විනිශ්චය - VII




 
                                                      පරිච්ඡේදය IV

                                                     දෙවෙනි කොටස

අපාචේ ජන්ක්ෂන් නම මේ ප්‍රදේශයට ලැබුනේ අපාචේ හා බ්ලූ යන ගංගා දෙක මුණගැසෙන තැන මෙතැන වීම හේතුවෙනි. මේ ගංගා දෙක එකට එක් වන්නේ දුම්රිය ස්ථානයට මදක් ඔබ්බෙනි. බ්ලූ ගංගාව උතුරු දෙසින් පැමිණ නගරය පසුකොට ගලාබසී. අපාචේ ගංගාව සැතපුම් පණහක් ඔබ්බෙන් පිහිටි රොකී කඳු මුදුන්වලින් පැන නැගී  බටහිරට ගලා යයි. අපාචේ ජන්ක්ෂන් සිට බටහිරට දිවෙන මාර්ගය අපාචේ ගඟ පසු කරන්නේ දුම්රිය පාර ද අසුවන සේ සැදුන පටු පාලමක් ඔස්සේ ය. පාර සහ දුම්රිය ස්ථානය අතර දැව දඬු හා පැරණි සිල්පර කොටන් යොදා තැනූ ගවගාල් සමූහයක් වෙයි. වර්ෂයේ මේ කාලය තුළ ගවයින් දෙසීයක් පමණ මේවායේ රඳවා තබන්නේ සැතපුම් දෙසීයක් පමණ දුරින් කඳුවැටියට එපිටින් පිහිටි ඩෙන්වර් ගවගාල් වෙත ගවයින් ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය මැදිරි ලැබෙන තෙක් ය. 

දුම්රිය මගෙන් අනෙක් පස, ගවගාල්වලට මදක් ඈතින්, ගං ඉවුරෙහි ඝනව වැඩුන කොට්න්වුඩ් හා විලෝ ගස් අතර අනවසර පදිංචිකරුවන්ගේ කඳවුරු බිම පිහිටා තිබිණ. ගවගාල් අතරින් රිංගමින් ඉදිරියට ඇදුන බක් රේල්පාර පසුකර පහතින් වූ ගං ඉවුරට බසින අඩිපාරක් ඔස්සේ අපිළිවෙලට සැදුනු කූඩාරම් සමූහය, තාරෂීට් හෙවිල්ලූ පැල්පත් හා අණ්ඩ දැමූ කැන්වස් වහලින් යුත් කරත්තවලින් සමන්විත වූ කඳවුරු බිම දෙසට ගමන් කළේය. 

ඔහු ඒ කරා ලඟාවන්නට පෙර ගැහැණු ළමයෙක් බාධාකොට ඔහු නැවැත්වූවාය. සුන්දර පෙනුමකින් යුක්ත වූ ඇය ජෙනී කාල්සන් ය. බක්ට පෙනුන ආකාරයට ඇයට වයස දහසයකට වඩා වැඩිවන්නට ඉඩක් නැත. හැඬීමෙන් ඇස් රතුවී තිබූ ඇයගේ මුහුණෙහි ගලා ගිය කඳුළු පහරවල සළකුණු දක්නට විය. අසරණ ලෙස දෙතොල් විවර කර මොහොතක් ගතවූ පසුව, "ෂෙරීෆ්, මට ටිකකට කතා කරන්න පුළුවන් ද?" යනුවෙන් ඇගේ මුවින් පිටවිය. 
"ඇත්තටම පුළුවන්." බක් හිස වැනීය. 
මේ තරම් දුරට පවා තවමත් ජේසන් හා ජෙස් ග්‍රියර් දෙදෙනා පෝරකය සාදද්දී නැගෙන මිටි පහරවල හඬ යන්තමින් බක්ට ඇසේ.
 "ආණ්ඩුකාරයාගෙන් පිළිතුරක් ලැබුනද?" ජෙනී ඇසෙන නෑසෙන හඬින් ඇසුවාය. 

 බක් හිස දෙපසට සැලුවේය. ජෙනී මැක්ග්‍රාත්ගේ දැලට අසුවූ තරුණියක බව ඔහු දැන නොසිටියේය. කලකිරීමෙන් යුතුව ඔහු කල්පනා කළේ ලාබාල වයස ගැනවත් මැක්ග්‍රාත් සිතාබලා නැති බවයි. අනෙක් අතට බැලූවිට පෙනුනේ කොතරම් වයස වැඩි උනත් එය ද ඔහුට ප්‍රශ්නයක් වී නැති බවයි. මැක්ග්‍රාත්ට අනුව ගැහැණියක් කොහොම හිටියත් ගැහැණියක්මය. 

ජෙනී මොහොතකට ඔහු දෙස ඇස් යොමාගෙන සිටියදී දෑස් කඳුළින් පිරී දෙතොල් ඉබේම සැලෙන්නට විය. ඔහු යන්තමින් හෝ අනුකම්පාවක් පෙන්වුවහොත්  ශෝකය පාලනය කරගත නොහැකි තත්ත්වයකට ඇය පත්වන බව බක්ට වැටහිණ. එය ඔහු දකින්නට කැමති වූ දෙයක් නොවේ. එහෙත් ඔහු ඇය ගැන කම්පාවට පත් විය. 
"අද දවස ඇතුළත මට පිළිතුරක් ලැබෙන්න පුළුවන්." ඔහු පිළිතුරු දුන්නේය.

ඇය කතා නොකර හිස ඉහල පහල වැනුවාය. බක්ට මෙතැනින් ඉවත්ව යාමට අවශ්‍ය විය. ඇයට සහනයක් දැනෙන්නට නම් කුමක් කිවයුතු දැයි ඔහුට අවබෝධයක් නොවීය. ඉඩලීන් හන්ටර් ගැන ඇය දැන සිටියේ ද යන සිතුවිල්ල ඔහු සිතට නැගුනේ ඉබේටම ය. ඔහු විශ්වාස කළේ එසේ වන්නට ඉඩක් නැති බව ය. 

උදාවී තිබුනේ දුෂ්කර අවස්ථාවකි. පෙනෙන්නට තිබුනේ කතාකරන්නට ගියහොත්  ජෙනීට හඬා නොවැටී සිටින්නට නොහැති බව ය. ඇය සනසාලන්නට කළහැක්කේ කුමක් දැයි බක්ට වැටහීමක් නැත. අවසානයේ, "කැමති නම් තව ටිකකින් හිරගෙදරට එන්න. ඔබට පුළුවන් ගිහිල්ලා ඔහුත් එක්ක කතාකරන්න." යයි පැවසීය.

ඇයගේ මුහුණ කුඩා දරුවකුගේ මෙන් දීප්තිමත් විය. ලජ්ජාවෙන් මෙන් ඇය කඳුළු පිස හැරියාය. "ස්තූතියි ෂෙරීෆ්, ගොඩක් ස්තූතියි." හිස සැලූ ඇය කෙඳිරිලි හඬින් පැවසුවාය.  

ඒ වනවිටත් කඳුළුවලින් පෙඟී තිබූ කුඩා ලේන්සුවකින් ඇය දෙනෙත් පිසිමින් සිටියදී ඇයට එසේ ඉන්නට හැර ඔහු එතැනින් බැහැර වූයේ එසේ ඉවත්ව යාමට හැකිවීම ගැන සතුටට පත්වෙමිනි. 

ඒ වන විටත් පහත වැටී තිබූ ජොනී මැක්ග්‍රාත් පිළිබඳ ඔහුගේ ආකල්පය තව දුරටත් පහත වැටුනේ ජෙනී කාල්සන් මුණගැසීම නිසා ය. මැක්ග්‍රාත් ගැලොවේ මරන්නට කුමන්ත්‍රණය කළ බව මේ වනවිට ඔහුගේ සිතෙහි තහවුරුව තිබූ නිසා කෝපයක් ඇතිවීම වලක්වා ගත නොහැකි විය. ආච් නෝත්කොට්ගේ වැඩ කණ්ඩායමේ මූලිකයා ගැලොවේ බව දැනසිටි නිසා නෝත්කොට්ගේ තණපිටියෙන් ඔහු අල්ලාගත් ගෙවත්තේ අයිතිය ඔහුගේ නමට තහවුරු කිරීමට බක් පොළඹවන ලද්දේ ඔහු ඉවත් කිරීමට පැමිණෙන්නේ ගැලොවේ බව දැනගෙනම විය හැකිය.

හිස ඔසවා බැලූ ඔහු දුටුවේ සිහින් සිරුරැති එලන් ඩ්රූ ඔහු දෙසට එමින් සිටින බවයි. නැවතුන ඔහු තනිවම සිහින් සිනාවක් මුහුණට නගාගත්තේ ඇය ඇවිදින විලාසය හා ඇය හිස තබාගෙන සිටිය ආකාරය ගැන වශී වූ සිතකිනි. එලන් සුරූපී කාන්තාවක් ලෙස දුටු ඔහුගේ ඇසට ඇය වඩාත් ලස්සනට පෙනුනේ ඔහු ඇයට ආදරය කළ නිසා ය. 

එහෙත් සමීපයට එන විට ඇයගේ මුහුණේ සිනහවක් නැති බව ඔහුට පෙනීගියේය. "ජෙනී එක්ක කතාකරනවා දැක්කා." ඇයගේ මුවින් පිටවිය.
 
"මැක්ග්‍රාත්ගෙ දැලට වැටුන තවත් එක්කෙනෙක්. ජෙනීයි ඉඩලීන් හන්ටරුයි ඇරෙන්න තව කීදෙනෙක් ඉන්නවද මම නං දන්නෙ නෑ." ඔහු කෙලින්ම කියා දැම්මේය.
 
"එයා හෙට මැරෙන්න යන එකෙයි ඒකෙයි සම්බන්ධතාවක් නෑනෙ, නේද?"

ඇගේ ස්වරයෙහි යන්තමට දැවටුන නොරිස්සුම් ස්වභාවයක් ඔහුට දැනින. ඇය තමන්ට පක්ෂපාතී වෙතැයි අපේක්ෂා කළ ඔහුට එය එසේ නොවන බව පෙනීයාම සිතෙහි පසුතැවිල්ලක් ඇතිකිරීමට හේතු විය. "මිනිහා මැරෙන්න යන්නේ ගෑනු එක්ක තියන සම්බන්ධතාවලට නෙමෙයි, ගැලොවේ මරපු නිසා." ඔහු පැවසීය. 

"...සහ හන්ටර් නඩුකාරයා එයා ඉඩලීන් එක්ක සම්බන්ධයක් තිබුනා කියලා දැනගෙන සිටිය නිසා." 

බක් හිස සැලීය.

"ඔබට බැරිද ඒක නවත්වන්න? ඔබට බැරිද තීන්දුව ක්‍රියාත්මක කරන එක ප්‍රතික්ෂේප කරන්න?" 

"පුළුවන්. ඒත් මම එහෙම කළොත් විනිශ්චයකාරයා මාව තනතුරින් ඉවත් කරලා ඒ වෙනුවට ඩියැක් ෆොස්ටර් පත්කරලා ඒක කරයි." 

"ඒක හරි අසාධාරණයි. ජොනී මැක්ග්‍රාත් ගැලොවේ මැරුවේ ආත්ම ආරක්ෂාවට."

බක් හිස දෙපසට වැනීය. "මට නං එහෙම හිතෙන්නෙ නෑ." 

"ඒ කිව්වේ?" 

"මැරෙන්න සතියකට ඉස්සරලා ගැලොවේට අහුඋනා මැක්ග්‍රාත් ඉඩලීන් එක්ක එකට ඉන්නවා. හොඳටම ඉඩකඩ තියනව‍ා මැක්ග්‍රාත් මිනිහව මැරුවේ මිනිහගේ කට වහන්න කියලා හිතන්න. එහෙම උනා නං මිනීමැරුම සැලසුම් කළ එකක්. පළමු ගණයේ මිනීමැරුමක්." 

"ඒත්  එයාට විරුද්ධව නඩුව ඇහුවේ ඒ චෝදනාවට නෙවෙයි." 

ඔහු සිනහවකට මෙන් මුව විවර කළේය. ඒත තමයි මේ ඔක්කොටම මුල. සමහරවිට මිනිහා සැලසුම් කරලා ගැලොවේ මැරුවා වෙන්නත් පුළුවන්. ඒකට ලැබිය යුතු දඬුවම මරණීය දණ්ඩනය වෙන්නත් පුළුවන්. ඒත් නඩුව අහන්න ඕනෑ සියළුම සාක්ෂි ඉදිරිපත් කරලා මිසක් කොටසක් විතරක් ඉදිරිපත් කරලා නෙවෙයි. අනිත් එක නඩුව අහන්න ඕනෑ වෙන කෙනෙක්. හන්ටර් විනිශ්චයකාරයා නඩුවෙන් ඉවත්වෙන්නයි තිබුනේ." 

ඇයගේ පෙනෙන්නට තිබූ සන්සුන් බව මැකී ගියේය. ඇය එවර ඔහු දෙස බැලුවේ අනුකම්පාසහගතව ය. "දැන් ඔයා මොනවද කරන්න යන්නේ? මොනවද ඔයාට කරන්න පුළුවන්?" 

පසුතැවිල්ල මුසු වූ හැඟීමකින් ඔහු හිස සෙලවීය. "මට හිතාගන්න බෑ. ආණ්ඩුකාරයාගෙන් පිළිතුරක් ලැබුනෙත් නෑ. එහෙම නොලැබුනොත් මට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න වෙයි. මම නොකළොත් ඩියැක් ෆොස්ටර් කරයි." 

"කින්කේඩ් එයාගේ කණ්ඩායමත් එක්ක ඒකට ඉඩ දෙන එකක් නෑ."

"ආර්ච් නෝත්කොට් එයාගේ හිතවතුන් එක්ක ඒක නවත්වන්න දෙන එකක් නෑ."

"ඒ කියන්නේ වෙඩි හුවමාරුවක් වෙනවා කියන එකයි."

"මිනිස්සු මැරෙන එකයි." 

"එහෙමනං කරන්න තියෙන්නේ ඔයා කොහොම හරි මැක්ග්‍රාත්ව මෙතැනින් වෙන තැනකට යවන එකයි." 

ඔහු ඇය දෙස නුරුස්නා ස්වරූපයෙන් බැලීය. "මම එහෙම කළොත් හන්ටර් විනිශ්චයකාරයා ඊලඟට මං හිරේ යවන තැනට වග බලා ගනියි."

ඇය මෘදු ලෙස ඔහුගේ බාහුව මත සිය අත තැබුවාය. "ඔයාට කිසිදෙයක් හරියට කරන්න ඉඩක් නෑ නේද?" 

ඔහු හිස දෙපසට සෙලවීය.  ඇයට ඔබ්බෙන් ඈතට නෙත් යැවූ ඔහුට රූෆස් කින්කේඩ් ඔවුන් දෙසට එනු පෙණින. "ඔන්න කින්කේඩ් එනවා." ඔහුගේ මුවින් ගිලිහින. 

ඔහුට සිපගනු පිනිස ඇය සිය මුහුණ එසවූවාය. "මම යනවා. මට නගරයෙන් ගන්න දේවල් ටිකක් තියනවා." 

ඇය ඇවිදින විලාසය දෙස නැවතත්  ආශාවෙන් බලාසිටි බක්ගේ අපේක්ෂාව වූයේ මේ කරදර සියල්ල අවසන් වී ඇය විවාහ කරගෙන මින් බැහැරව යාම ය. ඇය ඔහු ප්‍රතික්ෂේප කරයි ද යන අසහනකාරී සිතුවිල්ල ද ඒ සමගම ඔහුගේ සිතට පිවිසියේය. ඇයගේ සැමියා මියගොස් තවමත් වසරක් සම්පූර්ණ වී නැත. යළි ඔහුගේ හිස දෙපසට වැනින. ඇය හැසිරුනේ නැතැයි ප්‍රතික්ෂේප කරන ආකාරයේ ගැහැණියක ලෙස නොවේ. ඇය පිරිමින් පොළඹවන ආකාරයේ ගැහැණියක ද නොවේ. කින්කේඩ්ට කතා තරනු පිනිස ඔහු ආපසු හැරුනේය.

"ඔබ ඇය විවාහ කරගන්නවද?" කින්කේඩ් ගත්කටටම ඇසුවේය. 

ඇසූ ප්‍රශ්නය නිසා මොහොතකට සිතට නැගුන නොරිස්සුම් ගතියත් සමග කෝපසහගත බවක් දැනුනත් ඔහුට ඒත් සමගම වැටහුනේ කින්කේඩ් එසේ අසන්නේ ඕපාදූප දැනගැනීමේ කුතුහලය නිසාවත් ඔහුට අයිති නැති අනුන්ගේ දෙයකට ඇඟිලි ගැසීමට ඇති උවමනාව නිසාවත් නොවන බව ය. එලන් ඩ්රූගේ සැමියාගේ මරණයෙන් පසුව ඇයට නැගී සිටින්නට අත දී ඇය පිළිබඳ වගකීම බාරගත්තේ ඔහු ය. එනිසා එය දැනගැනීමට ඔහුට අයිතියක් තිබෙනවා වන්නට පුළුවන. 

"එයා කැමති නං, ඔව්."

"තාම ඇයගෙන් ඇහුවේ නැද්ද?"

බක් හිස සෙලවීය. 

"ඇයි නැත්තේ?"

"මැක්ග්‍රාත්ගේ රාජකාරිය ඉවර වෙනකං මම  ඉන්නේ. මට ඕනෑ සතියකට දෙකකට එයත් එක්ක නිවාඩුවකට යන්න මෙහෙන් පිටවෙලා." 

"මං හිතන්නේ ඔබේ හිතේ තියන දේ එයාට කියන එක තමයි හොඳ. ඇය හොඳ පෙනුම තියන ගැහැනියක්. ඔබ හිතේ තියාගෙන ඉන්නකොට තව කවුරුවත් අහන්න පුළුවන්." 

අසහනකාරී සිතුවිල්ලක කිනිසි පහරක් සිත තුළට කිඳාබැස්සේය. "එහෙම කවුරුහරි ඉන්නවද?"

කින්කේඩ් හිස සෙලවීය. "මම දැනුවත්ව නං නෑ. හැබැයි ඒකෙන් අදහස්වෙන්නේ නෑ එහෙම නැතිවෙයි කියලා."

බක්ගේ හිස ඉහල පහල ගියේ සහනදායී සිතුවිල්ලක් ද සමග ය. "මම අදම අහන්නං. ඔහු පිළිතුරු දුනි."

කින්කේඩ් මාතෘකාව වෙනස් කළේය. "ආණ්ඩුකාර කාර්යාලයෙන් පිළිතුරක් ලැබුනෙ නැද්ද?" 

"නෑ." මොහොතක පැකිළීමකින් පසු, "ඔබ දැනගත යුතු දෙයක් තිබෙනවා, දැනටමත් දන්නෙ නැත්නම්." බක් පැවසීය. 

"ඒ මොකද්ද?" 

"ගැලොවේ මැක්ග්‍රාත් ඉඩමෙන් එලවන්න උත්සාහ කරන්නත් ඉස්සරලා මිනිහට හේතුවක් තිබුනා ගැලොවේ මරන්න." 

"හේතුවක්? මොන හේතුවක්ද?" 

"මැරෙන්න සතියකට ඉස්සරලා ගැලොවේ නගරයේ උඩහ මායිමේ ගස්ගොන්නේ මැක්ග්‍රාත් ඉඩලීන් හන්ටර් එක්ක ඉන්නවා දැකලා තියනවා. මොනව දැක්කද කියලා නං මම දන්නෙ නෑ. හැබැයි ආර්ච් නෝත්කොට් කියන විදිහට නං මැක්ග්‍රාත්ට බය හිතෙන්න තරම් දෙයක් දැකලා තියනවා." 

කින්කේඩ් කෝපයෙන් යුතුව මුහුණ හකුලා ගත්තේය. "මැක්ග්‍රාත් මට ඒ වගක් කිව්වෙ නෑ." 

"මමත් අද වෙනකල් දැනගෙන හිටියේ නෑ." 

"යකාටම ගියාවේ!" කින්කේඩ් පුපුරා හැලුනේය. 

"මිනිහා ගැලොවේ මරපු එක කලින් සැලසුම් කළ දෙයක් වෙන්න පුළුවන්. එහෙම නං එල්ලලා මරණ එක සාධාරණයි." බක් කියා සිටියේය. 

ඒ ගැන සිතා බැලීමට මොහොතක් ගතකළ කින්කේඩ් ඊලඟට හිස සෙලවීය. "ඒ සාක්ෂිය මත නෙමෙයි එයාට විරුද්ධව නඩුව ඇහුවේ. ඔබ මට දැන් කියපු දේ හන්ටර් විනිශ්චයකාරයා දැනගෙන හිටියද?" 

බක් එය අනුමත කරන ආකාරයෙන් හිස වැනුවේය. "දැනගෙන හිටියා. ඒකයි එච්චර තද දඬුවමක් නියම කළේ."

"මැක්ග්‍රාත්ට විරුද්ධව නඩු අහලා දඬුවම් නියම කරන්න තිබ්බේ එයාට විරුද්ධව ඉදිරිපත් වෙලා තිබුන සාක්ෂි උඩ. ඉදිරිපත්වෙලා තිබුන සාක්ෂිවලට අනුව කරන්න පුළුවන් බරපතලම චෝදනාව තමයි මනුෂ්‍ය ඝාතනය. අඩුම එක තමයි ආත්ම ආරක්ෂාව. එයාට නිත්‍යානුකූල අයිතියක් තිබුනා ඒ ඉඩම් කෑල්ලේ ඉන්න. ඔබමයි ඒ අයිතිය තහවුරු කරලා දුන්නේ." මදක් නිහඬව සිටි ඔහු යලි කතා කළේය. "ඔබ මට දැන් කියපු දේ කොහොමටත් ඔහුට විරුද්ධව සාක්ෂි හැටියට ඉදිරිපත් කරන්න බෑ. ගැලොවේ මැරුණා. මිනිහා දැක්කා කියලා කාට හරි කියලා තිබුන දේ ඇසූ දුටු දේවල් මිසක් ඒක සාක්ෂි හැටියට ඉදිරිපත් කරන්න පුළුවන් කමක් තිබ්බේ නෑ." 

"ඔබ කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන්නේ මැක්ග්‍රාත්ට මිනීමැරීමේ චේතනාවක් තිබුන කියලා ඔප්පු කරන්න හිටපු එකම පුද්ගලයා මිනිහා අතින්ම මැරුන නිසා මැක්ග්‍රාත් නිදහස් කරන්න ඕනෑ කියන්නනේ."

කින්කේඩ් බලාපොරොත්තු කඩ වූ ස්වභාවයකින් හිස සැලුවේය. "මං හිතන්නේ ඔබ හිතන විදිය හරි." 

"මේක නිසා හෙට එල්ලා මැරීම ගැන තියන ස්ථාවරයේ වෙනසක් වෙනවද?"

කින්කේඩ්ගේ හිස දෙපසට වැනින. "එහෙම උනත් මරණීය දණ්ඩනය දීම  වැරදියි. සැලසුම් කරපු මිනීමැරුමකට මැක්ග්‍රාත් වැරදිකාරයා උනත් තිබුනට වැඩිය සාධාරණ නඩු විභාගයකට ඔහුට අයිතියක් තියනවා. හන්ටර් නඩුකාරයා නුසුදුස්සෙක් කළයුතුව තිබුනා. මැක්ග්‍රාත්ගේ නඩු විභාගය මුල ඉඳලා අළුතින් අහන්න ඕනෑ." ඔහු නගරය දෙසට යන්නට හැරුනේය. "මම යනවා හන්ටර් නඩුකාරයා මුණගැහෙන්න. මම උත්සාහ කරනවා මිනිහට කියලා මැක්ග්‍රාත්ට අළුත් නඩු විභාගයකට අවසර ඉල්ලා ගන්න."

"මම ඔබ නං මම දැන් ඔබට කියපු දේවල් එයාට කියන්නේ නෑ. මම ඒවා දන්නවා කියලා මිනිහා දන්නවද කියලා හරියටම කියන්න බෑ. දන්නෙ නැත්නම්, ඒක මිනිහට කියපු ගමන් ඔය ඉන්නවටත් වැඩිය කේන්තියෙන් පිස්සු වැටෙයි."

එය අනුමත කරන ලෙසින් හිස සෙලවූ කින්කේඩ් "මම කියන්නෙ නෑ." යි පවසා ඉවත්ව ගියේය. 

නගරයට යන්නට පය එසවූ බක් නැවතුනේ එලන් ඩ්රූ ඔහු දෙසට කඩිනම් ගමනින් එන බව දැකීමෙනි. ඇය එනතෙක් සිට ඇගේ පාර්සලය අතට ගත් බක් ඇයත් සමග ඇය ජීවත් වූ කැන්වස් වහලින් යුත් කරත්තය දෙසට ගියේය. එයට ලඟා වූ පසු ඔහු කියන්නට කට ගත්තේ වැඩි කාලයක් යන්නට පෙර පැමිණෙන ශීත කාලයට කරත්තයක කැන්වස් වහලයක ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවයි. එහෙත් වහාම සිත වෙනස් කරගත් ඔහු ඒ වෙනුවට කීවේ, "මම කලින් කරලා නැති නිසා මගේ අතින් මේක හරියට වෙන්නෙ නැතිව ඇති. ඒත් මං කැමතියි ඔයාගෙන් ඉල්ලන්න මා සමග විවාහ වෙන්න කැමති වෙන්න කියලා." යනුවෙනි. ඔහුගේ අතෙහි තවමත් ඇයගේ පාර්සලය විය. නැමී එය බිම තැබූ ඔහු නැවතත් නැගී සිටියේය.

ඇගේ මුහුණෙහි උණුසුමි සිනාවක් ද දෙනෙතෙහි යන්තමට මෙන් තෙත් ගතියක සේයාවක් ද විය. "මං හිතන්නෙ ඔයා ඒක හොඳට කළා මේ වගේ වෙලාවක ගැහැනියක් අහන්න කැමති හැම දෙයක්ම නොකිව්වත්. කමක් නෑ, ඒකට තව කල් තියනවා."

ඔහු දෑත් දිගුකළ අතර ඇය එයට මැදි වූවාය. හිස පහත් කළ ඔහු ඇයගේ මුව සිපගත්තේය. එය බලාපොරොත්තුවලින් පිරුණු හාදුවක් විය. ඇය පසුපසට වූ පසු ඔහු මදක් චකිතයට පත් වූයේය. ඇය පාර්සලය අතට ගන්නට ඉදිරියට නැමුන අතර ඔහු ඇයට උදව්කරන්නට පහත් වූයෙන් දෙදෙනාගේ හිස් එකට ගැටින. මොහොතකින් දෙදෙනාටම සිනා පහල විය. ඇය පාර්සලය කරත්තය මත තැබූ පසුව ඇය සිය දෙඅත් අතරට මැදි කරගත් ඔහු යළිත් ඇය සිපගෙන "මට ඕනෑ ඉක්මනටම ඒක වෙනවා දකින්නයි." යනුවෙන් පැවසීය. 

දෑසෙහි සරදම් කරන ස්වභාවයක් තිබුන ද වචනයකුදු නොදොඩා හිස සැලුවාය. නගරයට යන්නට ආපසු හැරුන ඔහු වරක් ආපසු හැරී බැලූයේ විහිලුකාරයෙකුගේ මෙන් මුහුණ පුරා ඇඳීගිය සිනාවක් ද සමගිනි. 


       

      
      

   

   



 












 

8 comments:

  1. ++++++++++++👌🙏
    ආයෙ එන්නං.

    ReplyDelete
  2. හම්මේ කියෙව්වා... අනේ මන්ද බලමු ඉස්සරහට මොකෑ වෙන්නේ කියලා.

    ReplyDelete
  3. ආදර අන්දරයකුත් පැත්තෙන් යනවා. හොඳයි

    ReplyDelete
  4. මගේ පහසුවට ඔබගෙ බ්ලොගය මගෙ අඩවියේ අලවා ගත්තා.. එ ගැන ඔබගෙ කිසිදු අමනාපයක් නැතැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. අමනාප වන්නේ කුමකටද?

      Delete