අතිගරු (නැති) බෑනා = මාමා වහන්සේ!

 

(cartoon movement වෙතින්)

මාමාත් බෑනාත් අතර බොහෝ වෙනස්කම් තිබෙන බව බහුතරයකගේ මතයයි. බෑනා මෙතෙක් සැලකුනේ උපායශීලිත්වය අතින් මාමාගේ අහලකින්වත් තියන්නට බැරි පරාජිත චරිතයක් ලෙසයි. බෑනා රටේ නායකයා වූ සැටිත් පත්වී ගත් පළමු පියවරත් නිසා දෙදෙනා අතර සිතා සිටි තරම් ලොකු වෙනසක් නැති බවටත් මතයක් දැන් දැන් මතුවීගෙන එන බව පෙනේ. කෙසේ වුවත් මේ මතක් කරන්නට සැරසෙන්නේ බෑනාට එපා වූ දෙයක් මාමාට ඕනෑ වූ සැටිය.

 

 1978 අගෝස්තුවේ නව ව්‍යවස්ථාවක් සම්මත කොට ලොව බලවත්ම රාජ්‍ය නායකයා බවට පත්වූ පසුව ලංකාවේ ජනමාධ්‍ය "මාමා" හැඳින්වීමට යොදාගත් ගරු නාමය වූයේ "අතිගරු උතුමාණන් වහන්සේ" යන ගෞරව නාමයයි. ජනමාධ්‍ය කීවාට අද මෙන් ගුවන් විදුලි නාලිකා, රූපවාහිනී නාලිකා,  අන්තර්ජාල සමාජ මාධ්‍ය ජාලා එකල නොවීය. තිබුනේ ගුවන් විදුලියත් ලේක්හවුසියත් තවත් පුවත්පත් කිහිපයකුත් පමණි. මෙය ඔහුගේ උවමනාව මත රාජ්‍ය මාධ්‍ය ක්‍රියාවට නැගූ දෙයක් ද එසේත් නැතිනම් ගැතිකම පෙන්වා වාසි ලබා ගැනීමේ අන්තේවාසික ව්‍යාපෘතියක් දැයි පැහැදිළි නොවීය. කෙසේ වුවද රජයේ පාලනයට යටත් නොවූ අනෙකුත් පුවත්පත් හරහා නැගුන දැඩි විවේචන හා උපහාසාත්මක කියුම් කෙරුම් මැද රජයේ මාධ්‍ය ආයතන රාජ්‍ය නායකයා ගැන සඳහන් වන සෑම තැනකම මේ ගෞරවණීය යෙදුම නොනවත්වාම යොදාගැනීමට පසුබට නොවූයේ මාමා මුවින් නොබැන සියල්ල ඉවසා වදාළ නිසාය. එහෙත් හදිසියේම මේ සියල්ල වෙනස් කරන සිදුවීමක් ඉස්මතු විය. 

එකල රජයට විරුද්ධ වූ පුවත්පත් අතර කැපී පෙණුන පුවත්පතක් වූයේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ "ඇත්ත" පුවත්පතයි. එය කොමියුනිස්ට් නොවන විරුද්ධ පාක්ෂිකයන් අතර ද ජනප්‍රිය වූයේ මර්ධනයට බිය නොවී නොපැකිලව රජය විවේචනය කිරීමට ඉදිරිපත් වූ නිසාය. මා දන්නා පරිදි එකල පුවත්පතේ ප්‍රධාන කර්තෘ වූයේ ප්‍රවීණ පුවත්පත් කලාවේදී බී.ඒ. සිරිවර්ධන මහතා ය. "ඇත්ත" පුවත්පත මේ ගරු නාමයෙන් "වහන්සේ" කෑල්ල පමණක් භාවිතයට ගැනීමට පටන් ගත්තේය. මාමා පිළිබඳව පළ කෙරුනු සෑම පුවතකම මාමා හැඳින්වූයේ "වහන්සේ" ලෙසය. මෙම පදයෙන් අදහස් කරන්නේ අහවලා යයි කීමට කිසිදු ඇඟවීමක් නොතිබුන ද ඒ කතා කරන්නේ කවුරු ගැන දැයි හැමෝම දැන සිටියහ. මාමාට ඕනෑ වූ ගරු නාමයෙන්ම මාමා උපහාසයට ලක් කිරීම මාමාටත් අවශේෂ අන්තේවාසිකයන්ටත් සෑහෙන හිත් අමාරු හැදෙන්නට ඇති කාරණයක් වන්නට ඇති බව වැටහෙන්නේ මාමා හැඳින්වීමට යොදාගත් "අතිගරු උතුමාණන් වහන්සේ" ගරු නාමය හදිසියේම ගුවන්විදුලියෙන් හා ලේක්හවුස් පුවත්පත් වලින් අතුරුදන් වී "තුමා" පමණක් ඉතිරිවීම නිසාය. 

ඉතින් බෑනාට විරුද්ධව සිටින අය අවබෝධ කරගෙන සිටින කරුණක් වන්නේ බෑනා "ඕනෑ" කිව්වොත් එය "එපා" දෙයක් බවත් "එපා" කිව්වොත් එය "ඕනෑ" දෙයක් බවත් ය. ඒ නිසා "අතිගරු" තහනම් කරන විට අනිත් ඔක්කොම අතහැර බෑනා හැඳින්වීමට වඩාත් සුදුසු වන්නේ "අතිගරු" යයි සිතා ඒ නාමයෙන්ම බෑනා බෞතීස්ම කළහොත් එහි ද පුදුමයක් නැත්තේය. 

 

   

3 comments:

  1. බෑනටත් අතිගරු...... පාවිච්චි කොරන්ට වෙනව එහෙනම් ඉතීම් 😂

    ReplyDelete
  2. අතිගරු රනිල් ඇණ ගනීද

    ReplyDelete
  3. හඩ්ඩා(හඩ්සන්) නේද මුලින්ම අති ගරු උතුමාණන් වහන්සේ කියන එක ගූ විදුලියෙන් කිව්වේ..

    ReplyDelete