රජකාලේ රසකතා

 


ලෝකය පුරාම පෙර රජවරුන් රජ කළ සමයේ ද අද මෙන්ම රජුගේ රාජ සභාවේ කවටයකු සිටි බව ප්‍රකට ය. මේ කාලයේ මෙන්ම ඒ කාලයේ ද කවටයාගේ රාජකාරිය වූයේ රජතුමා සතුටින් තැබීම ය. මෙම කාර්යය සඳහා කෙරුනු අකට විකට වලදී සියුම් උපහාසය තුලින් රජතුමා පවා විවේචනයට ලක් කරන්නට ඔහු පසුබට නොවුන බව ද  එවන් අවස්ථාවලදී රජු කෝපයට පත් නොවුන බව ද එම යුගවලට අයත් ජන ප්‍රවාද පිරික්සීමෙන් පෙනී යයි. එසේම අදට වඩා හොඳින් එවකට සිටි කවටයින් එම කාර්යය කළ බව ද ඒ කතා වලට සවන් දීමේදී පෙනී යයි. 

රේස් බුකියට ගිය ෆේස් බුකිය!

 

(cartoon movement වෙතින්)

වාසිතය බ්ලොග් අඩවිය කරන  ඩියොන් මිතිල ප්‍රනාන්දු ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පී මයිකල් ඇන්ජලෝ පිළිබඳව අපූරු ලිපියක් තම බ්ලොග් අඩවියේ පළ කර තිබිණ. එම තොරතුරු ගොනුකර ගැනීම පිණිස ඔහු සෑහෙන වෙහෙසක් දරන්නට ඇත.

ප්‍රියන්ත කුමාර, ඉම්රාන් ඛාන් හා vigilante

 

 


 

vigilante යන වචනය මා ඉගෙන ගන්නේ Westerns නමින් හැඳින්වෙන අමෙරිකාවේ ගොපළු වීරයන් ගැන වූ කතා කියවීමට හා චිත්‍රපට බැලීමට ඇබ්බැහි වූ පසුව ය. යම් ප්‍රදේශයක අපරාධ වැඩිවන විට නීතිය බාර නිලධරයා වන ෂෙරීෆ් ඊට නිසි පියවර නොගන්නා විට නීතිය තම අතට ගෙන වැරදිකරුවන්ට දඬුවම් දෙන සන්නද්ධ කණ්ඩායම් සඳහා එම වචනය යෙදින. ශබ්ද කෝෂය එම වචනය අර්ථ ගන්වන්නේ මෙසේ ය.
a person who tries in an unofficial way to prevent crime, or to catch and punish someone who has committed a crime, especially because they do not think that official organizations, such as the police, are controlling crime effectively. Vigilantes usually join together to form groups.
මේ වචනය ගැන යළි අවධානය යොමුවන්නේ පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් විසින් එරට දී අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්වන ශ්‍රී ලාංකිකයා පිළිබඳව නිකුත් කරන ට්විටර් පණිවුඩයේ එම ඝාතනය සිදුකිිරීමට හවුල් වූවන් හැඳින්වීමට එම වචනය භාවිත කිරීම නිසා ය.
අර්ථය එසේනම් ඔහු අදහස් කරන්නේ දඬුවමට භාජනය වූ තැනැත්තා වරදක් කර ඇති මුත් ඔහු දඬුවමට ලක්කල ආකාරය වැරදී කියන පණිවුඩය ද?
ඉස්ලාම් දහමට අපහාස කිරීම පකිස්තාන නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර එවන් නඩුවක සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු තම ජීවිතය පිළිබඳ ආශාව අත්හැර එසේ කළ යුතු ය.

නටවන වීණාව

 

මෙම කතාව තෝරා ගත්තේ ද මුණිදාස කුමාරතුංග මහතාගේ ශික්ෂා මාර්‍ගය පොත් මාලාවේ හතර වන පොතිනි. චාටුකාරයෝ සඳහා ලියූ හැඳින්වීමෙහි සඳහන් කරුණුවලට අමතරව මෙහි සඳහන් කළ යුතු වන්නේ අද ද අපි ජීවත්වන්නේ මෙහි එන මසුරලා, සිසිරාලා හා අධිකරණ නායකයින් විසින් පාලනය කරනු ලබන සමාජයක බවය. ගිනි පොළී කන මසුරෝ ඒ වස්තුවෙන් රිසි සේ රන්වන් කුරුල්ලන් රස විඳිති. වෙහෙස මහන්සියෙන් උඩට නගින සිසිරා ලා අනෙකුන් කටු අකුල්වලට ලා වීනා වයා නටවති. ඒ වීනා වාදනයටම නටන අධිකරණ නායකයෝ වීනා වයන්නන්ට ඕනෑ හැටියටම තීන්දු දෙති. අප ජීවත්වන වෙළඳපොල ආර්ථිකයේ හැටි සොබාව ද මෙසේම ය. 



සිසිරා බොහෝ කල් ගෙයක මෙහෙය කෙළේ ය, බර මෙහෙ කෙළේ ය, වෙහෙස නො බලා මෙහෙ කෙළේ ය, කෑම ඇඳීම පමණක් ම ලැබ මෙහෙ කෙළේ ය. හවුරුදු සයකට පසු ගෙ හිමියෝ සිසිරාට රන් දහසක් දී ඔහු නිදහස් කළ හ.

හා! සිසිරා ගේ ප්‍රීතිය! හේ නැටී ය. ගී කී ය, මහා සිනාසිණ, කුරුල්ලකු මෙන් පියා හඹන්නට ද තැත් කළ. නිදහස් බව සිසිරාට ද එ පමණ ප්‍රිය විය. මෙ සේ යන ඔහුට ඔබල වූ මිටි සිරුරු ඇති අසරණයෙක් සමු වූයේ ය.

'මට හිඟමනක් දෙන්න. මම ඔබට කැමැති වර තුනක් දෙමි.'

හඃ හඃ හා! මගෙන් හිඟමන් ඉල්ලන ඔබ යි මට වර දෙන්නේ! ඒ කවටකමින් කමෙක් නෑ, මෙන්න ඔබට මුදල්. මා ඉපැද මෙ තෙකට ලැබුනේ මෙ පමණ යි. ගන්න, ගන්න. හොඳට කන්න, හොඳට බොන්න. මටත් වඩා ප්‍රීත වෙන්න.

මෙ සේ කියා සිසිරා යන්නට හැරුනේ ය.

අසරණයා ඔහුට යන්නට නුදුන්නේ ය.

නෑ, නෑ. එ සේ යන්නට නොදෙමි. මා දිළිඳු මුදලිනු යි, වරයෙන් නො වේ. එක් වරයක් ඉල්ලා බලන්න.

මට නො වරදින තුවක්කුවක් දෙන්න.

ආශ්චර්‍යයෙකි! සැණෙකින් සිසිරා ගේ අතෙහි තුවක්කුවෙක් පහළ විය. සතුටට පත් සිසිරා නටවන වීණාවක් ඉල්ලී ය. එය ද සැණෙකින් පහළ විය. එය වයන කල නො නටා සිටිය හැක්කෙක් නැති. ඉක්බිති සිසිරා තමා ගේ ඉල්ලීමක් නො සිස් වන්නට ද වර ලබා-ගෙන, අද්භූත වූ අසරණයාට හිස නමා නැඟී ගියේ ය.

මඳක් දුර යන විට සිසිරා හඳුනන්නෙක් සමු විය. හේ තද මසුරෙකි. මුදල් ණයට දී අයුතු පොළී ගන්නෙකි. හේ ගසෙක උන් රන්වන් කුරුල්ලකු දෙස මහත් ආශාවෙන් බලා උන්නේ ය. සිසිරා ඔහුට කවටකමක් කරන්නට සිතා, කුමක් ද මේ බලා ඉන්නේ යි ඇසී ය.

අර රන්වන් කුරුල්ලා. මේ අතේ කිමෙක් ද?

නො වරදින තුවක්කුවක්.

හා! එසේ නම් අර කුරුල්ලා හෙළන්න.

සිසිරා තුවක්කුව එල්ල කළා පමණෙකි, කුරුල්ලා අසල කටු පඳුරට වැටුණේ ය. මසුරා වහා එයට බඩ ගෑයේ ය.

දැන් තමා අයුතු පොළී ගත්තාට දඬුවම් කරන්නට කාලය. මෙ සේ කියා සිසිරා වීණාව ගෙන වයන්නට වන්නේ ය. කුරුල්ලා ගැනුම තබා මසුරා කරන්නට වන්නේ අනෙකකි. කෙ බඳු නැටුමෙක් ද? බලවු! බලවු! මසුරා ගේ අත යන සැටි! පය යන සැටි! හිස නැමෙන සැටි! කඳ ඇඹරෙන සැටි! මසුරා කිසි නැටුමක් නො දන්නෙකි; එහෙත් සිසිරා එ බඳු හොඳ නැටුමක් කිසි කලෙක නුදුටුයේ ය. අභාග්‍යය නම් ඒ කටු පඳුරක් වීම යි. නටත් නටත්, මසුරා ගේ පිළි ඉරී-ගියේ ය. රවුළ සිඳී ගියේ ය, කෙස් අවුල් වී ගියේ ය, සම සීරී ගියේ ය, සර්‍වාංගයෙන් ලේ ගලන්නට වන. 'අහෝ, නැවැත් වුව මැනව, නැවැත්වුව මැනැව' යි මහ-හඬ නැගූව ද සිසිරාට ඒ නො ඇසෙයි. හේ වය යි. මසුරා නට යි.

බැරි තැන මසුරා, මුදල් පසුම්බිය දෙමැයි කියා වීණාව නවතන ලෙස ඇයැදියේ ය. සිසිරාට මුදලින් කම් නැති. එහෙත් අයුතු පොළී කොට ලත් මුදල් ගැනීම වරදෙකැයි නොසිතුනේ ය. එ හෙයින් හේ කැමැති ව වීණාව නැවැත්වී ය. මසුරා පඳුරින් මෑත් ව මුදල් පසුම්බිය දී, මම කටයුතු දනිමියි කියමින් නික්මුණේ ය. සිසිරා ද සිනා සෙමින් මුදල් පසුම්බිය ගෙන, කැමැති අතෙක ගියේ ය.

මසුරා ගියේ අධිකරණයට ය. හේ එහි මහ හඬින් හඬා තමා  ගේ නඩුව කී ය.

පින්වත් සාමි දරුවෙනි, ම ගේ පිළි බැලුව මැනැවි, ගතින් ගලන ලේ බැලුව මැනැවි. එක් සොරෙක් මට මේ ගැහැට කොට, ම ගේ මුදල් පසුම්බිය ද ගත. හේ දැන් මහ වත යෙමින් සිටියේ ය. වහා නියුක්තයන් යවා ඔහු ගත මැනැවි.

අධිකරණ නායකයෝ සිසිරා ගෙන් වූ හ. තතු විමැසූ හ. මට දුන් පසුම්බිය ය මා ගත්තේ ය යි කී සිසිරා ගේ බස් නො හදහා, ඔහු ජීව ශූලයෙහි හිඳුවන්නට නියම කළ හ. ඔබ හැම මා හුල හිඳුවන තැනට අව මැනැවැයි සිසිරා යැදියේ ය. අධිකරණ නායකයෝ මැනැවැයි ගිවිසිය හ.

වධකයෝ සිසිරා ගෙන, වධ බිමට ගියෝ ය. අධිකරණ නායකයෝ ද සපිරිවර ව ගිය හ. මසුරා ද සතුරා නසින හැටි බලමි යි ගියේ ම ය. ම ගේ වීණාව වයා මැරෙන්නට අවසර දුන මැනැවැ යි සිසිරා යැදියේ ය. මසුරා එපා, එපා ය යි මහ හඬ නඟතුදු, අධිකරණ නායකයෝ මැනැව යි කී හ. මා බඳුව, බඳුව යි මසුරා බැගෑ පත් ව යැදියේ ය. සියල්ලෝ ඔහු පිස්සකු කොට-ගත් හ.

සිසිරා වීණාව වයන්නට වන්නේ ය.

අධිකරණ නායකයෝ ද වධකයෝ ද මසුරා ඇතුළු සෙසූ සියල්ලෝ ද, පළමු කොට හිසින් තාලය බලන්නට වන් හ. දෙ වැනි ව, අත් නගන්නට හෙලන්නට වන් හ. ඉක්බිති පාද ඔසවන්නට වන් හ. කදිම නැටුමෙකි.කල් යත් යත් නැටුම වේගවත් ය. පැයක් පමණ නැටූ පසු සියල්ලන් ගේ ගතින් ඩා වැගිරෙන්නට විය. කටින් සුසුම් හඬ නික්මෙන්නට විය. නවත්වන්නට කියන බස සිසිරාට නොඇසේ. හෝරාවක් පමණ නටා, ඉතා වෙහෙස වූ අධිකරණ නායකයෝ, සිසිරාට කිසි දඬුවමක් නො කරන බව කියා වීණාව නැවැත් වූ හ. සිසිරා සත්‍ය ප්‍රවෘත්තිය කීයේ ය. අධිකරණ නායකයෝ මසුරා හුල හිඳුවා සිසිරා මිදූ හ.