අවිද්‍යාවේ විද්‍යාව හා විද්‍යාවේ අවිද්‍යාව

විද්‍යාවේ ඉදිරි ගමනත් සමග බිහි වූ දැනුම හා නව සොයාගැනීම්වලට එරෙහිව සමාජයේ සාම්ප්‍රදායික දැනුම හා විශ්වාස තුළින් මතු වූ ප්‍රතිරෝධය විද්‍යාවේ ආරම්භය තරම්ම පැරණිය. සමහර විට මිනිසා ගින්දර සොයා ගත් යුගය තෙක්ම දිවෙනවා විය හැකිය. ලංකාව මෙන් ආසියානුකරයේ රටවල මෙය ඉස්මතු වූයේ බටහිරින් ලැබුන දෑ අන්ධානුකරණයෙන් අනුගමනය කිරීමක් ලෙසය.

එසේ වුවද බටහිර රටවලද මෙම ප්‍රතිරෝධය එලෙසම පැවති බව හා පවතින බව අමෙරිකානු ජාතික ශල්‍ය වෛද්‍යවරයෙකු, ප්‍රජා සෞඛ්‍යය පිළිබඳ මහාචාර්යවරයෙකු මෙන්ම පර්යේෂකයෙකු ද වන Atul Atmaram Gawande විසින් 2016 වසරේදී තාක්ෂණය පිළිබඳ කැලිෆෝනියා ආයතනයේ ආරම්භක දේශනය ලෙස ඔහු විසින් පවත්වන ලද පහත දැක්වෙන කතාවෙන් පෙනී යයි. උපුටා ගත්තේ The New Yorker සඟරාවේ වෙබ් අඩවියෙනි.

                                                    (cartoon movement වෙතින්)

විද්‍යාවේ ගමන්මග අතිශය ප්‍රබල බව තහවුරු වී ඇති දෙයකි. පසුගිය ශතවර්ෂය තුළ අපගේ ආයුකාලය දෙගුණ කරගැනීමට, ලෝකයේ නිෂ්පාදන බහුල කරගැනීමට හා විශ්වයේ ස්වභාවය පිළිබඳ අපගේ අවබෝධය පුළුල් කිරීමට  එය අපට උපකාරී වී ඇත. එහෙත් විද්‍යාත්මක දැනුම පිළිබඳ පූර්ණ විශ්වාසයක් ඇති වී නැත. එයට එක් හේතුවක් වන්නේ එහි ඇති අසම්පූර්ණ බවයි. එසේ වුවද විද්‍යාව විසින් ජනිත කර ඇති දැනුම ප්‍රතික්ෂේප කළ නොහැකි තරම් ප්‍රබල අවස්ථාවලදී පවා මිනිස්සු නිතරම එයට ප්‍රතිරෝධයක් දක්වති. සමහර විට සපුරාම ප්‍රතික්ෂේප කරති. උදාහරණයක් ලෙස නිවැරදි නොවන බව සනාථ කරන්නට කොතරම් ශක්තිමත් සාක්ෂි තිබුණත් බොහෝ  අය තවමත් විශ්වාස කරන්නේ ළමා අවධියේ කරනු ලබන එන්නත් නිසා ස්වේච්ඡතාව (autism) ඇතිවන බවයි.(එය එසේ නොවේ); තුවක්කුවක් ලඟ තබා ගැනීමෙන් වැඩි ආරක්ෂාවක් සැලසෙන බවයි (එසේ ආරක්ෂාවක් නොලැබේ.); ජානමය වෙනස්කම් කරන ලද භෝග හානිකර බවයි.(සංසන්දනාත්මකව බැලීමේදී එවා හිතකර වෙයි.); කාලගුණික වෙනස්කම් සිදු නොවේ. (සිදු වෙමින් පවතී)

උදාහරණයක් ලෙස දශක ගණනාවක පර්යේෂණ වලින්  පදනම් විරහිත බව තහවුරු කර තිබියදීත් එන්නත් භීතිකාව දිගටම පැවතිණ. අවුරුදු විසිපහකට පමණ පෙර සංඛ්‍යාණන විශ්ලේෂණයක් මගින් ස්වේච්ඡතාව හා එන්නත් නිපදවීමේදී බැක්ටීරියා දුෂ්‍යවීම් ඇතිවීම වැලැක්වීම සඳහා යොදාගනු ලබන ආරක්ෂාකාරකයක් වන තයිමෙරසාල්(Thimerosal) අතර තිබිය හැකි සම්බන්ධතාවක් පිළිබඳව සඳහනක් කරනු ලැබීය. විශ්ලේෂණය දෝෂ සහගත බව පසුව හෙලිදරව් වුවද භීතිකාව තවදුරටත් පැවතිණ. විද්‍යාඥයින් ඉන්පසුව අධ්‍යයන සිය ගණනක් කරන ලද අතර එවන් සම්බන්ධතාවක් සොයා ගැනීමට නොහැකි විය. එසේ වුවද භීතිකාව එලෙසම තහවුරු විය. රටවල් ආරක්ෂාකාරකය ඉවත් කිරීමට පියවර ගත්තත් ස්වේච්ඡතාවෙහි අඩුවක් දක්නට නොලැබිණ. එහෙත් බිය වැඩිවිය. බ්‍රිතාන්‍යයෙහි කරන ලද අධ්‍යයනයක් මගින් දරුවන් අටදෙනෙකු සරම්ප, කම්මුල්ගාය හා ජර්මන් සරම්ප සඳහා එන්නත් කිරීම හා ඔවුන් ස්වේච්ඡතාවට ගොදුරුවීම අතර සම්බන්ධතාවක් ඇතැයි දක්වා තිබිණ. මෙම පත්‍රිකාව පසුව ඉල්ලා අස්කරගන්නා ලද්දේ එහි ව්‍යාජ තොරතුරු හා වැරදි නිගමන ඇතුළත් වී තිබූ බව සොයාගැනීම නිසාය. පත්‍රිකාවේ ප්‍රධාන රචකයා දරුවන් පිළිබඳ ව්‍යාජ දත්ත වැරදි ලෙස ඉදිරිපත්කර තිබිණ.  මෙම හෙලිදරව් කිරීම තහවුරු කිරීම සඳහා නැවතත් ගන්නා ලද උත්සාහ අසාර්ථක විය. එසේ වුවද එන්නත් කිරීමේ ප්‍රමාණය පහත වැටුනේ සරම්ප හා කම්මුල්ගාය පැතිර යාමට ඉඩ සලසමිනි. පසුගිය වසරේ එක්සත් ජනපදය, කැනඩාව හා යුරෝපය පුරා දස දහස් ගණන් ළමුන් මෙම රෝග වලට ගොදුරු වූයේ මරණ වලට ද මග පාදමිනි. 

මිනිසුන් විද්‍යාත්මක මතවාද පිළිගැනීමට මැලිකමක් දක්වන්නේ ඒවා තමන්ගේ සහජ විශ්වාස හා ගැටෙන විටදීය. ඔවුන්ට තවදුරටත් සරම්ප හෝ කම්මුල්ගාය දක්නට නොලැබේ. ඔවුන්ට ස්වේච්ඡතාව වැළඳුන දරුවන් මෙන්ම "මගේ දරුවට එන්නත් දුන්නට පස්සේ ස්වේච්ඡතාව හැදෙන කල් හොඳටම නිරෝගීව හිටියා." කියන මවක් ද දක්නට ලැබේ. 

දැන් ඔබට සහසම්බන්ධය හේතුකාරකයක් නොවන බව ඔවුන්ට කියා සිටිය හැකිය. දරුවන්ගේ ජීවිතයේ පළමු අවුරුදු දෙක තුළ සෑම මාස දෙකකට හෝ තුනකට වරක් එන්නත් කරන බැවින් ඕනෑම රෝගයක් බොහෝ දරුවන්ට වැළඳීමට ඉඩ ඇත්තේ එන්නත් කිරීමට පසුව වීම විශේෂ තත්ත්වයක් නොවන බව කිව හැකිය.  විද්‍යාත්මක පර්යේෂණ වලින් එවැනි සම්බන්ධතාවක් නොපෙන්වන බව පෙන්වාදිය හැකිය. එහෙත් යම් අදහසක් මුල්බැසගෙන පැතිර ගිය පසු එය මිනිසුන්ගේ මොළයෙන් ඉවත් කිරීම අතිශය දුෂ්කර කටයුත්තකි. විශේෂයෙන් ජනතාව විද්‍යාව හා සම්බන්ධ බලධාරීන් කෙරෙහි විශ්වාසයක් නොදක්වන විට එය බෙහෙවින් දුෂ්කර වේ. 

සමාජ විද්‍යාඥ ගෝඩ්න් ගව්චැට් 1974 සිට 2010 දක්වා එක්සත් ජනපදයේ සමීක්ෂණ දත්ත පරීක්ෂා කිරීමෙන් පසු තැති ගන්වනසුළු නැමියාවක් සොයාගත්තේය. එය නම් අධ්‍යාපන මට්ටම ඉහල යමින් තිබුන තත්ත්වයක් තුළදීත් විද්‍යාත්මක ප්‍රජාව කෙරෙහි ජනතාව දක්වන විශ්වාසය අඩු වෙමින් පවතින බවයි. මේ තත්ත්වය විශේෂයෙන් දැකිය හැකි වූයේ සාම්ප්‍රදායික අදහස් දරන්නන් (conservatives) අතරය.  අධ්‍යාපන මට්ටමින් උසස් සාම්ප්‍රදායික අදහස් දරන්නන් අතර පවා මෙය දක්නට ලැබුණි. 1974 දී විද්‍යාව හා විද්‍යාව හා සම්බන්ධ ප්‍රජාව ගැන ඉහලම විශ්වාසයක් තිබුනේ උපාධිය දක්වා අධ්‍යාපනය ලැබූ සාම්ප්‍රදායික මත දරන්නන් අතරය. අද ඒ හා සම්බන්ධ අවම විශ්වාසයක් තිබෙන්නේ ද ඔවුන් අතරය. 

ගව්චැට් පවසන ආකාරයට අද අප අතර ඔවුන්ටම සුවිශේෂ වූ සංස්කෘතික ක්ෂේත්‍රවල ඔවුන්ගේම වූ දැනුම් සමුදායක් උපදවාගන්නා විවිධාකාර වූ කණ්ඩායම් ගණනාවක් බිහිවී තිබෙන අතර බොහෝවිට මේ දැනුම විද්‍යාව හා සම්බන්ධ ප්‍රජාවගේ සංස්කෘතික ආධිපත්‍යය හා ගැටේ.  සමහරක් ආගමික කණ්ඩායම් වෙති. උදාහරණයක් ලෙස පරිනාමවාදය අභියෝගයට ලක්කරන කණ්ඩායම් ගත හැකිය. සමහරක් දේශගුණය ගැන සැක සංකා උපදවන කණ්ඩායම් වැනි ව්‍යාපාරික කණ්ඩායම් වෙති. අනෙක්වා වෛද්‍ය විද්‍යාත්මක ආයතන ප්‍රතික්ෂේප කරන කණ්ඩායම් වැනි වමට බර වූ කණ්ඩායම් වෙති. කොතරම් විවිධාකාර වුවත් මේ සංවිධාන එක් අංශයකින් සමාන වෙති. එනම් ඔවුහු සියළුදෙනම ප්‍රශ්න කිරීමෙන් ඔබ්බෙහි පවතින්නේ යයි ඔවුන් විශ්වාස කරනු ලබන මතිමතාන්තර වල එල්බගෙන සිටිති. 

මෙම විශ්වාස තහවුරු කිරීම සඳහා ටිකදෙනෙක් විද්‍යාවෙහි ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරති. ඔවුහු විද්‍යා ප්‍රජාවෙහි ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරති. මිනිස්සු තවදුරටත් දේව බලය ඉස්මතු කරන ආකාරයේ  තර්ක ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටිති. ඒ වෙනුවට ඔවුහු වඩාත් නිවැරදි විද්‍යාත්මක ආධිපත්‍යය ඇත්තේ තමන් සතුව යයි තර්ක කරති. මෙය තේරුම්ගත නොහැකි තරමට තත්ත්වය  ව්‍යාකූල කරයි. නිවැරදිව තේරුම්  ගැනීමට නම් තමන් සාක්ෂාත් කරගත්තේ යයි විද්‍යාව පෙන්වාදෙන දේ  හා ව්‍යාජ විද්‍යාව පෙන්වාදෙන දේ අතර වෙනස තේරුම් ගැනීමට හැකියාව තිබිය යුතුය.

විද්‍යාවේ වෙනුවෙන් පෙනී සිටින්නෝ ව්‍යාජ විද්‍යාඥයින් තුළ පැහැදිළිව දැකගත හැකි ලක්ෂණ පහක් හඳුනාගෙන සිටිති.  ඔවුන් තර්ක කරන්නේ විද්‍යාත්මක සම්මුතිය පැනනගින්නේ ඊට විරුද්ධව නැගෙන මතවාද යටපත් කිරීමේ කුමන්ත්‍රණයක් සමග බවයි. ඔවුහු පිළිගත් දැනුම් සම්භාරයට විරුද්ධ මත දරණ එහෙත් විශ්වසනීය විද්‍යාත්මක පසුබිමක් නැති ව්‍යාජ විශේෂඥයින් ඉදිරිපත් කරති. සමස්ත ක්ෂේත්‍රයක්ම අපකීර්තියට පත් තිරීමේ අරමුණින් පිළිගැනීමට ලක්වී ඇති මතයට අභියෝග කරන  දත්ත හා පර්යේෂණ පත්‍රිකා විශේෂයෙන් තෝරාගෙන ඉදිරිපත් කරති. ව්‍යාජ අනුරූපතා (analogies) හා තර්කානුකූල මිථ්‍යා මත (logical fallacies)  යොදාගනිති. පර්යේෂණයකින් ඉටුකළ නොහැකි ඉලක්ක ඉදිරිපත් කරති. විද්‍යාඥයින් එක් මට්ටමකට අයත් නිශ්චිතතාවක් ඉදිරිපත් කළවිට ව්‍යාජ විද්‍යාඥයින් තවත් එකක් සැපිරිය යුතු යයි බල කරති. 

මේවායින් සමහර ප්‍රවේශ පිළිගත හැකි, වලංගු තර්ක ඉදිරිපත් නොකරනවා නොවේ. සමහර විටෙක අනුරූපතාවක් ප්‍රයෝජනවත් වේ; ඉහල මට්ටමේ නියතතාවක් (certainties) අවශ්‍ය වේ. එහෙත්  මින් කිහිපයක් හෝ සියලුම උපායමාර්ග යොදාගැනෙන බව පෙනීයන විට ඔබ මුහුණ දී ඇත්තේ විද්‍යාත්මක හිමිකම් පෑමකට නොවන බව වැටහිය යුතුය. ව්‍යාජ විද්‍යාව යනු හරයක් හෝ පදනමක් නැති විද්‍යා ප්‍රභේදයකි. 

මේ සඳහා කුමක් කළ යුතු ද යන අභියෝගයට මුහුණ දෙන ආකාරය, එනම් ලෝකය පැහැදිළි කිරීමේ වඩාත් වලංගු ප්‍රවේශය ලෙස විද්‍යාව රැක ගන්නේ කෙසේද යන්න විද්‍යාව විසින්ම පෙන්වා දී තිබේ. විද්‍යාඥයින් විසින් පර්යේෂණ පවත්වා තිබේ. 2011 වර්ෂයේදී ඕස්ට්‍රේලියානු පර්යේෂකයින් දෙදෙනෙක් The Debunking Handbook නමින් ප්‍රකාශයට පත් කරන ලද පොතක තම සොයාගැනීම් පෙළගස්වා තිබේ. එහි ප්‍රතිඵල  පෙන්නුම් කරන්නේ බරපතල තත්ත්වයකි. එනම් ව්‍යාජ විද්‍යාවේ දෝෂසහගත බව හෙලිකිරීමෙන් පළක් නොවන බවයි.. ඇත්තටම සිදුවන්නේ එය ආපිට කැරකීමයි. අවිද්‍යාත්මක විශ්වාසයක පරස්පර විරෝධී බව දැක්වෙන කරුණු විස්තර කිරීමෙන් සිදුවන්නේ එම විශ්වාසය වඩාත් හොඳින් පැතිරයාම හා එය විශ්වාස කරන්නන් අතර එම විශ්වාසය තවදුරටත් ශක්තිමත් වීමයි. ඒ මොළය ක්‍රියාකරන ආකාරයයි. දුෂ්තොරතුරු රඳවා ගනියි. එයට එක් හේතුවක් වන්නේ ලෝකය ක්‍රියාකරන ආකාරය පිළිබඳ  පුද්ගලයෙකු තුළ පවතින මනෝමය ආකෘතිය හා එය ඇතිකර ගන්නා බැඳීමයි. එනිසාම දුෂ්තොරතුරු බැහැර කිරීමේ උත්සාහය අසාර්ථක වෙයි. මක් නිසාද යත් මනෝමය ආකෘතියේ දරාගත නොහැකි තරම් හිදැසක් ඇති කිරීමේ හෝ මනෝමය ආකෘතිය සම්පූර්ණයෙන්ම අහිමි වීමේ අනතුරක් පවතින නිසාය. 

එසේ නම් විද්‍යාව ගැන විශ්වාසය තබන්නෙකුට කළ හැකි දේ කුමක්ද? අනාගතය යනු එකිනෙකා අභිභවා යාමට රිසි කණ්ඩායම් අතර කෙරෙන නොනවතින අරගලයක්ද? එය එසේ විය යුතු නැත. පර්යේෂණයෙන් සොයගත් දේ අතර විද්‍යාව කෙරෙහි විශ්වාසය ගොඩනගන ආකාරය පිළිබඳව වූ සාධක ද විය. වැරදි විද්‍යාව වැරදි බව සනාථ කිරීම ප්‍රතිඵලදායී නොවන්නට පුළුවන. එසේ වුවද නිවැරදි විද්‍යාවෙහි සත්‍ය තොරතුරු සනාථ කිරීම ප්‍රතිඵලදායී වේ. ඒවා පැහැදිළි කරන  විස්තරය ඇතුළත් කිරීම ඊටත් වඩා හොඳය. උදාහරණයක් ලෙස ඔබ එන්නත පිළිබඳ මිථ්‍යාව වැරදි වීමට හේතුව ගැන  අවධානය යොමු කරන්නේ නැත. ඒ වෙනුවට ඔබ කරන්නේ දරුවන්ට එන්නත් දීම නොදී සිටීමට වඩා බෙහෙවින්ම ආරක්ෂා සහිත බව තහවුරු වී ඇති බව පෙන්වා දීමයි. ඒ බව අප දැනගන්නේ කෙසේද? අප හමුවේ ඇති අති මහත් සාධක සමූහය නිසාය.ඊට විකල්පය වූ පරීක්ෂණය ද අප අත්හදා බලා ඇති බවත් ඊට ඇතුළත් විය යුතුය. 1989 - 1991 අතර කාලය තුළ එක්සත් ජනපදයේ  දිළිඳු නාගරික ප්‍රජාවට අයත් දරුවන් අතර එන්නත්කරණය පහත වැටුනි. ප්‍රතිඵලය වූයේ පනස්පන්දහසක් සරම්ප රෝගීන් වාර්තා වීම හා එකසිය විසි තුනක් මරණ වාර්තා වීමයි. 

අනෙක් වැදගත් කාරණය නම් මිනිසුන් නොමග යැවීම සඳහා වැරදි විද්‍යාව විසින් යොදාගනු ලබන උපක්‍රම හෙළිදරව් කිරීමයි. වැරදි විද්‍යාවට එක්තරා රටාවක් තිබේ. මේ රටාව හඳුනාගන්නට මිනිසුන්ට උපකාර කිරීමෙන් ඔවුන්ට ස්වාධීනව විද්‍යාත්මක මතවලට එළඹීම සඳහා සන්නද්ධ කළ හැකිය. ලෝකය පිළිබඳ විද්‍යාත්මක දැනුමක් සහිත වීම යනු කුමන තොරතුරු විශ්වාසකටයුතු දැයි තීරණය කිරීමට ඔබට ඇති හැකියාවයි. ඉන් අදහස් වන්නේ සෑම ගැටළුවකටම අදාලව ඇති සියළුම සාක්ෂි ඔබ විසින්ම පීරා බැලීම නොවේ. එය කළ හැක්කක් නොවේ. විද්‍යාඥයෙකුට හෝ වෙනත් අයෙකුට තනිව ඉතා සුලු කොටසකට වඩා සම්පූර්ණයෙන් ප්‍රගුන නොකළ හැකි තරමට දැනුම දැවැන්ත හා සංකීර්ණ දෙයක් බවට පත්ව ඇත. පර්යේෂණ වල නිරත විද්‍යාඥයින් අතරින් තමන් අධ්‍යයනය කරන සංසිද්ධිය මුල සිට පැහැදිළි කළ හැකි  සංඛ්‍යාව අල්පයකි. ඔවුහු අනෙකුත් විද්‍යාඥයින්ගෙන් ලබාගන්නා තොරතුරු හා තාක්ෂණය මත යැපෙති. පුද්ගලයාට වඩා දැනුම හා විද්‍යාත්මක හැඩගැස්මේ ශක්තිය සමාජය තුළ මුල්බැස ගනී. අප "විද්‍යාත්මක ප්‍රජාවක්" ගැන කතා කරන විට බලාපොරොත්තු වන්නේ විචාරශීලී බවකි. ඉහල මට්ටමේ විද්‍යාව  බුද්ධිමය ශ්‍රමයේ සංකීර්ණ වූ බෙදීයාම මූර්තිමත් කෙරෙන සමාජ ව්‍යාපාරයකි. පුද්ගලයින් ලෙස ගත් තළ විද්‍යාඥයින් ද  කූට විද්‍යා විශාරදයින්ට නොදෙවෙනිව නාහෙට නාහන, අන්තවාදී ලෙස තම ප්‍රියතම න්‍යායන්ට ආශක්ත වූ හා තමන් අතින් වියහැකි වැරදි නොසලකා හරින අය විය හැකිය. ( විද්‍යාව ඉදිරියට යන්නේ එක් මළගෙයකට එක් වරක් බැගින් යන නිරීක්ෂණය මැක්ස් ප්ලැන්ක් ඉදිරිපත් කළේ එනිසාය. [Science advances one funeral at a time.]) එහෙත් සාමූහික උත්සාහයක් ලෙස එය අපූර්ව ආකාරයට ස්වයං නිවැරදි කිරීමෙහි යෙදේ. 

එහෙත් එය සංවිධානය වී ඇති ආකාරය එතරම් අලංකාර නැත. අවුල්සහගත සම-වෘත්තික සමාලෝචන ක්‍රියාවලිය (peer-review process), සඟරාවලට සපයන දුර්වල ලෙස සැකසූ ලිපි, සියුම් අපහාසාත්මක ස්වරයකින් යුතුව කර්තෘට ලියන ලිපි, අපහාසාත්මක සබ්රෙඩිට් (subreddit) ප්‍රතිචාර හා විද්‍යාස්ථානවල උදාරම් බව පෙන්වන ප්‍රකාශ යනාදී දේ වලින් පිරි විද්‍යාත්මක ප්‍රජාව දෙස සමීපව බැලූවිට පෙනෙනුයේ එය  සත්‍යය කරා යාමට සැකසූ මග කඩාවැටීමට ආසන්න කබල් වාහනයක් ලෙසය. එහෙත් සාමූහික මානසිකත්වය (hive mind) ඉදිරියටම ගමන් කරයි. එය සෑම විෂය ක්ෂේත්‍රයකම දැනුම ඉදිරියට ගෙන යයි. ස්වාධීනව තීරණවලට එළඹීමේ සිට කලාව හා සාහිත්‍යය කාලයත් සමග කෙසේ පරිණාමය වී ඇත්ද යන අවබෝධය හැඩ ගස්වන ස්නායුක විද්‍යාව හා පරිඝනකාශ්‍රිත සන්නිවේදනය ද ඇතුළත් මානව ශාස්ත්‍ර පවා මේ දැනුමේ ඉදිරි ගමනට ඇතුළත්ය

ඔබ අද නිසැකවම මානව ඉතිහාසයේ වඩාත්ම බලවත් සාමූහික ව්‍යාපාරය වන විද්‍යාත්මක ප්‍රජාවේ කොටසක් බවට පත් වේ. ඒත් සමගම ඔබට එය පැහැදිළි කරදී, විශ්වාසය නම් භූමිය හැකිලෙමින් යන කාලයක එම භූමිය යළි අත්පත් කරගැනීමට සහය වීමේ භූමිකාව ද උරුම වේ. මගේ සායනයේදී හා ප්‍රජා සෞඛ්‍යය පිළිබඳ කටයුතු වලදී පුවත්පත් කලාවේදීන් ප්‍රධාන ධාරාවේ විද්‍යාව ලෙස හඳුන්වන (හරියට අනෙක් එක විද්‍යාව වගේ ඕනැ දෙයක් කියනවා වගේ) ඉතාමත් මූලික වු දැනුම ගැන පවා දැඩි ලෙස සැක සංකා උපදවන මිනිසුන්  මට නිරන්තරයෙන් මුණගැසේ. ඒ කායික විද්‍යාව, පෝෂණය, ලෙඩරෝග, ඖෂධ හෝ වෙනත් ඕනෑම දෙයක් ගැන විය හැක. සාමාන්‍යයෙන් මෙසේ සැක කිරීම් කරනු ලබන්නේ අඩුම උගත්කමක් ඇති රෝගීන්ට වඩා වැඩිම උගත්කමක් ඇති රෝගීන් ය. අධ්‍යාපනය මිනිසුන් විද්‍යාවට නිරාවරණය කරන බව සත්‍ය වුවත් එය ඔවුන් වඩාත් පුද්ගලවාදී හා මතවාදී බවට පත්කරන නිෂේධාත්මක බලපෑමක් ද ඇති කිරීමට පුළුවන.

වරද නම් ඔබ අද ලබාගන්නා අධ්‍යාපනික සහතික පත්‍ර ඔබට සත්‍යය පිළිබඳ විශේෂ අධිකාරත්වයක් ලබා දෙන බව විශ්වාස කිරීමයි. ඔබ ලබාගෙන ඇති දෙය එනම් සැබෑ සත්‍ය ගවේෂණයේ ස්වභාවය කුමක්ද යන අවබෝධය සියල්ලටම වඩා වැදගත් වෙයි. එය එක් හුදෙකලා පුද්ගලයෙකුගේ නොව පුද්ගලයින් කණ්ඩායමක ප්‍රයත්නයකි. කණ්ඩායම විශාල වන තරමට වඩාත් හොඳය. අදහස් පසුපස හඹා යා යුත්තේ කුතුහළය, තොරතුරු දැනගැනීමට ඇති නොඉවසිල්ල, විවෘතභාවය හා විනය සහිතවය. වෙනත් වචන වලින් කියනවා නම් විද්‍යාඥයින් ලෙසය.

ඔබ සිතන්නේ කුමක්ද යන්නටත් වඩා ඔබ සිතන්නේ කෙසේද යන්න වඩා වැදගත් ය. මෙය අවබෝධ කරගැනීමට දැරිය යුතු වු අවදානම අද තිබෙනවාට වඩා වැඩි වන්නට ඉඩක් නැත. මක් නිසාද යත් අප සටන් කරමින් සිටින්නේ හුදෙක් විද්‍යාඥයින් වීමට පමණක් නොව පුරවැසියන් වීම ද සඳහා නිසාය.         

         

  


  

 


11 comments:

  1. වැදගත් කරැණු සහිත දේශණයක්. ස්තූතියි පරිවර්ථනය කොට පල කරාට 🙏

    ReplyDelete
  2. විද්යාවේ දියුනුවට ඉතා වැදගත් ඉට විරැද්දව නැගෙන පාර්ෂවය. මේක ඕනැම දේකට පොදුයි.
    ඒත් මිනිස්සු විමසා බැලීමකින් තොරව... අර හනමිට කාරයො වගේ වෙනවනම්, විමසා බැලීමකින් තොර වෙනවනම් ආන් ඒ මුලු මිනිස් කොට්මඨාසයට ඒක බොහොම නරකට හිටිවි. සහ බල ලෝභී පාලකයොත්, මුදලට ගිජු හාම්පුත්තුත් එය තම වාසියටම හරවා ගනීවි!

    ReplyDelete
    Replies
    1. අපේ රටේ නම් වෙන්නේ ඒක තමයි නේද?

      Delete
  3. අලුත් බ්ලොග් අඩවියක්. https://miniminipode.blogspot.com/

    ReplyDelete
  4. මේ වගේ ම මතවාදයක් තියෙනව නේද, ‌අජිනොමොටෝ කෑවම පිළීකා හැදෙනවය කියලා? මට කියවන්න ලැබුණා, ඒක එහෙම නෙවෙයි කියලා.

    ReplyDelete
  5. විද්‍යාවෙන් ලැබුනු ප්‍රතිපල භුක්ති විදන ගමන් විද්‍යවටම බනින අයත් කොච්චර ඉන්නවද. බනින්න පාවිච්චි කරන්නෙත් මයික් එකක් -Mayya -- https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
  6. විද්යාවෙන් මිනිසාට ලැබුනු ලොකුම ආශිර්වාදය තමා අවිද්‍යාවේ තිමිර පට ඉරාගෙන යන්නට තියුණු අවියෙන් හේ සන්නද්ධ වීම!
    එහෙත් ඒ විද්‍යාවෙන් උපන් දේ නැවත අවිද්‍යාවට යට කරණු දුටුවාම හිතා ගන්න බෑ හිනා වෙන්න ඕනෑ කොයි කොනෙන්ද කියලා!

    "හයිබ්‍රිඩ් රථ වල දෙහි එල්ලනවා වගේ!"

    ReplyDelete
  7. හොඳ ලිපියක්. මම වඩාත් කැමති විද්‍යාව විසින්ම විද්‍යාවේ ඇතැම් සොයා ගැනීම් බොරු කරමින් හෝ වැඩි දියුණු කරමින් ඉදිරියට යන එකට. විද්‍යාවත් ආගමක් කර නොගන්න තරමට හොඳයි

    ReplyDelete