හොයමු, හොයමු ඩොලර් හොයමු!

(cartoon movement වෙතින්)


 මේ දවස්වල  අඳුරේ පහස විඳිමින් නිවෙස්වල ද මහපාරේ පෝලිම්වල ලගිමින් ද අප අහස පොලව ගැට ගහන්නට දඟලන්නේ මේ කොහේවත් නැති රටක තියන ඩොලරයක් අපේ රටට කළ වින්නැහිය ගැන ය. ඒ වගේම ඩොලර් ටිකක් හොයාගත්තොත් ටික දවසකට හරි ගොඩ යන්න පුළුවන් බවත් පේන්න තිබේ.  මෙහෙම කල්පනා කර කර ඉන්න අපට අඳුරු අහසේ දිස්වන රිදී රේඛාවක් මෙන් බලාපොරොත්තුවක් ඇති කරන සැලසුමක් ගැන ජන මාධ්‍ය හරහා දැනගැනීමට ලැබුණි. මේ  සැලසුමේ කොපිරයිට් අයිතිය ඒ සැලැස්ම ඉදිරිපත් කළ අයට හිමි වුවත් අදාළ හිමිකරු මෙම සංකල්පය යතාර්ථයක් බවට පත්කරන්නට එතරම් උනන්දුවක් නොගන්නා බව පෙනෙන හෙයින් එම අදහස පෝෂණය කරන්නට අපට පුළුවන් හැටියට අදහසක් දෙකක් ඉදිරිපත් කිරීමේ වරදක් ඇතැයි නොසිතමි.

  

සැලැස්ම නම් මේක ය. අප කවුරුත් දන්නා පරිදි ප්‍රාදේශීය මන්ත්‍රීතුමාගේ සිට ජනාධිපතිතුමා දක්වා සියළුම දේශපාලනඥයින් පාවිච්චි කරන්නේ ලෝකයේ ඉහලම වටිනාකමක් සහිත අධිසුඛෝපභෝගී වාහන ය. බොහෝවිට පාවිච්චි කරන වාහන ගණන තීරණය වන්නේ පවුලේ සිටින සාමාජිකයන් ප්‍රමාණය අනුව ය. ඒ අනුව බොහෝ දෙනා ලඟ එකකට වැඩි වාහන සංඛ්‍යාවක් තිබේ. මේ වාහන සියල්ල නැවත විදෙස් රටවලට අපනයනය කිරීමෙන් අතිවිශාල ඩොලර් කන්දරාවක් අප රටට ගෙන ඒම පහසුවෙන්ම කළ හැකි ය. එහෙත් මේ අගනා අදහස පිළිබඳව වගකිව යුතු කිසිවකුගේ අවධානය ප්‍රමාණවත් තරම් යොමු වී නැති බව පෙනේ. මේ උත්සාහය එම සංකල්පයට ලැබිය යුතු අවධානය දිනා ගැනීම මෙන් එය යථාර්තයක් බවට පත්කරනු පිණිස මනාව සංවිධානය කරන ලද වැඩපිළිවෙළක් අවශ්‍ය බව පෙන්වීම ය. පළමුව කළයුත්තේ මේ වාහනවලට අදාළව සංගණනයක් ගැනීම ය. ඒ සඳහා පහත දැක්වෙන තොරතුරු සපයා ගත යුතු ය. 

1. ශ්‍රී ලංකාවේ සිටින දේශපාලනඥයින් සංඛ්‍යාව හා ඔවුන් සතු සුඛෝපභෝගී වාහන සංඛ්‍යාව

 මෙහිදී පසුගිය දිනවලදී රාජ්‍ය විරෝධී අරගලකරුවන් විසින් විනාශකරන ලද වාහන ද සැලකිල්ලට ගතයුතු ය.  මක්නිසාද යත් ගිනි තබන ලද වාහන සංඛ්‍යාලේඛන වලින් ඉවත් කළ යුතු හෙයිනි. මේ වාහන විනාශ වීමේ වැඩි වගකීමක් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය වෙත පැවරෙන බව ද මෙහි සටහන් නොකළහොත් එය විශාල අඩුවකි. ඒ කෙසේද යත්, මෙම වාහන අපනයනය කිරීමෙන් විදේශ විනිමය ඉපැයීමේ සැලැස්ම ගැන දැන සිටියේ නම් කුමන හේතුවක් නිසාවත් අරගලකරුවන් එම වාහන විනාශ නොකරන බව සක්සුදක් සේ පැහැදිළි නිසා ය. එම තොරතුර අරගලකරුවන් ප්‍රමුඛ රටේ ජනතාව වෙත නිසි පරිදි සන්නිවේදනය නොකිරීමේ වගකීම ඔවුනට පැවරෙන බව ද මෙහිදී අවධාරණය කළ යුතු ය. 

කෙසේ වුවද ගිනි තැබීමෙන් හා බේරේ වැවට පෙරලීමෙන් විනාශ වූ සුඛෝපභෝගී වාහන අපනයනය කළ නොහැකි වුවද ඒ සඳහා ද ප්‍රතිකර්මයක් තිබේ. එසේ විනාශ කරනු ලැබූ වාහන අයිතිකරුවන් සඳහා නැවතත් බදු රහිත ක්‍රමය (duty free) යටතේ අධි සුඛෝපභෝගී වාහන ගෙන්වීම සඳහා බලපත්‍ර නිකුත් කළ හැකි ය. එසේ ගෙන්වන වාහන යළි පවරාගෙන ප්‍රතිඅපනයනය කිරීමෙන් විනාශ කරන ලද වාහන වලින් සිදුවූ පාඩුව පිරිමසා ගත හැකි වේ.

2. වාහන අපනයනය සඳහා යොදාගන්නා ආයතනය හෝ ආයතන

        මෙහිදී අපගේ අවධානයට ලක්විය යුතු ප්‍රධානම කරුණ නම් ඒ සඳහා රාජ්‍ය ආයතනයක් යොදා නොගැනීමට වගබලා ගැනීමයි. ඒ ඉතාමත් වැදගත් හේතු දෙකක් නිසා ය. පළමු කරුණ නම් රාජ්‍ය ආයතන පාඩු ලැබීම හා විශාල පිරිසකට රැකියා දීමට සිදුවීමෙන් එය රටට බරක් වීම ය. (වාහන විකුණා අවසන් වූ පසු ආයතනයක් අවශ්‍ය නොවේ. එවිට ආයතනය වසා දැමීමට සිදුවීමෙන් රැකියා විරහිතයින් බිහි වේ.) අනෙක් කරුණ නම් පුද්ගලික ආයතනයකට දීමෙන් ලාබ ලබන මට්ටමෙන් පවත්වාගෙන යාමට හැකි වීම ය. එමෙන්ම මෙහිදී තවත් විශේෂ කරුණක් කෙරෙහි අපගේ අවධානය යොමු විය යුතුය. එනම් පසුගිය දිනවල එල්ල වූ ප්‍රහාර නිසා තම නිවෙස් හා ව්‍යාපාරික ස්ථාන අහිමි වූ අසරණ දේශපාලනඥයින් පිරිසයි. ඔවුන් දැන් කිසිදු ආදායම් මාර්ගයක් හෝ පිළිසරණක් නොමැතිව අනාථ වී ඇත. මේ නිසා එම පිරිස අතරෙන් තෝරා ගත් කිහිප දෙනෙකුට මෙම කෙටිකාලීන ව්‍යාපෘතිය පුද්ගලික ව්‍යාපාරයක් ලෙස කරගෙන යාමට අවස්ථාව දිය හැකි ය. ඉන් රටට සිදුවන වාසි දෙකකි. එකක් නම් එම ව්‍යාපාරය තුළින් ලාබයක් ඉපැයිය හැකි නිසා ඔවුන්ට අහිමි වූ දේපල වෙනුවෙන් වන්දි ගෙවීමට සිදු නොවීමයි. අනෙක නම් ඒ ව්‍යාපාර තුළ පවුලේ අයට රැකියා අවස්ථා උදාවන නිසා පුද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම් වැනි තනතුරු සඳහා වැයවන රජයේ අරමුදල් ඉතිරිවීම ය. 

3. දේශපාලක සුඛෝපභෝගී වාහන ප්‍රතිඅපනයනය අඛණඩව සිදුකළ යුතු දැයි තීරණය කිරීම

        මෙම ව්‍යාපෘතියෙන් උපයා ගැනෙන ඩොලර් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව පෙනී යන්නේ නම් මෙම ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යාමට සැලසුම් කළ හැකි ය. ඒ සඳහා ගතයුත්තේ ඉතාමත් සරල පියවරකි. එනම්, වාහන පවරා ගැනීමට ලක්වන සියළු දේශපාලනඥයින්ට බදු රහිත වාහන ගෙන්වීමේ බලපත්‍ර අඛණ්ඩව ලබාදීම ය. එවිට එම වාහන පවරාගෙන අපනයනය කිරීමෙන් විදේශ විනිමය ඉපැයීමේ ව්‍යාපෘතිය දිගටම පවත්වාගෙන යා හැකි ය. මෙහිදී අපගේ අවධානය යොමුවිය යුතු තවත් කරුණක් නම් වාහන පවරා ගැනීමේ ව්‍යාපෘතිය නිසා දේශපාලනඥයින් අධෛර්යයට පත්වීම වළක්වා ගැනීමේ අවශ්‍යතාවයි. මේ සඳහා ගතහැකි හොඳම පියවර වන්නේ පවරාගන්නා වාහන සඳහා වෙළඳපොල වටිනාකම ගෙවා පවරාගැනීම ය. එයින් දිරිමත් වන රටට ආදරයක් ඇති දේශපාලනඥයින් වැඩි වැඩියෙන් වාහන ගෙන්වීමට පෙළඹෙනු ඇත.

වැදගත්: 

මෙහි මා සටහන් කර ඇත්තේ දළ සැලසුමක් පමණි. මෙය ක්‍රියාත්මක කිරීමේදී ඉතා සූක්ෂමව පියවරෙන් පියවර සැලසුම් කර සංවිධානය කිරීමට සිදුවේ. ඒ සඳහා උපදේශක මට්ටමින් සහය වීමට ද මෙම ලියුම්කරු හට හැකියාව පවතින බව සතුටින් සඳහන් කිරීමට කැමැත්තෙමි. විශේෂයෙන් සඳහන් කළ යුත්තේ අද අප රට වැටී පවත්නා ආර්ථික අගාධය සැලකිල්ලට ගනිමින් මෙම සේවාව සඳහා කිසිදු වැටුපක් හෝ දීමනාවක් බලාපොරොත්තු නොවන බව ය.  ප්‍රතිඅපනයනය කරන සෑම වාහනයකින්ම ඉතා කුඩා කොමිස් මුදලක් යැපුම් දිමනාවක් ලෙස ප්‍රමාණවත් වන අතරම ආයතනයේ කටයුතු සඳහා ප්‍රවාහන පහසුකම් අවශ්‍ය බැවින් ඉන්ධන පිරිමැස්මෙන් යුත් කුඩා ප්‍රමාණයේ වාහනයක් (මේ සඳහා පවරාගන්නා වාහන අතුරෙන් කුඩා ප්‍රමාණයේ වාහනයක් තෝරාගැනීමෙන් විදේශ විනිමය ඉතිරි කරගත හැකි ය.) ද අවශ්‍ය බව දැනුම් දෙමි. 

                                                    රටට ජය! අපට ජය!

 

            

No comments:

Post a Comment