මිනිසා සමාජයෙහි ජීවත් වීම සඳහා යම් යම් චර්යා රටා ගොඩනගා ගෙන සිටී. මෙය පසු කලෙක රටක නීති පද්ධතියක්, ව්‍යවස්ථාවක් දක්වා ගමන් කරන්නට ඇත. මෙසේ නිල හා නොනිල වශයෙන් පනවා ගත් නීති හා සමාජ සම්මත සමාජයට කොතෙක් දුරට හිතකර ද යන්න විවාදාපන්න වූ මාතෘකාවකි. මිනිසා වෙනුවෙන් පනවා ගත් සම්මතයක් සතෙකුට ආරෝපනය කිරීම හා ඒ අනුව ඌට මරණීය දණ්ඩනය පැනවීම පිළිබඳව නම් විවාදයක් තිබිය නොහැකිය.
අප නිවසෙහි සුරතලයට ඇති කරන බැල්ලියන් දෙදෙනෙකු වෙයි. වන්ධ්‍යාකරණයට ලක් කිරීමේදී සිදුවූ යම් අතපසු වීමක් නිසා එයින එකෙක් පැටවුන් නොලැබුන ද නිසි කලට පිරිමි සතුන් ආකර්ෂණය කරගනී. මෙය අපට බෙහෙවින් අප්‍රසන්න වූ කාලයක් වන්නේ ගමේම සිටින බල්ලන් අප ගේ අවට රැස් වී ජයග්‍රහනය පතා සටන් කිරීමෙහි නිරත වන බැවිනි. මා බිරිඳගෙන් වැඩියෙන්ම දොස් අසන කාලය ද මෙයයි. වරෙක මෙසේ පැමිණි එක් බල්ලෙක් නියමිත කාලය ඉක්ම ගිය පසු ද පිටව යාම ප්‍රතික්ෂෙප කර නිවස අවටම රැඳී සිටියේය. එලවා දැමීමට කොපමණ උත්සාහ කලත් සාර්ථක උනේ ද නැත. අවසානයේ සිදුවූ දෙය නම් ඌ ද අප නිවසේම සාමාජිකයෙකු විීමයි. මේ දෙදෙන අතර යම් බැඳීමක් ද පෙනෙන්නට තිබුන බැවින් ගෙදර අය මේ දෙපල හැඳින්වූයේ "හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්" ලෙසය.
උගේ විවිධ හැසිරීම් රටා නිසා ඌට නොයෙකුත් විකට නම් පටබැඳී තිබිණ. අවසානයේ 'දුඹුරු' ලෙස උගේ වර්ණය අනුව ඌ බෞතීස්ම කරන ලදී. ගමේ විශේෂ අවධානයට ලක්වන්නට මෙන්ම යම් අගය කිරීමකට ලක්වන්නට ද හේතු වූ හැසිරීමක් ඌට තිබුනේය. උගේ මුල් අයිතිකරුට නගරයේ කාර්මික වැඩපලක් තිබිණ. උදයට අයිතිකරු සමග ලොරිය පසුපස වැඩපලටම ගොස් ආපසු පැමිණීමත් සවස ඔහු පැමිණෙන විට ලොරියේ ශබ්දය ඇසුනු විට පෙරමගට ගොස් ඒ සමග ආපසු පැමිණීමත් දෛනික දින චර්යාවේ කොටසක් වී තිබිණ. අප නිවසේ පදිංචියට පැමිණි පසු ද මේ රාජකාරිය ඉටුකිරීම සඳහා යන බව අපට නිරීක්ෂණය විය. සමහර දිනවල රාත්‍රී ආහාරයෙන් පසු පිටව ගොස් පැමිණෙන්නේ පසුදින උදයේය. එවිට ලොරිය යට නිදාගත් සලකුණු කලු පැහැයෙන් ඇඟ පුරාම දක්නට ලැබෙයි.
මා දුටු විරිත්තීමට හැකියාවක් ඇති එකම බල්ලා දුඹුරු ය. කෑම දෙන වේලාවට එය මදක් ප්‍රමාද වන බවක් පෙනුන හොත් ලඟට විත් මුහුණ බලා විරිත්තයි. තවත් ප්‍රමාද වන්නේ නම් බුරයි. එමෙන්ම අනෙත් දෙදෙනා මෙන් රසවත් කෑම ඉල්ලා පෙරැත්ත කරන පුරුද්දක් ද නොවීය. අප නිවැසියන් නිතර කිව්වේ දුක් විඳල පුරුදු නිසා කෑම තේරීමේ පුරුද්දක් නැති බවය.
මේ සියලු පුරුදු මැද එක්තරා අප්‍රසන්න පුරුද්දක් ද අප සුරතලාට තිබුනේය. එය නම් තැන නොතැන නොබලා කකුල ඉස්සීමේ පුරුද්දයි. මෙය සෑම බල්ලෙකුටම පොදු වුවද මූට එය මදක් වැඩිපුර පිහිටා තිබුණි. කෑම කෑ පසු ඒ ලඟම තැනකට කකුල ඉස්සීම නොවරදින චර්යාවකි. මේ නිසාම අප ඌට කෑම දුන්නේ නිවසේ මදක් ඈත කෙලවරකය. උගේ අවසානය ඉක්මන් කරේ ද මේ චර්යාව බව මගේ වැටහීමය. (ඒ ගැන පසුව)
අකුණු ගැසීමේ ශබ්දයට දැක්වූයේ අප්‍රමාණ බියකි. ශබ්දය ඇසුනු සැනින් නතර වන්නේ ගේ ඇතුලේ මුල්ලකය. මෙහි සඳහන් කළ, නොකළ උගේ මෙවන් චර්යා රටා සමහර විට කරදරයක් ලෙස පෙනුනත් අපට නම් ගෙන දුන්නේ ප්‍රමෝදයක් හා විනෝදයකි. ඒ ඌ සතෙකු බව අවබෝධ කරගෙන සිටි නිසාය. එහෙත් මීට ටික කලකට පෙර අප නිවස අසල පුද්ගලයෙකු උගේ මූත්‍ර කිරීමේ පුරුද්ද ගැන සඳහන් කොට මැරෙන්නට ගහන බවට කළ තර්ජනය මගේ මතකයට යළි නැගුනේ උගේ හදිසි අතුරුදන් වීමට පසුය. බොහෝ අය කෝප වූ විට මෙවන් ප්‍රතිචාර දක්වන බැවින් මා එය බරපතල ලෙස ගත්තේ නැත.
ඌ අතුරුදන් වූ රාත්‍රියේ ඇසුන බල්ලෙකුගේ මර ලතෝනිය අසරණ සතාගේ ඉරණම විසඳූ මොහොත බව මගේ අනුමානයයි. බැඳ තබාගෙන පාලනය කළ හැකි සතෙකු නොවූ දුඹුරු කැමති වෙලාවට නිදහසේ ආවේය, ගියේය, කෑම කෑවේය. පසෙකට වී තමන්ගේ පාඩුවේ නිදා ගත්තේය. ආ විලසින්ම බලාපොරොත්තු නොවූ ලෙස යන්නටම ගියේය.
මා කිසි දිනෙක තවත් අයෙකුට දුකක් වේදනාවක් වන්නට යයි සිතන්නට කැමති නැත. එහෙත් මා සිතන දේ නිවැරදි නම් අවසන් මොහොතේ අසරණ සතා විඳි වේදනාව එය සිදු කල තැනැත්තාට ද ලැබේවා යයි පතමි.
මෙය බ්ලොග් ලිවීම අරඹන විට ලිවීමට සිතා සිටි වර්ගයේ සටහනක් නොවේ. එහෙත් අඩු වශයෙන් සිතෙහි ඇති වූ කම්පනය සමනය වීමට හේතු වෙතැයි සිතා ලියා තබමි. නොබෙල් ත්‍යාග ලාභී ලේඛිකා ඩෝරිස් ලෙසිංගේ Prisons We Choose to Live Inside කෘතියේ පලමු පරිච්ඡේදයෙන් උපුටා ගත් පහත සඳහන් ඡේදයෙන් නිම කරමි.
"...උදාහරණයක් ලෙස, බ්‍රසල්ස්හි දී බ්‍රිතාන්‍ය හා ඉතාලි පාපන්දු ක්‍රීඩාලෝලීන් කලහකාරී ලෙස හැසිරුනු අවස්ථාවේ බලා සිටියවුන් හා විස්තර විචාරකයින් දිගින් දිගටම අවධාරණය කළ පරිදි ඔවුන් ක්‍රියාකලේ සතුන් ලෙස ය. බ්‍රිතාන්‍ය කලහකාරීහු තමන් විසින් මරා දමන ලද මිනිසුන්ගේ මලසිරුරු මතට මූත්‍ර කරනු පෙණින. මට සිතෙන ආකාරයට “සත්ත්ව” යන වචනය මෙතැනට ගැලපෙන්නේ නැත. මෙය සත්ත්ව චර්යාවක් දැයි මා හරියටම නොදන්නා නමුදු සැබැවින්ම එය මානව චර්යාවකි: අපගේ ඉතිහාසය කිනම් අවස්ථාවක දී සත්ත්වයින්ගේ ඉතිහාසය ලෙස නොව මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය ලෙස ලියවෙන්නට පටන් ගත්තේ ද යන්න තීරණය වන දිනය අනුව, සමහරවිට අවුරුදු දහස් ගණනක් නැතිනම් බොහෝ විට වන්නට ඉඩ ඇති පරිදි අවුරුදු දසලක්ෂ ගණනක් පැවතී ඇති ම්ලේච්ඡත්වයට ආපසු ගමන්කල පසු දක්නට ලැබෙන මානව චර්යාවකි."
//එහෙත් මා සිතන දේ නිවැරදි නම් අවසන් මොහොතේ අසරණ සතා විඳි වේදනාව එය සිදු කල තැනැත්තාට ද ලැබේවා යයි පතමි//
ReplyDeleteඑසේම වේවා!
RIP දුඹුරු