අමෙරිකානු ලේඛක Alexander
McCall Smith විසින් රචිත A Blind Man
Catches a Bird නම් කතාවේ පරිවර්තනයකි.
කුරුල්ලෙකු ඇල්ලු අන්ධයා
එක තරුණයෙක් විවාහ උනේ අන්ධ සොහොයුරෙකු
සිටින තරුණියක සමගයි. මෙම තරුණයාට තම මස්සිනා හොඳින් හඳුනා ගන්නට අවශ්‍ය උනා. එම නිසා දවසක් ඔහු මස්සිනාට දඩයමේ යන්නට
යෝජනා කළා.
“මට ඇස් පෙනෙන්නේ නැහැ. ඒත් අපි යමු.
ඔබට පුළුවන් මට උදවු කරන්න.” අන්ධ මිනිසා කිව්වා.
තරුණයා අන්ධයා ද සමග වනයට ඇතුළු උනා.
මුලින් ම ඔවුන් සුපුරුදු මගක ගමන් කළ නිසා අන්ධ මිනිසාට අනෙකා පසුපසින් යාම අමාරු උනේ නැහැ. එහෙත් ටික
වෙලාවකින් ඔවුන් ගස් ලඟින් ලඟින් තියන, පඳුරු
ගහන, සතුන්ට හැංගිලා ඉන්න ඉඩ තියන ඝන කැළයට ඇතුළු උනා. අන්ධ පුද්ගලයා තරුණ
මස්සිනාගේ අතේ එල්ලීගෙන යන ගමන් අවටින් ඇසෙන නොයෙකුත් ශබ්ද ගැන විස්තර කරා. ඒ,
ඇස් නොපෙනුනත් ඔහුට පඳුරු අස්සේ හැංගිලා ඉන්න
සතුන් නගන ශබ්ද තේරුම් ගන්න හොඳ හැකියාවක් තිබුන නිසයි.
එක්වරම ඔහු, “මේ හරියේ ඌරෝ ඉන්නවා. මට උන්ගේ ශබ්ද ඇහෙනවා.” නැත්නම් “අර කුරුල්ලා ඉගිලෙන්න හදන්නේ, ඇහෙනවද ඌ තටු දිගාරින ශබ්දේ?” කියල කියනවා.
තරුණ මස්සිනාට නම් මෙම ශබ්දවල කිසිම තේරුමක් දැනුනේ නැහැ. ඇස් නොපෙනෙන අන්ධකාර ලෝකයක ජීවත් වන තම මස්සිනාට අවට කැළය තේරුම් ගන්නට තියන
හැකියාව ගැන ඔහු විශ්මයට පත් උනා.
උගුල් අටවන්නට තැනක් ලැබෙන තෙක් ඔවුන්
පැය ගණනාවක් එක දිගට ඇවිද්දා. අන්ධ මිනිසා අනෙකාගේ උපදෙස් පරිදි කුරුල්ලන් වතුර
බොන්නට එන තැන් බලා උගුල් ඇටෙව්වා. ඇස් පෙනෙන තරුණයා ටිකක් ඈතින් තම උගුල් ඇටෙව්වේ
උගුලක් තියන බව කුරුල්ලන්ට නොපෙනෙන විදියට සඟවලයි. අන්ධ මිනිසාගේ උගුල සඟවන්නට ඔහු
උනන්දු නොවුනේ දැඩි රස්නයක් දැනුන නිසාත් ඉක්මනට තම තරුණ බිරිඳ වෙත යන්නට උවමනා වූ
නිසාත් ය. අන්ධ මිනිසා තමාගේ උගුල සඟවා
ඇති බව සිතුවත් එය ඕනෑම කුරුල්ලෙකුට පෙනෙන ලෙස තියෙන බව ඔහුට දැනුනෙ නැහැ.
පසු දින ඔවුන් තම උගුල් අටවා ඇති
ස්ථානයට ගියා. ඇස් නොපෙනෙන පුද්ගලයා, සතුන්
අසුවී ඇත්දැයි දැන ගැනීමට කොයි තරම් නොඉවසිල්ලෙන් හිටියද කියනවනම් තරුණයාට සිදු
උනා ඔහුට නිශ්ශබ්දව සිටින ලෙසත් නැතිනම් සතුන් බියවී පැන යන්නට පුළුවන් බවත් මතක්
කරන්නට. උගුල්වලට ලංවන්නටත් පෙරම අන්ධ මිනිසාට කියන්නට පුලුවන් උනා සතුන් අසුවී
ඇති බව.
“මට ඇහෙනවා කුරුල්ලන්ගෙ ශබ්ද, උගුල්වල කුරුල්ලො ඉන්නවා.” ඔහු කිව්වා.
තරුණයා තමන්ගේ උගුල ලඟට ගිහාම කුඩා
කුරුල්ලෙකු අසුවී සිටි බව දැකලා ඌ පසුම්බියට දා ගත්තා. ඊ ලඟට දෙන්නාම අනෙකාගේ උගුල
ලඟට ගියා. “කුරුල්ලෙක් ඉන්නවා, ඔබටත් කුරුල්ලෙක් අහුවෙලා.” මෙහෙම කිව්වත් තරුණයාගෙ හිත ඊර්ෂ්‍යාවෙන් පිරුනා.
ඒ කුරුල්ලා පාට, පාට පිහාටු තියෙන ලස්සන කුරුල්ලෙක්!
හරියට දේදුන්නක් මැදින් පියාඹලා පාට ගාගෙන
ආවා වාගෙ. එයාගෙ තරුණ බිරිඳට නම් හොඳ තෑග්ගක් වෙන්න තිබුනා. ඒත් අන්ධ මස්සිනාටත්
බිරිඳක් හිටියා. එයත් කැමති වෙයි මේ ලස්සන පිහාටුවලට.
තරුණයා, නැමී අන්ධ මිනිසාගේ උගුලෙන් කුරුල්ලා එලියට ගන්න ගමන් එක්වරම තමන්ගේ එකා සමග මාරු කරලා අන්ධයා අතට දුන්නා.
ලස්සන පාට පාට කුරුල්ලා තමන්ගේ පසුම්බියට දමා ගත්තා.
තමන්ගෙ එකා දෙන ගමන් “මෙන්න ඔබේ කුරුල්ලා, මල්ලට දාගන්න.” අන්ධ මස්සිනාට කිව්වා.
ඔහු කුරුල්ලා අතට ගන්න ගමන් උගේ පිහාටු,
ඇඟ හොඳින් අතගා බලා කිසිත් නොකියා මල්ලට දා
ගත්තා. ඉන්පසු ඔවුන් ආපසු එන්න පිටත් උනා.
එසේ ආපසු එන අතර ගිමන් නිවා ගැනීම සඳහා
විශාල ගහක් යට වාඩි උනා. ගහ යට ඉන්න ගමන් නොයෙකුත් දේවල් ගැන කථාබහ කළා. තරුණයා,
ඇස් නොපෙනුනත් බොහෝ දේවල් දැන සිටි මස්සිනා ගැන
පැහැදුනා.
“ඇයි මිනිස්සු එකිනෙකා සමග සටන් කරන්නේ?
“ඔහු ඇසුවා. මේක ඔහු නිතරම තමන්ගෙන්ම අසාගත්
ප්‍රශ්නයක්. එයට අන්ධ මස්සිනා ලඟ පිලිතුරක් ඇත්දැයි ඔහු කල්පනා කළා.
අන්ධ මිනිසා කිසිවක් නොකියා ටික
වෙලාවක් බලාගෙන හිටියා. ඒත් තරුණයාට තේරුනා ඔහු කල්පනා කරන බව. අන්ධ මිනිසා හිස
එසෙව්වා. තරුණයාට හිතුනේ කිසිවක් නොපෙනෙන ඇස්දෙක තමන්ගේ සිත තුලටම යොමුවී ඇති
බවයි. කලබලයක් නැතිවම ඔහු පිළිතුරු දුන්නා.
“මිනිස්සු සටන් කරන්නේ ඔබ මේ දැන් මට කළ
දෙය ඔවුන් ද එකිනෙකාට කරගන්නා නිසයි.”
ඒ වචන තරුණයා තිගැස්මට පත්කළා, ඔහු ලජ්ජාවට පත් උනා, පිළිතුරක් දෙන්නට උත්සාහ කළා. ඒත් කිසිවක් හිතට ආවෙ නෑ. ඔහු නැගිටලා පසුම්බිය අතට අරන් අර වර්ණවත්,
ලස්සන කුරුල්ලා ආපසු අන්ධ මස්සිනාටම දුන්නා. අන්ධ මිනිසා
කුරුල්ලා අතට අරන් ඇඟිලි වලින් හොඳින් අතගා බලා සිනාසුනා.
“තවත් ප්‍රශ්න තියනවද අහන්න?” ඇහුවා.
“ඔව්”, තරුණයා පැවසුවා. “සටන් කළාට පස්සෙ මිනිස්සු කොහොමද ආයෙත්
යාලු වෙන්නෙ?”
අන්ධ මිනිසා යළිත් සිනාසුනා.
“ඔවුනුත් ඔබ දැන් කළදේම කරනවා.”
“එහෙමයි ඔවුන් නැවතත් යාලුවෙන්නේ.”
No comments:
Post a Comment