සිතන්නා සහ තහවුරුකරන්නා

 

රොබට් ඇන්ටන් විල්සන්ගේ Prometheus Rising කෘතියේ ආරම්භක පරිච්ඡේදයෙන්


අමෙරිකාවේ මනෝ විද්‍යාවේ පියා සේ සැලකෙන විලියම් ජේම්ස් වරක් පැවසුවේ ඔහුට හමුවූ වියපත් කාන්තාවක් පෘථිවිය රැඳී තිබෙන්නේ වීශාල කැස්බෑවෙකුගේ පිට මත බව සඳහන් කළ බවයි.

 එහෙත් මහත්මියනි, එම කැස්බෑවා රැඳී සිටින්නේ කුමක් මතද? මහාචාර්ය ජේම්ස් හැකිතාක් ආචාරශීලී ලෙස විමසා සිටියේය.

ආ, ඒක තේරුම්ගන්න ලෙහෙසියි. ඌ සිටගෙන ඉන්නේ තවත් කැස්බෑවෙකුගේ පිට මතයි.

ආ, එහෙමද? එහෙනම් මට කරුණාකරල කියන්න පුළුවන්ද ඒ දෙවෙනි කැස්බෑවා හිටගෙන ඉන්නෙ මොකක් මතද කියලා? මහාචාර්ය ජේම්ස් නැවතත් ආචාරශීලී ලෙස විමසීය.

වැඩක් නෑ මහාචාර්යතුමනි, ඒක කැස්බෑවො, කැස්බෑවො. කැස්බෑවො තමයි දිගටම යනකං! ඔහු තර්ක කිරීමෙන් තමා හිරකිරීමට උත්සාහ කරන බව තේරුම්ගත් වයසක කාන්තාව කියා සිටියාය.

මෙම වියපත් කාන්තාවගේ අපරිනතබවට  සිනාසීමට ඉක්මන් නොවන්න. සියලුම මිනිසුන්ගේ මනස් මූලික වශයෙන් ක්‍රියාකරන්නේ මීට සමාන වූ මූලධර්ම මතය. ඇගේ විශ්වය අනෙක්  බොහෝ අයගේ විශ්ව වලට වඩා මදක් විකාරරූපී වුවද එය ගොඩනැගී ඇත්තේ ද මිනිසුන් විසින් විශ්වය ගොඩනැගී ඇතැයි විශ්වාසය තබා ඇති මනෝමය මූලධර්ම මතමය.

ආචාර්ය ලෙනාර්ඩ් ඔර් සඳහන්කර ඇති ආකාරයට මිනිසාගේ මනස හැසිරෙන්නේ සිතන්නා (thinker) හා තහවුරුකරන්නා (prover) යනුවෙන් කොටස් දෙකකට බෙදී පවතින ලෙසය.

සිතන්නාට තමාට අවශ්‍ය ඕනෑම දෙයක් ගැන සිතිය හැකිය. ඉතිහාසයේ දකින්නට ඇති ආකාරයට එයට පෘතුවිය අප්‍රමාණ වූ සංඛ්‍යාවකින් යුතු කැස්බෑවුන් සමූහයක් මත රැඳී ඇතිබවට නැතිනම් කුහරයක් සහිතව සැදී ඇතිබවට හෝ එසේත් නැතිනම් අභ්‍යවකාශයේ පාවෙමින් ඇතිබවටසිතිය හැකිය. ආගම හා දර්ශනය දෙස සංසන්දනාත්මකව බැලීමේදී පෙනීයන්නේ සිතන්නාට තමා මැරෙණසුලු බව, නොමැරෙණසුලු බව, මැරෙණසුලුබව හා නොමැරෙණසුලුබව  යන ස්වභාව දෙකින්ම යුක්තබව (පුනරුත්පත්ති ආකෘතිය) හෝ එසේත් නැත්නම් නොපවතින ස්වභාවයෙන් (බුද්ධ ධර්මය)  යුක්ත බවට නිශ්චය කරගත හැකි බවය. එමෙන්ම  ක්‍රිස්තියානි විශ්වයක, මාක්ස්වාදී විශ්වයක, විද්‍යාත්මක-සාපේක්ෂතාශ්‍රිත (scientific-relativistic) විශ්වයක හෝ නාසි විශ්වයක ජීවත්වීම පිළිබඳව ද සිතුවිල්ලක් ඇතිකරගත හැකිය.  

මනෝ චිකිස්තකයින් හා මනෝ විද්‍යාඥයින් නිරන්තරයෙන් නිරීක්ෂණය කරඇති පරිදි (වෛද්‍ය ක්ෂේත්‍රයෙහි නියැලි මිතුරන්ගේ අප්‍රසාදයට ලක්වුවද) සිතන්නාට තමා අසනීපයකින් පෙළෙන බව මෙන්ම නැවත සුවවී ඇතැයි ද සිතිය හැකිය.  

තහවුරුකරන්නාගේ යාන්ත්‍රණය ඊට වඩා ඉතා සරලය. එය ක්‍රියාත්මක වන්නේ එකම එක නියමයක් යටතේ පමණි. සිතන්නා සිතන දෙය කුමක් වුවද තහවුරුකරන්නා එය තහවුරු කරයි.

 *දසලක්ෂ ගණනක් එලෙස විශ්වාස කරති. ( මෙය ලියන ලේඛකයා ද ඇතුළුව)  

No comments:

Post a Comment