පොල්තෙලින් සීනි දියකරන ලංකාවේ පෞද්ගලික අංශය

  

මෙහි දැක්වෙන්නේ මවිසින් සුපිරි වෙළඳසැලකින් මිලදී ගන්නා ලද තිරිඟු පිටි පැකට්ටුවක් හා එය විවෘත කළවිට දක්නට ලැබුන පරණ වීම නිසා කැදලි බැඳුන තිරිඟු පිටිය. එහෙත් කල් ඉකුත් වීමේ දිනය අනුව එය පැරණි වී නැත! 

මේ දිනවල සියලු මාධ්‍යවල ලංකාවේ ජනජීවිතයට අදාලව ජනප්‍රිය වී ඇති (කොරෝනා ව්‍යසනය හැරෙන්නට) මාතෘකාව වී තිබෙන්නේ ගෑස්ය. ටික කලකට පෙර එය පොල්තෙල්ය. ඊට කලකට පෙර එය සීනිය. ඊටත් පෙර එය ටයිල්ය. ඒ සියල්ලට පෙර බැඳුම්කර වංචාවය. මේ සියල්ලම හරහා හුයක් මෙන් දිවෙන සහල් මිල, කැලෑ කැපිල්ල හා පරිසර විනාශය පිළිබඳ චෝදනාය. මේ සියලුම කරුණු එකට ගොනුකරන  පොදු සාධකයක් තිබේ. එය නම් ශ්‍රී ලංකාවේ පෞද්ගලික ව්‍යාපාරික ප්‍රජාවයි.

මෙහි සඳහන් නොකළ ද අප රටේ පෞද්ගලික අංශයේ කරේ එල්ලන්නට හැකි මෙවැනි මාතෘකා අතීතයේ ද කොතෙකුත් තිබිණි. පෙනෙන හැටියට නම් අනාගතයේදී ද ඇති වන්නට නියමිතය. මින් ජනිත වන ප්‍රතිඵලය කුමක්ද? පෞද්ගලික ව්‍යාපාරිකයන් යනු රටේ පාලක පංතිය පසුපස යමින් අසාධාරණ වාසි ලබා ගනිමින්, වංචා සහගත ක්‍රියාවල යෙදෙමින්, රටේ ජනතාවට හානිකර වූ පියවර මතින් අධික ලාබ ලබමින් ඉන් "කෘතඥතා භාගය" පාලක දේශපාලක පංතිය නඩත්තු කිරීමට යොදවන පිශාචයින් රැලක් යන නිර්වචනය ජනතාවගේ සිත්හී පැලපදියම් වීමයි. රටේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් දක්වන පෞද්ලික අංශයේ වර්ධනය කෙරෙහි මෙවන් ජනතා ආකල්ප වල බලපෑම කෙසේ වෙත්දැයි තක්සේරු කර බැලීම වටී. එසේ වුවද මෙවන් ආකල්ප ජනතා සිත් තුළ පැලපදියම් කරන්නට අප රටේ පෞද්ගලික ව්‍යාපාරික ප්‍රජාව විශාල දායකත්වයක් දරා ඇතිබව ද නොරහසකි.

අප අදින් අඩ සියවසකට මදක් වැඩි අතීතයට ගමන් කලහොත් එකළ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාර වල ප්‍රධාන සටන් පාඨයක් වූයේ ජනසතු කරමු.” යන්නයි. සටන් පාඨයක් ලෙස මෙහි ජනප්‍රියත්වය කෙතෙක් ද යත් තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන්ගේ ආයතන හා ව්‍යාපාර රජයට පවරාගැනීම පිටුපසින් තිබූ පලිගැනීමේ ආකල්ප මුවාකර ගැනීම සඳහා ජනසතුකරණය අපූරු පලිහක් විය. එමෙන්ම තම දේශපාලන හිතවතුන්ට රැකියා ජනිත කරන නොසිඳෙන උල්පතක් ද විය. එහෙත් 1977 සිදුවූ බල පෙරළියත් සමගම සිදුවූයේ මීට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ වූ දෙයකි. පෞද්ගලික ව්‍යවසායකයින්ට වැඩි ආයෝජන අවස්ථා සැලසුනා පමණක් නොව ව්‍යාපාරිකයන් නොවූ මැති ඇමතිවරුන්ට පවා ඉඩම් හිමි වැවිලිකරුවන් මෙන්ම කම්හල් හිමියන් ද වීමේ වාසනාව උදාවිය. වියයුතු පරිදිම දේශපාලන බලයෙන් තමන්ට උදා වූ වාසනාව වෙනුවෙන් කෘතගුණ සලකන්නට නව ව්‍යාපාරික ප්‍රජාව පසුබට නොවුනා සේම එම කෘතගුණ සැලකීමේ ගුණය නිරන්තරයෙන් ඇගයීමට ලක්කරන්නට දේශපාලක ප්‍රජාව ද අමතක නොකළහ. මේ අපූරු සුසංයෝගයෙන් බිහිවූ ව්‍යාපාරවලට හිමිවූ අමතර වාසිය නම් තම ව්‍යාපාර ක්ෂේත්‍රයට අදාල නීතිරීති, නිෂ්පාදනයෙහි ප්‍රමිතිය හා පාරිභෝගිකයා කෙරෙහි වන වගවීම යනාදියෙන් බැඳී සිටීමට අවශ්‍ය නොවීමයි. මක් නිසාද යත් එවන් බැඳීම් වලින් මිදී ලාබ උපරිම කරගැනීම සඳහා නීතියෙන් රිංගීමේ වරම දේශපාලන බලයෙන් හිමිව තිබෙන බැවිනි. රාවය පුවත්පතට ප්‍රභාෂවර නම් ආරූඬ නමින් ලිපියක් ලියන ලේඛකයා වරක්  සඳහන් කර තිබුනේ මැතිවරණයෙන් පරාජයට පත්වී සිටි හිටපු ඇමතිවරයෙකු නඩත්තු කිරීමට එක්තරා කෝටිපති ව්‍යාපාරිකයෙකු මසකට රුපියල් දසලක්ෂය බැගින් වෙන්කළ බවයි.

දැන් මේ අන්‍යෝන්‍ය කෘතගුණ සැලකීමේ අවගුණය විසින් සමාජගත කරන ලද මතවාදය දෙයාකාරයකින් ක්‍රියාත්මක වෙයි. ව්‍යාපාරික ප්‍රජාවගේ කෝණයෙන් ගත්කළ යම් ව්‍යාපාරයක් සාර්ථකව පවත්වාගෙන යාමට නම් පසුපසින් සිට තල්ලුවක් දෙන දේශපාලන හස්තයක් අවශ්‍ය වෙයි. එමෙන්ම පාරිභෝගිකයා කෙරෙහි අවංක වීමෙන් හෝ නිෂ්පාදිත භාණ්ඩයේ හෝ සේවාවේ ගුණාත්මක බව අකුරටම පවත්වාගැනීමෙන් හෝ ලාබ ලබන ව්‍යාපාරයක් පවත්වාගෙන යා නොහැකිය. වෙළඳපොලින් ප්‍රතික්ෂේප නොවන මට්ටමේ අවම ගුණාත්මක තත්ත්වයක් පවත්වා ගනිමින් භාණ්ඩ හා සේවා සපයා ලාබ උපරිම කරගැනීමට හැකිවීම මෙන්ම මතුවන යම් නීතිමය ගැටළුවක් වේ නම් එය කෘතගුණ සැලකීමේ ගුණයේ බලමහිමයෙන් යටපත් කරගැනීමට හැකිවීම ද සාර්ථක ව්‍යාපාරිකයෙකු සතු නෛසර්ගික ලක්ෂණ විය යුතුය. දේශපාලන හස්තය කරා ලඟාවිය නොහැකි ව්‍යාපාරික ප්‍රජාව තමතමන්ට පුළුවන් මට්ටමින් තමන්ගේ ක්ෂේත්‍රයට අදාළ නිලධාරීන්ගේ සහයෙන් මෙම ව්‍යාපාරික ශිල්පක්‍රමයෙන් වැඩගැනීමට වෙහෙස දරති. මෙම දුර්ගුණය කෙතරම් මුල්බැසගෙන ඇත්ද යත් රාජ්‍ය කළමනාකාරිත්වය යටතේ පවතින සමාගම් පවා ඉන් මිදී නොමැති බව හයිබ්‍රිඩ් ගෑස් සිලින්ඩර ජවනිකාවෙන් පෙනේ. මේ සියළු කරුණු කාරණා වල අවසාන ප්‍රතිඵලය නම් පෞද්ගලික ව්‍යාපාරිකයන් පිළිබඳව පලමු පරිචිඡේදයේ සඳහන් වූ නිර්වචනය සාධාරණීකරණය වීමයි.

පෞද්ගලික ව්‍යවසායකයින් විසින් තමන් විසින්ම ජනිත කරගෙන ඇත්තා වූ මෙම නිෂේධාත්මක ආකල්පයෙහි අයහපත් ප්‍රතිඵල ඉස්මතුවන්නේ රටට තීරණාත්මක වූ ආයෝජන අවස්ථා වලදී ඒ කෙරෙහි වන මහජන මතය හැඩගැස්වීමෙහි ලා මෙවන් ආකල්ප කරඇති හානිකර බලපෑම් වල තරම තේරුම් ගත්විටය. මෑත භාගයේදී රටේ ප්‍රමුඛතම ආයෝජන අවස්ථා කිහිපයකට පෞද්ගලික ව්‍යවසායකයන් සම්බන්ධ කරගැනීමට සමාජයෙන් මතුවූ දැඩි විරෝධය කියවාගත යුත්තේ මේ පසුබිමෙහිය. සාධනීය ආයෝජන අවස්ථා ගැන පවා දුස්තොරතුරු මගින් ජනතා මතය නොමග යැවීම පහසුවන්නේ ද මෙවන් වාතාවරණයක් යටතේය. මේ සියලු තොරතුරු කැටිකර ගත් විට කියන්නට සිදුවන්නේ දැන්වත් ශ්‍රී ලංකාවේ පෞද්ගලික ව්‍යාපාරික ප්‍රජාව තමන්ගේ ගමන්මග වෙනස් කරගත යුතු බවය. අල්ලේ සිටින දේශපාලකයින් බිම තබා ලාභයේ "තෘෂ්ණා භාගය"තමන්ගේම දීර්ඝකාලීන යහපැවැත්ම වෙනුවෙන් හා රටේ ආර්ථික වෘද්ධිය වෙනුවෙන් පරිත්‍යාග කිරීමට සූදානම් වියයුතු බවය. රටේ සාමාන්‍ය ජනතාව ලෙස අපට ද පැවරෙන වගකීමක් වන්නේ මෙවන් ආයතන ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් බැහැර කිරීමට තරම් ප්‍රබල වූ සිවිල් බලයක් ගොඩනගා ගැනීමය.               

  






2 comments:

  1. රට වටී ඇත්තේ යලි කිසිදිනෙක ගොඩ ගත නොහැකි තැනකට! රට ගොඩ ගත හැකි; බලයට පත්වේ යැයි සිතිය හැකි නායකයෙක් පෙනෙන තෙක් මානයේ නැත!

    ReplyDelete
    Replies
    1. නායකයෙක් විතරක් නෙවෙයි නායකයෙක් හිටියත් තෝරාගන්න දන්න පුරවැසියනුත් නෑ. මට හිතෙන හැටියට අපේ වගකීම වෙන්නෙ අඩු ගානෙ ඉදිරියේ හැදෙන පරපුරවත් විචාරශීලී, පුළුල් විදිහට බලන්න පුළුවන් අය කරන්න උත්සාහ කරන එක.

      Delete