රතු ඉන්දියානුවාගේ අනාවැකිය

 

 ප්‍රකට අමෙරිකානු ලේඛක Louis L’Amour ගේ “Westward the Tide” නවකතාවෙන් උපුටා ගත් කොටසකි මේ. රතු ඉන්දියානු ගෝත්‍රික නායකයෙකු සුදු මිනිසුන් අමතා කරන කථාවක් ලෙස මෙම කොටස ලියවී තිබේ. එසේ වුවද මෙහි දැක්වෙන කරුණු වර්තමානයේ ඕනෑම රටකට පොදු බව කියවූ පසු තේරුම් යයි. ලේඛකයා පිළිබඳව ද යමක් සටහන් කිරීම අත්‍යවශ්‍යය. Western යනුවෙන් හැඳින්වෙන, උතුරු අමෙරිකාවේ ගව පාලනයෙහි යෙදුන ජන කොටස් (cowboys) පසුබිම් කරගත් කතා විශේෂය කලක් පාඨකයින් අතර බෙහෙවින් ජනප්‍රිය වූ යුගයක් විය. මේවා ඇසුරෙන් නිපැයූ සිනමා නිර්මාණ ද එලෙසම ජනප්‍රිය විය. මේ නිර්මාණ බොහොමයක දැකගත හැකි වූ ලක්ෂණයක් වූයේ රතු ඉන්දියානුවන් ම්ලේච්ඡ, අමානුෂික ජන කොටසක් ලෙස නිරූපනය කිරීමයි. එහෙත් ලුයී ල‘අමෝර් තම නිර්මාණ වලදී ඔවුන් දෙස සානුකම්පිත බැල්මක් හෙලනු නිරීක්ෂණය කළ හැකිය. සඳහන් කළයුතු තවත් විශේෂ කරුණක් නම් ල‘අමෝර් ගේ සීයා මියගියේ රතු ඉන්දියානු ප්‍රහාරයකින් වීමයි. 


                                          (රතු ඉන්දියානු ගෝත්‍රික නායක රෙඩ් ක්ලවුඩ්)                                      

                                    

සුදු මිනිසා ආවේ තණබිම් හා ගහකොල වලින් පිරුණු දේශයකට, මීහරකුන් දහස් ගණන් නිදැල්ලේ ගැවසුණු, බීවරයන්ගෙන් පිරුනු සිහිල් දියදහරින් යුතු දේශයකට. ඔවුන් ආවේ සෞභාග්‍යමත්, අලංකාර දේශයට. ඒත් ඔවුන් කළේ  මොකද්ද?  ඔවුන් මේ බිම ඩැහැගත්තේ හාමත් උන වෘකයින් රැලක් වගේ. හම් සඳහා මීහරකුන් ඝාතනය කර මස් තණබිම් වල කුණුවෙන්නට හැරියා. දියපහරවලින් බීවරයන් (beaver) එළවා දමා පොලවෙන් ලෝහ හාරා ගත්තා. සුදු මිනිසා ගිය හැම තැනකම දියපහර මඩින් හා පතල්වල විෂවලින් දූෂණය උනා.

කලින් වනාන්තර තිබුන තැන්වල දැන් තියෙන්නෙ වැඩකට නැති පඳුරුවලින්  හා මුල් කැබලි වලින් පිරුන වනලැහැබ්. වැස්සට මුල් වටා ඇති පස සේදීගොස් ඉතිරිවී ඇති ගස් ටිකත් මැරිල යනවා. තණබිම් තිබුන තැන්වල කාන්තාර; මීහරකුන් ගැවසුණු තැන් හිරු රශ්මියෙන් හා සුළඟින් බැටකන සුවිශාල හිස් බිම්. තවදුරටත් බීවරයා බියට පත්ව වලිගය පිරිසිදු ජලයේ ගසමින්  ශබ්ද නගන්නේ නෑ. උගේ පරපුරම ජලය මතින් නැතිවෙලා ගිහින්, ඔහුගේ බැමි කඩාබිඳ දමලා. ඉතින් මගේ ජනයා ද මියයමින් සිටිනවා. සුදු මිනිසුනි, නුඹලා හාරමින්, මරාදමමින්, දිගට පැතිරුන තෘණ භූමි කීතු කීතු කරමින් බටහිර සාගරයට යනකල්ම මේ භූමිය පුරාම පැතිරිලා යාවි. ඉන්පසු නුඹලාට නුඹලාගේම විනාශයේ කැබලි ඉතිරි වේවි . නුඹලා විසින්ම දූෂණය කරන ලද, මංකොල්ල කන ලද භූමියට පැමිණෙන නුඹලා හාමත් වී තරහින්, වෛරයෙන් ගොරවන බල්ලන් රැලක් වාගෙ  සටන් කරාවි.

නුඹලාට වනාන්තර මුණගැසුණු තැන්වල නුඹලා පාලු මුඩුබිම් ඉතිරි කරනවා; සශ්‍රීකත්වය පිරුණු තැන්වල සාගතය ඉතිරි කරනවා; උසට වැඩී සෙලවෙන තණකොළ පිරි මහා තැනිතලා තිබුණ තැන්වල කාන්තාර ඉතිරි කරනවා. අන්තිමේ දී ඉතිරිවෙන සොච්චමටත් සියල්ල නැතිවෙන තෙක්  උඹලා එකිනෙකා මරාගන්නවා. ඊට පස්සෙ ආපහු හැරිල, පුදුමයෙන් ඇස් ලොකු කරගෙන නුඹලා අතින්ම දූෂණය වූ බිම දෙස  බලාදෙවියනි, කුමක්ද අප මේ කළේ?” කියල පුදුම වෙනවා.

සුදු මිනිසුනි,  රෙඩ් ක්ලෞඩ් (රතු ඉන්දියානු ගෝත්‍රික නායකයෙකි ) සමග මා  නුඹලාගේ මහා නගර වලට ගිහින් තියනවා. කුමක්ද මා දැක්කේ? වස්තුව සඳහා කෙරෙන උමතු පොරයක් විතරයි. හැමෝම පොරකනවා, සටන්කරනවා නොඉවසිල්ලෙන්. සෑහීමට පත්වීමක් නෑ. සාමයක් දකින්න නෑ. නුඹලගේ මිනිසුන් අතර සන්සුන්බවක් නෑ. ප්‍රතාපවත් බවක් නෑ. නුඹලා, මුදලට දියණියන් විකුණන, ලාබයට ආත්මය හුවමාරු කරන චෞර ජාතියක්.

අවසානය දකින්නට මා ජීවත් වෙන්නෙ නෑ, නුඹලා ජීවත් වෙන්නෙත් නෑ. මන්ද, ඉන්දියානුවන්ගෙන් නුඹලා පැහැර ගත් බිම සශ්‍රීකයි. මේ මංකොල්ලකෑම වසර ගණනාවක් පුරා පැතිරිලා යාවි. මංකොල්ලකෑමේ ආත්මගත කැමැත්ත නුඹලාගෙන් ඈත් වෙන්නෙ නෑ. කෑදරකම ගුණධර්මයක් විදියට  සලකාවි. එයට නුඹලා ශක්තිය හා කාර්යශූරබව කියල කියයි. වැඩියෙන්ම සොරකම් කරන්නා සෙසූ ජනයාගේ පැසසුමට ලක්වෙයි. එහෙත් අවසානයේ දී,  නුඹලා ආපසු හැරී බලනවිට, මාගේ ඇස් වලට පෙනෙන අයුරින්ම  පෙනෙන්නට පටන්ගන්නා දිනයක් එනවා. එවිට, නුඹලා මා කියන දෙය තේරුම් ගන්නවා.

නුඹලා අප දේශයට පැමිණියේ ඉන්නට නිවසක් සොයාගෙන ආ ජනතාවක් විදිහට. ජීවත්වන නිවස ඉතා හොඳ දෙයක් උනත් නුඹලා නිවෙසකින් සෑහීමට පත්උනේ නෑ. නුඹලාට තවත් ඕනෑ උනා, තව තවත් ඕනෑ උනා. මෘගයින් රැළක් මෙන් නුඹලා මගේ ජනයා මරා දැමුවා, අපගේ භූමිය මංකොල්ල කෑවා. දැන් නුඹලාගේ  ශක්තිය ගැන නුඹලා උදම් අනනවා."මේ තමයි  සුදු මිනිසකුට  කළහැකි දෙය!”යැයි නුඹලා පැවසුවා.

මේ නුඹලාගේ ශක්තිය නොවෙයි, සුදු මිනිසුනි, මෙහි පැමිණීමෙන් පසු ලැබුනු ධනයයි. තමන් සතු සියල්ල විනෝදය සඳහා උමතුවෙන් වියදම් කළොත් ඕනෑම කෙනෙකුට ධනවතෙක් සේ පෙනී ඉන්නට පුළුවන්. නුඹලාත් හරියට සතුන්ගේ හම් විශාල ප්‍රමාණයක් සොයාගෙන ඒවා ප්‍රදර්ශනය කරමින්, “මම මොනතරම් දක්ෂ දඩයක්කරුවෙක්ද! මොනතරම් විශිෂ්ට සටන්කරුවෙක්ද!” යනුවෙන් පුරසාරම් දෙඩූ මෝඩ, තරුණ  රතු ඉන්දියානු සටන්කාමියෙක් වගෙයි. ඒත් හම්ටික දීල දාපුහාම, නැත්නම් විකුණල දාපුහම, ඔහු ලඟ කිසිවක් නෑ,  ඔහුගේ ධනය ඉවරයි.

නුඹලාගෙන් සමහරෙක් ගස් ආරක්ෂා කරගැනීමට, තණකොළ රැකගැනීමට කථා කළා. ඒත් ඒවා සුළඟේ ශබ්දයට මැකීයන පුංචි කෙඳිරිලි හඬක් විතරයි. නුඹලා වෙනුවෙන් කථාකරන්නට කවුන්සලයට යවන මිනිසුන් කථා කරන්නේ කෑදර මිනිසුන් වෙනුවෙනුයි. ඒ සඳහා ඔවුන්ට කොල්ලකෑම් වලින් කොටසක් ලැබෙනවා. වයසට ගිහිල්ලා, තරබාරුවෙලා, කෙස් වැටිලා, දත් වැටිලා, කොන්ද පණ නැතුව ගියහම ඔවුන් තවත් කෑදර වෙනවා.

සුදු මිනිසුනි, නුඹලා  මගේ මිනිසුන් විනාශ කළා, භූමිය විනාශ කරමින් සිටිනවා. ඒත් නුඹලාට  ඉරණමට මුහුණදීමට සිදුවෙන දවසක් එනවා. ලාබ ආභරණවලට නැතිනම් වෙනත් දේවලට යෙදවූ  නුඹලාගේ ලෝහ ගෙවී, විසිකරන්නට සිදුවන විට නුඹට වැටහේවි  නුඹට නොමැරී සිටින්නට අවශ්‍ය ලෝහය තමයි දරාගැනීමට හැකි ශක්තිය කියල. යුද්ධය හා  හුදෙකලාබව නුඹලා වෙලාගනීවි. නුඹලා  අතුරුදහන් වෙලා යයි. සුදු මිනිසා නැතිවී යනවා, ඔහු මියයනවා. ඉන්දියානුවා මෙන් සෙමින්, සෙමින් නොවෙයි. ඉක්මනින්, ක්ෂණිකව, නැතිවී යනවා.

සුදු මිනිසා නොනැසී පැවතීමට හැඩගැසී  නැහැ. මන්ද, ඔහු සෑහීමට පත්වීම ගැන දන්නෙ නෑ. සාමය ගැන දන්නෙ නෑ. යුද්ධ, නොනවතින යුද්ධ, කටුක සාගත, වසංගත වලින්  ඔහුගේ අහංකාරකම අවසන් වෙනවා. ඔහුට අවබෝධ කරගැනීමට හැකියාවක් නැහැ. ඔහු යන සෑම තැනකම යුද්ධ ඇති වෙනවා. ඉන්දියානුවා ද සටන් කරා. නමුත් ඔහුගේ සටන් කෙටියි, ඉක්මනින් අවසන් උනා. ඉන්දියානුවා ආපසු ඔහුගේ දඩයමට, ඔහුගේ නිවසට, ඔහුගේ ගැහැනිය වෙතට ගියා. ඒත් සුදු මිනිසා ජීවත් වන්නේ හිංසාවෙන්. ඔහු යන හැමතැනම ක්‍රෝධයත් යනවා. ඔහු මියයන්නේ තුවාළවල වේදනාවෙන් දැවෙමින්, ලේ වැකුණු, බිඳීගිය සිරුරින් හා අවුල් වූ මනසින්. , ඔහුට තිබූ නොඉවසිල්ල හා ඇබ්බැහිය නිසා ඔහු කවදාවත් ඔහුගේ ලෝකයවත් ඔහු කරන දේවල්වත් තේරුම් ගත්තෙ නැති නිසා.

මගේ ජනයා තවදුරටත්  මෙහි නොසිටිනු ඇති. ඒත් සුදු මිනිසාගේ උමතුව  ඉවර වූ විට තණකොළ නැවත වැවෙනවා, වනාන්තර උස් වී වැඩෙනවා. , සුදු මිනිසුනි, අවසානයේ ජයග්‍රාහකයා විය යුත්තේ  තණකොළ නිසයි. අප ජීවත්කළේ තණකොළයි, නුඹලාගේ නගර ගොඩනැගුවේ තණකොළයි, නුඹලාගේ ගවරංචු පෝෂණය කළේ තණකොළයි, අප ජීවත්කළේ තණකොළයි, ඒ නිසා,  තණකොළ නැවත ඇවිත්  නුඹලා ඉරා තුවාළ කල මහ පොලව හරිත නූලෙන් හා රවුම්, ගැට ගැසුණු දුඹුරුපාට මුල්වලින් මසාදමා ගස් උස්ව නැගෙන්නට, නැවත මල් පිපෙන්නට ජලය රැස්කරනවා. තණකොළ, වැහිවතුරෙන් මඩ පෙරා දියපහර පිරිසිදු කර කාන්තාරයේ පස නැවතත්  සශ්‍රීකත්වයෙන් පුරවනවා.

 සුදු මිනිසා අතුරුදන් වී යනවා. ඔහුගේ කිසිවක්ම ඉතිරිවන්නේ නෑ. ඔහුගේ නගර විනාශ මුඛයට වැටෙනවා. මලකඩ විසින් ඔහුගේ වානේ කා දමනවා. කාලය විසින් ඔහු පිලිබඳ මතකය ගිලගනිද්දී, ඔහුගේ අවසානය පිලිබඳව  හෝ  කොතරම් උමතුවකින් ඔහු මෙම කොළ පැහැති රන්බිම කොල්ලකෑවේ ද යන්න පිලිබඳව හෝ කිසිදු සළකුණක් ඉතිරි වන්නේ නෑ.

මම දැන් යනවා, සුදු මිනිසුනි. නුඹලා මගේ බ්ලැක්හිල් කඳු පංතිය; “ශ්‍රේෂ්ඨ ආත්මයේනිවහන  මගෙන් උදුරාගත්තා. නුදුරේදීම බිග්හෝන් කඳු ද නුඹලා අයිතිකර ගනීවි. මාගේ නායකයින් මියගියේ ඔවුන්ගේ ජනයා බේරාගැනීම සඳහායි. අප හොඳින් සටන් කළා. නමුත් නුඹලා සටන් කරන විදිය දරුණුයි. අපගේ ජනයා වෛරය සිත්හි රඳවාගෙන ඉන්නෙ නෑ. අපිට තිබුන හැටියට අපි හොඳින් සටන් කළා. දැන් ඉතින් පොරෝනා ඇඟේ දවටගෙන, මේ  අවසානය  බව වැටහෙන විට දැනෙන ශෝකයෙන් යුතුව අප යායුතුයි.”


    

   

No comments:

Post a Comment