ජාතියේ පහන් ටැඹ යට අඳුරු හෙවනැලි

 

(cartoon movement වෙතින්)

විශ්‍රාම යන සෑම රාජ්‍ය සේවකයෙකුටම මුහුණ දීමට සිදුවන අපූරු අත්දැකීමක් වෙයි. එයට මුලපිරෙන්නේ මෙසේය. විශ්‍රාම ගැනීම සඳහා ලියකියවිලි බාර දුන් පසුව විශ්‍රාමලාභියාට සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවීමක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් ලැබෙයි. එහිදී සිදුකරනු ලබන්නේ ඉදිරිපත් කරන ලද ලේඛනවල සත්‍යතාව තහවුරු කරගෙන විශ්‍රාම වැටුප අනුමත කිරීමයි. (අදාල කාර්යාල වලින් සියළු ලේඛන තහවුරු කළ පසු මෙවන් සම්මුඛ පරීක්ෂණයක් නැවත අවශ්‍ය වන්නේ කුමක් නිසාදැයි දන්නා කෙනෙකුට පැහැදිළි කළ හැකිය.) කෙසේ වුවද එතැන්හිදී විශ්‍රාම වැටුප් ලාභියාට දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන හැඳුනුම්පතක් ද ලැබෙයි. එය ද අපූරු හැඳුනුම්පතකි. එහි එක් පසෙක අදාළ පුද්ගලයාගේ නම, ලිපිනය, විශ්‍රාම වැටුප් අංකය යනාදී තොරතුරු ඇතුළත් වන අතර අනෙක් පැත්තේ පෞද්ගලික බැංකුවක වීසා කාඩ්පතකි. එය භාවිත කිරීමට එම බැංකුවේ ගිනුමක් ආරම්භ කළ යුතුය.