අපි මෙහෙමයි ණය ගෙවන්නෙ!

 


අග්‍රා නගරයේ හිටියා දුප්පත් ලියන්නෙක්. ඔහු අනිත් අයට අවශ්‍ය දේවල් ලියලා දීලා නැතිනම් පොත් වලින් කොපි කරලා දීලා යන්තමට ජීවත්වෙන්න තරම් ගානක් හොයාගත්තා. හැබැයි ජීවිතය කොයිතරම් දුෂ්කර උනත් ඔහුත් ඔහුගේ බිරිඳත් දරුවන් බඩගින්නේ නොතියා තමනුත් බඩගින්නේ නොඉඳ දවස ගෙවාගන්න සමත් උනා. මේ ලියන්නා තමන් එක තඹ කාසියක් තරම්වත් ණයට ගෙන නැති එක ගැන හරි ආඩම්බර උනා. "අපි කවදාවත් ණයකාරයාගේ සාක්කුවට වැටෙන්න හොඳ නෑ. එහෙම උනොත් අපි විනාශයි." ඔහු නිතරම තම බිරිඳට කිව්වා.

 

තමන්ට තිබුන අගහිඟකම් ගැනත් මුදල් ණයට ගැනීමේ බයත් කොයිතරම් ඔහුගේ හිතේ හොල්මන් කළාද කිව්වොත් ඔහුට ඒවා හීනෙනුත් පෙනුනා. එක් රාත්‍රියක ඔහුට හීනෙන් පෙනුනා ණයදෙන්නාගෙන් රත්තරන් කාසි සියයක් ණයට ගන්නවා. ඔහු බයෙන් මුසපත් වී ඇහැරුනා."රන් කාසි සියයක්! මෙච්චර වස්තු සම්භාරයක් මම කොහෙන් හොයන්නද?" ලියන්නාට ඉබේම සිතුනා. දැකපු භයානක හීනයෙන් බියට පත් ලියන්නා බිරිඳ අවදි කරලා ඇයටත් ඒ ගැන කිව්වා. ඇයත් සමග මේ ගැන ටිකක් වෙලා කතා කරාට පස්සෙ බය අඩුවෙලා ගිහින් ආයෙත් නිදාගන්න පුළුවන් උනා. 

ඊලඟ දවසේ බිරිඳ ඔවුන් ජීවත් වූ නිවස තිබුන වීදියේ කෙළවර තිබුන ළිඳට වතුර ගේන්න ගිය ගමන් තමන්ගේ යෙහෙළියන්ට හීනය ගැන කිව්වා. "බලන්නකෝ, අපේ එක්කෙනා හීනෙං දැකලා ණයකාරයාගෙන් රන් කාසි සීයක් ණයට ගන්නවා! එකක් දෙකක් නෙමෙයි, සීයක්ම!" හැමෝම එකතුවෙලා මහ හයියෙන් හිනා උනා. මේක නං කියන්න හොඳ කතාවක් තමයි කියලා හිතපු සමහරු ගෙදර ගිහින් ස්වාමිපුරුෂයා සමගත් කතාව කිව්වා. කොහොම හරි කතාව ගමේම පැතිරිලා අන්තිමට ණය දෙන මිනිහගේ කනටත් වැටුනා. ඒක අහපු ගමන් මිනිහට හිනා ගියත් ඇස් දෙක කෑදරකමින් දිලිසුනා. මිනිහා තලප්පාවත් දාගෙන බස්තමත් අතින් අරං ලියන්නාගේ පුංචි ගේ දිහාට ගෑටුවා. 

"මම ආවේ ඔබ මගෙන් අරන් තියන ණය ගැන මතක් කරන්නයි." ඔහු බයවෙලා තැතිගත් දෑසින් බලා හිටපු ලියන්නාට කිව්වා. 

"සල්ලි? මම ණයට ගත්තා?" ලියන්නා පුදුමයට පත්වෙලා කෙඳිරි ගෑවා. 

"ඔව් යාළුවා," ණයදෙන්නා තදින් කතා කළා. "රන් කාසි සියයක්. ඒක අමතක වෙන්න විදියක් නෑනෙ."

"ර..ර..රන් කා..කා..සි  සියයක්?" හුස්ම හිරවෙලා කතා කරගන්න බැරිව ගිය ලියන්නා ළඟම තිබුන පුටුවක් උඩට ඇදගෙන වැටුනා. 

ඇතුළෙ කාමරේක ඉඳලා අහගෙන හිටපු ලියන්නගෙ බිරිඳ ඉක්මන් කරලා එළියට ආවා. "ඒක හීනයක් විතරයිනෙ! ඔහේට පුළුවන්ද හීනෙන් ගත්ත ණයක් ආපහු ගෙවන්න කියලා කියන්න?" ඇය කෑගැසුවා. 

"සල්ලි නම් සල්ලිමයි. ණයට ගත්තොත් ආපසු ගෙවන්න ඕනෑ." ණයදෙන්නා ගානකට නැතිව කිව්වා. "හෙට ඉඳලම ගෙවන්න පටන්ගන්න ඕනෑ. මම කරුණාවන්ත, හිත හොඳ මිනිහෙක්. ඒ නිසා ඔක්කොම සල්ලි එකසැරේ ආපසු ගෙවන්න කියන්නෙ නෑ. මාසෙකට එක රන් කාසියක් ගෙවපුහම ඇති, ඒකෙ පොලියත් එක්කම." මෙහෙම කියපු මිනිහා නැගිටලා යන්න ගියා. 

ලියන්නා කෙඳිරිලි හඬින් වැලපෙන්න පටන් ගත්තා. ඔහුගේ බිරිඳට දනිස් පණ නැතිව ගිහිල්ලා එතනම ඉන්දවුනා. ඔවුන් එහෙමම වාඩිවෙලා වෙච්ච විපත ගැන පසුතැවුනා. මෙහෙම පශ්චාත්තාප වෙවී හිටපු බිරිඳට එක්වරම හොඳ අදහසක් පහල උනා. "මේ ඇහුනද", කෙලින් වෙලා ඉඳගත්ත ඇය තම ස්වාමියාට කතා කළා."අපි රාජා බිර්බල්ගෙන් උදව් ඉල්ලන්න ඕනෑ. ඔහුට විතරයි අපව මේ විපතින් ගලවාගන්න පුළුවන්." මේක අහපු ලියන්නටත් පණ ඇවිත් නැගිට්ටා. ආයෙත් අතපය වැඩ කරනවා වාගේ දැනුනා. "මම දැන්මම ඔහුගේ ගෙදර යන්නම්. අපව බේරාගන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් එයා විතරයි." ඔහු කිව්වා.  

බිර්බල් අසරණ ලියන්නාගේ දුක්ගැනවිල්ල අහගෙන ඉඳලා රන්කාසි මල්ලක් ගෙනල්ලා මේසෙ උඩ හැලුවා. ඒකෙන් රන්කාසි සියයක් ගණන් කරලා ඉතිරිය අරන් තිබ්බා. ඊලඟට ලොකු කණ්ණාඩියක් ගෙනල්ලා රන්කාසි ගොඩ ඉස්සරහින් තිබ්බා. 

"අනේ උතුමාණනි, මම ආවේ ණයදෙන්නාට ගෙවන්න සල්ලි ඉල්ලන්න නෙවෙයි. මේකෙන් ගැලවෙන්න වෙන මොකක් හරි ක්‍රමයක් තියෙන්න එපායැ." 

"වෙන ක්‍රමයක් තියනවා." බිර්බල් සිනාමුසු මුහුණින් උත්තර දුන්නා. "දැන් කලබල නොවී ගිහිල්ලා ණයදෙන්නාට මගේ මන්දිරයට එන්න කියන්න. එයාට කියන්න එයාගේ ණය ගෙවන්න ලෑස්තියි කියලා." 

මොකවත් හිතාගන්න බැරිව ලියන්නා ණයදෙන්නාගේ නිවසට දිව්වා බිර්බල්ගේ පණිවුඩයත් අරගෙන. ඒක අහපු ණයදෙන්නගෙ මූණ හිනාවකින් පිරුනා. ඒ වෙලාවෙම ලියන්නත් එක්ක එන්න පිටත් උනා. 

දෙන්නා බිර්බල්ගේ නිවසට ආවට පස්සේ ණයදෙන්නට පෙනුනා මේසෙ උඩ ගොඩගහලා තිබුන රන්කාසි ගොඩ. මිනිහට රන්කාසි ගොඩෙන් ඇහැ අහකට ගන්නම බැරි උනා විතරක් නෙමෙයි කටට නැගුන හිනාව මැකිල ගියේම නෑ. රන්කාසි ගොඩට පිටුපසින් තිබුන කණ්ණාඩිය නිසා එතැන තිබුනටත්  වඩා කාසි වැඩිවෙලා  දිලිසි, දිලිසි පෙනෙන්නට උනා. 

"එතකොට ලියන්නා තමුන්ගෙන් රන්කාසි සියයක් හීනෙන් ණයට ගත්තා, එහෙම නේද?" බිර්බල් ඇසුවා. 

"එහෙමයි." ණයදෙන්නා පිළිතුරු දුන්නේ  මේසේ උඩ තිබුන රන්කාසි ගොඩෙන් ඇහැ අහකට ගන්නෙ නැතුවමයි. 

"හොඳයි, අර කණ්ණාඩියේ තිබෙන රන්කාසි සියල්ලම ඔබට ගන්න පුළුවන්. සැබෑ කාසි අයිති මටයි. ඒත්, කණ්ණාඩියේ පිළිබිඹු වෙලා පෙනෙන සියළුම කාසි ඔබට අයිතියි සිහිනෙන් දීපු ණය වෙනුවෙන්." 

ණයදෙන්නාට තේරුනා තමන්ටම ගැලපෙන මිනිහෙක් තමයි මුණගැහිලා තියෙන්නේ කියලා. වචනයක්වත් නොකියා ඔහු එතැනින් පිටවෙලා යන්න ගියා. ඒ විතරක් නෙවෙයි ආයෙ කවදාවත් ලියන්නාටවත් අග්‍රාවල වෙනත් කෙනෙකුටවත් එහෙම කපටිකම් කරන්න උත්සාහ කළේ නෑ. 

(මොනීෂා මුකුන්දන්ගේ අක්බාර් සහ බිර්බල් කෘතියෙන් උපුටාගත් තවත් කතාවකි.)  


9 comments:

  1. ලස්සන කතාවක්. අපිත් මේ දවස් වල බිර්බල්ලා හොය හොය ලෝකේ වටේ යනවා. හැබැයි තම හම්බ උනේ නෑ.

    ReplyDelete
  2. නියම කතාවක්. ඒ වගේම තමයි හැම දේම ගෑනිට කියන එකෙන් වන නස්පත්තියත් තේරුම් ගන්න හොඳ කතාව.....

    ReplyDelete
  3. සුපිරි කථාවක්!

    ReplyDelete
  4. නියමයි ඒ කතාවත්

    ReplyDelete
  5. අර, නලාවෙ සද්දෙට කාසිවල සද්දෙ හිලව් කළා වගේ කතාවක්.

    සුරුස්...

    ReplyDelete
    Replies
    1. ඒක නං අහපු මතකයක් නෑ.

      Delete
    2. ඔය කතාව තියෙන්නෙ මාලු බැද බැද හිටපු එකෙක් ලඟ හිඟන්නෙක් බත් එකක් කාපු එකක් ගැන මාලු සුවඳත් එක්ක.

      Delete
    3. The Smell Of Fried Fish
      A poor traveler stopped under a tree to eat his boiled rice and vegetables. A few meters away, there was small shop where a woman was frying fish and selling it to travelers who were able to afford to pay for it. This woman watched the poor traveler carefully, and when he finished his food and began to go, she shouted rudely, “You have not paid me for the fried fish!”

      “But I have not had any fried fish!” he said.

      “But everyone can see that you enjoyed the smell of my fried fish with your rice and vegetables,” argued the woman.

      Soon the crowd collected. Although they supported the poor traveler, they had to admit that the wind had carried the smell of the fried fish to him.

      Finally, the woman took the poor traveler to a judge. He said. “The woman says that the traveler ate his meal with the smell of her fried fish. The traveler agrees that the wind was blowing from the woman’s shop and that it carried the smell of her fish to him, so he must pay for it. What does your fried fish cost ?” he asked the woman.

      “Twenty-five cents a plate,” she answered, delighted.

      “Then go outside together, said the judge. ‘The traveler must hold up a twenty-five cent piece so that its shadow falls on the woman’s hand. The price of the smell of a plate of fried fish is the shadow of twenty-five cents.’

      http://gufymedia.blogspot.com/2012/11/narrative-text-smell-of-fried-fish.html

      Delete
  6. Different version of the same story! As I mentioned in my introduction to the first post on Birbal, same story with slight changes could be found among folk tales throughout the world. It would be interesting to see the origin of such stories.

    ReplyDelete