කවද හරි දවසක...


රට පොළවටම සමතලා වී ජනතාවට වැලේ වැල් නැතිව ගොස් ඇති මේ වකවානුවේ ඔවුන් දේශපාලකයින් ගැන සිතන්නේ කුමක්දැයි කීමට අමුතුවෙන් වචන නාස්ති කළයුතු නොවේ. ඒ බැව් මැනවින් දන්නා දේශපාලකයින් ද මේ දිනවල ජනතාවට සම්මුඛ නොවී සිටීමට වග බලාගෙන සිටිති. වැරදීමකින් හෝ ජනතාව අතරට ඔවුන්ගේ වෛරයට හා ද්වේෂයට පාත්‍ර වන දේශපාලකයෙක් පැමිණිය හොත් ඔවුන් කිරීමට බලාපොරොත්තු වන්නේ යයි කියැවෙන දේ සමාජ මාධ්‍ය හරහා දැක බලාගත හැකිය. එවන් දේශපාලකයෙකුට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරයෙකුට ජාතික වීරවරයෙකුට ලැබෙන පිළිගැනීමක් සමාජ මාධ්‍ය හරහා ලැබෙනු ද අප අත්වින්දෙමු. මෙය ද එවන් තේමාවක් පදනම් කරගෙන ප්‍රකට ලේඛක ගේබ්‍රියෙල් ගර්සියා මර්කේස් විසින් රචිත One of These Days නම් වූ  කෙටිකතාවේ පරිවර්තනයකි. 


(රූපය අන්තර්ජාලයෙන්)
 

වැසි රහිත උණුසුම් සඳුදාවක් උදා විය. හිමිදිරි උදයේම නැගිටීම පුරුද්දක් කරගත්, උපාධි සහතිකයක් නැති දත් දොස්තරවරයෙකු වූ අවුරේලියෝ ඉස්කොවාර් උදෑසන හයට තම කාර්යාලය විිවෘත කළේය. තවමත් බදාම අච්චුවේ රඳවා තිබූ බොරු දත් කිහිපයක් වීදුරු කුටියෙන් එළියට ගත් ඔහු උපකරණ කිහිපයක් විශාලත්වයේ අනුපිළිවෙළට මේසය මත තැබුවේ ප්‍රදර්ශණයකට තබන්නාක් මෙනි. ගෙල පෙදෙසින් රත්තරන් බොත්තමකින් පියවූ කරපටිය රහිත ඉරි කමිසයක් හා කලිසම් පටි අල්ලා හිරකර තිබූ කලිසමක් ඇඳ සිටි ඔහු සෘජු, කෙට්ටු පෙනුමකින් යුතු වූ අතර බිහිරි පුද්ගලයින් බලා සිටින විට පෙනෙන ආකාරයේ අවස්ථාවට නොගැලපෙන ස්වභාවයකින් යුතු වූයේය.

මේසය මත වූ සියල්ල පිළිවෙළින් තබාගත් පසුව දත් ගලවන පුටුව දෙසට විදින යන්ත්‍රය ඇදගත් ඔහු බොරු දත් ඔප දැමීම සඳහා ඉඳගත්තේය. ඔහු කරන දෙය ගැන සිත යොමු කළ බවක් නොපෙනුනත් අවශ්‍ය නොවන විට පවා විදුම් යන්ත්‍රය පයින් පාගමින් නොනවත්වා වැඩ කළේය. 

වෙලාව අට පසුවන විට ජනේලයෙන් අහස දෙස බැලීම සඳහා ඔහු මොහොතකට නතර විය. අල්ලපු ගෙදර වහල මුදුණේ ලැගගෙන තටු වේලාගනිමින් සිටි ගිජුලිහිණියන් දෙදෙනෙකු ඔහුගේ ඇසට අසුවිය. දවල් කෑම වෙලාවට පෙර වහිනු ඇතැයි යන සිතුවිල්ලෙන් ඔහු වැඩ කරගෙන ගියේය. අවුරුදු එකොළහක් වයසැති පුතාගේ් තියුණු කටහඬ ඔහුගේ අවධානය බිඳ දැමීය. 

"තාත්තා." 

"ඇයි?"

"නගරාධිපති අහනවා එයාගේ දත ගලවන්න පුළුවන් ද කියලා?"

"කියන්න මම ගෙදර නෑ කියලා." 

ඔහු සිටියේ රත්තරන් දතක් ඔප දමමිනි. එය අතේ දුරින් අල්ලා ඇස් බාගෙට වසාගෙන ඔහු එය දෙස පරීක්ෂාවෙන් බැලීය. කුඩා විසිත්ත කාමරයේ සිටි පුතා යළිත් කෑගැසීය. 

"එයා කියනවා ඔයා ඉන්නවා කියලා. එයාට ඇහෙනවලු ඔයා කතා කරනවා."

දත් දොස්තර දත පරීක්ෂා කිරීම දිගටම කරගෙන ගියේය. ඔහු නැවතත් කතා කරේ මේසය මත වූ නිම කරන ලද දත් අතර එය තැබීමෙන් පසුව ය. 

"ඒක වැඩිය හොඳයි." 

ඔහු යළිත් විදුම් යන්ත්‍රය ක්‍රියාත්මක කළේය. තවමත් නිම නොකරන ලද ඒවා දමා තිබූ කාඩ්බෝර්ඩ් පෙට්ටියකින් දත් ඇන්දක කොටස් කිහිපයක් එළියට ගත් ඔහු රත්තරන් ඔප දැමීමට පටන් ගත්තේය. 

"තාත්තා." 

"මොකද?"

තවමත් ඔහුගේ මුහුණෙහි ඉරියව් වෙනස් නොවී ය. 

"එයා කියනවා දත ගලවලා දුන්නෙ නැත්තං ඔයාට වෙඩි තියනවා කියලා."

කිසිදු කලබලයක් නැතිව, ඉතාමත් සන්සුන් ලීලාවෙන් විදුම් යන්ත්‍රය පෑගීම නවතා  පුටුවෙන් ඉවතට තල්ලු කළ ඔහු මේසයේ පහත ලාච්චුව මුලුමනින්ම එළියට ඇද්දේය. ඒ තුළ රිවෝල්වරයක් විය. "හරි, මිනිහට කියන්න ඇවිත් මට වෙඩි තියන්න කියලා." 

අත ලාච්චුවේ ගැට්ට මත රඳවාගත් ඔහු පුටුව දොර පැත්තට හැරී සිටින සේ කැරකුවේය. නගරාධිපති දොර තුළින් මතුවිය. ඔහුගේ මුහුණේ වම්පස රැවුල බූ ගා තිබූ අතර ඉදිමී වේදනාවෙන් බර වී තිබූ අනෙක් පැත්තෙහි දවස් පහක රැවුලක් වැඩී තිබුණේය. කරකියාගන්නට දෙයක් නැතිව අසරණව ගෙවුනු රාත්‍රී ගණනාවක් ඔහුගේ අඳුරු දෑසෙහි පිළිබිඹුව තිබෙනු දත් දොස්තරට පෙණුනි.  ඇඟිලි තුඩින් ලාච්චුව වසා දැමූ දත් දොස්තර මෘදු ලෙස කතා කළේය. 

"වාඩිවෙන්න." 

"සුබ උදෑසනක් වේවා!" නගරාධිපති කීය. 

"සුබ උදෑසනක්." දත් දොස්තර කීය. 

උපකරණ උණු වතුරේ පැහෙන අතර නගරාධිපති තම හිස පුටුවේ හිස රඳවනයට හේත්තු කරගත් අතර ඔහුට සහනයක් දැණින. ඔහුට හුස්ම සීතලට දැණින. එය පහසුකම් වලින් දුප්පත් වූ කාර්යාලයකි. පැරණි ලී පුටුවක්, පාදයෙන් ක්‍රියාකරන විදුම් යන්ත්‍රයක් හා පිඟන් මැටි බෝතල් තැබූ වීදුරු පෙට්ටියක් එහි විය. පුටුවට විරුද්ධ පසින් උරහිස මට්ටමට තිරරෙදි යෙදූ ජනේලයක් විය. දත් දොස්තර එන බව දැනුන ඔහු තම විලුඹ බිමට තද කරගෙන කට ඇරියේය. 

අවුරේලියෝ ඉස්කොවාර් ඔහුගේ හිස ආලෝකය තිබෙන දෙසට හැරවීය. නරක් වූ දත පරීක්ෂා කළ ඔහු තම ඇඟිලිවලින් ප්‍රවේශමින් තදකර නගරාධිපතිගේ කට වසා දැමීය. 

"හිරිවට්ටන්නෙ නැතිව කරන්න වෙන්නෙ." ඔහු පැවසීය. 

"ඇයි?"

"සැරව ගෙඩියක් තියන හින්ඳා." 

නගරාධිපති ඔහුගේ දෑස දෙස බැලීය. "හොඳයි, කමක් නෑ" කියූ ඔහු සිනාසෙන්නට උත්සාහ කළේය. එහෙත් දත් දොස්තර එයට ප්‍රතිචාර සිනහවක් නොදැක්වීය. විෂබීජ නැසූ උපකරණ සහිත බේසම වැඩ කරන මේසය මත තැබූ ඔහු කිසිම හදිසියක් නොපෙන්වා කුඩා සීතල අඬුවකින් නිවිසැනසිල්ලේ ඒවා වතුරින් එළියට ගත්තේය. ඊලඟට කෙළ ගැසීමට තබා ඇති භාජනය සපත්තුවේ අගින් තල්ලු කළ ඔහු අත් සේදීම සඳහා බේසම වෙත ගියේය. ඔහු මේ සියල්ල කළේ නගරාධිපති වෙත බැල්මක් හෝ නොහෙලමිනි. එහෙත් නගරාධිපති දත් දොස්තර වෙතින් ඇස් අහකට නොගත්තේය. 

එය පහල දත් ඇන්දේ අවසානයට තිබෙන දතය. දෙපා ඈතින් තබා සිටගත් දත් දොස්තර උණුසුම්ව තිබූ අඬුවෙන් දත ග්‍රහණය කරගත්තේය. නගරාධිපති පුටුවේ ඇඳි තදින් අල්ලාගෙන මුලු වෙර යොදා  දෙපා තදින් බිමට හිරකර ගත් අතර ඔහුට යටිබඩ සීතල වී ඇකිලී යනවාක් මෙන් දැනුන ද මුවින් කිසිදු ශබ්දයක් නොනැගීය. දත් දොස්තර චලනය කළේ ඔහුගේ මැණික්කටුව පමණි. ද්වේෂයක් නොහැඟවෙන එහෙත් මෘදු බවක් දැක්වූ කටුක හඬකින් ඔහු කතා කළේය.

"දැන් ඔහේ මැරිච්ච අපේ මිනිස්සු විස්සකට වන්දි ගෙවයි."

හක්කේ ඇට කැබලි කරස් හඬින් බිඳී යනු නගරාධිපතිට දැනින. ඔහුගේ ඇස් කඳුළින් පිරී ගියේය. එහෙත් ඔහු දත ගැලවී ගියබව දැනෙන තුරු හුස්ම නොගත්තේය. ඉන්පසු ඇස් දෙකෙහි පිරී ගිය කඳුළු අතරින් දත පෙණින. එය, ඔහුට දැනුන වේදනාවට කොතරම් ආගන්තුක බවක් පෙන්වූයේ ද යත් මේ දත නිසා පසුගිය රාත්‍රී පහ පුරාම එතරම් දරුණු වේදනාවක් දැනුනේ කෙසේදැයි තේරුම් ගැනීමට අපහසු විය. 

දහදිය දමමින්, අපහසුවෙන් හුස්ම ගනිමින් කෙළ ගසන භාජනය වෙත නැමීගත් ඔහු කබායේ බොත්තම ගලවා ලේන්සුව ගැනීම පිණිස කලිසම් සාක්කුවට අත දැමීය. දත් දොස්තර ඔහුට පිරිසිදු රෙදිකඩක් දුන්නේය. 

"කඳුළු පිහගන්න."ඔහු පැවසීය.

නගරාධිපති කඳුළු පිසදා ගත්තේය. ඔහු වෙව්ලමින් සිටියේය. දත් දොස්තර අත් සෝදන අතරතුර ඔහුට පතුරු ගැලවුන සිවිලිම ද මකුළු බිත්තර හා මියගිය කෘමින් රැඳුන දුහුවිල්ලෙන් වැසීගිය මකුළු දැලක් ද පෙණින.  දෑත් පිසදා ගනිමින් දත් දොස්තර ආපසු පැමිණියේය. "ගිහිල්ලා ඇඳේ හාන්සිවෙලා ඉන්න." "ලුණුවතුරෙන් කට හෝදන්න." ඔහු පැවසීය.  නගරාධිපති අසුනින් නැගිට හමුදාවේ මෙන් අත ඉහලට ඔසවා ආචාරකොට කබායේ බොත්තම දමාගනිමින් ඈතින් අඩි තබමින් දොර දෙසට ඇවිද ගියේය.

"බිල එවන්න." ඔහු පැවසීය. 

"ඔබට ද? නගර සභාවට ද?"

"කොහෙට එව්වත් එකම තමයි."

  


  

2 comments:

  1. නියම කතාවක් සහ හොඳ පරිවර්තනයක්

    ReplyDelete
    Replies
    1. ඒත් වැඩි දෙනෙක් කියවපු බවක් පේන්නෙ නෑ!

      Delete