ලේ සුවඳ

 මේ පුවත්පතක පළවූ මගේ පලමු නිර්මාණයයි. ඒ 1991-04-24 දින තරුණි පුවත්පතේය. අද මෙය නැවත කියවන විට වෙනස් කළයුතු යයි සිතෙන තැන් කොතෙකුත් පෙනුණද එය එසේම මෙහි බහාලන්නට සිත්විය.



බටහිර අහසේ මදක් මුදුණට වන්නට අඩසඳ පායා ඇත. එසේ වුවද ඉන් නික්මෙන්නේ මලානික එළියකි. කටුකැලය පුරා ඝනව වැඩුනු පඳුරු හා අතරින් පතර අහසට නැගුණු රූස්ස ගස් අන්ධකාරයේ නිමග්නව ඇත. සුදුමැලි සඳ එළිය විසින් මද හෝ ඉඩක් ඇති සෑම තැනකම වාගේ ඇඳ ඇති සෙවනැලි නිසා අඳුරු බව වඩාත් දැඩිව දැනේ. මී ගසක ගෙඩි කෑමට රොක්වූ මා වවුලන්ගේ නාදය රාත්‍රියේ නිසල බව බිඳිමින් ඈතට විහිද යයි.

රනා වාඩිගෙන සිටියේ මී ගසට තරමක් ඔබ්බෙන්, එරමිණිය ගාල මුවාවේ වූ කොටය මත වුවද බාහිර ලෝකයෙන් මතුවන මේ කිසිදු ශබ්දයක් ඔහුගේ කනට වැටෙන බවක් නොපෙනේ. ඒ අද රාත්‍රියේදී දකින්නට සිදුවූ දේ පිළිබඳව තවමත් ඔහුට සිහි එළවාගත නුහුන නිසාය. වෙනදා වගේම අසල ගමකින් සූරයාත් සමග දක්කාගෙන ආ එළදෙන කටුකැලේ දිවුල් ගහේ බැන්දේ එළිවන්නට පළමුව මස්ටික මුදලාලිගෙ මස්කඩේට ගෙනයන්නට සිතාගෙනය.

මුදලාලි ලඟ වැඩට ආ කාලයේ පටන් මසකට වරක් දෙවරක් කෙරෙන මේ රාජකාරිය රනාට හොඳට හුරුපුරුදුය. ඒ කාලයේ පටන්ම දක්කාගෙන ආ සතා එදිනම මස් කරනවා මිස පසුදිනට කල්තබන සිරිතක් නොවූයේ පහුවදා වනවිට අයිතිකරුවන් සොයාගෙන ආවොත් රනා හෝ සූරයා අසුවීම කෙසේවෙතත් මහන්සිවී දක්කාගෙන ආ සතා නැතිව යනබැවිනි. පොලීසියට අහුවුණත් ඇඟට නියපිටින් පාරක් වදින්නට පෙර ගෙදර එන තැනට මුදලාලි වගබලා ගන්නා නිසා බයවන්නට නම් උවමනාවක් තිබුනේම නැත. ඒ අතින් මුදලාලි තමා ලඟ වැඩ කරන මිනිස්සුන්ට සළකන හැටි දන්නා සියයකින් හොයාගන්නට බැරිතරම් මිනිසකු ලෙස රනා අදවන තෙක්ම සිතාගෙන සිටියේය.

හෙට මුදලාලිගේ දුවගේ මගුල්ගෙදර නිසා මේ එළදෙන දක්කාගෙන ආවේ ඒකටත් එක්කමය. ඒ නිසාම වෙනදා මෙන් වැඩේ වැඩේ ඉවරයක් කර ගෙදර යන්නට නොසිට සූරයා කසිප්පු ගෙනෙන්නට පිටත් කොට ගෙදර ගොස් එන්නට රනාට සිත්විය. නැතිනම් ඊයේත් ගෙදර යන්නට බැරිවූ එකේ මගුල් ගෙදර වැඩට හිරවූ විට හෙටද යන්නට නොලැබෙන බව රනාට වැටහී තිබිණ.

දොර අරවා ගන්නට සිතා කුස්සිය පැත්තෙන් ගිය රනා දොර තල්ලු කරගෙන ගෙට ඇතුළුවූයේ කුසුමාට දොර අගුළු දාගන්නට අමතක වන්නට ඇතැයි සිතාගෙනය. එහෙත් කුස්සියෙන් ගෙට ඇති එකම කාමරයට ඇතුළු වූ රනාට ඇස ගැටුනේ ජීවිතේ කිසි දිනක දකින්නට සිතූ දෙයක් නොවේ. කුසුමා වෙනත් මිනිසෙකු සමග රනා නිදන පැදුරේම වැතිර සිටී.

රනාගේ සිතෙහි විදුලියක් කෙටීය. ගතෙහි මස්පිඩු කුපිත විය. මේ මිනිහා කවුදැයි බලන්නට රනාට සිහියක් නොවීය. විදුලි සැරින් රනාගේ දෑත දෙපය වැඩ කළේය. රනාගේ දෑතින් ඉහලට එසවුනු මිනිසාගේ මුහුණ හරිහැටි දැක්කේ රනා දුන් පාපහරින් ඔහු දොරේ හැපී බිම පතිත වූවාටත් පසුවය.

මුදලාලි!’

රනාට සියල්ල තේරුම් ගියේ කබල් මේසය යට තිබුණු කැත්ත අතට ආවාටත් වඩා වේගයෙනි. මුදලාලිගේ හිසට ඉහලින් එසවුනු කැත්ත පාත් කරගන්නට ඉඩක් නොලැබුණේ මෙතෙක් සිහි එළවාගත නොහැකිව මෙන් බලාසිටි කුසුමා යටිගිරියෙන් කෑගසමින් ඇඟේ එල්ලුන නිසාය. තවත් පා පහරකින් ඇය පසෙකට ගසා දමා ආපසු හැරෙන විටත් මුදලාලි එතැනින් පැනගෙන හමාරය. විසිවී ගිය කුසුමා වැටී තිබුණේ පසෙක නිදා සිටි පොඩිඑකීගේ ඇඟ මතටය. මුදලාලිගේ හිස මතට පාත් වන්නට තිබූ කැත්ත කුසුමාගේ හිස මතට පාත් නොවී බිත්තියට හේත්තු කරතිබූ කබල් මේසය මත පතිත වූයේ මහ හඬින් මොරදෙන්නට පටන්ගත් පොඩිඑකීගේ මූණ ආපසු කුසුමා දෙසට හැරුනු රනාගේ නෙතට ලක්වූ නිසාය.

කෝප වියරුවෙන් දෙකඩ වී ගිය කබල් මේසය ඒ මත තිබූ ලට්ටලොට්ටත් සමග බිම පත්ත වූයේ මහ හඩක් නගමිනි. දුවගේ හැඬීම නොවන්නට මුළු ලෝකයම එක මොහොතකට නතර වූවාක් මෙන් විය. ඊලඟ මොහොතේ ආපසු හැරුනු රනා දොරට ද පාපහරක් දී පිටවූ පසු නතර වූයේ මෙතැනය.

මුළු ගමම එකතු වී තමා රැවටී යයි රනාට සිතේ. ඔහු දැනගන්නට පෙර කී දෙනෙකු මුදලාලිගේ මේ හොර ගමන ගැ දැනගෙන සිටින්නට ඇද්ද? එහෙත් කිසිවකු අද වනතෙක් රනාට වචනයක්වත් කියා නැත. ඒ වෙනුවට උන් හැම එකාම තමාට මෝඩයෙකැයි සිනාසෙන්නට ඇත. පසුගිය දිනවල ටිකිරිබණ්ඩාගේ කඩයට ගියවිට එතැන පිළේ සිටි එවුන් ද මුදලාලිගෙ වත්තේ වැඩපලට ගියවිට එතැන සිටි එවුන් ද මහ හඬින් සිනාසෙමින් සිට තමා දැක එකවරම නිහඬ වූ හැටි රනාට සිහිවිය.

මේ හැම එකාගේම විහිලුවට ලක්වී ඇත්තේ තමාම බව සිතන විට මෙතෙක් වැඩකොට ඇත්තේ මෝඩයෙකු මෙනැයි රනාට සිතේ. හරක් හොරකමේ ගිය හැමදාකම මුදලාලි මෙසේ ගෙට රිංගන්නට ඇත. මුදලාලි ලෝබ නැතිව සල්ලිය බාගයෙන් සැලකුවේ, පොලීසියෙන් බේරාගත්තේ මේකටය. මුදලාලිගේ කට්ට කයිරාටිකකම් වලට යටවී මුළු ගමටම විහිලුවක් වූ බව මතක්වන විට ඇතිවන්නේ උහුලාගත නොහැකි කෝපයකි. අතේ තිබූ කැත්තෙන් ඉඳගෙන සිටි කොටයට වැරෙන් පහරක දුන් රනා ‘පරබල්ලා‘යි දත්මිටි කෑවේය.

ඩ් යනුවෙන් කොටයට කිඳා බැසි කැති තලය එහි ඇමිණී නතර විය. මුදලාලිට දීගන්නට බැරිවූ කැති පහර රනාට සිහි විය. ඒ පහර හරිගියේ නම් ආයෙත් ඔහොම වැඩ කරන්නට මුදලාලියා ඉතුරු වන්නේ නැත. ඒක වැරදුනේ කුසුමා නිසයි.

පර බැල්ලී, ඒකිටත් ඕන උනේ අරූව බෙිරාගන්ට.” රනාට නැවතත් දත්මිටි කැවිණි.

එක අතකින් මුදලාලිට පමණක් දොස් කියන එකත් වැරදිය. කුසුමා විරුද්ධ උනා නම් මුදලාලි මෙහෙම එන්නේ නැත. “පට්ට වේසි, මේකි තමයි සේරම කරේ.” රනා තවත් කැති පහරක් කොටයට එල්ල කළේය. ඒත්, අවුරුදු දෙකකට විතර ඉස්සර ඉස්කෝලෙ ගමන නවතා කාටත් හොරා රනාත් එක්ක ආ කුසුමා මෙහෙම කරතැයි සිතන්නේ කෙසේද? ඊටත් ඊයෙ පෙරේදා වෙනකම්ම හොඳටම තරහා ගිය වෙලාවක කෑගැසුවා හැරෙන්නට අබමල් රේණුවක තරම්වත් වෙනසක් කුසුමාගේ දකින්නට තිබුනේ නැත.

ගෑණුන්ගෙ මායම්, මුන් ඔක්කොම එකයි, නැත්නම් මුදලාලිගෙ වල්කම් වලට මේකිත් අහුවෙයියැ.” රනාට සිතුනි. මුදලාලිගේ වල්කමටත් වඩා රනාට දරාගන්නට බැරි මේ ලෝකේ පොඩිදුව හැරෙන්නට රනාට සිටි එකම නෑයා වූ කුසුමාත් මෙහෙම දෙයක් කිරීමයි.

දෙනෙතට කඳුළු උනන බවක් දැනුන රනා හිස ඔසවා අහස දෙස බැලීය. අහසේ වලාකුළකුදු නැතත් රනාගේ ඇඟ දහදියෙන් තෙමී ගොසිනි. දහදිය ගලනවාත් එක්කම ඇඟ පුරාම දැවිල්ලක් පැතිර යන්නට විය. වැඩියෙන්ම කකුල් වලය. මේකට කටුකැලේ කියන්නේ නිකංම නොවේ. එසේ වුවද දැවිල්ලටත් වඩා වේදනාවක් දකුණු කකුලේ මහපටැඟිල්ලේ සිට වලලුකර දක්වා නැගී ආවේ මෙලෝ සිහියක් නැතිව කැලේ මැදින් ආ නිසාම නොව ගෙයින් පිටවන ගමන් දොරට ගැසූ පා පහර නිසාය. දෑත් දකුණු කකුල දිගේ පහලට ගෙනගිය ඔහුට හෙට දිහාවට කැක්කුම වැඩිවීමට ඉඩ ඇතැයි සිතිණ. කකුලේ සීරුන තැන්වල දහඩිය තැවරෙන විට දැණුන දැවිල්ල අතරේම එක් අතකට තුවාල කැළලක් අහුවිය.

මේ තුවාලය සිදුඋනේ මුදලාලිගෙ වත්තේ වැඩ කරද්දී පොරෝ පාරක් වැදිලාය. හොඳටම අමාරු වී සුමාන ගානක් නැගිට ගන්න බැරුව ඔත්පලව සිටි ඒ කාලයේ නැගිට ගන්නට පුළුවන් වෙනකං හැම ඇප උපස්ථානයක්ම කරේ කුසුමාය. කැතකුණු පවා ඇද්දේ ඇයයි. ඒ මදිවාට වත්තේ කුලී වැඩ කොට කන්ඩ බොන්ඩත් හරිහම්බ කළාය. ඒ තරම් ආදරයෙන් සිටි කුසුමා මෙහෙම වෙනස් වේ යයි රනා නම් හීනෙන්වත් හිතුවේ නැත.

එක් වරම මී ගසින් නැගුණ වවුලන්ගේ හඬ රනා නැවතත් කැලය වෙතට ගෙන ඒමට සමත් විය. මදක් තිගැස්සුන ඔහු හිස ඔසවා මී ගස දෙස බැලීය. ‘ක්‍රාස්’, ‘ක්‍රාස්’ හඬින් පොරකා ගන්නා වවුල් රෑන අතරින් එක්වරම අහසට නැගුන කිහිප දෙනෙකු ගස වටා රවුමක් පියාඹා බසාස් ගා මී ගසෙහිම එල්ලෙනු රනාට පෙනින. වරින්වර එකෙක් දෙන්නෙක් ඈතට පියාඹා නොපෙනී යයි. එසේ වුවද ගස යට වියලි කොළ මතට සට සට හඬින් මී ඇට වැටෙන හඬ ද තාලයකට මෙන් නොකඩවා නැගෙනු රනාට ඇසිණි. ඔහුගේ සිත යළිත් කල්පනාවෙන් බර විය.

එක් අතකට කුසුමාටම දොස් කියන එකත් වැරදිය. වත්තේ වැඩට නොගියා නම් බඩගින්නේ මැරෙනවාට වඩා වෙන කරන්නට දෙයක් නොතිබිණ. ඒ මදිවට රනාට සාත්තු සප්පායම් කරන්නට ද කුසුමාට සිදුවිය. මුදලාලිට විරුද්ධ උනා නම් මේ සියල්ල නැතිවෙනවාත් හැර රනා පොලිසියට හසුකර දෙන්නට වුවද ඉඩ තිබිණ. මුදලාලිට කැත්තෙන් කොටන්නට ගිය වෙලාවේ උනත් කුසුමා මැද්දට නොපැන්නා නම් මේ වන විටත් තමා මිනීමරුවකු නේදැයි රනාට කල්පනා විය. පුංචි කාලයේදීවත් අම්මා තාත්තා කියන්නට කෙනෙකු නොසිටි රනාට ආදරයක් දැනුනා නම් ඒ කුසුමා මුණ ගැසුනාට පසුවය. ඔහුට පපුව හිරවෙන්නක් මෙන් දැනින. ඇසේ නැවතත් කඳුළු පිරුණි. දෙදණ මත දෑත් තබාගත් රනා ඒ මත හිස තබාගත්තේය.

මී ගසින් අහසට නැගුන වවුලෙකු හිසට ඉහලින් ඉගිලී යනු රනාට දැනින. අඳුරෙහි රජ කරන වවුලන්ගේ කන්දොස්කිරියාව තව ටිකකින් එළිය වැටෙන විට අවසන් වෙතැයි ඔහුට සිතිණ. කැති මිටට බරවී නැගිට ගත් රනා අඩි කිහිපයක් ඉදිරියට ගියේය. එවිටම එළදෙන නැගූ හඬ නිසා තිගැස්සුණ රනා ඊට කන්දුන්නේ නැවතත් ඒ හඬ බලාපොරොත්තුවෙන් මෙනි. එසේ වුවද එළදෙන නැවත කෑ නොගසන්නේ නම් හොඳයයි ඔහුට සිතුනේ හඬන්නාක් බඳු දුක්මුසු බවක් එහි ඇතැයි හැඟුන නිසාය.

මින් පෙර ද මෙසේ ගෙන ආ හරකුන් කෑගසනු කොතෙකුත් අසා ඇතත් මෙවැනි හැඟීමක් රනාගේ සිතෙහි මීට පෙර ඇතිවී නැත. මුල් දවස්වල නම් තරමක අපහසුවක් දැනනත් පහුවෙන කොට ඒ ගතිය නැතිවී මෙය ද හැමදාම කෙරෙන තවත් කටයුත්තක් තරමටම හුරුවිය. කසිප්පු පදමට වැදුන පසු කොහොමත් අමාරුවක් දැනුනේම නැත. ඒත් අද මේ වැඩේට බැස්ස මුල් දවසටත් වඩා නොසන්සුන් ගතියකින් රනාගේ සිත පෙළෙයි. ඔහු සූරයා ආපසු අඩිපාර පැත්ත බැලීය. ඔහු ඉක්මනට එන්නේ නම් හොඳ යයි රනාට සිතේ. එහෙත් සූරයා තාමත් නැත. එවිටම ඈත ගස් අතරින් නිවි නිවි පත්තු වන එළියක් වරින් වර දිස්වන්නට විය. එළිය සෙලවෙන සැටියෙන්ම ඒ එන්නේ සූරයා බව වටහා ගත් රනා එළිය කෙමෙන් තමා සිටින දෙසට ලංවනු බලා සිටියේය.

එළදෙන යළිත් වරක් පෙරටත් වඩා බැගෑපත් හඬින් කෑගැසීය. රනා එළදෙන බැඳ ඇති දිසාවට හිස හැරවීය. දිවුල් ගස මුවා කරමින් සිටින එරමිණිය පඳුර නිසා එළදෙන නොපෙනුන ද ඇය තමා දෙස ඇස් විවර කර බලා සිටින සැටි රනාගේ සිතෙහි ඇඳින. ලංවෙමින් පෙනෙන එළිය දෙස නැවතත් බැලූ රනා කොටය මත වූ කැත්ත ගෙන එළදෙන බැඳ ඇති දිවුල් ගස දෙසට පා නැගීය. ගස වටා කැරකීම නිසා ගසට ගෙල සිරවූ එළදෙන ගැලවී ගත නොහැකිව හිස පසුපසට අදින හැටි මොහොතක් බලා සිටි රනා කැත්ත ඔසවා වේගයෙන් පහරක් ගස වටා එතී තිබූ ලණුවට එල්ල කළේය.

නිදහස ලැබූ එළදෙන තම හිසට ඉහලින් එසවුනු කැත්තත් කැත්ත දිවුල් ගසේ වැදීමෙන් නැගුන හඬත් නිසා බියට පත්ව අවට වූ පඳුරු පොඩිකරගෙන හිස හැරුනු අත දිවගියාය. ගස වටා එතී තිබූ ලණුව ලිහී එක් කොනක් බිම පතිත වූවද ගසට හිරකොට බැඳුනු ගැටය නිසා අනෙක් කොන ගසෙහිම රැඳිණි. එළදෙන දිවූ දිසාව ටික වේලාවක් බලා සිටි රනා තව මොහොතකින් සූරයා මෙතනට එනබව මතක් වී දැන් ලඟ ලඟම පෙනෙන ටෝච් එළිය දෙසට හැරුණේය.






No comments:

Post a Comment