අරක්කු මිල දී ගැනීමට ලොල් වූ අය තැබෑරුම අසල පාන්දර සිට පෙළගැසී සිටියේ හැතැප්ම බාගෙටත් වඩා ඈත සිට නොසන්සුන් ගතියෙනි. මාසේ පළමුවෙනි දා මේ අරක්කු පෝලිම දැකීමට කාටත් හැකි විය. වැලිගම, තිස්ස, මාතර ආදී මුහුදුබඩ නගරවලට හා හිනිදුම, උඩුගම වැනි පිටිසර පෙදෙස්වලට ද උනවටුන තැබෑරුමෙන් අරක්කු තොග ගණනේ හොර රහසින් ගෙන ගියේ එහි වටිනාකමට වඩා දෙගුණයකට හොර පොළේ දී විකිණීමට බව නිලධාරීන් කවුරුත් දැන සිටියෝය.
හොර අරක්කු ජාවාරම්කාරයෝ ඔවුන්ගේ මැරවර සහචරයෝ පෝලිමේ නවත්වා බෝතල් දෙක බැගින් තැබෑරුමෙන් මිළදී ගෙන එකතු කළේ කළුකඩේට යැවීමට බව නොරහසකි. එම නිසා නිලධාරීන්ට මුහුණ පෑමට සිදුවූයේ ඉමහත් කරදරයකටය. අරක්කු බෙදා හැරි දවසේ අවට පෙදෙස්වලට හොරෙන් අරක්කු ගෙන ගිය අවිශ්වාස රථ සෝදිසි කිරීමට සිදු විය. මේ හොර ජාවාරම සරුවට කළේ එක් කූට වෙළෙන්දෙකි. ඔහු ධනවතෙකි. එමෙන්ම මැරවරයෙකි. ඔහුගේ හිතවත් පක්ෂපාත තිස්දෙනෙකු පමණ සහචරයෝ පෝලිමේ නවත්වා බෝතල් හැට හැත්තෑවක් එකතු කර ඒවා ඔහුගේ හොර පොලට යැව්වේය.
වරක් මම තැබෑරුමෙන් අරක්කු බෙදා හරින දවසක කොග්ගල යුධ කඳවුර අසල අවිශ්වාස රථවාහන සෝදිසි කිරීමට තවත් නිලධාරීන් කීපදෙනෙකු සමග මුර සේවයේ සිටියෙමි. එදින මෝටර් රථ හා බරකරත්ත කීපයක්ම අසාර්ථක ලෙස සෝදිසි කළෙමි. උදේ දහයට පමණ මම පුද්ගලික මෝටර් රථයක් නතර කෙළෙමි. ඛේදයකි! මම එය නතර කළේ මිනියක් රැගෙන ගිය බව නොදැනය. එහි ඇතුලේ තබා තිබුණේ මිනී පෙට්ටියකි. ඉදිරිපිට අසුනේ වාඩි වී සිටියේ යුරෝපීය ඇඳුමෙන් සැරසුන දුක්මුසු වයසක මහත්මයෙකි. පසුපස අසුනේ හඬා වැළපෙමින් සිටියේ තලතුනා වයසැති ගෑනු කෙනෙකි.
"අනේ මහත්මයා, මට වෙච්ච දේ! ඇස් දෙක වාගේ මට හිටියේ එකම එක පුතයි. අනේ මගේ රත්තරන් පුතා. නුඹ නිවන් දැකපන්." කියමින් ඒ ස්ත්‍රීය විලාප කියන්ට වූවාය. මගේ හිත පපුව ද උණු වී ගියේය. ඇත්තෙන්ම මම හිත පතුලෙන්ම ශෝක වීමි. මම නිල ඇඳුමෙන් සිටි නිසා චාරිත්‍ර ලෙසට සීරුවෙන් සිට අත ඔසවා ආචාර කළෙමි. මෝටර් රථය සෝදිසි නොකර යන්ට ඉඩ දුනිමි.
පුදුමයකි! මිනිට්ටු පහලොවක් වත් ගත වූයේ නැහැ. තැබෑරුම අසල ඔත්තු බැලීමට නවත්වා සිටි මගේ ඔත්තුකරු හදිසියේම හති දාමින් පැමිණ ඇසුවේ "සර්, දැන් ටිකකට ඉස්සර වෙලා මිනී පෙට්ටියක් රැගෙන කාර් එකක් ආවා නේද? ඒ මිනී පෙට්ටියේ තිබුණේ මිනියක් නොව අරක්කු බෝතල් තිහක්." කියාය. මම ඇත්ත වශයෙන්ම රැවටුනෙමි. මායාවකට මුළා වීමි. මිනී පෙට්ටියේ අරක්කු තිබේ යයි කියා හීනෙන්වත් නො සිතුවෙමි. සිතුවේ එකකි, සිදු වූයේ වෙනෙකකි. අරක්කු තොගය අල්ලා ගැනීමට නොහැකි වූ නිසා මම කණගාටු වුනෙමි. එනමුත් මම සුරාබදු නිලධාරී ඇඳුමෙන්ම අරක්කු බෝතල් තිහට සිරුවෙන් සිට ආචාර කළ නිසා ලැජ්ජා වීමි.
1942 දී මම රාජකාරිය කළේ තෙල්දෙනියේය. එහි සිට මහියංගනය, මිනිපේ, අළුත් නුවර සහ බින්තැන්න ආදී පිටිසර පෙදෙස්වල ද රාජකාරිය කිරීමට නියමව තිබුනේය. වර්ෂයකට වතාවක් මහියංගනයේ පැවැත්වෙන පොසොන් උත්සවයට සුරාබදු නිලධාරීන්ට මෙන්ම පොලිස් කිලධාරීන්ට ද එහි යෑමට සිදු විය. වරක් සුරා බදු නිලධාරීන් වූ අප කිපදෙනෙක් තෙල්දෙනියේ පොලිසියේ එවකට සිටි සාජන්ට් රාළහාමිත් සමග ජීප් රථයකින් මහියංගනයේ උත්සවයට ගියෙමු. ඒ කාලයේ බින්තැන්නේ සිට මහියංගනයට හොරෙන් කංසා ගෙනගිය බව නොරහසකි.
අප ද මෙදින මහියංගනයට ගියේ මේ නිසාමය. එදා උදේ 10 ට පමණ මාඩුගොඩ නගරය අසල ඇති දහඅට වංගුවක දී පයින් එනවා දැක්කේ පාතදුම්බර එක්තරා ආරච්චි වසමක රාජකාරිය කළ වෙල් මුළාදෑනි මහතෙකි. ඔහු වැදගත් පවුලකට අයත් කෙනෙකි. වෙල් මුළාදෑනිකම අත්හැර සිටි බව අප දැන සිටියෙමු. ඔහුට කවුරුත් කීවේ නියම නම නොකියා වෙල් මුළාදෑනියා කියාය. ඔහු ඉහත කී ස්ථානයේ දී මුණ ගැසුන හැටියේම ජීප් රථය නතර කෙළේ ඔහු මහියංගනයේ උත්සවයට යනවා නම් අපත් සමග යන්ට පුළුවන් බව කීමටය.
"හා වෙල් මුළාදෑනි මහත්මයෝ, මොනවද ඔය කිහිල්ලේ හංගාගෙන යන්නේ? එනවද අපිත් එක්ක මහියංගනේ උත්සවයට යන්ට?" කියා සාජන්ට් රාළහාමි ඇසුවේ වෙල් මුළාදෑනියාගේ කිහිල්ල අස්සේ කම්බි ලේන්සුවකින් ඔතා තිබූ පාර්සලය දෙස බලමින් අවිශ්වාස පිට විහිළුවකට මෙනි.
"අනේ රාළහාමි, මට මොන මහියංගනේ උත්සව ද, මේකෙ කංසා රාත්තල් දෙකක් තියනවා, තෙල්දෙනියට අරන් ගිහින් විකුණන්ට කියා." වෙල් මුළාදෑනියා කීවේ ඔහුගේ හුරු පුරුදු සිනහවෙන් කවටකමකට මෙනි.
"එහෙම කියන්ට එපා, උන්නැහේ, ඔයිට වඩා ලොකු මුළාදෑනීන් දැන් කාලෙ කංසා විකුණනවා." කියා සාජන්ට් කීවේ අපේ ගමන ආරම්භ කරනවාත් සමගය. වෙල් මුළාදෑනියා තෙල්දෙනිය පැත්තට හැරී යන්ට ගියේය. එදිනම සවස අපි තෙල්දෙනියට ආපසු පැමිණි විට දැනගන්ට ලැබුනේ උදේ වරුවේ අපට මගදී සම්භ වූ වෙල් මුළාදෑනියා කඩ මන්ඩියේ කංසා ජාවාරම් කළ 'බලල් තම්බි' නැමති කෙනෙකුට කංසා රාත්තල් දෙකක් වික්කා කියාය. මමත් සාජන්ට් රාළහාමිත් කිසිවක් නොදොඩා මූණ බලාගත්තේ ලැජ්ජාමුසු මුහුණුවලිනි. "කපටියාගේ හැටි!" සිතා මම පුදුම වීමි.
1939 දී මම රාජකාරිය කළේ යාපනයේ එවකට සිටි පොන්නයියා නමැති සුරාබදු ස්ථානාධිපති මහතා යටතේය. දිනක් ඔහුට කන්කසන්තුරයෙන් ටැලිපෝනයෙන් ඔත්තුවක් ලැබුනේ එදිනම දවල් වරුවේ පුද්ගලික මෝටර් රථයකින් අබිං තොගයක් කොළඹට ගෙනියන්ට සූදානමෙන් සිටිනවා කියාය. මීට වඩා විස්තරයක් ඔහුට ලැබුනේ නැත. පොන්නයියා මහතා ඇතුළු අපි නිලධාරී කණ්ඩායමක් හැකි පමණ ඉක්මනින් චාවාකච්චේරියටත් එලිපන්ට්පාස් එකටත් අතර බස්රථ මාර්ගයට ගොස් සෝදිසියෙන් සිටියෙමු. අපේ කණ්ඩායම දෙකට බෙදී එක් නිලධාරී කණ්ඩායමක් කොළඹ පැත්තටත් අනිත් නිලධාරී කීපදෙනා මා භාරව චාවාකච්චේරිය දෙසටත් යාර පණහක පමණ අතර දුර ප්‍රමාණයක එකිනෙකාට පෙනෙන සේ සිටියෙමු.
මට නියම වූයේ කොළඹ දෙසට යන මෝටර් රථ නවත්වා අවිශ්වාස නම් ඒවා සෝදිසි කිරීමටය. අනිත් නිලධාරී කණ්ඩායම සූදානමින් මග බලා සිටියේ, මා යම් මෝටර් රථයක් නැවැත්වීමට සංඥාවක් දුන් විට, එය මගේ අණට කීකරු නොවී නොනවත්වාම ඉදිරියට ගියොත් මහ පාර හරහා ඇණ සවි කරන ලද යකඩ පැදුර දමා ඊට උඩින් එය යන්ට ඉඩ හැරීමටය. මෝටර් රථ කීපයක්ම නවත්වා මම සෝදිසි කළෙමි. දවල් එකට පමණ අප දෙසට කොළඹ බලා වේගයෙන් ආවේ අළුත් මර්සීඩීස් බෙන්ස් රථයකි. එය නතර කිරීමට මම අණ දුනිමි. එලෙසින්ම එය පාර මැදම නැවතුණි.
එම මෝටර් රථයේ සිටියේ රියැදුරා හැර පාදිලි කෙනෙක් පමණි. "ඔව්, ඔව්, ඉන්ස්පෙක්ටර්, නගින්ට නගින්ට මම කොළඹ යනවා. ඕනැ තැනකට මම ගිහින් දාන්නම්." කියා ඉංග්‍රීසියෙන් කීවේ රථයේ පිටුපස ආසනයේ සිටි මුහුණේ අලංකාර දිග සුදු රැවුලකින් යුත් ස්වාමි සිනහමුසු මුහුණින්ය.
"ස්වාමි, ක්ෂමා වෙන්ට, අපි මෙහි සිටින්නේ රාජකාරියකටයි. ඔබතුමාට යන්ට අවසර." කියා සිරිත් පරිදි දෙඅත් ඔසවා ආචාර කළෙමි. ස්වාමි ද හිස නමා ආචාර කර පිටත්ව ගියේය.
පැය බාගයකට පමණ පසු කෙනෙක් ඉතා වේගයෙන් මෝටර් බයිසිකලයකින් අප ළඟට පැමිණ නතර විය. ඔහු කිසිවෙක් නොව පොන්නයියා මහතාගේ ඔත්තුකරුය. ඔහු කලබල වී දෙමළෙන් කීවේ "අයියාර්, දැන් බෙන්ස් කාර් එකෙන් අබිනුත් රැගෙන ගියේ පාදිලි උන්නාන්සේ කෙනෙක් නොව හිට්ලර් කන්දසාමිගේ වෙස් වළා ගත් ගෝලයෙකි." කියාය. මෙම අවස්ථාවේදිත් මම අන්තිමටම රැවටුනෙමි. අනිත් නිලධාරී ද එසේ වූ බව කිව යුතු නොවේ.
අපි කපටි උපක්‍රමයකට මුළා වීමු. එය මනුෂ්‍ය ස්වභාවයක් යයි සිතා මම හිත හදා ගතිමි. කෙසේ වෙතත් මේ සිද්ධිය මට අදත් මතක් වූ විට ලැජ්ජා වූයේ හිට්ලර් කන්දසාමිගේ අබිං ගෙනගිය ගෝලයාට සුරාබදු නිල ඇඳුමෙන්ම සිට ආචාර කළ නිසාය.
විශ්‍රාම ලත් සුරාබදු පරීක්ෂක සුසිරි රඹුක්වැල්ලේ මහතා විසින් 1965 නොවැම්බර් 12 දා නවයුගය සඟරාවට ලියූ ලිපියකි.

No comments:
Post a Comment