රුෂ්ඩි දුටු රූබිකොන් තරණය

 

(කාටූන් ශිල්පියෙකු දුටු නෙතන්යාහු - Cartoon Movement වෙතින්)

මේ දිනවල සමාජ මාධ්‍යවල ජනප්‍රියම ගංගාව බවට පත්ව තිබෙන්නේ රූබිකොන් ගංගාවයි. සීසර් රූබිකොන් ගංගාව තරණය කිරීම ගැන සල්මන් රුෂ්ඩි තැබූ සටහනක් මා ගෙන ආවේ 2022 මැයි 22 දින තැබූ කතන්දර තුනක් සහ තවත් එකක් නම් ලියැවිල්ලෙනි. එය නැවත මතුකරගැනීම සුදුසු යයි සිතෙන බැවින් යළි මෙසේ පළකරමි.

සල්මන් රුෂ්ඩිගේ Languages of Truth කෘතියෙන්

ජුලියස් සීසර් රූබිකොන් ගංගාව තරණය කිරීම ඓතිහාසික සිදුවිමකි. තවත් බොහෝ අය එම ගඟ තරණය කර ඇතත් ඔවුන්ගේ ක්‍රියා ඉතිහාසයට වැදගත් වී නැත. එම අර්ථයෙන් ඔවුන්ගේ තරණය කිරීම් සිදුවීම් නොවේ. ගත වී යන කාලය විසින් සිදුවීමක අර්ථය වෙනස් කරනු ලැබේ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යුගයේ දී 1857 හමුදා නැගී සිටීම (military revolt) හඳුන්වනු ලැබූයේ “ඉන්දියානු කැරැල්ල” (Indian mutiny) ලෙස ය. කැරැල්ල යනු බලධාරීන්ට එරෙහිව කරන අරගලයක් (rebellion) නිසා එලෙස හැඳින්වීම තුළින් එම යෙදුම හා එනිසාම එම සිදුවීම විසින් “කැරලි ගැසූ” ඉන්දියානුවන් වරදකරුවන් බවට පත් කරනු ලැබීය. අද ඉන්දියානු ඉතිහාසඥයින් විසින් එම සිදුවීම “ඉන්දියානු නැගී සිටීම” (Indian Uprising) යනුවෙන් හඳුන්වනු ලැබීමෙන් එය සපුරා වෙනත් අර්ථයක් ගෙනදෙන වෙනස් සිදුවීමක් බවට පත් කරයි.
ඉතිහාසය යනු ගලක් මත කෙටූ දෙයක් නොවේ. වර්තමානයේ පවතින ආකල්ප අනුව අතීතය නිරන්තරයෙන් වෙනස්වීම්වලට භාජනය වෙයි.

No comments:

Post a Comment