ගුරුවරයෙක් වූ ගුරුවරයෙකු පිළිබඳ සටහනක්

(ඡායාරූපය hechingerreport.org වෙතින්)


 මීට වසර දෙකකට පෙර සිදුවූ පාස්කු ප්‍රහාරයේ කම්පනය තවමත් සමාජය හරහා රාව, ප්‍රතිරාව දෙනු පෙනේ. චෝදනා හා ප්‍රතිචෝදනා ද එලෙසමය. ප්‍රහාරයේ "මහමොලකරු" (නො)සෙවීම මේ චෝදනා හා ප්‍රතිචෝදනා වල ප්‍රධාන මාතෘකාව වී ඇති බවද පැහැදිළිය. මෙම ප්‍රහාරය මෙහෙයවූ මහමොලකරුවෙකු සිටියේ නම් එය හෙලිදරව් කරගැනීම මෙන්ම දඬුවම් පැමිණවීම ද අත්‍යවශ්‍ය බව සැබෑය. එහෙත් එතරම්ම සැබෑවන තවත් කරුණක් තිබේ. එනම් මහමොලකරුවෙකුට ප්‍රහාරය දියත් කිරීම සඳහා අවශ්‍ය ඉස්ලාමීය අන්තවාදී අදහස්වලින් විකෘති වූ මනස් වලින් යුත් සහයකයින් පිරිසක් නිර්මාණය කරගැනීමට හැකිවූ බවය. එසේ නම් සමාජය ඉදිරියේ තවත් වගකීමක් තිබේ.

එනම් එවන් අන්තවාදීන් බිහිනොවන පරිසරයක් සමාජය තුළ නිර්මාණය කරගැනීමය. මේ සඳහා අප ගතයුතු මග පිළිබඳව ඉඟියක් පළකරන සටහනක් Tumblr බ්ලොග් අඩවියක තිබී අහම්බෙන් නෙත ගැටුන බැවින් එය මෙහි උපුටා දැක්වීමට කැමැත්තෙමි. 

1999 අප්‍රේල් 20 දින අමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්තයේ කොලම්බයින් උසස් පාසලෙහි වෙඩි තැබීමක් සිදුවිය. එම පාසලේම 12 වන ශ්‍රේණියෙහි සිසුන් දෙදෙනෙකු විසින් කරන ලද මෙම වෙඩිතැබීමෙන් සිසුන් 12 දෙනෙකු හා එක් ගුරුවරයෙකු මියගිය අතර වෙඩිතැබීම සිදුකළ සිසුන් දෙදෙනා ද පසුව සිය දිවි හානි කරගත්හ. මෙම සටහනෙහි දැකිවෙන්නේ එම සිදුවීමෙන් පසු පාසලක ගුරුවරියක විසින් තම පංති කාමරයෙහි ක්‍රියාත්මක කරන ලද ක්‍රියාකාරකමකි. විශේෂයෙන් මෛත්‍රීය, සමාවදීම පිළිබඳව ආගමික කරුණු කාරණා අපට කියාදෙන පූජ්‍ය පක්ෂයේ ඇස මේ කෙරෙහි යොමුවීම යෝග්‍ය යයි සිතමි.

"ඊලඟ සතියේ තමන්  ලඟින් වාඩිවෙනවාට කැමති සිසුන් හතරදෙනාගේ නම් කොල කැබැල්ලක් සටහන් කරන ලෙස සෑම සිකුරාදා සවස්වරුවකම ඇය තම සිසුන්ගෙන් ඉල්ලීමක් කරයි. මෙම ඉල්ලීම් ඉටු වන්නට මෙන්ම ඉටු නොවන්නට ද ඉඩ ඇති බව සිසුහු දනිති. එමෙන්ම මෙම සතියේ පංති කාමරය තුළ විශිෂ්ට ලෙස කැපීපෙනුන සිසුවකුගේ නමක් යෝජනා කරන ලෙස ද ඇය සිසුන්ට කියා සිටියි. මෙලෙස නම් ලියන ලද පත්‍රිකා පුද්ගලිකව වෙන වෙනම ඇය අතට පත්වෙනවා.

සෑම සිකුරාදා සවස්වරුවකම සිසුන් ගෙදර ගියපසු සියලුම කොල කැබලි තමා ඉදිරිපිට දිගහැර ගන්නා ඇය ඒවා හොඳින් අධ්‍යයනය කරයි. යම්කිසි රටාවක් මතුකර ගතහැකිද යන්න සොයා බලයි.

කාගේවත්ම කැමැත්තට ලක් නොවන අය කවුද?

නම් කිරීම සඳහා නමක් සිතාගත නොහැකි අය කවුද?

පසුගිය සතියේ අසීමිතව මිතුරන් සිටියත් මේ සතියේ කිසිම මිතුරෙක් නැති අය කවුද?

ඔබට තේරුනාද? ගුරුවරිය සොයන්නේ සිසුන් වාඩිකරවීමේ රටාවක් හෝ සුවිශේෂ දස්කම් ඇති සිසුන් හෝ නොවෙයි. ඇය සොයාබලන්නේ අනෙකුත් සිසුන් සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමට අපහසු සිසුන් ගැනයි. පංතියේ පවතින සමාජශීලී පරිසරයේ දුබල තැන් අතරින් ඇදවැටෙන කුඩා දරුවන් ඇය හඳුනාගන්නවා. පංතියේ මිතුරන්ගේ අවධානයෙන් ගිලිහුනේ කාගේ දක්ෂතාදැයි වටහාගන්නවා. ඒ වගේම අයුතු බලපෑම්, හිරිහැර වලට ලක්වන්නේ කව්ද, ඒවා කරන්නේ කව්ද යන්න හරියටම එලිදරවු කරගන්නවා.

ගුරුවරිය මේ උපායශීලී, සරල අදහස පැහැදිළි කරද්දී මා ඇය දෙස ඇස් යොමාගෙන සිටියේ කටත් ඇරගෙන. මේ ක්‍රමය කොපමණ කාලයක සිට යොදාගන්නවද? මා ඇසුවා.

කොලම්බයින් සිදුවීම සිදුවූ දවසේ ඉඳලා. ඇය කිවුවා. කොලම්බයින් සිදුවීමේ සිට සෑම සිකුරාදා සවස්වරුකම!

මේ ගණිතඥවරිය මෙම ක්‍රමය යොදාගැනීමෙන් අවබෝධ කරගත්තේ ඒ වන විටත් ඇය හොඳින් දැනසිටි දෙයක්. එනම් සෑමදෙයකටම, ආදරයට පවා, බැඳීමකින් දැනෙන සතුටට පවා රටාවක් තිබෙන බව. ඇය මේ රටා සොයාගෙන ඒවායේ උපකාරයෙන් සාමූහිකත්වයේ බැඳීම් බිඳ හෙලන රීතී කඩා දමනවා. ඉන්පසු හුදෙකලා වූ දරුවන්ට අවශ්‍ය උපකාර ලබාදෙනවා. එයයි ඇයට ගණිතය වන්නේ. ඒ තමයි ගණිතය.

සෑම දෙයකම තිබෙන්නේ ආදරයයි, ගණිතයෙහි පවා. පුදුමයි නේද?

ජීවිතය විඳින්නට මොනතරම් අපූරු විදියක්ද? ආදරයේ හා හුදෙකලාවේ රටා සොයා යන එක. සෑම දිනකම ලෝකයේ ගමන්මග වෙනස් කරන්නට මැදිහත් වෙන එක."

ගත්තේ Tumblr හි Lunah ගේ බ්ලොග් එකින්

   

  

No comments:

Post a Comment