාන චෝදනා වූයේ ඉස්ලාම් අන්තවාදයට ඉඩ දෙමින් මුස්ලිම් ව්‍යාප්තවාදයට ඉඩ සලසා දීම, වලක්වාගත හැකිව තිබූ පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම, රටෙහි සම්පත් විදේශයනට විකුණා දැමීම හා මහ බැංකු වංචාවයි. මින් ඉස්ලාම් ව්‍යාප්තවාදයට සම්බන්ධ වූ චෝදනාව ඉතාමත් සංවිධානාත්මකව සමාජ මාධ්‍ය හරහා සමාජගත කෙරුනු අතර ඒ සඳහා එතරම්ම ආකර්ෂණීය වූ නිර්මාණ ද ප්‍රචාරය කෙරිණ. සාෆි නම් වූ වෛද්‍යවරයාට එල්ල කෙරුනු වඳ සැත්කම් චෝදනාව ප්‍රමුඛව වඳ කොත්තු, වඳ බ්‍රෙසියර යනාදී නොයෙකුත් චෝදනා එල්ල කරන ලද අතර ධාතූන් වහන්සේලා වැඩම කළ නාගරාජයා තරමටම ජනතා විශ්වාසයට ද ලක් විය. එනිසාම පාස්කු ප්‍රහාරය යහපාලන මිනීපෙට්ටියට ගසන ලද අවසාන ඇණය විය. මෙහි තීරණාත්මක බව කෙතෙක් ද යත් එහි සැලසුම ඊලඟට බලය ලබාගත් අයගේ සැලැස්මක් යන චෝදනාව අද ද රට පුරා රැව් දෙයි. 

මේ සියල්ල මතින් බලය ලබාගත් වත්මන් ජනාධිපති ප්‍රමුඛ පොහොට්ටු රජය ඉටු කරතැයි බහුතර ජනතාව බලාපොරොත්තු වූ ප්‍රධානම අරමුණු වූයේ දෙමළ සන්නද්ධ අරගලය මැඩලූ ආකාරයටම සමාජ මාධ්‍ය ජාලා තුළින් මවා දැක්වූ මුස්ලිම් ව්‍යාප්තවාදය මර්ධනය කිරීම හා දූෂණයෙන් තොර කාර්යක්ෂම දැඩි පාලනයක් ගෙනයාමයි. බලය ලබාගැනීමේ සටන් පාඨයක් ලෙස ආකර්ෂණීය වුවද මුස්ලිම් ප්‍රජාව මර්ධනයට ලක් කිරීම ප්‍රායෝගිකව කළහැකි දෙයක් නොවීය. මැතිවරණ දිනා ගැනීම සඳහා යොදාගත්තා මිස සැබැවින්ම එවැනි උවමනාවක් තිබුනේම නැත. තබන තබන පියවර රිව‘ස් කලා මිස සාධනීය ඉදිරි ගමනක් සිදුවූයේ ද නැත. වත්මනෙහි විඳීමට සිදුව ඇති ආර්ථික දුෂ්කරතා ජනතාව තුළ රජය කෙරෙහි පවත්නා අප්‍රසාදය උග්‍ර කිරීමට මෙන්ම රටේ අවශේෂ ජන කොටස් කෙරෙහි පවත්නා මර්ධනීය සිතුවිළි යටපත් කිරීමට හේතු වී ඇතත් ජන අප්‍රසාදයේ ඇරඹුම ප්‍රමුඛ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාලා හරහා සූක්ෂමව ගොඩනගන ලද සිංහල අභිමානය සුරැකීමේ බලාපොරොත්තු ඉටු නොකිරීම ය. ප්‍රතිඵලය වූයේ ජනාධිපති ප්‍රමුඛ රජය බලයට පත් කිරීම සඳහා පෙරමුණ ගත් බලවේගම පාලකයා ගෙදර යැවීම සඳහා කඳවුරු බැඳීමයි. තමන් පැවති රජය හෙලාදැකීම සඳහා සංවිධානාත්මකව  යොදාගත් කර්කශ, ජුගුප්සාජනක බසින්ම විවේචනයට ලක්වීමට වත්මන් පාලකයින්ට ද සිදුව තිබේ. එපමණක් නොව විරුද්ධවාදීන් මර්ධනය සඳහා යොදාගත් හා යොදාගතයුතු යැයි නිර්දේශ කරනු ලැබූ ආකාරයේ ප්‍රහාර වලට මුහුණ දීමට ද සිදුව තිබේ. එදා ප්‍රහාරයට ලක් වූ වින්දිතයින් එම ආයුධම අසුලාගෙන ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටිති. තමන්ට එල්ල වන ආයුධ නිර්මාණය වූයේ තමන් අතින්මය යන අවබෝධය ප්‍රහාරයට ලක්වන්නන්ට ඇත්දැයි සැක සහිත ය. එමෙන්ම තමන් මේ භාවිත කරමින් සිටින්නේ කලකට පෙර තමන් වෙත එල්ල කෙරුනු ආයුධම ය යන වැටහීම වත්මන් පාලකයිනට විරුද්ධව ද්වේශයේ අවිය ඔසවාගත් අයට  ඇත්ද යන වග ද සැක සහිත ය. එම නිසාමදෝ මේ දෙපාර්ශවයෙන් කිසිදු පාර්ශවයකටවත් අපුලක් දැනෙන්නේ ද නැත. වටහා ගතයුතු වන්නේ සටනෙහිදී භාවිත කළ ආයුධ අතහැරි පමණින් ඉන් ඇතිකරන ලද කම්පන තරංග නිසල වන්නේ නැති බවයි. ඒවා රාව ප්‍රතිරාව නංවමින් සමාජය දෙදරවා හරියි. 

මේ අපූරු සංග්‍රාමය නරඹන විට මතකයට නැගෙන්නේ අප පාසල් වියේ සිටියදී සිදු වූ සිදුවීමකි. එවකට අප සිටියේ උසස් පෙළ පංතියේ ය. විහිලු කියමන් වලට ප්‍රකට වූ අශෝක නම් මිතුරකු අප පංතියේ සිටියේය. දිනක් ඔහු පංතියට පිවිසියේ සිනා කටක් මුහුණට නංවාගෙන යමක් කීමේ නොඉවසිල්ලෙනි. කුමක් හෝ රසවත් දෙයක් අසන්නට ලැබෙන බව ඉව වැටී කොලු රැල ද ඔහු වටා රොක් විය. "මචං, ඊයේ මාර වැඩේනෙ උනේ. අපේ ගෙවල් ලඟ ගෙවල් දෙකක ගෑනු දෙන්නෙක් බැනගත්තා. බැනගෙන බැනගෙන ගිහිල්ලා එක ගෑනියෙක් රෙද්ද උස්සලා පෙන්නුවානෙ! මට මාසෙකට ඇති!" පංතියම සිනා සාගරයේ ගිලුනේ අන්තිමට කියූ වචන තුනට ය. මානවයාගේ බුද්ධියේ මහිමයෙන් බිහි වූ තාක්ෂණය භාවිත කරමින් අප කරන්නේ ද එයම නම්...

"...ඉන් අදහස් වන්නේ ඔබ එකිනෙකා හා  සමීපව බැඳුන සමාජයක සාමාජිකයෙකු නම් එම ප්‍රජාව විශ්වාස කරන අදහස් වලින් වෙනස් වූ මතයක් දැරීම ඔබ වැදගැම්මකට නැති නිකමෙකු, අපරාධකරුවෙකු හෝ දුෂ්ට ක්‍රියාවල නිරතවන්නෙකු ලෙස හංවඩු ගසනු ලැබීමේ අවදානමට ලක්වීමට හේතුවක් වන බව ය. මෙය නිසැකවම නිරුත්සාහිකව සිදුවන ක්‍රියාවළියකි. එවන් අවස්ථාවකට මුහුණ දෙන සෑම අයෙකුම පාහේ හැසිරෙන්නේ නිරුත්සාහිකවම ය.

එහෙත් එසේ නොකරන සුළුතරයක් නිරන්තරයෙන්ම සිටී. මට දැනෙන ලෙසට අපගේ අනාගතය, සියලුම දෙනාගේ අනාගතය රඳා පවතින්නේ එම සුළුතරය මත ය. අප කළයුත්තේ  මෙම සුළුතරය ශක්තිමත් කිරීමේ අවබෝධය අපගේ දරුවන්ට ලබාදීම මිස අප බොහෝ දෙනෙකු අද කරන පරිදි අවිඥානික ලෙස බහුතරය වන්දනාමාන කිරීම නොවේ."  (Doris Lessing in Prisons We Choose to Live Inside)


 

     

 




  






 

6 comments:

  1. එකඟයි ඔබ සමග. ඕකට මම කියන්නේ පොල්පොටිස්ම් කියල. අනිකාව මරා දැමීම වුනත් සාධාරණ යයි කීම.

    ReplyDelete
  2. හුම්... කෙනෙක් වැරදිකාරයෙක් වූ පලියටම අපට පුලුවනිද අපි සුදනන් සේ ඔහුට ජාතිය අමතන්න... ඒකම නේද එදා ජේසුතුමා මද්දලාවේදී අපට මතක් කරලා දුන්නෙ.

    ReplyDelete
  3. කන්න ඕනෙ වුනාම කබරගොයා, තලගොයා වීම. කාලීන ලිපියක්.🙏👌

    ReplyDelete
  4. So,Do we have to respect sri lanken politicians, after all these thousands of issues they given to us???

    ReplyDelete
  5. You are correct at whatever cost we should not lose our restraint. At times even I exceed this limit, perhaps out of anger .

    ReplyDelete