ඡන්දය, ගැලපෙන අපේක්ෂකයා හා මස්කට්ට

 

  පහත දැක්වෙන කතාංගයට පසුබිම් වන්නේ අමෙරිකාවේ කුඩා ජනපදයක (county) ෂෙරීෆ්වරයෙකු තෝරාගැනීම සඳහා පැවැත්වීමට නියමිත ඡන්දයකට සිය අපේක්ෂකයා තෝරාගැනීම සඳහා එම පලාතේ ප්‍රභූ පුරවැසියන් කිහිපදෙනෙකු අතර පැවැත්වෙන සාකච්ඡාවකි. ෂෙරීෆ් යනු ජනපදයක නීතිය ආරක්ෂා කරමින් සාමය පවත්වාගෙන යාම සඳහා එම පලාතේ පුරවැසියන්ගේ ඡන්දයෙන් පත්කර ගත් නිලධාරියා හැඳින්වෙන නමයි. මෙම නවකතාව මුද්‍රණය වී ඇත්තේ 1922 වර්ෂයේදීය. එයට පසුබිම් වන්නේ 19වන ශතවර්ෂයේ අගභාගයයි. එකල මැතිවරණ වලට අපේක්ෂකයින් තෝරාගත් ආකාරය හා අද අප ජීවත්වන 21වන ශතවර්ෂයේ මැතිවරණ වලට අපේක්ෂකයින් තෝරාගන්නා ආකාරය අතර වැඩි වෙනසක් නොමැති බව කතාව කියවන විට පෙනීයයි.

මෙය ඇතුළත් වන්නේ විලියම් පැටර්සන් වයිට් නම් ලේඛකයාගේ The Rider of Golden Bar නම් නවකතාවේ දෙවන පරිච්ඡේදයේ මුල් භාගයටයි. මෙම නවකතාව අයත් වන්නේ කව්බෝයිස් යනුවෙන් හැඳින්වූ අමෙරිකා එක්සත් ජනපදයේ ගොපල්ලන්ගේ වීරක්‍රියා තේමා කරගත් Westerns නමින් හැඳින්වෙන ප්‍රබන්ධ විශේෂයටය. ඒ පිළිබඳ ප්‍රමාණවත් විස්තරයක් මා මීට පෙර ඉදිරිපත් කළ රතු ඉන්දියානුවාගේ අනාවැකිය ලිපියේ හැඳින්වීමට ඇතුලත් කර ඇති නිසා අවශ්‍ය අයට එම ලිපියේ හැඳින්වීම කියවිය හැකිය.                                        

                                 ඡන්දය, ගැලපෙන අපේක්ෂකයා හා මස්කට්ට

(කාටූන් චිත්‍රය clipartbrokers.com වෙතිනි.)


අපිට පරිස්සම් වෙන්න වෙනවා. ප්‍රාදේශීය සමාදාන විනිශ්චය කරුවා වූ ටොම් ඩ්‍රයිවර් අනතුරු ඇඟවීය. ප්‍රවේසම්වීම තමයි අපි ඉහලින්ම තියාගන්නේ, රෆේ ටක්ල්ටන් තහවුරු කලේය.

හරි, හරී. මම දන්නවා. ඒත් හැම මිනිහම හැමදාම රවටන්න...

ඕක ඉස්සරලම කිව්වෙ ලින්කන්නෙ, ඒ උනාට එයා ක්‍රොකර් පලාතේ නෙමෙයිනෙ හිටියේ, ෆීලික්ස් ක්‍රාෆ්ට් නොඉවසිල්ලෙන් බාධා කළේය.

ඒ කියන්නෙ මෙහෙ හිටියනං එහෙම කියන්නෙ නෑ? ටිප් ඔ‘ගෝමන්ගෙන් ඇනුම් පදයක් එල්ලවිය. නිකං මෝඩයෙක් වෙන්න එපා, ක්‍රාෆ්ට්. ටොම් කියන එක හරි. මිනිස්සුන්ගෙ හැටි කොහොමත් වෙනස් වෙන්නෙ නෑ.

මට පේන්නෙ තමුසෙට ඕන වෙලා තියෙන්නෙ මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ටකරන්න වාගේ. ෆීලික්ස් එරවීය.   

එහෙම හිතනවනං මිනිහට පිස්සු. දණ්ඩක් මෙන් කෙට්ටු, උස පුද්ගලයෙකු වූ ෂින්ඩ්ල් පැවසීය.

ඔ‘ගෝමන්ගේ මුහුණේ ලොකු සිනහවක් ඇඳීගියේය. මට පිස්සු නෑ. ඒත් අපි මිනිස්සුන්ට සාධාරණ දෙයක්ම තමා දෙන්න ඕනෑ.

මිනිහට පිස්සු, ෂින්ඩ්ල් කීය.

සාධාරණ දෙයක්, ගෝමන් නැවතත් කීය. සාධාරණ දෙයක් - අපට!

මම හිතුවා. හිස වනා එය අනුමත කළ තරබාරු සෑම් ලාදර් සාකච්ඡාව ඇරඹුනාට පසු පළමුවරට කතාවට සම්බන්ධ විය. අපට සාධාරණ දෙයක්. ටිප්, කියමු බලන්න.

ඔ‘ගෝමන් නැවතත් පුටුවේ වාඩිවී කකුලක් පිට කකුලක් දමාගත්තේය. බල්ලෙකුට බඩගිනි උනහම හොඳ රස මස්කෑල්ලක් දෙන එක මොලේ ඇති වැඩක් නෙමෙයි. ඌ ඒක ගිලල දාලා ආයෙත් විනාඩි පහක් යන්න ඉස්සරල ඇවිත් කරදර කරයි. ඒත් මස්කට්ටක් දීල බලන්න. ඌ ඒක හොඳ සන්තෝසෙන් ලෑටි ගගා ඉඳියි ගොඩක් වෙලා යනකං.

දැන් මොනවගේ මස්කට්ටක්ද අපේ බල්ලට දෙන්න හිතාගෙන ඉන්නේ? ටොම් ඩ්‍රයිවර් විමසීය.

ෂෙරීෆ්. ටිප් ඔ‘ගෝමන් විශ්වාසයෙන් යුතුව පැවසීය.

ෆිලික්ස් ක්‍රාෆ්ට් හිස දෙපසට වනා තම අකමැත්ත පෙන්වීය.

තව සැරයක් හිතල බලන්න. ඒ කට්ටෙ නං මස් වැඩියි.

මස් ජාතිය හරිනං ප්‍රශ්නයක් නෑ.ගෝමන් සැහැල්ලුවෙන් පැවසීය.

ඔලුව වටේ අත දාන එක නවත්තලා කියන දෙයක් කෙලින් කියනවද? ෆීලික්ස් නොඉවසිල්ලෙන් ගෙරවීය.

නාස්ලනුව දාපු ෂෙරීෆ් කෙනෙක්. ඔ‘ගෝමන් පැහැදිළි කළේය.

කියන පැත්තකට නැමෙන කෙනෙක්, එහෙමද? ටොම් ඩ්‍රයිවර් මැදට පැන්නේය.

ඔව්, එහෙම කියන්නත් පුළුවන්. මහත්වරුනි, තේරෙනවද මෙතන වෙනදේ?

අපේ අපේක්ෂකයෝ ටික ගොඩදාගන්න නං අපිට එක හොඳ මිනිහෙක් ඉස්සරහට දාන්න වෙනවා. එහෙම නොකලොත් නියෝජිතයො හතරදෙනාම හිරවෙනවා. ඒගොල්ල පත්කරගන්න අපට පුළුවන් වෙන්නත් ඉඩ තියනවා. අපට පුළුවන් වෙයි විනිශ්චයකාරයෝ තුන්දෙනයි, පළාත් ලිපිකරුයි, මරණ පරීක්ෂකයි පත්කර ගන්න. ඒත් මොනවා වෙයිද කියල හරියටම කියන්න බෑ. මිනිස්සු ඔලුව පොඩ්ඩක් කහල හිතෙන විදියකට ඡන්දෙ දෙයි. හැබැයි මං කිව්වා කියල මතක තියාගන්න ෂෙරිෆ්ව තෝරාගන්න කොට ඒගොල්ල ඔලුව කහල විතරක් නතරවෙන්නෙ නෑ, හොඳට හිතල බලනවා. ඒකයි අපි හොඳ මිනිහෙක් ඉස්සරහට දාන්න ඕනැ.

ඒ ගොල්ලන්ගෙන්ම කෙනෙක් උනානං? තරබාරු සැම් ලාදර් තම අත් ඉදිරියට නෙරාගිය බඩගෙඩිය මත බැඳගනිමින් පැවසීය.

හරියට හරි. මිනිස්සුන්ගෙ විශ්වාසය දිනාගත්තු, ෂෙරීෆ් වෙනවට ඒගොල්ල කැමති කෙනෙක් ඉස්සරහට දැම්මොත් මිනිහව පත්කරගන්න තියන උවමනාව හින්ද අනෙක් අපේක්ෂකයො නිකම්ම ගොඩයනවා. හරියට ග්‍රීස් ගාපු ඌරෙක් කැඩිච්ච වැටක් අස්සෙන් රිංගනවා වාගේ.

ඇත්තම කියනවනං මම ඕක ගැන ජැක් මරේට බාගෙට පොරොන්දු වෙලයි තිබුනේ. රෆේ ටක්ල්ටන් පැවසුවේ මරේ තවමත් රැස්වීමට නොපැමිණියේ මන්දැයි සිතමිනි. මීට පැයකට කලින් මිනිහ මෙතනට එන්න තිබුනේ.

ජැක් මරේට බාගෙට පොරොන්දු උනා කිව්වා නේද? ෂින්ඩ්ල් මහ හඬින් පැවසීය. මතක තියාගන්නවා මමත් ඕකට ඇහැ ගහගෙනයි ඉන්නෙ කියලා.

තමුසෙලා දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඕකට උත්තරේ නෙවෙයි, ස්කිනී. ඔ‘ගෝමන් හිතවත් හඬින් පැහැදිළි කළේය. ඔබේ හරි ජැක්ගෙ හරි නම යෝජනා කළොත් නාමයෝජනා ඔක්කොම ඉවරයි.

ඕන කෙනෙක් පත්කරගන්න තරම් පක්ෂය ශක්තිමත්. ෆීලික්ස් ක්‍රාෆ්ට් සිය විරෝධය පළකළේය.

මේ අවුරුද්දෙ බෑ. මම හොයල බලපු තරම් ඔහේ දන්නෙ නෑ, ෆීලික්ස්. මම දන්න හින්දයි කියන්නෙ. මහත්වරුනි, ස්කිනි ෂින්ඩ්ල්ගෙ හරි ජැක් මරේගෙ හරි නම යෝජන් කළොත් අපි ඔක්කොමලට කුලීවැඩට තමයි යන්න වෙන්නෙ.

හරි, ඔයා හිතාගෙන ඉන්නෙ කවුරු ගැනද? රෆේ ටක්ල්ටන් ප්‍රශ්න කළේය.

බිල් වින්ගෝ.

මොහොතකට සියල්ල නිහඬ විය. රෆේ ටක්ල්ටන් සෑම් ලාදර් දෙස බලා සෙමින් සියුරුහන් බෑවේය. සෑම්ගේ ඇස් ටිප් දෙසට යොමුවිය.

මට නං තේරෙන්නෙ නෑ. සෑම් ලාදර් පැවසීය.

මටත් නෑ. රෆේ ද එකඟ විය.

එහෙම කරන්න බෑ. ෂින්ඩ්ල් කෑගැසීය.

මම කියන්නං. රැස්ව සිටි සියලුදෙනා දෙස ඇස් යොමා ටිප් ඔ‘ගෝමන් පැවසීය.

ස්කිනි ෂින්ඩ්ල්ව ගන්නකො. එයා...

හරි, මාව ගන්නවකො.  මොකද්ද මගෙ වැරැද්ද? මොකද්ද...කියවුනු නමට අදාල පුද්ගලයා ගුගුරා හැලුනේය.

ඉවසනවා, ඉවසනවා. මුහුණේ රැඳුන සිනහව මදක් තදකරගත් ටිප් ඔ‘ගෝමන් අනතුරු ඇඟවීය.මගේ කන්දෙක බීරිවෙලා නෑ. අනෙත් එක අපි හැමෝම එකට ඉන්න යාළුවෝ නෙමෙයිද?

ඒ උනාට තමුසෙ කිව්වෙ .... ස්කිනි නැවතත් බාධා කරන්නට තැත් කළේය.

මම තාම කිව්වෙ නෑ. ටිප් නැවතත් හරස්කැපීය. පොඩ්ඩක් ඉඩදෙන්නකො. තරහගන්න දෙයක් නෑ. ඇත්තනෙ කියන්නෙ. මෙයා ණය සහතික මිලදීලා ගන්නෙ අනෙක් අයට වැඩිය තුන්ගුණයක් වට්ටමට. ඒ මදිවට අර ඒජන්ත මෙයාට දුන්න හරක් මස් කොන්ත්‍රාත්තුව ගැන හැමෝම කතාවෙනවා.

ඉතින් මොකද? මිනිස්සු කැමති නැත්නම් මගේ ලඟට ණය සහතික ගේන්න ඕනැ නෑනෙ. කොන්ත්‍රාත්එක ගැන මිනිස්සු අරව මේව කියනවනං ඒකට ගහන්න ඕන ආණ්ඩුවට.

ඒජන්තයට ඒක වෙන්න ගිහිල්ලා බේරුනේ අනූනමයෙන්. සෑම් ලාදර් පැවසුවේ එම සිදුවීම මතක්වීමෙන් පැනනැගුන සිනාවක්ද සමගිනි. සමහරක් රතු ඉන්දියන්කාරයෝ මිනිහව ජනපදයෙන් එළවන්නයි හැදුවෙ ඒ මිනිස්සුන්ට දුන්න හරකුන්ගෙ හැටි දැක්කම. බොරුවක් කියනව නෙමෙයි, උන් මේ ස්කිනීටත් වැඩිය කෙට්ටුයි.

ඉතින් ඒකත් හරිනෙ. මනුස්සයෙක් වැඩක් කරහම ලාබයක් තියන්නත් එපායැ. අනිත් එක රතු ඉන්දියන්කාරයන්ට හොඳ දේවල් දෙනව කියල කවදාවත් අහල තියනවද? අඩුගානෙ මේ ක්‍රොකර් ජනපදයෙ එහෙම නෑ.

ඒකත් හරි කියමුකො. ටිප් පිළිතුරු දුන්නේය. ඒත් අන්තිම වතාවෙ නියෝජිතයත් එක්ක ගහපු ඩීල්එක නම් ටිකක් අමුවටමයි කරල තිබ්බෙ. ඒකට ණය සහතිකවලට ගෙවන මිලත් එකතු උනහම ස්කිනී ඔයා ගැන මිනිස්සු නොකියන දෙයක් නෑ. ඔහේ නම් කොහෙත්ම ජනප්‍රිය කෙනෙක් නෙමෙයි ස්කිනී.

මගේ ජනප්‍රියකමට හෙන ගැහිච්චාවෙ! මට ෂෙරිෆ් වෙන්නයි ඕනෑ. ස්කිනී මහ හඬින් ගෙරවීය.

සබන් කෑල්ල ඉල්ලල අඬන බබා වාගේ.  එහෙමනං කවදාවත් ඔහේට සෑහීමකට පත් වෙන්න ලැබෙන්නෙ නෑ. මොකද ඔබට කවදාවත් ඒක ලැබෙන්නැති නිසා.

මෙහෙ බලනවා ටිප්....

තමුසෙ මෙහෙ බලනවා ස්කිනී. රෆේ ටක්ල්ටන් ක්ෂණිකව මැදට පැන්නේය. මේ ඡන්ද ව්‍යාපාරය තමුසෙගෙ පුද්ගලික දෙයක්ද, පක්ෂයේ එකක්ද?

පක්ෂයේ දෙයක් තමයි. ස්කිනි අකමැත්තෙන් මෙන් පිළිගත්තේය. ඒත් ඒකෙන් මට මගේ කොටස ඕනෑ.

ඔහේට ඔහේගෙ කොටස ගන්න ෂෙරීෆ් වෙන්න ඕනැම නෑ.”, රෆේ ඔහුට පැවසීය. තමුසෙ ගැන අපි බලාගන්නවා. නිකං දඟලන්න එපා. මෙතැන තියෙන්නේ එකමුතු උනොත් අපි නැගිටිනවා, බෙදුනොත් වැටෙනවා කියන එක තේරුම්ගන්න එකයි. හිතන්න මොකක් හරි පොඩි දෙයක් අප්සෙට් ගිහිල්ලා අපේ අපේක්ෂකයෝ එළියට විසිවුනොත්?

එතකොට කොහොමද? මොකද වෙන්නෙ? එකක් තමයි අළුතෙන් හිරගෙදර හදන එකටයි ලබන අවුරුද්දෙ නගරශාලාව හදන එකටයි දැව සපයන කොන්ත්‍රාත් එක ඔබට ලැබෙන්නැතුව යනවා. අනෙක් පැත්තෙන් ගිය මාසෙ තමුසෙයි මමයි එකතුවෙලා  කරපු ඉඩම් ගනුදෙනුව ගැන පරීක්ෂණයක් පටන්ගන්න එක. කැමතිද එහෙම වෙනවට?

රෆේ කියන එක හරි. ටොම් ඩ්‍රයිවර් පැවසීය.මේක අවදානමක් ගන්න හොඳ වෙලාවක් නෙවෙයි.  ජනාධිපතිවරණයක් තියන අවුරුද්දක් නොවෙන හින්දා මිනිස්සුන්ගෙ ඇස් පලාත් දේශපාලනයෙන් අහකට ගන්න තරම් දෙයක් ඇත්තෙම නෑ. අපිට සිද්දවෙනවා පක්ෂය වෙනුවෙන් යමක් කැපකරන්න.

මට නම් පෙනෙන්නෑ ඔය කවුරුවත් කිසිදෙයක් කැපකරනවා. මට විතරයි පාඩු වෙන්නෙ. ස්කිනී තම කෝපය පිටකළේය.

ජැක් මරේත් ඉන්නවා. රෆේ ටක්ල්ටන් එකතු කළේය. යකාටම ගියාවෙ ස්කිනී, ඇයි මීට කලින් මොකක්වත්ම කිව්වෙ නැත්තෙ? දැන් තමයි මම දැනගත්තෙ තමුසෙට තනතුරක් ඕනවෙලා තියන බව. ඒකයි මම ජැක්ට කිව්වෙ එයාට ඉල්ලන්න පුළුවන් කියලා. මිනිහා හොඳ කෙනෙක්. ඒත් මම දැනගෙන හිටියනං....

මොකක්ද ඒකෙන් ඇති සෙතේ? ස්කිනී කෝපයෙන් යුතුව බාධා කළේය. කොහොමටත් ඔහෙලා මට නාමයෝජනා දෙන්නෙ නෑනෙ.

වෙනත් තනතුරකට යන්න පුළුවන්. පලාත් ලිපිකරු වගේ.

කීයටවත් එපා. කිසි වැඩක් නෑ. මැරිච්ච අශ්වයෙක් වාගේ. අතෑරලා දාන්න රෆේ. ටිප් තමුසෙට මං ගැන හුඟක් දේවල් කියන්න තිබුනනෙ. දැං අපට කියනව බලන්න ජැක් මරේට විරුද්ධව තියන දේවල්.

ඒක හරි. රෆේ ටක්ල්ටන් කීය. අහල බලමු. ජැක්ට දුන්න වචනෙ වෙනස් කරන්න හරියන හේතුවක් දෙන්නත් එපායැ. මටනං හිතාගන්න අමාරුයි...

ඔහුට කියන්නට ආ දෙය සම්පූර්ණ කිරීමට ඉඩක් ලැබුනේ නැත.

පෞද්ගලිකව මට නං ජැක්ට විරුද්ධව කියන්න කිසිම දෙයක් නෑ. අපි දෙන්න අතර හොඳ හිතවත්කමකුත් තියනවා. ඒත් මිනිහා අවුරුදු දෙකකට ඉස්සර ෂෙරිෆ්ගෙ දෙවෙනියා හැටියට හිටපු කාලේ වරින් වර මිනිස්සු හතරදෙනෙක් මැරිල තියනවා එයා අතින්. මුහුණ පුරා ඇඳි සිනාවක් සමගින් ටිප් මතක් කළේය.

ඒක නීතිය ක්‍රියාත්මක කරද්දි වෙච්ච දෙයක්. ඒ හැමෝම අත්අඩංගුවට ගන්න යද්දි විරුද්ධ වෙන්න ගිහිල්ලා මැරුණෙ. රෆේ පැවසීය.

ටිප් ඔ‘ගෝමන් එය අනුමත කරන ලෙසින් හිස සැලීය. මම ඒක නෑ කියන්නෙ නෑ. අනිත් එක, ජැක් සහතික කරල කියනවා ඒක උනේ එහෙමයි කියල. ඒ උනාට හතරදෙනාටම යාළුවෝ හිටියා. අන්තිමට හතරදෙනාම වැරැද්දක් කරලත් නෑ වගේ තමයි පෙනුනෙ. යාළුවෝ හැමතැනම කතාවෙන්න පටන්ගත්තා ජැක් ඉක්මන් උනා වැඩී කියලා. ඔයගොල්ලන්ට ඒගැන මොකක්වත් ඇහිල නැද්ද?

මට ඇහිල තියනවා එයා ආයුධය අතට ගන්නවා අවශ්‍ය ප්‍රමාණයට වැඩිය ටිකක් විතර වේගවත් වැඩී කියල. රෆේ ද එකඟ විය. කොහොමටත් මරණයක් උනාම මිනිස්සු නොයෙක් දේවල් කියනවා තමයි. ඒත් ජැක්ව තෝරනොගන්න තරම් දෙයක් ඒකෙ තියනවා කියල මටනං හිතෙන්නෙ නෑ.

තියනවා. මිනිස්සු දැන් කතාකරනවා විතරයි. ඒත් ජැක්ට නාමයෝජනා දීල බලන්න, මිනිස්සු කෑගහන්න පටන්ගන්නෙ යටිගිරියෙන්.

ටිප්, තමුසේ සෑහෙන්න මහන්සි වෙලා තියනවා වාගේ පහුගිය සති කීපයේ. ස්කිනී අවඥාසහගතව තම කෝපය පිටකළේය.

ඔව්, හරියට හීනි දැති තියන පනාවකින් පීරනවා වගේ මුළු පලාතම පීරලා ඡන්ද දාන අය ඔක්කොම එක්ක වගේ කතාකළා. මහත්වරුනි, මම කියන්නෙ අපේ බල්ලාට ගැලපෙනම මස්කට්ට තමයි බිල් වින්ගෝ. හැමෝම වාගෙ කැමතියි බිල්ට. විරුද්ධ පක්ෂෙ අපේක්ෂකයට වැඩිය හුඟක් ජනප්‍රියයි. බිල් ඒ පැත්තෙ ඡන්ද ගොඩක් දිනාගනියි. ඒත් අපි වෙනකෙනෙක් ඉදිරිපත් කළොත් අනිත් අපේක්ෂකයා අපේ ඡන්ද ගොඩක් දිනාගන්නවා විතරක් නෙවෙයි අනිත් තනතුරු ටිකත් දිනාගනියි.

ටිප් ඔ‘ගෝමන් තම පුටුවේ වාඩිවී සිය මිතුරන් දෙස බැලීය. ඔවුන් තීරණයක් ගත නොහැකිව සිටින බව පැහැදිළිය. රෆේ ටක්ල්ටන් ඇඟිලි තුඩුවලින් මේසයට තට්ටු කරමින් සන්සුන් ලෙස බිම බලාගෙන සිටියේය.

ලාදර් එක්වරම කතාව පටන් ගත්තේය. ටිප්, ඔයාට හොඳටම විශ්වාසද බිල් වින්ගෝ කියන්නේ වතුර ලඟට දක්කාගෙන යන හැමවෙලාවෙම වතුර බොන විදිහේ අශ්වයෙක් කියලා?

ටිප් ඔ‘ගෝමන් හිස ඉහල පහල වනා බිල්ගේ අවනතභාවය ගැන සහතිකයක් දුන්නේය.

බිල් කලබල නැති, හිතහොඳ එකා. හිතුවක්කාර විදිහට හැසිරෙන්නෙ නෑ.

මගෙ හිතට නං නිතරම දැනුන දෙයක් තමයි බිල් කියන්නෙ පස්සට යන්නැති, බය නැති මිනිහෙක් කියන එක. සෑම් ලාදර් පැවසීය.

ඔව්, අභියෝගයකට මුහුණ දෙන්න තරම් මිනිහට ශක්තිය තියනවා. කෙනෙක් අල්ලගන්න ඕන කියල හිතුනොත් ඕනැම කෙනෙක් පස්සෙ එළවයි. ඒත් මිනිහගෙ ඔලුවට හරි අදහස් දාන්න බැරිනම් අපෙන් ඇති වැඩක් නෑ. ටිප් පැවසීය.  

ටොම් ඩ්‍රයිවර් ද තම අදහස කියන්නට ඉදිරිපත් විය. ඔලුව අවුල් කරගන්න අවශ්‍ය නෑ සෑම්, බිල් කවදාවත් යාළුවන්ට පිටුපාන්නෙ නෑ. බිල් කියන්නෙ තමන්ගෙ වයසට වඩා ලොකුවට වැඩුන පොඩිඑකෙක්.    

  

    

  

 

4 comments:

  1. සොක්‍රටීස් කියලා තියෙනවලු ප්‍රජාතන්ත්‍රවාදය යනු හිස් ගනන් කිරීමක් නොව කකුල් ගනන් කිරීමක්ය කියලා. ඌනෑම සමාජ කුලකයක් ගෙන බැලුවහොත් ඉන් බහුතරය බුද්ධිමත් නොවේ. ඒ නිසාම බහුතරයේ කැමැත්ත යනු නිවැරදි තීරණයක් හෝ තෝරා ගැනීමක් නොවනු ඇත! 1948 සිට මේ දක්වා බහුතරය තෝරා පත් කල නායකයින්, කණ්ඩායම් සිදුකල හදිය අද වෙන විට මේ රටට තේරෙමින් පවතියි.
    කණගාටුවට කරුණ වන්නේ හෙට පැවැත්වෙන මැතිවරනයකදී වුවද නැවත බහුතරය වඩාත් විනාශකාරී නායකයෙකු තෝරා පත් කර ගැනීමටනැඹුරු වීමට ඇති ඉඩ කඩයි!

    ReplyDelete
    Replies
    1. එකඟයි. ඔබ කියන තත්ත්වය වෙනස් කිරීමට කළහැකි දේ අල්ප බව පෙනෙන විට රටේ අනාගතය ගැන ඇතිවන හැඟීම මෙවන් දෑ ලිවීමට සිත පොළඹවයි.

      Delete
    2. සොක්‍රටීස් බහුතරයේ කැමැත්ත තෝරන එකට විරුද්ධ වුන කෙනෙක්. ඔය ගැන ලිව්ව පොඩි සටහනක් පහල ලින්ක් එකේ.

      https://wasithaya.blogspot.com/2021/05/blog-post_31.html?m=1

      Delete