ප්‍රඥාවෙන් අවසන් නොවූ ආනන්දය





පසුගිය සතියේ ප්‍රවීණ සංගීතඥයෙකු හා මධුර ගී තනු නිර්මාපකයෙකු වූ ආනන්ද ගමගේ මහතා අප අතරින් නිහඬවම වෙන්වී ගොස් තිබිණ. ඒ පිළිබඳව කිසිම පුවතක් කිසිම ජනමාධ්‍යයක පළවී තිබෙන බවක් නුදුටිමි. මා ද ඒ පුවත දැකගත්තේ මා මිත්‍ර, ප්‍රවීණ ලේඛක සිඩ්නි මාකස් ඩයස් ඔහුගේ ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහනකිනි. ඒ සටහන කිසිදු වෙනසකින් තොරව එලෙසම මෙහි උපුටා දක්වන්නේ එම පුවතින් ඔහුට දැනුන හැඟීම මට ද එලෙසම දැනුන බැවිණි.

" මට හරි දුකයි ආනන්ද "
****************************************

මෑත යුගයේ අපේ රටේ දරුවන් ඉලක්ක කරගත් ජාතික මට්ටමේ හෝ ප්‍රාදේශීය මට්ටමේ වැඩසටහනක්, ප්‍රවර්ධන කාර්යයක් හෝ සංගීතාත්මක කටයුත්තක් සිදු වුනානම් ඒ බොහොමයක් ජනකර්ශනය සඳහා යොදාගත්තේ ආනන්ද ගමගේ ගේ සුමදුර තනුවක් සහ සංගීත සංකලනයක් සහිත ගීයක්. ඒ ඇතැම් ගීත මේ රටේ legends බවට පත්වෙලා අවසන්. ඒ ගීතයක රසයෙන් ප්රමෝදයට පත් නොවුණු දරුවෙක් සිටීනම් ඔහු හෝ ඇය බිහිරි බවට පත්වූ දරුවෙක් පමණයි. එහෙව් නිර්මාණ කරුවෙක් අවසන් ගමන් ගිය හැටි ගැන මට නම් පුදුම කණගාටුවක් තියෙන්නේ. බැබලෙන නිර්මාණ බිහිකොට තමන් නොබැබැලී අවසන් ගමන් ගිය එකම නිර්මාණකරුවා ආනන්ද ගමගේ නොවුනත් සමාජයේ හර්ද සාක්ෂිය අන්තෙටම පිරිහෙලා ඇති යුගයක මෙවැනි යුග අතපසුවීම් ප්‍රශ්න කිරීම මගේ යුතුකමකට වඩා වගකීමක් ලෙස හඟිමි.
*********************************************

"අඹ යහළුවෝ " ගීත සහ පසුබිම් සංගීතය
එදා වගේම අදත් නැවුම්. එත් ඒවගේම මධුර ගී තනු රැසක් ආනන්දගේ නිර්මාණ වපසරියට අයත් වෙනවා. ඒ ගීත සමාජ ගත නොවෙන්න පහුගිය දශක කීපය තුළ ගුවන් විදුලි වගේම රුපවාහිනී මාධ්‍ය තුළ සිදුවූ විපර්යාසයන් බලපෑවා. සල්ලි වලට සිංදු හිට් කරන පෞද්ගලික මාධ්‍ය නිසා නිර්මාණකරුගේ ප්‍රතිභාවට වඩා වැදගත් වුණේ ඔහුගේ ආර්ථික හැකියාව. ආනන්දත් මමත් එකතුවෙලා හදපු සිංදු සංඛ්‍යාව විතරක්. 40 කටත් වැඩියි. ඒ සැම ගීයක්ම උසස් මට්ටමින් නිර්මාණය වූ ඒවා. එත් ඒවාට ජනතාව අතරට ගෙනයාමට මාධ්‍ය වෙතින් ලැබුණු සහය ඉතාමත් අල්පයි. නිර්මාණය කරලා අවසන් කලාට පස්සේ ඒවා සමාජ ගත කරන්න වගේම ඒවායින් තමාව මාර්කට් කරගන්න ආනන්දට තිබුණු උනන්දුවත් ඉතාමත් අල්පයි. එත් මතුවූ නිර්මාණ කීපය එදා අද වගේම හෙටත් ඉහලින්ම පවතීවි.

**************†**************************
ආනන්ද සිංහල සංගීත ක්ෂේත්‍රයට කළ සම්මාදම පිළිබඳව නිසි තක්සේරුවක් දෙන්නට අදාල ආයතන දැක්වුයේ කොයිතරම් අඩු උනන්දුවක් ද යන්න ආනන්දගේ අවමගුල් උත්සවයේදී කැපී පෙනුණා. රටේ විද්‍යුත් මාධ්‍ය ආයතන සියල්ලම ඇත්තටම ආනන්දට ණයයි. ඔවුන් ආනන්දගේ ප්‍රතිභාවෙන් තමන්ගේ වැඩසටහන් කොයි තරම් අලංකාර කරගත්තත් ඔහුගේ වියෝවීම රටට දැනෙන අයුරින් කියන්න උනන්දු නොවීම නිසාම ඔහුට හිමිවියයුතු අවසන් ගෞරවය හිමි වුණේ නැහැ. සංස්කෘතික දෙපාර්තමේන්තුවට ආනන්ද වගේ ප්‍රතිභාපූර්ණ කලාකරුවෙකුගේ මළගම නොසලකා හැරීමේ වරදට සමාවක් දිය යුතුද?. කළාකරුවන්ගේ සංවිධාන පවා ආනන්දගේ අවසන් මොහොත ගෞරවනීය ලෙස අවසන් කරන්නට කරතිබූ දෙයක් නැති තරම්. ආනන්දගේ සංගීත ප්‍රතිභාවෙන් තම නිර්මාණ ජීවිතය බබලවා ගත් අය කොතරම් ප්‍රමාණයක් සිටියත් ඒ අය අතුරින් ආනන්ද වෙනුවෙන් කෘත ගුණ සලකන්න එකතු වූ ප්‍රමාණය ගැන පුදුම කණගාටුවක් දැනෙන්නේ. කලින් දින දෙක තුළ ප්‍රදීපා ධර්මදාස, පුන්සිරි සොයිසා ඇතුළු කලාකරුවන් සුළු පිරිසක් පැමිණි වග දැනගන්න ලැබුණා. අවසන් දවසේ හවස් භාගයේ සුසිල් අමරසිංහ, කළණි පෙරේරා, වික්‍රම සෙනෙවිරත්න, එඩ්වඩ් ජයකොඩි, නවරත්න ගමගේ, අතුල පීරිස්, ගීතා කාන්ති ජයකොඩි ඇතුළු සුළු පිරිසක් දේහයට ගෞරවය දක්වන්නට පැමිණියා. එත් අවසන් මොහොතට රැදී සිටියේ උපාලි බණ්ඩාර වීරසේකර, ඊ. එම්. ඩී. උපාලි, චාමර හපන්ගම, චුලා පරණ යාපා, මාවෝ ලක්ෂිත සහ තවත් කීපදෙනෙක් පමණයි.

****************************************
ආනන්ද ගමගේ කියන්නේ රටට ණය නැති කලා කරුවෙක්. ඔහු තමන්ට ලැබුණු අවස්ථාවන් තුළින් රටට දැනෙන, රටට ඉතුරුවෙන නිර්මාණ සම්භාරයක් තිළිණ කළ අයෙක්. ඊයේ අද පමණක් නොව හෙටද බොහෝ අයට ආනන්දගේ නිර්මාණ තමන්ගේ ක්‍රියාකාරකම් වර්ණ ගැන්වීම සඳහා අවශ්‍ය වනූ ඇත රටේ දරුවන්ගේ මුවින් හෙටත් ආනන්දගේ මියුරු ගී තනු ගැයෙනු ඇත. ආනන්ද රටට ණය නැතත් රටේ විද්‍යුත් මාධ්‍ය ආනන්දට ණයය. සංස්කෘතික දෙපාර්තමේන්තුව ආනන්දට ණය ය. ඔහුට අවසන් ගෞරවය ලබාදීමේ යුතුකම පැහැර හැරීමේ ඒ ණය ගෙවිය හැක්කේ සාධාරණත්වය හිමි නොවූ ඔහුගේ නිර්මාණවලට සාධාරණත්වය ඉටු කිරීමට පසුවී හෝ උනන්දුවීමෙනි. එමෙන්ම තම පෞද්ගලික ජීවිතය ජනකාන්ත කර නොගෙන ජනකාන්ත නිර්මාණ ගොන්නක් රටට දුන් ඔහුගේ නිර්මාණ දායකත්වය පිලිබඳ පමාවී හෝ නිසි ඇගයීමක් කිරීමෙනි.
***********************
සිඩ්නි මාකස් ඩයස්
***********************



8 comments:

  1. කාලයකට ඉස්සර අපි ආසාවෙන් අහපු සිංදු. හ්ම්.... ඇත්ත, නිසි ඇගයීමක් නොලැබූ, ඒත් වටිනා කලාකරුවෙක්.

    ReplyDelete
  2. 2017 දී ආනන්ද ගමගේ කලාකරුවා වෙනුවෙන් උපහාර උලෙලක් පැවැත්වුනා. මේ අවමගුල් කටයුතු වලටා සහභාගී උන කලාකරුවන්ම ඒ උපහාර උළෙල දිත් ගීත ගායනා කලා - Mayya

    ReplyDelete

  3. කළකට පෙර විශේෂයෙන්ම ළමා ලෝකයට හොඳින් ප්‍රවේශවූ ගීත.

    ReplyDelete
  4. වටිනා කලාකරුවෙකු පිලිබදව මේ සටහන අපූරුයි .
    නිසිතැන නොලැබීම ගැන කණගාටුයි.
    ජයවේවා !!!

    ReplyDelete
  5. //මධුර ගී තනු රැසක් ආනන්දගේ නිර්මාණ වපසරියට අයත් වෙනවා.// සහතිකෙන්ම.

    ස්තූතියි ඔහු ගැන මේ සටහන පල කරාට. ඔහුට සුබ ගමන් 🙏
    බොහෝ රසවිඳි.. අඹ යහලුවෝහි සිංදු වල තනු නිර්මාපකයා ඔහු කියල දැනගතතෙත් මේ සටහනින්!

    ReplyDelete
  6. දාල තියෙන මාතෘකාවත් සටහනට අපූරැවට ගැලපෙනව!

    ReplyDelete