අපි තමයි හොඳටම කරේ!

 

( www.deviantart.com වෙතින් )

ඌරෙක්ගෙ හැඩයට? නගර-පාලක හඬ නැගීය.

ඌරෙක්ගෙ හැඩයට. කියූ පණිවිඩකරුවා නික්ම ගියේය.

අසුබ අවුරුද්දක අසුබ දවසක්. නගර-පාලක පසුතැවිලි විය.

මම කුඩා කාලේ කන්දට එහා පැත්තෙ තිබුන ක්වොන්-සී නගරය හරි කුඩයි. දැන් ඒක කොච්චර ලොකුද කියනවනම් ඒ ගොල්ල දැන් ප්‍රාකාරයකුත් ගොඩනගනවා.

සැතපුම් දෙකක් ඈත තියන ප්‍රාකාරයක් ඇයි මේ වෙලාවෙ මගේ පියාණන් කණගාටුවටත් දුකටත් පත් කරන්නෙ?" ඔහුගේ දුව සන්සුන්ව ඇසුවා.

ඔවුන් ප්‍රාකාරය ගොඩනගන්නෙ ඌරෙක්ගෙ හැඩයට! තේරෙනවද? අපේ නගරය වටා තිබෙන තාප්පය හදලා තියෙන්නෙ දොඩම් ගෙඩියක හැඩයට. ඌරට පුළුවන් පෙරේත කමට අපිව කාලා දාන්න!

ඔවුන් දෙදෙනාම ඉඳගෙන කල්පනා කරන්නට උනා.

ජීවිතය පිරිල තිබුනෙ සළකුණු හා අසුබ පෙරනිමිති වලින්. යක්ෂයින් සෑමතැනකම රැකගෙන සිටියා. ඇසක රැඳුන කඳුළු මත මරණය පිහිනුවා. ලිහිණියෙකුගේ සැලුන තටුව කිව්වෙ වර්ෂාව ගැන. අවන්පත අල්ලාගෙන ඉන්න විදිය, වහලක ඇදය වගේම නගරය වටකරපු තාප්පයත් එකවගේ වැදගත් වුනා. මේ නගර ගැන දැනගන්න ගමන් යන මගීන්, සංචාරකයින්, තවලම්කරුවන්, සංගීතඥයින්, කලාශිල්පීන් හැමෝම නිමිති බලල කියයි, මම යන්නෙ නෑ දොඩමක් වගේ තියන නගරයට, මම වාසනාව, සෞභාග්‍යය උදාවෙන  ඌරගෙ හැඩේ තියන නගරයට ගිහිල්ලා හොඳට කාලා බීලා වාසනාව ලඟාකර ගන්නවා කියල!

නගර-පාලක වැලපෙන්නට උනා. හැමදේම ඉවරයි. මේ සලකුණු හා නිමිති විනාශකාරියි. අපේ නගරයට අපල කාලයක් ඇවිල්ලා.

එහෙම නම් ගල් වඩුවන් හා පන්සල් තනන්නන් කැඳවන්න. මා සේද තිරයට මුවාවී සිට රහසින් කියන්නම් කළයුතු දේ. ඔබට ඒ වචන ඇසේවි. දුවණිය කිවිවා.

මහලු මිනිසා අත්පොලොසන් දුන්නේ බලාපොරොත්තු කඩවුනු විලාසයෙනුයි. ඒයි, ගල් වඩුවනි! ඒයි, නගර ගොඩනගන්නනි! මාලිගා තනන්නනි! වරෙල්ලා.

මාබල්, ග්‍රැනයිට්, පළිඟු හා අගස්ති වලින් වැඩ කරන්න දන්න අය ඉක්මනින් ආවා.  සිල්ක් තිරය පිටුපසින් රහසින් නැගෙන හඬ බලාපොරොත්තුවෙන් සිටි නගර-පාලකවරයා ඔවුන්ට මුහුණදුන්නේ කැමැත්තෙන් නෙමෙයි. අන්තිමේදී තිරය පිටුපසින් හඬ සෙමින් ඇසුනා.

මා අද ඔබ කැඳෙව්වේ... රහසින් ඇසුන හඬ කිව්වා.

මා අද ඔබ කැඳෙව්වේ... නගර-පාලක ශබ්ද නගා කිව්වා. අපගේ නගරය දොඩම් ගෙඩියක හැඩයට ගොඩනගා ඇති බැවින් අසල්වැසි ක්වොන්-සී නම් දුෂ්ට නගරය ඔවුන්ගේ නගරයේ හැඩය බඩජාරී ඌරෙකුගේ හැඩයට හදා තිබෙනවා.

ගල් වඩුවන් කෙඳිරිලි හඬින් වැලපුනා. පිටත අංගනයේ මාරයා තම වේවැල හඬ නැංවූවා. කාමරයේ සෙවනැලි මැද දිළිඳු බව ලෙඩ කැස්සක හඬ නැංවූවා.

ඒ නිසා…” හඬ කෙඳුරුවා, නගර-පාලක හයියෙන් කිව්වා. ප්‍රාකාර ඉදිකරන නුඹලා මේසන් හැඳිත් ගලුත් අරගෙන ගිහිල්ලා අපේ නගරයේ හැඩය වෙනස් කළ යුතුයි.

නිර්මාණ ශිල්පීන්, පෙදරේරුවන් විශ්මයට පත් උනා. නගර-පාලකයත් විශ්මයට පත් උනා තමන් අතින් කියවුනු වචන වලින්. රහස් හඬ යලිත් කෙඳිරුවා, නගර-පාලක හඬනගා කිව්වා. ඌරට පහරදීලා පලවා හරින්නට පුළුවන් මුගුරක හැඩයට ඔබ අපගේ ප්‍රාකාරයේ හැඩය වෙනස් කළ යුතුයි.

ගල් වඩුවන් ඔල්වරසන් දෙමින් නැගී සිටියා. නගර-පාලකයා පවා තමන්ගේ මුවින් පිටවූ වචන වලින් උද්දාමයට පත්වී අත්පොලොසන් දෙමින් සිහසුනෙන් බැස ආවා. ඉක්මනින්, වැඩට! ඔහු කෑගැසුවා.

උද්‍යෝගයෙන් ඉපිලෙමින් ඔහුගේ වැඩකරුවන් ගියපසු නගර-පාලකවරයා ආදරයෙන් පිරුනු සිතින් සේද තිරය දෙසට හැරී දියණියනි! යනුවෙන් සෙමින් ඇමතුවා. එන්න මා වෙතට. ඒත් පිළිතුරක් ලැබුනෙ නෑ. ඔහු සේද තිරය පිටුපසට ගියා. ඇය ඉවත් වී ගොස් තිබුනා.

කොතරම් නිහතමානීද ඔහු සිතුවා. මට ජයග්‍රහණයක් අත්කර දී ඇය යන්න ගිහින්, හරියට මා කළ දෙයක් වගේ පෙනෙන්නට.

මේ පුවත නගරය පුරාම පැතිර ගියා. හැමෝම නගර-පාලකවරයාට ප්‍රශංසා කළා. හැමදෙනෙක්ම ප්‍රාකාරය තැනීමට ගල් ඔසවාගෙන ගියා. ගිනිකෙළි දැල්වුනා. සියළුදෙනාම එකතුවෙලා වැඩ කරද්දී මරණයේත් දිළිඳුකමේත් යක්ෂයින් පලාගියා. මාසයක් අවසානයේදී ප්‍රාකාරය වෙනස් කරන්න පුළුවන් උනා. දැන් එය ගම් ඌරන්, වල් ඌරන් විතරක් නෙමෙයි සිංහයන් උනත් එළවන්න පුළුවන් තරම් ශක්තිමත් මුගුරක් වගෙයි පෙනුනෙ. දැන්නම් නගර-පාලක හැම රෑකම බඩ හොඳට පිරුනු නරියෙක් වගේ නිදාගත්තා.

මට හරි ආසයි ක්වොන්-සී නගරයේ පාලකවරයගේ මූණ මොනවගේ වෙයිද කියල බලන්න මේක දැනගත්තට පස්සෙ. මිනිහගෙ ඔලුව අවුල් වෙලා පිස්සු හැදෙයි. කන්දකින් පහලට පනින්නත් බැරි නෑ. මට පුතෙක් වගේ ඉන්න දියණියනි, තව වයින් ටිකක් වත්කරන්න!

ඒත් සතුට හරියට ශීත කාලයේ පිපුන මලක් වගෙයි. ඉක්මනටම මැරිල ගියා. එදාම හවස පණිවුඩකරුවා නගර-පාලකගේ ශාලාව වෙත දුවගෙන ආවා.  අයියෝ, නගර-පාලකතුමනි, වසංගත, දුක් අඳෝනා, හිම කුණාටු, පළඟැටි උවදුරු, වස මුසු උන ලිංවතුර, මේ හැම එකක්ම එයි.

නගර-පෘලකවරයා වෙව්ලන්න ගත්තා.

ක්වොන්-සී නගරය ඌරෙක්ගෙ හැඩයට හදපු නිසා ශක්තිමත් මුගුරක් විදියට අපේ ප්‍රාකාරය වෙනස් කරල අපි ඌට ගහල එලෙව්වා. ඒත් ශීත කාලයේ දැල්වෙන ගිණි පුළිඟු වගේ ඔවුන් ආයෙත් දිනලා, අපගේ මුගුර පුලුස්සා දැමීම සඳහා ඔවුන්ගේ ප්‍රාකාරය විශාල ගිනිමැලයක හැඩයට හදලා.

නගර-පාලකවරයගේ හදවත කඩා වැටුනා වගේ උනා. හරියට ගිම්හාන කාලයේ පැරණි ගසක හැදුන පලතුරු ගෙඩියක් වගේ. අනේ දෙවියනි! සංචාරකයෝ අප දිහා බලන එකක්වත් නෑ. වෙළෙන්දෝ නිමිති බලලා හැමදෙයක්ම ආක්‍රමණය කරන්න පුළුවන් ගින්දරෙන් පහසුවෙන්ම විනාශ වෙන මුගුරෙන් ඉවත්වෙලා යයි.

නැහැ! සේද තිරය පිටුපසින් හිම පියල්ලක් වගේ මෘදු කටහඬකින් කිව්වා.

නැහැ, විශ්මයට පත්වූ නගර-පාලකවරයාත් කිව්වා.

ගල් වඩුවන්ට කියන්න අපේ ප්‍රාකාරය දිලිසෙන ජලාශයක හැඩයට හදන්න කියලා. අහසින් වැටෙන වැහි බිඳුවක ගීතවත් බවින් කටහඬ කිව්වා.

නගර-පාලක මෙය හඬනගා කිව්වා.

මේ ජලාශයේ වතුරින් අපි ගින්න නිවලා සදහටම නැති කරලා දානවා.මෘදු කටහඬත් මහලු මිනිසාත් කිව්වා.

ආයෙත් නගරය අතිශය බුද්ධිමත් වූ පාලකයා විසින් බේරාගත් බව දැනගත් වැසියෝ තාප්පය යළි ගොඩනගන්න සහභාගි වෙන්න ආවේ හරිම සතුටින්. අළුත් සැලැස්මට හැකිතාක් සමාන වෙන විදිහට ප්‍රාකාරය ගොඩනැගුවේ සිංදු කියමින්. හැබැයි ඉස්සරල සැරේ තරම් සද්දෙටවත් ඒ තරම් කඩිසරවත් නෙවෙයි. මොකද කියනව නම් ඒ ගොල්ල වෙහෙස වෙලයි හිටියේ පළමු වතාවේ ප්‍රාකාරය හදන්න මාසයක්ම ගිය නිසා. ඒ කාලය තුළ ගොවිතැන් වගේම ව්‍යාපාරික කටයුතුත් කල්දාන්න සිදුවූ නිසා වැසියෝ ටිකක් දුර්වල වෙලා වගේම දුප්පත් වෙලත් හිටියෙ.

ඊලඟට සතුට දනවන අපූරු දවස් එක්කම භයංකාර දවස් එකක් පිටුපස්සෙ එකක් ආවේ හරියට එකක් ඇතුළෙ තව එකක් තියන මැජික් පෙට්ටි වගේ.        

අපොයි, උතුමාණනි, පණිවුඩකරුවා කෑගැසුවා. ක්වොන්-සී ඔවුන්ගේ ප්‍රාකාරය අලුතින් හදලා කටක හැඩයට අපේ ජලාශයේ වතුර බොන්න පුළුවන් වෙන්න!

එසේනම්, අපේ ප්‍රාකාරය ඉඳිකට්ටක හැඩයට නැවත සකස් කරන්න, ඒ කට මහල දාන්න පුළුවන් වෙන්න.

උතුමාණනි, පණිවුඩකරුවා බෙරිහන්දුන්නා. ඔවුන් තාප්පය අසිපතක් වගේ හදනවා ඔබේ ඉදිකට්ට කඩා දමන්න.

නගර-පාලක වෙව්ලමින් සේද තිරය අල්ලාගෙන හිටියා. එසේනම්, කඩුව දැමීමට හැකි කඩු කොපුවක හැඩයට තාප්පයේ ගල් යළි සකසන්න.

සමාවන සේක්වා!, පසුදින උදයේ පණිවුඩකරුවා වැලපෙමින් පෙනී සිටියා. ඒ ගොල්ල මුළු රෑම වැඩ කරලා ඔවුන්ගේ තාප්පය අකුණු පහරක හැඩයට හදලා කඩු කොපුව පුපුරවලා විනාශකරල දාන්න.

ලෙඩරෝග නගරය පුරාම පැතිරුනේ හරියට යක්ෂයාගේ භයංකාර බලුරෑන වගෙයි. කඩ සාප්පු වැසී ගියා. ප්‍රාකාරය වෙනස් කරන්න නොනවත්වාම මාස ගණනක් එකදිගට වැඩ කරපු පුරවැසියෝ පෙනුනේ හරියට සුළඟට නාදවෙන සංගීත භාණ්ඩ මෙන් කට, කට හඬින් සුදුමැලි වුන ඇටකෝටු  සොලවමින් එන මරණය වගෙයි. අස්වනු කපා ගෙට ගන්න ගිම්හාන කාලේ මැද භාගය වුවත් වීදියේ දකින්නට ලැබුනේ මළගෙවල්. නගර-පාලකවරයා කොයිතරම් අසනීප උනාද කියනවනම් සේද තිරය අසල තැබූ ඇඳක් මත වැතිරගෙන අසරණ ලෙස ගොඩනැගීම් පිළිබඳ නියෝග දෙමින් සිටියා. සේද තිරය පිටුපසින් ඇසුන කටහඬත් දුර්වල වෙලා යාන්තමටයි ඇහුනේ, සෙවිලිකළ වහලයක් සුලඟට සෙලවෙන හඬ වාගේ.

ක්වොන්-සී උකුස්සෙක් නම් අපි ඒ උකුස්සා අල්ලන දැලක් හදනවා. ඔවුන් අපේ දැල පුලුස්සා දමන හිරු උනොත් අපි ඒ හිරු මුවාකරන චන්ද්‍රයා වෙනවා.

මළකඩ කාපු යන්ත්‍රයක් වාගේ මුළු නගරයේම වැඩ නතර උනා.

අවසානයේදී තිරය පිටුපසින් හෙමින් ඇසුන හඬ කෑගැසුවා.

දෙවියන්ගේ නාමයෙන්, ක්වොන්-සී නගරයට පණිවුඩයක් යවන්න!

ගිම්හාන සෘතුවේ අන්තිම දවසේ දැඩි සේ ගිලන් වී වැහැරුන ක්වොන්-සී නගර-පාලකවරයා අප නගර-පාලකවරයාගේ ශාලාවට ඔසවාගෙන එනු ලැබූවේ හාමත් වී වෙහෙසට පත්වූ සේවකයන් හතරදෙනෙකු විසිනුයි. නගර-පාලකවරුන් දෙදෙනා එකිනෙකාට මුහුණ ලා කෙලින්කර තැබුණා. ඔවුන්ගේ මුවින් හුස්ම ඉහල පහල ගියේ ශීත සෘතුවේ හමන සුළඟ වාගෙයි.

අපි මේක අවසානයක් කරමු. හඬක් නැගුනා.

මහලු මිනිසුන් දෙදෙනා හිස් සොලවා එකඟත්වය පළකලා.

මේක දිගටම කරගෙන යන්න බෑ. සිහින් හඬ කිව්වා. අපේ වැසියන් වෙන කිසිදෙයක් කරන්නෙ නෑ එක එක හැඩවලට දිනපතාම හැම පැයකම නගරය නැවත නැවතත් ගොඩනගනවා ඇරෙන්න. ඔවුන්ට දඩයම් කරන්න, මාළු අල්ලන්න, ආදරය කරන්න, මුතුන්මිත්තන්ට සලකන්න, මුතුන්ම්ත්තන්ගෙ දරුවන්ට සලකන්න වෙලාවක් නෑ.

මම ඒක පිළිගන්නවා. කූඩුව, සඳ, හෙල්ල, ගින්දර, කඩුව යනාදී නොයෙකුත් හැඩවලට හැදුව නගරයේ පාලකවරයා කිව්වා.

අපව හිරුඑළිය තිබෙන එළිමහනට කැඳවාගෙන යන්න. කටහඬ කිව්වා.

මහල්ලන් දෙදෙනා හොඳින් හිරුඑළිය තිබෙන පුංචි කඳුගැටයක් මුදුනට ගෙනගොස් තැබුවා. ගිම්හානයේ අවසාන භාගයේ හමන මද සුළඟේ හොඳටම කෙසඟ වූ ළමයින් කිහිපදෙනෙක් හිරුගේ, ගෙම්ඹන්ගේ, තණකොලවල, මුහුදේ, කාසිවල හා තිරිඟුවල ආදී විවිධ වර්ණවලින් හැදුනු මකර සරුංගල් යවමින් සිටියා.

පළමු නගර-පාලකගේ දියණිය ඔහුගේ ඇඳ පසෙකින් හිටගත්තා.

අර බලන්න. ඇය කිව්වා.

ඒවා නිකං සරුංගල් විතරයිනෙ. මහලු මිනිසුන් දෙදෙනා කිව්වා.

ඔව්, බිම තියන විට ඒවා නිකංම සරුංගල් විතරයි. කිසිම පෙනුමක් නෑ. ඒවා ලස්සන වෙලා සිත තුළ අධ්‍යාත්මික ප්‍රීතියක් ඇතිකරන්න මොනවද අවශ්‍ය?

සුළඟ! අනෙක් අය පිළිතුරු දුන්නා.

සුළඟත් අහසත් ලස්සන කරන්න මොනවද ඕනෑ?

සරුංගලයක්! ඇත්තටම සරුංගල් ගොඩක්. අහසේ එකාකාරී නීරසබව නැතිකරන්න පියාඹන පාට, පාට සරුංගල් ගොඩක්.

ඒක එහෙමනම් ක්වොන්-සී ඔබ අවසාන වතාවට ඔබගේ නගරය නැවත ගොඩනගනවා කිසි වෙනසක් නැතිව සුළඟ වගේම වෙන්න. අපි අපේ නගරය හදනවා රන් සරුංගලයක් වගේ වෙන්න. සුළඟ සරුංගලය ලස්සන කරයි අහසේ ඉහලටම අරගෙන ගිහිල්ලා. සරුංගලය සුළඟේ එකාකාරී නීරසබව නැති කරලා එයට අරමුණක් හා අර්ථවත් බවක් එක්කරයි. එකක් නැතිව අනෙකෙන් ඇති වැඩක් නෑ. එකට එකතු උනාම හැමෝම ලස්සනට සහයෝගයෙන් දිගු කාලයක් ජීවිතය ගතකරයි.

මේක ඇහුන ගමන් නගර-පාලකයින් දෙදෙනා කොයිතරම් සතුටු උනාද කිව්වොත් දින ගණනාවකට පස්සෙ ආහාරයක් අරගෙන තාවකාලිකව වුනත් ලැබුන ශක්තියෙන් එකිනෙකා වැළඳගෙන දෙන්නට දෙන්නා වර්ණනා කරගත්තා පමණක් නෙවෙයි පළමු නගරයේ පාලකවරයාගේ දියණිය තරුණයෙක්, පිරිමියෙක්, ශෛලමය ස්ථම්භයක්, රණශූරයෙක් හා සැබැවින්ම අමතක කළ නොහැකි පුතෙක් ලෙසත් ප්‍රශංසාවට ලක්කරා. ඊට පස්සෙ ඔවුන් තමතමන්ගේ නගරවලට ගියේ සතුටට අමාරුවෙන් උනත් ප්‍රීතිගෝෂා කරමින් හා ගීත ගායනා කරමින්.

ඉතින් කාලයක් ගත උනාම මේ නගර රන් සරුංගලයේ නගරය හා රිදී සුළඟේ නගරය ලෙස නම් කෙරුනා. අස්වනු නෙළීම, ව්‍යාපාර ගනුදෙනු නැවත ඇරඹුනා. නිරෝගී බව ආපසු ලැබුනා, ලෙඩරෝග බියපත් වූ නරියෙක් වගේ පැනල දිව්වා. අවුරුද්දේ සෑම රැයකම සරුංගලේ නගරයට ඇහුනා නොනැවතී අපූරු රිද්මයකට හමන සුළඟ. සුළඟේ නගරයට ඇසුනා සංගීතමය නාද නගමින්, කොඳුරමින්, ඉහල නගිමින් අලංකාරය ගෙනදෙන සරුංගල් නගන නාදය.

මෙය සැමදා මෙසේම පවතීවා!  තම සේද තිරය ඉදිරිපිට සිටගෙන නගර-පාලකවරයා කිව්වා. 

Ray Bradburyගේ The Golden Kite, the Silver Wind කතාවේ පරිවර්තනයකි.  

       

 

No comments:

Post a Comment