චාටුකාරයෝ

 

 මෙය උපුටා ගත්තේ මුණිදාස කුමාරතුංග මහතා විසින් රචිත ශික්ෂා මාර්‍ගය නම් වූ සිංහල පෙළපොත් මාලාවේ දෙ වන පොතෙනි.

මේ බ්ලොග් අඩවියේ මුල් යුගයේදීම කට්ටයයි වෙට්ටපිත්තලයයි නමින් පැරණි සිංහල පෙළපොතකින් උපුටා ගත් උපහාස කතාවක් ඉදිරිපත් කළෙමි.  (එය මෙතැනින්) මෙය ද එවැනිම කතාවකි. එය පළ කිරීමට හේතු වූ කරුණු එහි හැඳින්වීමෙහි දැක්වෙයි. එම කරුණු මීට ද අදාළ ය.

 ඊට අමතරව මෙහි සඳහන් කළ යුතු කරුණු දෙකක් වෙයි. අප පාසැල් ගිය කුඩා අවධියේ අපට වඩා ඉහල පන්තිවල සිටි අපගේ වැඩිමහලු සොයුරු සොයුරියන්ගේ සිංහල හා ඉංග්‍රීසි පෙළපොත් බැරි බැරි ගාතේ වුවද කියවීමට රුචිකත්වයක් දැක්වූයෙමු. ඒ ඒවායේ ඇතුළත් වූ විචිත්‍ර වූ කථාන්තර නිසා ය.

ඊට අදාළ පන්තිය වෙත යන විට අප එම පොත් කිහිපවරක් කියවා තිබිණ. පසු කලෙක ගුරුවරයෙකු ලෙසත් ගුරුවරුන් පුහුණු කරන්නෙකු ලෙසත් කටයුතු කරද්දී අපට සම්මුඛ වූ පෙළපොත් මීට හාත්පසින්ම වෙනස් ය. ( මේ කියන්නේ ඉංග්‍රීසි පෙළපොත් ගැන ය.) ඒවායේ අන්තර්ගතය බොහෝ විට පරිසරය, ජාතික සමගිය, තාක්ෂණික දියුණුව, ගුණ ධර්ම යනාදී මාතෘකා යටතේ පෙළ ගැසී තිබිණ. හොඳ ය. ඒත් කියවීමට අප්‍රසන්න ය. ලමුන් පොත අතට ගන්නේ මූණ ඇඹුල් කරගෙන ය. පෙර මෙන්ම ලස්සන කතන්දර සහිත පොත් තිබුණා නම් හොඳ නැද්ද කියා සිතුනත් අපට තිබූ ළමා මනසත් දැන් තිබෙන ළමා මනසත් වෙනස් නිසා මට හිතෙන දේ නිවැරදි දැයි සිතා ගැනීම අසීරු ය.

අනෙක් කරුණ නම් මෙහි තිබෙන දේශපාලන ඇඟවීම ය. රජු බොරු කියන බව ඇමතිවරු දනිති. ඇමතිවරු දන්නා බව රජු ද දනී. රජු දන්නා බව ඇමතිවරු ද දනිති. එහි අනික් පැත්ත ද එසේම ය. එහෙත් බොරු කීමෙහි වෙනසක් නැත. අද රජ්ජුරුවන් හා ඇමති කට්ටුවේ ද මීට වැඩි වෙනසක් නැත. ඔවුහු බොරු කියති. ඒ බව රටවැසියා දනියි. රටවැසියා දන්නා බව ද රජු හා ඇමතිවරු දනිති. තමන් දන්නා බව රජු දන්නා බව රටවැසියා ද දනියි. එහෙත් රජු හා ඇමති මණ්ඩලය කියති, රටවැසියෝ අසති!

                                                                        චාටුකාරයෝ



දෙ වෙනි රාජසිංහ රජතුමා ගේ සමහර අමාත්‍යයෝ චාටුකාරයෝ ය. රජතුමා ඒ බව දැන සිටියෝ ය.

දිනක් මාළිගයේ දී මේ අමාත්‍යයෝ රජ තුමා වට කොට-ගෙන සිටියෝ ය. රජතුමා සතුටු කරන අදහසින් ඔහු නොයෙක් දේ කියමින් උන් හ. කවටයා එ දින එ තන්හී සිටියේ ය.

රජතුමා අස්ගිරි කන්ද පෙන්වා, මේ කන්ද වෙවුලන්නේ නො වේ දැයි අමාත්‍යයන් පිළිවිසියේ ය. මහ ඇමති තුමා කන්ද දෙස බලා එ සේ ය, දේවයන් වහන්ස, කන්ද වෙවුලන්නේ ම ය කී ය. සෙසූ ඇමතියෝ ද එ සේ ම කී හ.

කන්ද වෙවුලන්නේ කුමක් නිසා දැයි රජතුමා ඇසී ය. රජු ගේ සිත සතුටු කරන අදහසින්, ඇමැතිවරු දේවයන් වහන්ස, නො දන්නා සේක් ද? ඔබ වහන්සේ ඉදිරියෙහි නො වෙවුලා සිටින්නට සමර්‍තථ වූ කන්දක් වත් ලෝකයේ ඇද් දැ යි කී හ.

ඔබේ කල්පනාව කෙසේ දැ යි රජතුමා කවටයා ගෙන් ඇසී ය. එ විට කවටයා කන්ද දෙස බොහෝ වේලා බලා සිටියේ ය. වරක් දකුණැස වසා බැලී ය. වරක් වමැස වසා බැලී ය. වරක් අත යටින් බැලී ය. මෙ සේ නොයෙක් අන්දමින් බලා රජුට මෙ සේ කීයේ ය:- දේවයන් වහන්ස, කන්දට වෙව්ලිල්ලක් නම් නැත. එහෙත් කන්ද කල්පනා වෙකින් ඉන්නා වාගේ පෙනේ.

කන්ද කුමක් කල්පනා කරන්නේ දැ යි රජ තුමා ඇසී ය. කවටයා ද දේවයන් වහන්ස, මේ කපට අමාත්‍යයන් ගේ චාටු කථා සැබෑවට ගන්නා මෝඩයෝ ලෝකයේ ඇද්දැයි කන්ද කල්පනා කරන්නේ යයි කී ය.

රජ තුමා සිනා සෙන්නට වන්නේ ය. චාටුකාර අමාත්‍යයෝ  මහත් ලජ්ජාවට පැමුණුණෝ ය.  

  

 

12 comments:

  1. Replies
    1. ස්තූතියි, නම ලකුණු කලාට!

      Delete
  2. අන්න කතා...! මේ වැඩේ උදක් ම අගය කරනව.

    ReplyDelete
    Replies
    1. ගිහින් බැලුවාම සන්තෝසේ බෑ. කවියක් ලියවුනා මෙහෙම.

      නැඹුරුව අගෙයි නංවයි හෙළ සාහිත්‍ය
      පතපොත කියවන්නෙ ගොන්නුන් වෙනු බැරිය
      දැන් සිරිලකට ඕනෑ දැනුමැත්තන්ය
      මෙසේ කරමු එකමුතු වී 'හැකි හරිය'

      Delete
    2. අනේ මංද!අපි අපිම මිසක් කියවල හිතල බලන අය ඉන්නවද මංද.

      Delete
    3. කාලෙක ඉඳල මේක ලියන්න හිටියේ. ඒත් පරණ පොත් අදින්න කම්මැලියි.ඩ්‍රැකීගෙ පෙළඹවීමට පොත්ගොඩ ඇද්දා.

      Delete
  3. Replies
    1. මගේ බ්ලොග් මල්ලේ එල්ල ගත්ත

      Delete
  4. මාත් ආවා ඔන්න මේ පැත්තෙ😁

    ReplyDelete
  5. මෙරට තුල බ්ලොග් යළි ජනප්‍රිය කිරීමේ අරමුණින් අප කණ්ඩායම සැකසූ මෙම සින්ඩිය; දැනට අවකාශයේ පවතින වඩාත්ම පුළුල් සින්ඩිය බවට පත්ව ඇති බව පවසන්නේ නිහතමාණී ආඩම්බරයෙන් යුතුවය!
    දැනට බ්ලොග් දහසකට අධික සංඛ්‍යාවකට පිවිසිය හැකි එකම සින්ඩි දොරටුව වන්නේ අපගේ සින්ඩියයි.
    ඔබගේ බ්ලොගයද එහි පලකොට ඇති බව අප සතුටින් ඔනට දැනුම් දෙන්නෙමු.
    සිංහල පාඨකයින් අතර බ්ලොග් ප්‍රචලිත කිරීම සඳහා සින්ඩියකින් කලහැකි, කලයුතු කාර්‍යභාරය පිළිබඳව ඔබගේ අදහස් අප ගෞරවයෙන් අපේක්ෂා කරණ්නෙමු!
    එසේම අපගේ සින්ඩියේ සිදුවිය යුතු කිසියම් වෙනසක් නවතාවයක් වෙතොත් ඒ පිළිබඳව අපව දැනුවත් කරණ්නේනම් ඒ පිළිබඳවාප ඔබට අනේක වාරයක් ස්තූති වන්ත වන්නෙමු.

    ReplyDelete