දියවැලක් ඔස්සේ සොයා ගිය හැටි!

             



ප්‍රවීණ පුවත්පත් කලාවේදී හා ලේඛක සිරිලාල් කොඩිකාර මහතා සිය දිවි ගමන නිමා කළ පුවත දින කිහිපයකට පෙර අසන්නට ලැබිණ. ඒ සමගම මගේ මතකයට නැගුනේ එතුමන් ලියූ පොතක් සොයා ගොස් මා මුහුණ දුන් අපූරු අත්දැකීමකට ය. 

  ඒ අසූව දශකයේ අග භාගයයි. කුඩා කල සිටම කියවීමට ඇබ්බැහි කරනු ලැබ සිටි අපගේ ලොකුම ආශාව වූයේ අප කියවීමට ප්‍රිය කල පොත් සාහිත්‍ය මාසයේදී අඩු මිලට මිලදී ගෙන එකතු කිරීමයි. අප යනුවෙන් මෙහි හැඳින්වෙන්නේ මා සමග මෙම වීර චාරිකාවලට එකතු වූ ඥාති සොයුරෙකු ද සිටි නිසා ය. මෙහි සඳහන් කාලය වන විට අපගේ ආශාව යොමු වී තිබුනේ ප්‍රකට පුද්ගලයන්ගේ චරිත කතා එකතු කිරීම ය. එවකට ප්‍රකට ලේඛකයෙකුව සිටි සිරිලාල් කොඩිකාර මහතා දිය වැලක් ඔස්සේ නමින් තම ජීවිතය ගැන පොතක් ලියා පළකර තිබූ බව දැන සිටි අපට එය මිලදී ගැනීමේ තදබල අවශ්‍යතාවක් තිබුණි. එක් සාහිත්‍ය මාසයක කොළඹ නගරයේ පොත් සාප්පු තුළ සැරිසරා මේ පොත සෙව්වෙමු. අප මුලින්ම ඇතුළු වූයේ එවකට ගුණසේන පොත් සාප්පුවට මදක් ඔබ්බෙන් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට තිබූ මැකලම් පොත් සාප්පුවටයි. එවකට එය ප්‍රසිද්ධව තිබුණේ විදේශීය පොතපත සම්බන්ධයෙන් වුව ද සිංහල පොත් ද විකිණීමට තබා තිබිණ. ඉදිරියෙන් තිබූ වීදුරු ප්‍රදර්ශන අල්මාරි මත නියමිත වට්ටම් පුමාණය අනුව වෙන වෙනම පොත් ගොඩගසා තිබූ අතර ඊට පිටුපසින් තිබූ වීදුරු අල්මාරි තුළ ද පොත් පෙළට අසුරා තිබුණේය. පොත් අල්මාරි පුරා අප නෙත් දිව්වේ දිය වැලක් ඔස්සේ සොයා ය. 

විවෘතව තබා තිබූ පොත් ගොඩවල් අතර නොතිබූණත් පිටුපස තිබූ ලොකු අල්මාරියක පොත තිබෙණු දුටු මා ප්‍රීතියෙන් පිනාගිය සිතින් වහා ඉදිරියට පැන අල්මාරිය විවෘත කර පොත අතට ගත්ත ද ඒ හා සමගම වෙළඳ සේවකයෙකුගේ ගෝරනාඩුව ද අසන්නට ලැබිණ. 

"හා, හා ඕකෙන් ගන්න එපා! ඔය පොත් මෙතන තියනවා!"

එසේ කියමින් ඔහු විවෘත පොත් ගොඩක තිබූ පොත අප අතට පත් කළ ද ඒ වන විටත් මා අල්මාරියෙන් පොතක් අතට ගෙන පසුපිට පෙරලා මිල ද තහවුරු කරගෙන හමාරය. පසුපිට ඇලවූ කුඩා ස්ටිකර් එකක මිල සඳහන් විය. වෙළඳ සේවකයා දුන් පොත දෙස බැලූ විට පෙනී ගියේ ඒ ස්ටිකර් එක මත තවත් එකක් අලවා වැඩි මිලක් සඳහන් කර ඇති බවයි. අහම්බෙන් මා අතට ගෙන තිබුනේ සාහිත්‍ය මාසයේ වට්ටම් සහිතව විකිණීමට සකසා නොතිබූ පොතකුයි. මිල වෙනස පෙනෙන සේ පොත් දෙකම වෙළඳ සේවකයා අත තැබූ අප මැකලම් පොත්හලෙන් පිට වූයේ ගුණසේන පොත්හල බලා යාමට ය. මේ පොත්හල පසු කලෙක වැසී ගියේය. මෙවන් චාරිකා ගණනාවකම මගේ ගමන් සඟයා වූ ඥාති සොයුරා ද මීට කලකට පෙර හදිසියේම අප අතරින් වියෝ විය.    

  

1 comment:

  1. මෙරට තුල බ්ලොග් යළි ජනප්‍රිය කිරීමේ අරමුණින් අප කණ්ඩායම සැකසූ මෙම සින්ඩිය; දැනට අවකාශයේ පවතින වඩාත්ම පුළුල් සින්ඩිය බවට පත්ව ඇති බව පවසන්නේ නිහතමාණී ආඩම්බරයෙන් යුතුවය!
    දැනට බ්ලොග් දහසකට අධික සංඛ්‍යාවකට පිවිසිය හැකි එකම සින්ඩි දොරටුව වන්නේ අපගේ සින්ඩියයි.
    ඔබගේ බ්ලොගයද එහි පලකොට ඇති බව අප සතුටින් ඔනට දැනුම් දෙන්නෙමු.
    සිංහල පාඨකයින් අතර බ්ලොග් ප්‍රචලිත කිරීම සඳහා සින්ඩියකින් කලහැකි, කලයුතු කාර්‍යභාරය පිළිබඳව ඔබගේ අදහස් අප ගෞරවයෙන් අපේක්ෂා කරණ්නෙමු!
    එසේම අපගේ සින්ඩියේ සිදුවිය යුතු කිසියම් වෙනසක් නවතාවයක් වෙතොත් ඒ පිළිබඳව අපව දැනුවත් කරණ්නේනම් ඒ පිළිබඳවාප ඔබට අනේක වාරයක් ස්තූති වන්ත වන්නෙමු.

    ReplyDelete