රජකාලේ රසකතා

 


ලෝකය පුරාම පෙර රජවරුන් රජ කළ සමයේ ද අද මෙන්ම රජුගේ රාජ සභාවේ කවටයකු සිටි බව ප්‍රකට ය. මේ කාලයේ මෙන්ම ඒ කාලයේ ද කවටයාගේ රාජකාරිය වූයේ රජතුමා සතුටින් තැබීම ය. මෙම කාර්යය සඳහා කෙරුනු අකට විකට වලදී සියුම් උපහාසය තුලින් රජතුමා පවා විවේචනයට ලක් කරන්නට ඔහු පසුබට නොවුන බව ද  එවන් අවස්ථාවලදී රජු කෝපයට පත් නොවුන බව ද එම යුගවලට අයත් ජන ප්‍රවාද පිරික්සීමෙන් පෙනී යයි. එසේම අදට වඩා හොඳින් එවකට සිටි කවටයින් එම කාර්යය කළ බව ද ඒ කතා වලට සවන් දීමේදී පෙනී යයි. 

රේස් බුකියට ගිය ෆේස් බුකිය!

 

(cartoon movement වෙතින්)

වාසිතය බ්ලොග් අඩවිය කරන  ඩියොන් මිතිල ප්‍රනාන්දු ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පී මයිකල් ඇන්ජලෝ පිළිබඳව අපූරු ලිපියක් තම බ්ලොග් අඩවියේ පළ කර තිබිණ. එම තොරතුරු ගොනුකර ගැනීම පිණිස ඔහු සෑහෙන වෙහෙසක් දරන්නට ඇත.

ප්‍රියන්ත කුමාර, ඉම්රාන් ඛාන් හා vigilante

 

 


 

vigilante යන වචනය මා ඉගෙන ගන්නේ Westerns නමින් හැඳින්වෙන අමෙරිකාවේ ගොපළු වීරයන් ගැන වූ කතා කියවීමට හා චිත්‍රපට බැලීමට ඇබ්බැහි වූ පසුව ය. යම් ප්‍රදේශයක අපරාධ වැඩිවන විට නීතිය බාර නිලධරයා වන ෂෙරීෆ් ඊට නිසි පියවර නොගන්නා විට නීතිය තම අතට ගෙන වැරදිකරුවන්ට දඬුවම් දෙන සන්නද්ධ කණ්ඩායම් සඳහා එම වචනය යෙදින. ශබ්ද කෝෂය එම වචනය අර්ථ ගන්වන්නේ මෙසේ ය.
a person who tries in an unofficial way to prevent crime, or to catch and punish someone who has committed a crime, especially because they do not think that official organizations, such as the police, are controlling crime effectively. Vigilantes usually join together to form groups.
මේ වචනය ගැන යළි අවධානය යොමුවන්නේ පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් විසින් එරට දී අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්වන ශ්‍රී ලාංකිකයා පිළිබඳව නිකුත් කරන ට්විටර් පණිවුඩයේ එම ඝාතනය සිදුකිිරීමට හවුල් වූවන් හැඳින්වීමට එම වචනය භාවිත කිරීම නිසා ය.
අර්ථය එසේනම් ඔහු අදහස් කරන්නේ දඬුවමට භාජනය වූ තැනැත්තා වරදක් කර ඇති මුත් ඔහු දඬුවමට ලක්කල ආකාරය වැරදී කියන පණිවුඩය ද?
ඉස්ලාම් දහමට අපහාස කිරීම පකිස්තාන නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර එවන් නඩුවක සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු තම ජීවිතය පිළිබඳ ආශාව අත්හැර එසේ කළ යුතු ය.

නටවන වීණාව

 

මෙම කතාව තෝරා ගත්තේ ද මුණිදාස කුමාරතුංග මහතාගේ ශික්ෂා මාර්‍ගය පොත් මාලාවේ හතර වන පොතිනි. චාටුකාරයෝ සඳහා ලියූ හැඳින්වීමෙහි සඳහන් කරුණුවලට අමතරව මෙහි සඳහන් කළ යුතු වන්නේ අද ද අපි ජීවත්වන්නේ මෙහි එන මසුරලා, සිසිරාලා හා අධිකරණ නායකයින් විසින් පාලනය කරනු ලබන සමාජයක බවය. ගිනි පොළී කන මසුරෝ ඒ වස්තුවෙන් රිසි සේ රන්වන් කුරුල්ලන් රස විඳිති. වෙහෙස මහන්සියෙන් උඩට නගින සිසිරා ලා අනෙකුන් කටු අකුල්වලට ලා වීනා වයා නටවති. ඒ වීනා වාදනයටම නටන අධිකරණ නායකයෝ වීනා වයන්නන්ට ඕනෑ හැටියටම තීන්දු දෙති. අප ජීවත්වන වෙළඳපොල ආර්ථිකයේ හැටි සොබාව ද මෙසේම ය. 



සිසිරා බොහෝ කල් ගෙයක මෙහෙය කෙළේ ය, බර මෙහෙ කෙළේ ය, වෙහෙස නො බලා මෙහෙ කෙළේ ය, කෑම ඇඳීම පමණක් ම ලැබ මෙහෙ කෙළේ ය. හවුරුදු සයකට පසු ගෙ හිමියෝ සිසිරාට රන් දහසක් දී ඔහු නිදහස් කළ හ.

හා! සිසිරා ගේ ප්‍රීතිය! හේ නැටී ය. ගී කී ය, මහා සිනාසිණ, කුරුල්ලකු මෙන් පියා හඹන්නට ද තැත් කළ. නිදහස් බව සිසිරාට ද එ පමණ ප්‍රිය විය. මෙ සේ යන ඔහුට ඔබල වූ මිටි සිරුරු ඇති අසරණයෙක් සමු වූයේ ය.

'මට හිඟමනක් දෙන්න. මම ඔබට කැමැති වර තුනක් දෙමි.'

හඃ හඃ හා! මගෙන් හිඟමන් ඉල්ලන ඔබ යි මට වර දෙන්නේ! ඒ කවටකමින් කමෙක් නෑ, මෙන්න ඔබට මුදල්. මා ඉපැද මෙ තෙකට ලැබුනේ මෙ පමණ යි. ගන්න, ගන්න. හොඳට කන්න, හොඳට බොන්න. මටත් වඩා ප්‍රීත වෙන්න.

මෙ සේ කියා සිසිරා යන්නට හැරුනේ ය.

අසරණයා ඔහුට යන්නට නුදුන්නේ ය.

නෑ, නෑ. එ සේ යන්නට නොදෙමි. මා දිළිඳු මුදලිනු යි, වරයෙන් නො වේ. එක් වරයක් ඉල්ලා බලන්න.

මට නො වරදින තුවක්කුවක් දෙන්න.

ආශ්චර්‍යයෙකි! සැණෙකින් සිසිරා ගේ අතෙහි තුවක්කුවෙක් පහළ විය. සතුටට පත් සිසිරා නටවන වීණාවක් ඉල්ලී ය. එය ද සැණෙකින් පහළ විය. එය වයන කල නො නටා සිටිය හැක්කෙක් නැති. ඉක්බිති සිසිරා තමා ගේ ඉල්ලීමක් නො සිස් වන්නට ද වර ලබා-ගෙන, අද්භූත වූ අසරණයාට හිස නමා නැඟී ගියේ ය.

මඳක් දුර යන විට සිසිරා හඳුනන්නෙක් සමු විය. හේ තද මසුරෙකි. මුදල් ණයට දී අයුතු පොළී ගන්නෙකි. හේ ගසෙක උන් රන්වන් කුරුල්ලකු දෙස මහත් ආශාවෙන් බලා උන්නේ ය. සිසිරා ඔහුට කවටකමක් කරන්නට සිතා, කුමක් ද මේ බලා ඉන්නේ යි ඇසී ය.

අර රන්වන් කුරුල්ලා. මේ අතේ කිමෙක් ද?

නො වරදින තුවක්කුවක්.

හා! එසේ නම් අර කුරුල්ලා හෙළන්න.

සිසිරා තුවක්කුව එල්ල කළා පමණෙකි, කුරුල්ලා අසල කටු පඳුරට වැටුණේ ය. මසුරා වහා එයට බඩ ගෑයේ ය.

දැන් තමා අයුතු පොළී ගත්තාට දඬුවම් කරන්නට කාලය. මෙ සේ කියා සිසිරා වීණාව ගෙන වයන්නට වන්නේ ය. කුරුල්ලා ගැනුම තබා මසුරා කරන්නට වන්නේ අනෙකකි. කෙ බඳු නැටුමෙක් ද? බලවු! බලවු! මසුරා ගේ අත යන සැටි! පය යන සැටි! හිස නැමෙන සැටි! කඳ ඇඹරෙන සැටි! මසුරා කිසි නැටුමක් නො දන්නෙකි; එහෙත් සිසිරා එ බඳු හොඳ නැටුමක් කිසි කලෙක නුදුටුයේ ය. අභාග්‍යය නම් ඒ කටු පඳුරක් වීම යි. නටත් නටත්, මසුරා ගේ පිළි ඉරී-ගියේ ය. රවුළ සිඳී ගියේ ය, කෙස් අවුල් වී ගියේ ය, සම සීරී ගියේ ය, සර්‍වාංගයෙන් ලේ ගලන්නට වන. 'අහෝ, නැවැත් වුව මැනව, නැවැත්වුව මැනැව' යි මහ-හඬ නැගූව ද සිසිරාට ඒ නො ඇසෙයි. හේ වය යි. මසුරා නට යි.

බැරි තැන මසුරා, මුදල් පසුම්බිය දෙමැයි කියා වීණාව නවතන ලෙස ඇයැදියේ ය. සිසිරාට මුදලින් කම් නැති. එහෙත් අයුතු පොළී කොට ලත් මුදල් ගැනීම වරදෙකැයි නොසිතුනේ ය. එ හෙයින් හේ කැමැති ව වීණාව නැවැත්වී ය. මසුරා පඳුරින් මෑත් ව මුදල් පසුම්බිය දී, මම කටයුතු දනිමියි කියමින් නික්මුණේ ය. සිසිරා ද සිනා සෙමින් මුදල් පසුම්බිය ගෙන, කැමැති අතෙක ගියේ ය.

මසුරා ගියේ අධිකරණයට ය. හේ එහි මහ හඬින් හඬා තමා  ගේ නඩුව කී ය.

පින්වත් සාමි දරුවෙනි, ම ගේ පිළි බැලුව මැනැවි, ගතින් ගලන ලේ බැලුව මැනැවි. එක් සොරෙක් මට මේ ගැහැට කොට, ම ගේ මුදල් පසුම්බිය ද ගත. හේ දැන් මහ වත යෙමින් සිටියේ ය. වහා නියුක්තයන් යවා ඔහු ගත මැනැවි.

අධිකරණ නායකයෝ සිසිරා ගෙන් වූ හ. තතු විමැසූ හ. මට දුන් පසුම්බිය ය මා ගත්තේ ය යි කී සිසිරා ගේ බස් නො හදහා, ඔහු ජීව ශූලයෙහි හිඳුවන්නට නියම කළ හ. ඔබ හැම මා හුල හිඳුවන තැනට අව මැනැවැයි සිසිරා යැදියේ ය. අධිකරණ නායකයෝ මැනැවැයි ගිවිසිය හ.

වධකයෝ සිසිරා ගෙන, වධ බිමට ගියෝ ය. අධිකරණ නායකයෝ ද සපිරිවර ව ගිය හ. මසුරා ද සතුරා නසින හැටි බලමි යි ගියේ ම ය. ම ගේ වීණාව වයා මැරෙන්නට අවසර දුන මැනැවැ යි සිසිරා යැදියේ ය. මසුරා එපා, එපා ය යි මහ හඬ නඟතුදු, අධිකරණ නායකයෝ මැනැව යි කී හ. මා බඳුව, බඳුව යි මසුරා බැගෑ පත් ව යැදියේ ය. සියල්ලෝ ඔහු පිස්සකු කොට-ගත් හ.

සිසිරා වීණාව වයන්නට වන්නේ ය.

අධිකරණ නායකයෝ ද වධකයෝ ද මසුරා ඇතුළු සෙසූ සියල්ලෝ ද, පළමු කොට හිසින් තාලය බලන්නට වන් හ. දෙ වැනි ව, අත් නගන්නට හෙලන්නට වන් හ. ඉක්බිති පාද ඔසවන්නට වන් හ. කදිම නැටුමෙකි.කල් යත් යත් නැටුම වේගවත් ය. පැයක් පමණ නැටූ පසු සියල්ලන් ගේ ගතින් ඩා වැගිරෙන්නට විය. කටින් සුසුම් හඬ නික්මෙන්නට විය. නවත්වන්නට කියන බස සිසිරාට නොඇසේ. හෝරාවක් පමණ නටා, ඉතා වෙහෙස වූ අධිකරණ නායකයෝ, සිසිරාට කිසි දඬුවමක් නො කරන බව කියා වීණාව නැවැත් වූ හ. සිසිරා සත්‍ය ප්‍රවෘත්තිය කීයේ ය. අධිකරණ නායකයෝ මසුරා හුල හිඳුවා සිසිරා මිදූ හ.  

 

 

ගෑස් පිපිරීම් වළක්වා ගන්නා නොවරදින මග - රාජ්‍යයට සේවය පිණිසයි.

 


ලියමින් සිටි බ්ලොග් ලිපිය ද නවතා මෙය ලියන්නට ගත්තේ කාරණයේ බරපතලකම නිසාම ය. ප්‍රමාද කිරීමෙන් නැතිවීමට ඉඩ ඇති එක් ජීවිතයක් හෝ බේරා ගැනීමේ අවස්ථාව ගිලිහී යාමට ඉඩ ඇති ය.

චාටුකාරයෝ

 

 මෙය උපුටා ගත්තේ මුණිදාස කුමාරතුංග මහතා විසින් රචිත ශික්ෂා මාර්‍ගය නම් වූ සිංහල පෙළපොත් මාලාවේ දෙ වන පොතෙනි.

මේ බ්ලොග් අඩවියේ මුල් යුගයේදීම කට්ටයයි වෙට්ටපිත්තලයයි නමින් පැරණි සිංහල පෙළපොතකින් උපුටා ගත් උපහාස කතාවක් ඉදිරිපත් කළෙමි.  (එය මෙතැනින්) මෙය ද එවැනිම කතාවකි. එය පළ කිරීමට හේතු වූ කරුණු එහි හැඳින්වීමෙහි දැක්වෙයි. එම කරුණු මීට ද අදාළ ය.

 ඊට අමතරව මෙහි සඳහන් කළ යුතු කරුණු දෙකක් වෙයි. අප පාසැල් ගිය කුඩා අවධියේ අපට වඩා ඉහල පන්තිවල සිටි අපගේ වැඩිමහලු සොයුරු සොයුරියන්ගේ සිංහල හා ඉංග්‍රීසි පෙළපොත් බැරි බැරි ගාතේ වුවද කියවීමට රුචිකත්වයක් දැක්වූයෙමු. ඒ ඒවායේ ඇතුළත් වූ විචිත්‍ර වූ කථාන්තර නිසා ය.

දියවැලක් ඔස්සේ සොයා ගිය හැටි!

             



ප්‍රවීණ පුවත්පත් කලාවේදී හා ලේඛක සිරිලාල් කොඩිකාර මහතා සිය දිවි ගමන නිමා කළ පුවත දින කිහිපයකට පෙර අසන්නට ලැබිණ. ඒ සමගම මගේ මතකයට නැගුනේ එතුමන් ලියූ පොතක් සොයා ගොස් මා මුහුණ දුන් අපූරු අත්දැකීමකට ය. 

ආදරණීය බලුපැටියා වෙතටයි!

 ගෙදර හැදෙන සුරතල් සතෙකුගේ වියෝව කෙතරම් දැයි දැනෙන්නේ සතුන් කෙරෙහි දයාව හා අනුකම්පාව සිත්හී පහල වන කෙනෙකුට පමණි. සිත්පිත් නොමැති (නො)මිනිසෙකු විසින් අතුරුදන් කරන ලද අපගේ සුරතල් සුනඛයා පිළිබඳ මතකයෙන් ගොඩ එනු නොහැකි වූ හෙයින් යමක් ලිවීමට සිත එකඟ කරගත නොහැකි විය. (ඒ විස්තරය මෙතැනින්) එනිසා කලකට පෙර පරිවර්තනය කරන ලද කතාවක් මෙහි බහාලමි. එයද සුරතල් බල්ලෙකු ගැනය. උපුටා ගත්තේ Reader's Digest වෙබ් අඩවියෙනි. 





මරණයට අත වනන මුත්‍ර කිරීම





මිනිසා සමාජයෙහි ජීවත් වීම සඳහා යම් යම් චර්යා රටා ගොඩනගා ගෙන සිටී. මෙය පසු කලෙක රටක නීති පද්ධතියක්, ව්‍යවස්ථාවක් දක්වා ගමන් කරන්නට ඇත. මෙසේ නිල හා නොනිල වශයෙන් පනවා ගත් නීති හා සමාජ සම්මත  සමාජයට කොතෙක් දුරට හිතකර ද යන්න විවාදාපන්න වූ මාතෘකාවකි. මිනිසා වෙනුවෙන් පනවා ගත් සම්මතයක් සතෙකුට ආරෝපනය කිරීම හා ඒ අනුව ඌට මරණීය දණ්ඩනය පැනවීම පිළිබඳව නම් විවාදයක් තිබිය නොහැකිය. 

අළුත් සින්ඩියක්!

සඳකඩපහන නමින් අළුතින් සින්ඩියක් ඇරඹී තිබෙන බව පෙනේ. ප්‍රචාරයක් අවශ්‍ය බව ද සඳහන් කර තිබිණ. මේ ඒ සඳහායි. මෑතක සිට සිංහලෙන් ලියැවෙන බ්ලොග් යළි ප්‍රචලිත කිරීමට උත්සාහයක් පවතින බව පෙනේ. ඒ සඳහා ලිවීමට හැකි අය ලිවීමට පෙළඹවීම මෙන්ම කියවන්නන් කියැවීමට පෙළඹවීම ද අත්‍යවශ්‍ය ය. උත්සාහය සාර්ථක වේවා! සුබ පැතුම්!  
 

එල්ලා මැරීම

 

 ලේඛකයා පිළිබඳව:



ජෝර්ජ් ඕවල් (1903 – 1950)   නම් ලේඛකයා ලොව ප්‍රකට වූයේ Animal Farm හා Nineteen Eighty-Four යන කෘති දෙක නිසා ය. එම කෘති දෙකින්ම නිදහස පිළිබඳ මිනිසාගේ ආශාව හා එය යටපත් කිරීම සඳහා මිනිසා විසින්ම ගන්නා පියවර පිළිබඳව තියුණු විවේචනයක් එල්ල කරයි. මේ කෘති දෙකම සිංහලෙන් පළ වී පාඨකයින්ගේ අවධානය දිනා ගැනීමට සමත් වූ නිර්මාණ වෙති. 1931 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කරන ලද පහත දැක්වෙන නිබන්ධය (essay) ඔහුගේ මුල් කාලයේ නිර්මාණවලට අයත් ය. මෙය නිබන්ධයක් ලෙස හෝ කෙටිකථාවක් ලෙස හෝ වර්ග කිරීම ද විවාදයට තුඩු දී ඇත. වරෙක ලේඛකයා විසින්ම කතාවක් සේ හඳුන්වා ඇති මෙම නිර්මාණය තවත් තැනක ඔහු හඳුන්වා ඇත්තේ නිබන්ධයක් ලෙස ය. කෙසේ වුව ද බ්‍රිතාන්‍යයන් විසින් බුරුමය පාලනය කළ යුගය පසුබිම් කරගෙන ලියවී ඇති මෙය ලේඛකයා බුරුමයේ පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කළ කාලයේ සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් රචනා කරන ලද්දක්  සේ සැලකේ. 

මරණීය දණ්ඩනය ඡන්ද පොරොන්දුවක් වී ඇති මෙකළ කියවීමට වටිනා ලියවිල්ලක් ලෙස දකිමි. 



                              එල්ලා මැරීම

(gettyimages වෙතින්)

ඒ බුරුමයේ වැස්සෙන් තෙතබරිත වූ උදෑසනක් විය. කහ පැහැති ඇළුමිනියම් කොල මෙන් මලානික වූ ආලෝකයක් උස් තාප්ප වලට ඉහලින් සිරගෙදර මිදුලට පතිත වෙමින් තිබිණ. අපි මරණයට නියම වූ සිරකරුවන්ට වෙන්කර ඇති සිරකුටි අසල බලා සිටියෙමු.

ගුරු සංගමයේ ඉල්ලීම මත හෙද වැඩ වර්ජනය නවතී!

 

(කාටූනය cartoonmovement වෙතින්)

වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා මඩගස්කරයේ රජයේ රෝහල්වල හෙද හෙදියන් විසින් දියත් කර ඇති වැඩ වර්ජනය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හැර දමා රජය විසින් ලබාදෙන හොඳම විසඳුම පිළිගන්නා ලෙස එරට අන්තර්ජාතික ගුරු සංගමයේ ලේකම් ලියොන් ට්‍රොට්ස්කි මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඉල්ලීමක් කර තිබේ.

සුදුලූනු වලට වෙච්ච වැඩේ!

 



(චිත්‍රය අන්තර්ජාලයෙන්)

එක්තරා රටක හිටපු තරුණයෙකුට ඕනැ උනා හොඳ බිස්නස් එකක් කරලා තමන්ගෙ පවුල නඩත්තු කරන්න. ඔහු දහඅතේ කල්පනා කළා මොකද්ද පටන්ගන්නේ කියලා. මෙහෙම කල්පනා කරමින් ඉන්නකොට එයාට මුණගැහුනා ලෝකය පුරාම ඇවිදල හුඟක් දේවල් දැනකියාගත් කෙනෙක්. තමන් ලෝකෙ පුරාම යද්දි දැකපු දේවල් විස්තර කරන අතරෙ එක රටක් ගැන කිව්වා. ඒ රටේ ලූනු නෑ. ඉතින් ඒ රටේ මිනිස්සු කවදාවත් ලූනු දැකල තිබුනෙ නෑ.

අවුරුදු 57ක් ආපස්සට යමු!



ඉහත දැක්වෙන්නේ 1964-11-12 දින ලේක්හවුස් ආයතනයෙන් නිකුත් කළ නවයුගය සඟරාවේ පටුන දැක්වෙන පිටුව (පිටකවරය ඉරී ගොසිනි.) හා එහි විදෙස් පුවත් පිටුවෙන් උපුටාගත් පුවතක ඡායාරූපයකි. එහි අදහස වන්නේ මෙහි දැක්වෙන්නේ වසර පනස්හතකට පෙර ඉන්දියාවේ සිදුවූ සිදුවීමක් බවය. අප මෙය කියවන්නේ 2021 වසරේදීය. වසර පණස්හතකට පෙර ඉන්දියාව සිටි තැනට යාමට අපට තව වසර කීයක් ගතකිරීමට සිදුවේද?
 

රට, වහල නැතිවෙනවද? ඇරල නැතිවෙනවද?

  

(ඡායාරූපය Tumblr වෙබ් අඩවියෙනි.)


වසර එකහමාරකට ආසන්න කාලයක් පුරා කෝවිඩ් ගැන බොහෝ දේ ලියැවී ඇත. විෂය පිළිබඳ විශේෂඥයින් මෙන්ම අප වැනි අවශේෂ ජනයා ද ඊට දායක වී ඇත. පසුගිය දිනවල මාතෘකාව වී තිබුනේ රට වැසිය යුතුද, නැද්ද යන කරුණයි. රජය අකමැත්තෙන් වුවද බර වැඩි පැත්තේ පීඩනයට නතුවී නාමික රට වැසීමකට පියවර ගත්තේය. ඊලඟට මතුවූ ප්‍රශ්නය වූයේ රට වැසීමේ කාලය දික් කරන්නේ ද යන්නය. එය ද වැඩි බර පැත්තට බරවී සතියකින් දිගු වී ඇත. එහෙත් රට වැසීම ඉල්ලා සිටි අයවත් අකමැත්තෙන්  හෝ එය දුන් ඇත්තන්වත් ඉන් පලක් වෙතැයි බලාපොරොත්තු නොවීම මෙහි ඇති උත්ප්‍රාසයයි.

නුවණක්කාර අක්කාට ප්‍රශ්න පත්තරයක්!

 




1.අක්කේ, බදු වලින් නිදහස් කරත් කිරිපිටි වලින් ලාබයක් ගන්න බෑ කියන්නෙ ඇත්තද?

සිතන්නා සහ තහවුරුකරන්නා

 

රොබට් ඇන්ටන් විල්සන්ගේ Prometheus Rising කෘතියේ ආරම්භක පරිච්ඡේදයෙන්


අමෙරිකාවේ මනෝ විද්‍යාවේ පියා සේ සැලකෙන විලියම් ජේම්ස් වරක් පැවසුවේ ඔහුට හමුවූ වියපත් කාන්තාවක් පෘථිවිය රැඳී තිබෙන්නේ වීශාල කැස්බෑවෙකුගේ පිට මත බව සඳහන් කළ බවයි.

 එහෙත් මහත්මියනි, එම කැස්බෑවා රැඳී සිටින්නේ කුමක් මතද? මහාචාර්ය ජේම්ස් හැකිතාක් ආචාරශීලී ලෙස විමසා සිටියේය.

ආ, ඒක තේරුම්ගන්න ලෙහෙසියි. ඌ සිටගෙන ඉන්නේ තවත් කැස්බෑවෙකුගේ පිට මතයි.

ඡන්දය, ගැලපෙන අපේක්ෂකයා හා මස්කට්ට

 

  පහත දැක්වෙන කතාංගයට පසුබිම් වන්නේ අමෙරිකාවේ කුඩා ජනපදයක (county) ෂෙරීෆ්වරයෙකු තෝරාගැනීම සඳහා පැවැත්වීමට නියමිත ඡන්දයකට සිය අපේක්ෂකයා තෝරාගැනීම සඳහා එම පලාතේ ප්‍රභූ පුරවැසියන් කිහිපදෙනෙකු අතර පැවැත්වෙන සාකච්ඡාවකි. ෂෙරීෆ් යනු ජනපදයක නීතිය ආරක්ෂා කරමින් සාමය පවත්වාගෙන යාම සඳහා එම පලාතේ පුරවැසියන්ගේ ඡන්දයෙන් පත්කර ගත් නිලධාරියා හැඳින්වෙන නමයි. මෙම නවකතාව මුද්‍රණය වී ඇත්තේ 1922 වර්ෂයේදීය. එයට පසුබිම් වන්නේ 19වන ශතවර්ෂයේ අගභාගයයි. එකල මැතිවරණ වලට අපේක්ෂකයින් තෝරාගත් ආකාරය හා අද අප ජීවත්වන 21වන ශතවර්ෂයේ මැතිවරණ වලට අපේක්ෂකයින් තෝරාගන්නා ආකාරය අතර වැඩි වෙනසක් නොමැති බව කතාව කියවන විට පෙනීයයි.

ගුරුවරයෙක් වූ ගුරුවරයෙකු පිළිබඳ සටහනක්

(ඡායාරූපය hechingerreport.org වෙතින්)


 මීට වසර දෙකකට පෙර සිදුවූ පාස්කු ප්‍රහාරයේ කම්පනය තවමත් සමාජය හරහා රාව, ප්‍රතිරාව දෙනු පෙනේ. චෝදනා හා ප්‍රතිචෝදනා ද එලෙසමය. ප්‍රහාරයේ "මහමොලකරු" (නො)සෙවීම මේ චෝදනා හා ප්‍රතිචෝදනා වල ප්‍රධාන මාතෘකාව වී ඇති බවද පැහැදිළිය. මෙම ප්‍රහාරය මෙහෙයවූ මහමොලකරුවෙකු සිටියේ නම් එය හෙලිදරව් කරගැනීම මෙන්ම දඬුවම් පැමිණවීම ද අත්‍යවශ්‍ය බව සැබෑය. එහෙත් එතරම්ම සැබෑවන තවත් කරුණක් තිබේ. එනම් මහමොලකරුවෙකුට ප්‍රහාරය දියත් කිරීම සඳහා අවශ්‍ය ඉස්ලාමීය අන්තවාදී අදහස්වලින් විකෘති වූ මනස් වලින් යුත් සහයකයින් පිරිසක් නිර්මාණය කරගැනීමට හැකිවූ බවය. එසේ නම් සමාජය ඉදිරියේ තවත් වගකීමක් තිබේ.

අපි තමයි හොඳටම කරේ!

 

( www.deviantart.com වෙතින් )

ඌරෙක්ගෙ හැඩයට? නගර-පාලක හඬ නැගීය.

ඌරෙක්ගෙ හැඩයට. කියූ පණිවිඩකරුවා නික්ම ගියේය.

අසුබ අවුරුද්දක අසුබ දවසක්. නගර-පාලක පසුතැවිලි විය.

මග හිටියත් තෝ නසී. ගෙදර ගියත් තෝ නසී!


(cartoonmovement.com වෙතින්)


දෙවෙනි මාත්‍රාව දීම සඳහා ඉතිරිව ඇති සීමිත ඇස්ට්රා සෙනෙකා එන්නත් ප්‍රමාණය ප්‍රමුඛතාව බිඳිමින් හොරපාරේ යන බවට වාර්තා පළවෙයි. මෙය ඇත්ත නම් කියන්නට සිදුවන්නේ "මග හිටියත් තෝ නසී. ගෙදර ගියත් තෝ නසී." කියාය. ප්‍රමුඛතාව දියයුතු අයට එය නොලැබෙනවා කියන්නේ වෛරසය පැතිරීම පාලනය කළ නොහැකි මට්ටමට පැතිරෙනවා කියන එකය. එසේ පැතිරෙන්නේ නිකම්ම නොව විවිධ නව වෛරස් ප්‍රභේද බිහිකරමින් බව වෙනත් රටවල අත්දැකීම් වලින් පෙනේ. එසේ බිහිවන වෛරස් ප්‍රභේද එන්නතට යටත් නොවන අවස්ථා ඇති බවද පෙනේ. එමනිසා හොර පාරෙන් ගොස් "හපන්කම" කරගත්ත අය ඔක්සිජන් ටැංකියක් ද එම පාරෙන්ම හොයාගෙන තියාගන්න එක ඇඟට ගුණය. අපට නම් ඔය එකක්වත් නැති නිසා මුඛ වැස්මේත් සබන් කෑල්ලේත් පිහිට විතරය.

පොල්තෙලින් සීනි දියකරන ලංකාවේ පෞද්ගලික අංශය

  

මෙහි දැක්වෙන්නේ මවිසින් සුපිරි වෙළඳසැලකින් මිලදී ගන්නා ලද තිරිඟු පිටි පැකට්ටුවක් හා එය විවෘත කළවිට දක්නට ලැබුන පරණ වීම නිසා කැදලි බැඳුන තිරිඟු පිටිය. එහෙත් කල් ඉකුත් වීමේ දිනය අනුව එය පැරණි වී නැත! 

මේ දිනවල සියලු මාධ්‍යවල ලංකාවේ ජනජීවිතයට අදාලව ජනප්‍රිය වී ඇති (කොරෝනා ව්‍යසනය හැරෙන්නට) මාතෘකාව වී තිබෙන්නේ ගෑස්ය. ටික කලකට පෙර එය පොල්තෙල්ය. ඊට කලකට පෙර එය සීනිය. ඊටත් පෙර එය ටයිල්ය. ඒ සියල්ලට පෙර බැඳුම්කර වංචාවය. මේ සියල්ලම හරහා හුයක් මෙන් දිවෙන සහල් මිල, කැලෑ කැපිල්ල හා පරිසර විනාශය පිළිබඳ චෝදනාය. මේ සියලුම කරුණු එකට ගොනුකරන  පොදු සාධකයක් තිබේ. එය නම් ශ්‍රී ලංකාවේ පෞද්ගලික ව්‍යාපාරික ප්‍රජාවයි.

ලියා දන්වන වග නම්...

 

(cartoonmovement.com)


මහ පොලව, මහ පොලව,

නුඹ මෙරිගෝ රවුමේ නැගගෙන

විනාශයේ පතුළටම යයි,

මහ මුහුද උකුම උකු හොදි හැලියක් කර

පැසවා සැරව උතුරන ගුහා පිරි.

ජනාධිපති ආරක්ෂකයෙකුගේ මතක සටහන් - අවසාන කොටස

 

දිමිත්‍රි සාටොන්ස්කි
පළමුව I හා II කොටස් කියවන්න
 (කාටූනය: istockphoto.com වෙතින්)

තමා කවුද?” අවසානයේ ඔහුගේ මුවින් එළියට පැන්නේය. ගල්ගැසී සිටි මා ඉන් මිදී වහා නැගිට සිටියේ එවිටය. මම ලෙෆ්ටිනන්ට් කර්නල් වරයෙකු බවත් ඔහුගේ කායාරක්ෂකයෙකු බවත් කියා සිටියෙමි.

වාඩි වෙනවා.” ඔහුගේ කටහඬෙහි නොපහන්බවක් බවක් පෙනෙන්නට තිබිණ.

ජනාධිපති ආරක්ෂකයෙකුගේ මතක සටහන් - II

 

   දිමිත්‍රි සාටොන්ස්කි

මෙය කියවීමට පෙර පළමු කොටස මෙතැනින් කියවන්න                      

 

(කාටූනය istockphoto.com වෙතින්

අපගේ රාජකාරිය වූයේම කිසිවකුගේ අවධානයට ලක් නොවන සේ සිටීමයි. හුරුපුරුදු දේවල් පිටුපස සැඟවීම, පසුබිමෙහි රැඳී සිටීම, ජනයා අතරම නොපෙනී යාම ඒ සඳහා යොදාගත්  උපක්‍රමයි. පෙනෙන ලෙස සිටියදී පවා කිසිවකු අප දුටුවේ නැත. රාජ්‍ය නායකයා අප පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකළේය. ඔහුගේ පය පැකිළුනොත්, වැටෙන්නට ගියහොත් හෝ සමබරතාව ගිලිහී ගියහොත්

ජනාධිපති ආරක්ෂකයෙකුගේ මතක සටහන් - හැඳින්වීම + I කොටස

 

හැඳින්වීම:

අප ස්වභාවයෙන්ම කුතුහළයෙන් යුක්ත වෙමු. නොදන්නා දේවල් පමණක් නොව දන්නා පුද්ගලයින් පිළිබඳ නොදන්නා තොරතුරු සෙවීමෙහි ද නොසංසිඳෙන පිපාසයකින් යුතු වෙමු. ජනප්‍රියත්වයේ ඉහලටම යාම නිසා ප්‍රකට වන්නන් මෙන්ම පහලටම යාම නිසා ප්‍රකට වන අය ද අපගේ මෙම පිපාසයට ගොදුරු වෙති. අපගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අප පාලනය කිරීමේ වගකීම බාරගෙන ඇති දේශපාලනඥයින් ද මින් මිදෙන්නේ නැත

රිය අනතුරු නවත්වන්න නස්රුද්දින් ලංකාවට ඇවිත්!

 




(moralstories26.com වෙතින්)


අතීත කතාව:

නස්රුද්දින් වෙත නඩුවක් ඇසීම පිණිස මිනිසුන් දෙදෙනෙකු පමුණුවනු ලැබුවා. මොකක්ද, ප්‍රශ්නය? නස්රුද්දින් ඇසුවා.

මේ මිනිහා මට ගහලා මගෙ කන හපා කෑවා. එක් මිනිසෙක් කිව්වා.

ඔය මිනිහා කියන්නේ බොරු, කන හපාගත්තේ එයාමයි. අනෙක් මිනිසා උත්තර බැන්දා.

සත් සතියෙන් සති හතරක් - කෙටි නාට්‍යය

 ග්‍රීම්ගේ සුරංගනා කතාවක් ඇසුරෙන්  ශ්‍රී ලංකාවේ පසුබිමට ගැලපෙන පරිදි ලියන ලද කෙටි නාට්‍යයකි. 

( සැලකිය යුතුයි: මෙය සුරංගනා කතාවක් බවත් ශ්‍රී ලංකාවේ කොතැනකවත් සිදුවූ සිදුවීමක් නොවන බවත් සහතික කරමි.)



ස්ථානය - කලාප අධ්‍යාපන කාර්යාලය

ගුරුතුමිය:            

මම මේ මාසෙ විශ්‍රාම යනවා, මගේ අවසාන වැටුප පේ ෂීට් එකට දාලා තිබුනෙ නෑ.

අහම්බෙන් මොහොතක

             

                           (ඡායාරූපය bsnscb.com වෙතින්)


කෙලි කවට සිනා කැටි පෙණ නගන සතුටු සාමීචි දිය දහර

මතක කොදෙව්වේ රැඳුනු එක් තැනක නැවතුන මොහොතක,

හිරිවැටී ගොළු වීය සිත, සැනින් මතුවූ මතකයෙන්.

කොපමණ කලකට පෙරද අප ගියේ ඉසව්වට!

නාග වෙස්ගත් වෘක මිනිසා

 ජනපතිවරණයට සතියකට පෙර පහල වූ කුප්‍රකට නාග ධාතු කතා වස්තුව දැන් පැරණි රසාංගයකි. නමුත් එහි විවිධ ස්වරූප වරින් වර සමාජය තුළ පහළ වී භක්තිය, විශ්වාසය හා හාස්‍යය දනවමින් යටයනු පෙනේ. එනිසාම ඒ පිළිබඳව කෙරුනු කතා ද යළි යළිත් අළුත් කළ හැකිය. මෙහි පළවන්නේ 2019-12-08 දින රාවය පුවත්පතට මා සැපයූ ලිපියකි. මාතෘකාව පමණක් මදක් වෙනස් කළෙමි.


                                                         (ඡායාරූපය: deviantart.com වෙතිනි.)

                                  අමෙරිකාවේ වෘක මිනිසා හා කැළණියේ නාගරාජයා 

‘Western’ ලෙස හැඳින්වුන ගොපලු කථා රචනයෙහි ලා ජනප්‍රිය වූ ලේඛකයින් අතුරෙන් ප්‍රමුඛ තැනක් ගත්තෙකි, ලුයී ල‘අමෝ (Louis L’Amour). ඔහු විසින් ලියන ලද නවකථා හා කෙටිකථා රාශියකි. මා මෙහිදී අවධානය යොමුකරන්නේ ඔහු විසින් රචිත ‘Big Medicine’ නම් වූ කෙටිකථාව කෙරෙහිය. ඒ, ජනපතිවරණය මුවවිට තබා බුදුරදුන්ගේ ධාතූන් වහන්සේලා ද මුවින් ගෙන කැළණියට සම්ප්‍රාප්ත වූ නාගරාජයා සිහියට නගාගත්විට මෙම කෙටිකථාවෙන් අපූර්ව රසයක් විඳගත හැකි බැවිණි. මේ කෙටිකථාවට පාදක වූයේ තමා පීඩාවට පත්කල ණයබරින් ගැලවීම සඳහා රත්තරන් සොයා රතු ඉන්දියානුවන් ගහන වන මැද ජීවිතය පරදුවට තැබූ බිලී ඩන්බාර් නම් වියපත් පුද්ගලයාගේ චරිතයයි.

බිලී ඩන්බාර් රත්තරන් ගැරීම සඳහා යන්නේ අපාචේවරුන් සැරිසරන ශුෂ්ක ප්‍රදේශයකටය.  අපාචේවරු යනු නවීන ආයුධ වලින් සන්නද්ධව සිටි යුරෝපීයයන් පවා බියට පත්කිරීමට තරම් සටන් කලාවෙහි දක්ෂ වූ ඉන්දියානු ගෝත්‍රික කණ්ඩායමක් ලෙස හඳුන්වන ල‘අමෝර්, ඔහුගේ නිර්මාණ ගණනාවකම සඳහන් කරන්නේ ලෝකයේ දක්ෂම ගරිල්ලා සටන් කරුවන් වන්නේ අපාචේවරුන් බවයි.

 ඔවුන්ගෙන් සැඟවී සිටීමට ඔහු තෝරාගන්නේ කුඩා විවරයකින් ඇතුළුවිය යුතු පටු දෝනාවක් බඳු තැනකි. මෙහි සැඟවී සිටියදී අපාචේ ප්‍රහාරයකට ලක්ව ජීවිතය බේරාගැනීමට උපායක් සොයන ඔහුගේ නෙත ගැටෙන්නේ එහිම ගුහාවක සිටින වෘකයෙකි. එතැන් සිට අප කථාවට ප්‍රවේශ වෙමු.

 එක්වරම ඔහුට අදහසක් පහළවිය. එය කෙතරම් අපූරුද යත් ඔහුගේ මුවට සිනහවක් මතුවිය. ඒක හරියන්න පුළුවන්! අඩුගානෙ උත්සාහ කරල බලන්න වටින එකක්! කොහොම හරි අපාචේකාරයින්ගෙන් ගැලවෙන්නත් එපායැ.

ඔවුන්ගේ මිථ්‍යා ඇදහිලි හා විශ්වාස පිළිබඳව ඔහුට යම් අවබෝධයක් තිබිණ. හරියන බවට ස්ථිරවම විශ්වාස කළ නොහැකි වුවද අදහස ඔලුවට ආ සැනින් එය අතනොහැරිය යුතු උපායක් බව ඔහුට දැනිණ.

 ගමන් මල්ලේ තිබූ ඇඳුමට මාරුවූ ඔහු තමා ඇඳ සිටි ඇඳුම් වූ කලිසම, කබාය හා සපත්තු පැහැදිළි ලෙස පෙනෙන සේ   එළිමහනේ තබා තොප්පිය ද ඒ අසල තැබීය.

 කෝටු කැබලි කිහිපයක් රැගෙන වෘක ලෙන අසලට ගිය ඔහු එහි දොරටුව අසල කුඩා ගිනිමැලයක් දල්වා ඉක්මනින් ආපසු පැමිණ වටපිට බැලීය. ගුහාවෙන් පිටවන විවරය අවට කිසිවෙකුත් නැත. එහෙත් ඒ දෙස යොමුව සැඟවීගත් දෙනෙත් ඇතිබව ඔහු දැන සිටියේය.

ගින්නෙන් පිටවූයේ කුඩා දුමක් වුවද එය හමාගියේ වෘක ලෙන තුළටය.  වැඩි වේලාවක් ගියේ නැත. වෘකයා ගුලෙන් එළියට පැන, ගුහාව මැද නතරවී, දත් විලිස්සා, වටපිට බලා ගුහාවෙන් එළියට පැනගත්තේය.

වහා ක්‍රියාත්මක වූ ඔහු ගින්න නිවා කෝටු කැබලි හා අඟුරු විසුරුවා හැර අතු කැබැල්ලක් ගෙන බිම හොඳින් අතුගා දැමීය. වැඩි වෙලාවක් යන්නට පෙර ඔවුන් එනු ඇත.

වෘක ලෙනට රිංගා වෘකයාගෙන් හැලී තිබූ කෙඳි ස්වල්පයක් ඇහිඳගත් ඔහු තම ඇඳුම් දමා තිබූ තැනට ගියේය. කෙඳි ස්වල්පයක් කමිසය මත දැමූ ඔහු තවත් ටිකක් කලිසම අසල තැබීය. පටු විවරය දෙස කලබලයෙන් හෙලූ බැල්මට කිසිදු ඉන්දියානුවෙකු හසු නොවූවද ඔවුන් වෘකයා දුටුබව නිසැකය. ඔවුන්ගේ විමතිය හා පටලැවිල්ල ඔහුට මැවී පෙණින.

දියපහර වෙත දිවගිය ඔහු වතුරට ආසන්න ඉවුරෙන් මැටි ගුලියක් ගෙන ආවේය. මේ කරන්නේ වැඩි හොඳටය. වැඩේ හරියටම හරියන්නට පුළුවන. මැටි ටිකකින් ඔහු රළු ලෙස මිනිස් රූප දෙකක් හදා තණපත් දෙකක් ඒවායේ හිස්වලට තබා ගැටගැසීය.

පටු විවරය දෙසට වරින්වර හොර බැලුම් හෙලමින්  කඩිමුඩියේ එවැනි රූප හයක් සාදාගත් ඔහු ගසකින්කඩාගත් කටු හා ලඟ තිබූ ගලක් අසලින් හොයාගත් පැරණි ඉත්තෑකූරු කිහිපයක් ගෙන මැටි රූප සිදුරුවන සේ ඒ හරහා ගැසීය.

ඉන්පසු ආරක්ෂාවට පටු විවරය හරහා ඉදිකරගෙන තිබූ කොට තාප්පය දෙසට හරවා ඒවා පේලියට තැබීය. අන්තිම වරටත් ඇතුළුවන විවරය දෙස ඉක්මන් බැල්මක් හෙලූ බිලීට ඉන්දියානුවෙකු ඈතින් මතුවී  ඔහු සිටි දෙසට ඇස් යොමාගෙන  සිටගෙන සිටිනු පෙණින.

ඔවුන් බෙහෙවින් පරිස්සම් වනබව දැනසිටි බිලීට ඊලඟට වෙන්නට යනදේ සිහියට නැගී ඉබේම සිනහවක් පහල විය. රයිෆලය, පතරොම්, වතුර බඳුන හා ආහාර ටිකක් එකතු කරගත් ඔහු වෘක ලෙන ඇතුලටම රිංගා ගත්තේය.

පලමුවරට ආ වෙලාවේ ඔහු දැනගත් පරිදි මෙහි පැටව් සිටියේ නැත. ගුහාවේ කෙළවර ගල බෑවුම් වී ඉඳගෙන සිටීමට හැකි පරිදි සකස් වී තිබිණ. ගිනිකූරක් දල්වා බැලූවිට දකුණුපස තවත් කුඩා ගුහාවක් වැනි ගුලක් පෙණින.

බිලී පරිස්සමින් නැවතත් ඇතුළුවන තැනට බඩගෑවේය. එතැන වැලිමත සටහන්ව තිබූ වෘක අඩි සලකුණු නොමැකෙන ලෙස ඔහුගේ අඩි සලකුණු මකා දමා ආපසු ලෙනේ ඇතුළටම පසුබැස ඉඳගත්තේ කොට බිත්තිය පෙනෙන පරිදිය.

රළුවට සාදා තිබූ බිත්තියට උඩින් හිසක් මතු උනේ තවත් පැය බාගයක් පමණ ගිය පසුය. එය ඉත්තෑකූරු කොණ්ඩයකින්, රතු හිස් පටියකින් හා තියුණු ශක්තිමත් පෙනුමකින් යුත් නායකයාගේය.

අනෙකුත් හිස් ද එකින් එක ඔහු අසලින් ඉහලට නැගින. අපාචේවරු හයදෙනෙක් තාප්පයට උඩින් පැන කුඩා බිම්කඩට පිවිසුනහ. කලබලයකින් තොරව බියට පත් ලොකු ඇස්වලින් වටපිට බැලූහ. හැම දෙයක් දෙසම හාත්පස බලනවිට ඇඳුම් හා මැටි රූප දෙසට ද දෑස් යොමුවිය. එක් ඉන්දියානුවෙක් උගුර යටින් හඬක් නගා එදෙසට ඇඟිල්ල දිගු කළේය.

ඔවුහු ලඟට විත් නැවතී දෑස් දල්වා මැටිරූප දෙස බියමුසු බැලුම් හෙලූහ. මේ මැටි රූප වලින් අදහස් වන දේ ඔවුන් හොඳින් දැන සිටියහ. එහි තේරුම නම් කට්ටඩියෙකු විසින් ඔවුන් හැමකෙනෙකුම මරාදැමීම සඳහා ගුරුකමක් කරඇති බවයි.

එක් ඉන්දියානුවෙකු ආපස්සට පැමිණ ඇඳුම් දෙස බැලුවේය. ඉන්පසුව බියපත්ව කෑගසා වෘක ලොම් දෙසට ඇඟිල්ල දිගු කළේය!

ඔවුහු බියපත් දෑසින් වටපිට බලමින් එකට එකතුවී කතා කරන්නට වූහ. ඔවුන් විශ්වාස කළ පරිදි ඔවුන් කොටුකර ගත්තේ සුදු මිනිසෙකි. අපාචේවරුන් ගැන දැනසිටි බිලී ඔවුන් ඔහුගේ උස, බර, වයස ආසන්න වශයෙන් දැනසිටි බවට සැකයක් නොවීය. පියවර අතර දුරින්, වැඩ කරඇති විදියෙන් හා බුරුල් පස් ඇති තැන්වල සටහන්ව ඇති ඔහුගේ අඩි සලකුණු වලින් ඔවුන්ට  මේ තොරතුරු දැනගත හැකිබව ඔහු දැන සිටියේය.

කොටුකර ගත්තේ සුදු මිනිසෙකු වුවත් ඔවුන්ගෙන් ගැලවී ගියේ වෘකයෙකි! ඔහුගේ ඇඳුම් බිම වැටී තිබේ. ඒවායේ වෘක ලොම් තැවරී ඇත.

සෑම ඉන්දියානුවෙකුම, වෘක රූපයෙන් මිනිස් රූපයට ද මිනිස් රූපයෙන් වෘක රූපයට ද සිතූ සැනින් වෙස් මාරු කළ හැකි වෘක මිනිසා නම් අමුතු සතා ගැන දැන සිටියහ. උන්ට මිනිසෙකු නිදියනවිට උගුරු දණ්ඩ කඩාගත හැකි අතර ලමයින්ගේ සිරුරු තුලට වෘක ලේ ඇතුළු කල හැකිය.

දවස ගෙවීගොස් ඇත. මහලු බිලී ඩන්බාර් වැඩ කරමින් සිටින අතරතුර හිරු ත්ෂිතිජයට ලඟා වී තිබූ බව ඔහුට මතකය. ඉන්දියානුවෝ නොසන්සුන් ලෙස වටපිට බැලූහ. මෙය මරණයේ ශාපය ඔවුන්ගේ හිස් මත පතිත කළ, මිනිසෙකු මෙන් පැමිණ වෘකයෙකු ලෙස පිටව ගිය, බලගතු ආත්මයක් වූ වෘක මිනිසෙකුගේ ගුහාවකි.

එක්වරම, කාන්තාරය දෙසින් වෘකයෙකු කෑගසන හඬක් නැගින.

අපාචේවරු තිගැස්සුනේ එක්වරම අකුණක් පිපිරුවාක් මෙනි. ඔවුහු එකාමෙන් ආපසු හැරුනි. ඔවුන් කොට තාප්පය ලඟට යනවිට දුවමින් සිටියහ.

හිරු නැගෙන තෙක් වෘක ගුහාවේ කට අද්දරට වැතිර රාත්‍රිය ගත කල මහලු බිලීට වෘකයා පැමිණ නොසන්සුන් ලෙස  බලා ආපසු යනු පෙණින. හිරු නැගෙත්ම ඔහු ගුහාවෙන් එළියට බඩ ගා ගත්තේය.

තණකොල කමින් සිටි බූරුවන් දෙදෙන හිස උස්සා ඔහු දෙස බැලීය. බඩු පටවන සෑදලයක් අතට ගත් ඔහු “හෙන ගහන්ඩ! මොකටද ආපසු යන්නේකියමින් එය ආපසු දැමීය.

පරණ  රයිෆලය හා අමතර ගැරුම් වට්ටිය අතට ගත් ඔහු ඉල්ලම අසලට පැමිණ වැඩ පටන් ගත්තේය. පරිස්සමින් වටපිට ඇස යොමු කරමින් සිටියද කිසිදු අපාචේ ඉන්දියානුවෙකු පෙනෙන්නට නොවීය. ඔහු සිතාගෙන සිටියාටත් වඩා හොඳින් රත්තරන් මතුවන්නට පටන් ගත්තේය. තව දවස් දෙකතුනක් මෙහෙම- එක්වරම ඔහු හිස උස්සා බැලීය.

ඉන්දියානුවෝ දෙදෙනෙක් ඔහුට මුහුණ ලා එළිමහනේ සිටගෙන සිටියහ. ආසන්නයේම සිටි එකා ඉදිරියට පැමිණ ගලක් මත යමක් තබා ඉවත්විය. ඔවුන් ආපසු යනතුරු ඇනතියාගෙන බලාසිටි බිලී ගල වෙත ගියේය. තිබුනේ මුවහම් කැබැල්ලක ඔතා තිබූ මුව ගාතයකි!

ඔහුට ඉබේම සිනහවක් පහලවිය. දැන් ඔහු බලගතු ආත්මයකි, වෘක මිනිසෙකි. මුවමස් සාමය පතා කෙරෙන පිලිගැන්වීමකි. එය පිළිගත යුතුය. අපාචේවරුන්ගේ රටට පැමිණ ඕනෑතරම් රත්තරන් ගැරීමට දැන් බාධාවක් නැතිබව ඔහුට වැටහිණ.

දින කිහිපයකට පසු වෘකයෙකු දඩයම් කළ ඔහු ඌ හමගසා හිස කොටස තබාගෙන සිරුර වලදැමීය. හිස කොටසින් තොප්පිය මත පැළඳිය හැකි සේ හිස් වැස්මක් නිමකරගෙන යන යන තැන එය හිසෙහි දමාගෙන ගියේය.

මසකට පසු බූරුවන් දෙදෙන පිටුපසින් ෆ්‍රිමොන්ට් වෙත පැමිණි ඔහුට ගේට්ටුව අසල සිඩ් බාර්ටන් තරුණයා සමග කතා කරමින් සිටින සැලී මුණගැසිණ. හා, කොහොමද! යනුවෙන් සිනහවක් පෑ සිඩ්, වෘක සම් හිස්වැස්ම දෙස ප්‍රශ්නාර්ථයක් සහිත බැල්මක් හෙලා, “ඕක මෙහෙ දාන්නැත්තං හොඳයි, වෘකයෙක් කියල කවුරුහරි රැවටෙන්න පුළුවන්.යැයි පැවසීය. මහලු බිලීට ඉබේම සිනහවක් පහලවිය. “ඔහේ හරියටම හරි! මම වෘකයෙක් තමයි. ඕන නම් අපාචේවරුන්ගෙන් අහල බලන්න!

කථාව අවසන් වන්නේ එසේය. මේ කථාව කියවූ පසු මගේ සිතෙහි පැන නැගුනේ ලුයී ල‘අමෝර් මේ වනවිට ජීවත්ව සිටියේ නම් ඔහුගෙන් අසන්නට තිබුනා නේදැ‘යි දැනුන එකම එක ප්‍රශ්නයකි.

“21වන සියවසේ මුල් භාගයේ සිංහල බෞද්ධයින් අතර සිදුවූ දෙයක් 18වන සියවසේ මැද භාගයේ අමෙරිකාවේ අපාචේ ගෝත්‍රිකයන් අතර සිදුවූ  ලෙස දශක ගණනාවකට පෙර ඔබ ලිව්වේ කෙසේද?