කියවන්නට පමණක් ම නොවේ!
(cartoon movement වෙතින්)
1. මායා මාවත
එක්තරා මිනිසෙක් රටක් හරහා ගමන් කරන අතරතුර විශාල, පොහොසත්කමින් පිරුන අලංකාර නගරයකට පැමිණුනා. තමන්ගේ මගපෙන්වන්නා දෙසට හැරුන මගියා මෙහෙම කිව්වා. “මේ පලාතෙ නම් හොඳ ධාර්මික මිනිස්සු වගෙයි ඉන්නෙ, මුලු නගරයටම එක පුංචි ආරක්ෂකයෙක් විතරයි ඉන්නෙ."
මගපෙන්වන්නා පිළිතුරු දුන්නා,“ඔබතුමන්ට තේරෙන්නෙ නෑ. මේ නගරය කොයිතරම් නපුරුබවින්, දූෂණයෙන්, ද්වේෂයෙන් හා අවමානයෙන් පිරිලද කියනවනම් එක ආරක්ෂකයෙක් ඇති මෙහෙ ඉන්න ඔක්කොම යටත් කරල තියාගන්න."
තව ටිකක් දුර යද්දි ඔහු දුෂ්කර, රළු මාර්ගයකට පිවිසුනා. මගියා දැක්කා මහලු මිනිසෙක් කඳු බෑවුමක් දිගේ උඩට නගින්න උත්සාහ කරනවා. ඔහු වටේට උසමහත, ශක්තිමත්, නපුරු පෙනුමෙන් යුත් ආරක්ෂකයො හත්දෙනෙක් සිටියා.
මගියා ආයෙත් කතාකලා. “මේ නම් හරිම නපුරු මහල්ලෙක් වෙන්න ඕනැ. බලන්න ආරක්ෂකයො කීදෙනෙක් වටවෙලා ඉන්නවද කියල."
මග පෙන්වන්නා නැවතත් පිළිතුරු දුන්නා. “මේ තමයි රටේ ඉන්න එකම ධාර්මික මනුෂ්‍යයා. බලන්න, රටේ ඉන්න ශක්තිමත්ම ආරක්ෂකයො හත් දෙනෙක් උත්සාහ කරන්නෙ එයා යන්න හදන මාර්ගයෙන් ඉවතට යොමුකරන්න. ඒත් තවමත් ඒ ගොල්ලන්ට ඒක කරන්න බැරිවෙලා තියනවා."
2. කළු සහ සුදු
මම ඉස්කෝලෙ ප්‍රාථමික අංශයේ ඉන්නකොට පංතියේ හිටපු තවත් ලමයෙක් එක්ක ලොකු වාදෙකට පැටලුනා. මට මතක නෑ කාරණේ මොකද්ද කියල. ඒත් මම එදා ඉගෙනගත්ත පාඩම නම් කවදාවත් අමතක උනේ නෑ.
මම ස්ථිරවම දැනගෙන හිටියා මමයි හරි, ඔහුයි වැරදි කියල. ඒ වගේම ඔහුටත් ලොකු විශ්වාසයක් තිබුණා ඔහු හරි, මම වැරදියි කියල. පංතියේ ගුරුතුමිය හිතුවා අපි දෙන්නටම හොඳ පාඩමක් උගන්වන්න ඕනැ කියල.
අපිව පංතිය ඉස්සරහට ගෙනල්ල ඇයගේ මේසය එක පැත්තක මාවත් අනෙක් පැත්තෙ මාත් එක්ක වාද කරපු ලමයත් තිබ්බා. ගුරුතුමියගෙ මේසය උඩ තිබුනා ලොකු, රවුම් භාජනයක්. මට හොඳට පෙනුනා ඒක කළුපාටයි කියල. ගුරුතුමී අනෙක් ලමයගෙන් ඇහැව්වා ඒක මොන පාටද කියල. “සුදු පාටයි” ලමය කිව්වා.
කළුපාටයි කියල හොඳට පේන්න තියෙද්දි ඔහු ඒක සුදුපාටයි කිව්වෙ ඇයි කියල මට හිතාගන්න බැරිඋනා. මගෙ යාළුවයි මායි අතර ආයෙත් වාදයක්, ඒ අර භාජනේ පාට ගැන.
ගුරුතුමිය මට කිව්වා අර ළමයා හිටපු තැනට ගිහින් හිටගන්න කියල. මගෙ යාළුවට කිව්ව මම හිටගෙන හිටපු තැනට යන්න කියල. අපි හිටපු තැන් මාරු කරගත්තා. ගුරුතුමිය ආයෙත් මගෙන් ඇහැව්වා භාණ්ඩයේ පාට මොකද්ද කියල. “සුදු පාටයි.” මට කියන්න සිද්ධඋනා.
ඒක, පැති දෙක වෙනස් පාට දෙකකින් හැදුන භාණ්ඩයක්. යාළුවගෙ පැත්තෙන් බලපුවම සුදුපාටයි, මගේ පැත්තෙන් බලපුවම කළුපාටයි.
3. නොකළ යුතු උදව්
එක දවසක් මිනිසෙක් දැක්කා තමන්ගේ කෝෂයෙන් එළියට එන්න දඟලන සමනල පැටියෙක්. ඔහු එතැන වාඩිවෙලා පුංචි සිදුරකින් එළියට එන්න පැය ගණනක් තිස්සේ දඟලන සමනල පැටියා දිහා බලාගෙන හිටියා. එක්වරම උගේ දැඟලිල්ල නැවතුනා. ඌ හිරවෙලා වගෙයි පෙනුනේ.
ඒ හින්දා මේ මිනිසාට සිතුනා සමනල පැටියට උදව් කරන්න. ඔහු පුංචි කතුරක් අරන් කෝෂයේ ඉතිරිවෙලා තිබුන ටික කපල දැම්මා. සමනල පැටියත් හරි ලේසියෙන් එළියට ආවා. ඒත් ඌට තිබුනෙ ඉදිමුන ඇඟකුත් රැලි වැටිල ඇකිලුන තටු දෙකකුත්.
මිනිසාට ඒකෙ අමුත්තක් දැනුනෙ නෑ. ඔහු නැවතත් වාඩිවෙලා තටු දිගෑරිලා සමනල පැටියට ඉගිලිලා යන්න පුලුවන් වෙනකං බලාහිටියා. ඒත් ඒක එහෙම උනේ නෑ. සමනලයා ජීවත්වුන ඉතිරි කාලය ගතකළේ ඉදිමුන ඇඟකුත් පුංචි පිහාටුත් එක්ක පියාඹන්න බැරුව බඩගාමින්.
මේ මිනිසා කරුණාවන්ත උනාට ඔහුට තේරුනේ නෑ සිරවෙන කෝෂයත් එයින් එළියට එන්න දරන්නට සිදුවන ලොකු වෙහෙසත් තමයි සමනලයාගේ සිරුරේ සිට පිහාටුවලට යුෂ ගෙනිහින් ඒවා ශක්තිමත් කරලා කෝෂයෙන් නිදහස් උන ගමන් ඌට පියාඹන්න පුළුවන්වෙන්න ස්වභාව ධර්මය දීලා තිබුන උපක්‍රමය කියලා.
සල්මන් රුෂ්ඩිගේ Languages of Truth කෘතියෙන්
ජුලියස් සීසර් රූබිකෝන් ගංගාව තරණය කිරීම ඓතිහාසික සිදුවිමකි. තවත් බොහෝ අය එම ගඟ තරණය කර ඇතත් ඔවුන්ගේ ක්‍රියා ඉතිහාසයට වැදගත් වී නැත. එම අර්ථයෙන් ඔවුන්ගේ තරණය කිරීම් සිදුවීම් නොවේ. ගත වී යන කාලය විසින් සිදුවීමක අර්ථය වෙනස් කරනු ලැබේ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යුගයේ දී 1857 හමුදා නැගී සිටීම (military revolt) හඳුන්වනු ලැබූයේ “ඉන්දියානු කැරැල්ල” (Indian mutiny) ලෙස ය. කැරැල්ල යනු බලධාරීන්ට එරෙහිව කරන අරගලයක් (rebellion) නිසා එලෙස හැඳින්වීම තුළින් එම යෙදුම හා එනිසාම එම සිදුවීම විසින් “කැරලි ගැසූ” ඉන්දියානුවන් වරදකරුවන් බවට පත් කරනු ලැබීය. අද ඉන්දියානු ඉතිහාසඥයින් විසින් එම සිදුවීම “ඉන්දියානු නැගී සිටීම” (Indian Uprising) යනුවෙන් හඳුන්වනු ලැබීමෙන් එය සපුරා වෙනත් අර්ථයක් ගෙනදෙන වෙනස් සිදුවීමක් බවට පත් කරයි.
ඉතිහාසය යනු ගලක් මත කෙටූ දෙයක් නොවේ. වර්තමානයේ පවතින ආකල්ප අනුව අතීතය නිරන්තරයෙන් වෙනස්වීම්වලට භාජනය වෙයි.
වර්තමානයේ පවතින ආකල්ප අනුව අතීතය දකින ආකාරය නිරන්තරයෙන් වෙනස්වීම්වලට භාජනය වෙයි... කියල රුෂ්ඩි කිව්වනං තමා වඩාත් හරි කියලයි මට හිතෙන්නෙ
ReplyDeleteමා සිතන්නේ ඔහු අදහස් කරන්නේ ඒක තමයි. ඔහුගේම වචන මෙහෙමයි."History is not written on stone. The past is constantly revised according to the attitudes of the present."
Deleteඅගෙයි කතා ටික ගොඩක්ම හරවත්ය
ReplyDeleteමතකයෙ තියා ගන්නට වටනා දේය
මිනිහා බලන්නේ මතුපිට ඇති දේය
විනිවිද පෙනෙන්නේ එහෙමත් කෙනෙකුටය