ජාතියේ පහන් ටැඹ යට අඳුරු හෙවනැලි

 

(cartoon movement වෙතින්)

විශ්‍රාම යන සෑම රාජ්‍ය සේවකයෙකුටම මුහුණ දීමට සිදුවන අපූරු අත්දැකීමක් වෙයි. එයට මුලපිරෙන්නේ මෙසේය. විශ්‍රාම ගැනීම සඳහා ලියකියවිලි බාර දුන් පසුව විශ්‍රාමලාභියාට සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවීමක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් ලැබෙයි. එහිදී සිදුකරනු ලබන්නේ ඉදිරිපත් කරන ලද ලේඛනවල සත්‍යතාව තහවුරු කරගෙන විශ්‍රාම වැටුප අනුමත කිරීමයි. (අදාල කාර්යාල වලින් සියළු ලේඛන තහවුරු කළ පසු මෙවන් සම්මුඛ පරීක්ෂණයක් නැවත අවශ්‍ය වන්නේ කුමක් නිසාදැයි දන්නා කෙනෙකුට පැහැදිළි කළ හැකිය.) කෙසේ වුවද එතැන්හිදී විශ්‍රාම වැටුප් ලාභියාට දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන හැඳුනුම්පතක් ද ලැබෙයි. එය ද අපූරු හැඳුනුම්පතකි. එහි එක් පසෙක අදාළ පුද්ගලයාගේ නම, ලිපිනය, විශ්‍රාම වැටුප් අංකය යනාදී තොරතුරු ඇතුළත් වන අතර අනෙක් පැත්තේ පෞද්ගලික බැංකුවක වීසා කාඩ්පතකි. එය භාවිත කිරීමට එම බැංකුවේ ගිනුමක් ආරම්භ කළ යුතුය.

 එසේ කරන ලද කෙනෙක් තවමත් මෙම ලියුම්කරුට මුණගැසී නැත. ලියුම්කරු කළේ ද නැත. අනුමාන කළ හැක්කේ එක් පැත්තක් බැංකුවේ වීසා කාඩ්පතක් කිරීමේ හිලව්වට බැංකුව විසින් නොමිලේ හැඳුනුම්පත සකස් කිරීමේ බරපැන දරනවා විය හැකි බව ය. එමෙන්ම සම්මුඛ පරීක්ෂණය නිමවා ආපසු ඒමට එළියට බැස්ස තැන් සිට දුරකතනයට මෙන්ම කන් දෙකට ද නිවාඩුවක් නැත. ඒ ලංකාවේ තිබෙන සියළුම පෞද්ගලික බැංකු වලින් පාරිතෝෂිකය එම බැංකුවේ තැන්පත් කරන්නටත් එය ඇපයට තබා ණයක් ගන්නටත් කරන ඇවිටිලි නිසාය. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් එළියට බැස බසයකට නගින්නටත් පෙර එන මෙවන් ඇමතුම් අපට කියාදෙන්නේ අපගේ පෞද්ගලික ලිපිගොනුවේ තොරතුරු සම්මුඛ පරීක්ෂණය අතරතුරම හෝ එය නිම වූ සැනින් පෞද්ගලික බැංකු අතට පත්කරනු ලබන බව ය. විශ්‍රාම වැටුප් ලාභියාගේ අවසරයකින් තොරව ඔහුගේ හෝ ඇයගේ තොරතුරු වෙනත් පාර්ශවයක් අතට පත් කිරීම කෙතරම් දුරට නිත්‍යානුකූල ද හා සදාචාරාත්මක දැයි දෙපාර්තමේන්තුව පැහැදිළි කළ යුතුය.  මෙතරම් දිගට කරුණු කියන්නට සිදු උනේ එසේ බැංකුවක් කියන දේ අසා ණයක් ගත් පසුව සිදුවූ අලකලංචියක් ගැන කියන්නටය. හැබැයි ගත්තේ රාජ්‍ය බැංකුවකින් මිස පෞද්ගලික බැංකුවකින් නොවේ. 

මෙම සිදුවීමට මුහුණ දුන් තැනැත්තා තම විශ්‍රාම වැටුප ඇපයට තබා ලංකා බැංකුවෙන් රු.1 000 000 ක ණයක් ගත්තේය. ගන්නා ණය මුදල තීරණය කළේ මසකට විශ්‍රාම වැටුපෙන් ගෙවීමට හැකි උපරිම මුදල අනුව ය. බැංකුව නියමිත දිනදී විශ්‍රාම වැටුපෙන් මෙම වාරිකය අඩුකර ගනී. එහිදී එවකට අය කළ 9% පොලිය අනුව වාරිකය රු. 10749 විය. එය තහවුරු කරගැනීම සඳහා යළි විමසීමේදී ලිපිකරු අවධාරණය කළේ වාරික 168 කින් කපා නිමකර ගන්නා තෙක් එය නොවෙනස්ව පවතින බවය. එහෙත් පසුගිය සතියේ දැකගන්නට ලැබුනේ රු. 16000 ඉක්මවූ මුදලක් වාරිකය ලෙස කපාගෙන ඇති බවයි. අදාළ බැංකු ශාඛාවේ කලමණාකරුගෙන් කළ විමසීමකදී ලැබුන ප්‍රතිචාරය පහත පරිදිය. 

"අපි විශ්‍රාම වැටුපට දීපු හැම ණයකටම විචල්‍ය පොලිය තමයි දැම්මෙ. අපි හිතුවේ නෑ මෙච්චර පොලී අනුපාතය වැඩිවෙයි කියලා. සමහර අයගේ විශ්‍රාම වැටුප මදි වාරිකය කපාගන්න. දැන් සාකච්ඡා කරගෙන යනවා සහනයක් දෙන්න. ගෙවන්න අවුරුදු තුනක් වැඩිපුර දෙන්න වගේ." 

ඔහුට අනුව දැන් පොළිය 18% කි. මේ පිළිතුර සත්‍ය නම් බැංකුව කර ඇත්තේ වංචාවකි. ණය දීමේදී ස්ථාවර පොලියට දෙන්නේ යයි වාචිකව පවසා ගිවිසුමේ විචල්‍ය පොලිය ඇතුළත් කර ඇත. එමෙන්ම බැංකු පොලී අනුපාත ඉදිරියේදී හැසිරෙන ආකාරය පිළිබඳව කිසිදු අවබෝධයක් තිබුනේ නැතැයි කියන කළමනාකරුවකු විශ්වාස කළ හැකි ද යන්න සිතා බැලිය යුතු කරුණකි. කළ යුතු දේ නම් ණය ලබාගන්නා තැනැත්තාගේ අභිමතය පරිදි ස්ථාවර හෝ විචල්‍ය පොලිය තෝරාගැනීමට අවස්ථාව ලබා දීමයි. දැන් මෙහිදී ගනුදෙනු කරන්නා අත්සන් කිරීමට පෙර ණය ගිවිසුමට අදාළ ලිපි ලේඛන කියවා සෑහීමකට පත් වී අත්සන් තැබිය යුතුය යන සාධාරණ තර්කය ගොඩනැගිය හැකිය. එසේ වුවද සත්‍යය නම් අවශ්‍ය ලිපිලේඛන සකසා ඇත්තේ කියවා අත්සන් තැබීමට නොව නොකියවා අත්සන් තැබීමට බවය. කුඩා අකුරින් හා බොහෝ විට ඉංග්‍රීසි බසින් පමණක් සැකසී ඇති මෙම අයදුම්පත්‍ර නිසි පරිදි කියවා තේරුම් ගැනීමට නම් ගෙදර ගෙනැවිත් නිවිසැනසිල්ලේ කියවිය යුතු තරම් දිගකින් යුතුය. යථාර්තය නම් කවුන්ටරය හරහා දිගුකරන පොත දිගුකරන සැනින් කතිර දමා ඇති තැන්වල අත්සන් කළ යුතු වීමය.

 ඉහත දැක්වෙන කළමනාකරුගේ 'නොකළමනා' පිළිතුරෙහි ඇඟවෙන පරිදි වටහා ගත යුතු සත්‍යය නම් ණය පොළිය වැඩි වීමට නියමිත බව දැන දැනම   ස්ථාවර පොළියට දෙන බව පවසා විචල්‍ය පොළියට ණය දි විශ්‍රාම වැටුප් ලාභීන් අසරණ කර අයුතු ලාභයක් ඉපයීමය. ජාතියටම පහන් ටැඹක් වනවා යයි උදම් අනන රාජ්‍ය බැංකුවක් ආලෝකය වෙනුවට අඳුර පතුරන්නේ මෙසේය. 

මේ පිළිබඳ තවත් විස්තර 2022-08-28 දින අනිද්දා පුවත්පතෙහි  පළවූ  පහත දැක්වෙන  ලිපියෙන් දැනගත හැකිය. 


 

6 comments:

  1. හැම තැනම වංචාව.

    ReplyDelete
  2. හැම රෙද්දක්ම වෙන්නේ රහසින් වගෙය
    එළියට දෙන news සේරම බාගෙටය
    වගකීමට කෙනෙක්- පිරිසක් නැත්තේය
    හැම වරදටම විඳවිය යුත්තේ අපිය!

    ReplyDelete
  3. බුලත් මඩිස්සලේට හෙන ගැහුවම හුණු කිල්ලෝට වලට වෙනදේ ගැන තේරුම්ගතෑකි... මේවයින් අන්තිම අඩියෙ ඉන්න මිනිහ තමා ඉතීම් තැලෙන්නෙ

    ReplyDelete
  4. රජයේ බැංකු වලට එරෙහිව මඩ ප්‍රහාර දියත්කරන මෙම බ්ලොග් අඩවිය පිලිබදව ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශනය කරන අංශය දැනුවත් කරෙමි.

    ReplyDelete
  5. බැංකු අවසානයේ ජය ගනී

    ReplyDelete