මේ
අප පාසල් යන අවධියේ කියවූ සිංහල පොතක තිබූ පාඩමකි. එදාටත් වඩා අදට එය කොතරම්
ගැලපෙන්නේ දැයි සිතුන බැවින් ඉදිරිපත් කරමි. එදා පෙළපොත් රචකයින් භුක්ති විඳි නිදහස පිළිබඳ අවබෝධයක් ද මෙයින් ලැබේ. මෙම කතාවම අද සිංහල පොතකට ඇතුල් කලහොත් කුමන ප්‍රතිචාරයක් ලැබේද යන්න සිතාබැලීම ද වටී. (මෙහි ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය හා
පද බෙදීම එහි තිබූ ආකාරයටම තබා ඇති බව සලකන්න.)
කට්ටයයි
වෙට්ටපිත්තලයයි
“අපි මොන මගඩියකින් හරි සල්ලි ටිකක් හොයමු” යි දිනක් කට්ටයා සිය මිතුරු වෙට්ටපිත්තලයාට යෝජනා කෙළේ ය. එක්තරා ගමකට ගිය ඔහු ගොන් බානක් හොරා ගෙන කැලෑවෙක සඟවා තුබූ හ. නැති වූ ගොන් බාන සොයා ගම පුරා ඇවිදින අයිති කරු මුණ ගැසුණු කට්ටයා
ප්‍රසිද්ධ ශාස්ත්‍ර කරුවකු ළඟ දී ගමේ අම්බලමට පැමිණ සිටින ඔහු ගෙන් නො වරදවාම ගොන් බාන ගැන හෝඩුවාවක් ලබා-ගත හැකි බවත් කීවේ ය.මේ
ආරංචිය ලද වහා ම ගොනුන් අයිති කරු වෙට්ටපිත්තලයා සොයා ගියේ ය. මහත් විමැසිල්ලෙන්
මෙන් සිය පොත් පත් පෙරළා ගණන් හැදූ වෙට්ටපිත්තලයා ශාස්ත්‍රය කීවේ ය : “මේ අම්බලමේ සිට නැගෙනහිරට යන කොට විශාල අඹ ගහක්
හමු වේවි. එ තැනින් දකුණට හැරී තවත් දුර යන කොට විශාල සියඹලා ගහක් ඇති. එ තැන ඔබේ
ගොන් බාන සිටියොත් මගේ ගාස්තුව වන රිදී දහය දෙන්න, නොලැබුනොත් මට කිසිවක් එපා” යි ශාස්ත්‍ර කරු විසින් කියන ලද සලකුණු ඔස්සේ
ගිය ඔහුට ගොන් බාන හමු විය. වෙට්ටපිත්තලයා සොයා පැමිණි හෙතෙම මුව
නොසෑහෙන සේ ස්තුති කොට රිදී දහය දී යන්නට ගියේ ය.
කට්ටයාත් වෙට්ටපිත්තලයාත් එ
ගමෙන් පිටත් ව යෑමට සූදානම් වන විට ගම්මුලාදෑනියා අම්බලමට පැමිණියේ ය. “මම අර ප්‍රසිද්ධ ශාස්ත්‍ර කාරයා හම්බ වෙන්නයි ආවේ. නැති වුණු ගොන්
බානක් පුදුම විධියට සොයා දුන්නයි කියා අද මුළු ගම ම මිනිහ ගැන කතා කරනව. මගේ රත්තරන් බුලත් හෙප්පුව
ඊයේ රෑ හොරු අරන්. ඒක ගැන ආරංචියක් අහ-ගන්න පුළුවන් දැයි බලන්නයි ආවේ” යි ගම්මුලාදෑනියා පැවැසී ය.
“මේ වෙලාවෙ ග්‍රහ තාරකා ගැණ බලන්න
සුදුසු නෑ. කරුණාකරල උදේට එන්න. එත කොට මම සාත්තරේ කියන්නම්” යි වෙට්ටපිත්තලයා කීවේ ය.
ගම්මුලාදෑනියා ඉවත් ව ගිය
පසු කට්ටයා සිය මිතුරාට කතා කොට වහා ම ගමෙන් පැන යෑමට යෝජනා කෙළේ ය. “අප පැන යනව දැක්කොත් මුළු ගම ම අප පස්සෙ එළවාවි. ඒ නිසා කළුවර වෙන
කල් ඉඳිමු” යි වෙට්ටපිත්තලයා කී ය. රාත්‍රී කාලය ද ළඟා
විය. “දැන් අපි පැන යමු” යි කට්ටයා නැවැතත් කී ය. එහෙත් “හඳ පායන තෙක් ඉන්නැ” යි වෙට්ටපිත්තලයා හරස් කැපී ය.
ගම්මුලාදෑනියා ගේ රන් හෙප්පුව සොරා-ගත්තහු ගේ නම කරුමා විය. හොරෙන් ම
අම්බලම ළඟට ඇදුණු කරුමා ශාස්ත්‍ර කරු තමාගේ සොර කම සොයා-ගෙන ඇද්දැ යි දැන-ගැනීමට
සැඟැවී සිටියේ ය. “උඹ මාව මේ සෙල්ලමට ඇද-ගත්තෙ මොනවට ද? දැන් මට
හොරෙකු වගේ පැන යන්න වෙනව නොවැ” යි වෙට්ටපිත්තලයා කට්ටයාට දොස් පවරන්නට විය. “මට බනින්න එපා. මේ අපේ කරුමෙ” යි කට්ටයා කීවේ ය. ඈතින් සැඟැවී සිටි
හොරාට ඇසුනේ “හොරකු වගේ” “කරුමෙ” යන වචන පමණි. මොවුන් මේ කතා කරන්නේ
තමා ගැන යයි සිතූ සොරා බයින් වෙවුලමින් ඉදිරියට අවුත් “අනේ ගුරුතුමා, රන් හෙප්පුව හොරා-ගත් අවාසනාවන්ත කරුමා මමයි. මම ඒක
කනත්තෙ අම්බලමෙ හිණි පා මුල වළ-ලලා ඇති අනේ, මාව මුලාදෑනියාට අල්ල දෙන්න එපා” යි පාපෝච්චාරණය කෙළේය.
“කමක් නෑ කරුමා, උඹ පලයන්, මා මොකුත්
කරන්නෙ නෑ” යි වෙට්ටපිත්තලයා මහත් ගරු සරු ව පිළිතුරු
දුන්නේ ය. කරුමා ද පින් කියා යන්නට ගියේ ය. පසු දින පාන්දර ගම්මුලාදෑනියා පැමිණි
විට රන් හෙප්පුව ඇති තැන හරියට ම කීමට වෙට්ටපිත්තලයාටට පුළුවන් විය. මෙයින් මහත්
සේ සතුටු වූ මුලාදෑනියා වෙට්ටපිත්තලයාට පඬුරු
වශයෙන් රිදී සියයක් දී එ දින දවල් භෝජනයට ද දෙ දෙනාට ම ආරාදනා කෙළේ ය.
කට්ටයාත් වෙට්ටපිත්තලයාත් දවල් ආහාරයෙන් පසු ගම්මුලාදෑනියාගෙන් සමු
ගෙන යෑමට සූදානම් වෙද්දී රජු ගේ දූතයෙක් පැමිණ නිවේදනයක් කළේ ය.
මැණික් පුරවා-ගත් නැව් හතක් ගෙන පැමිණි එක්තරා වෙළෙන්දෙක් අලු යම රජු
ගේ නගරයට පැමිණ රජු ඔට්ටුවකට කැඳෙව්වේ ය. තමා ගේ අතෙහි වූ කුඩා ලෝහ පෙට්ටියක් රජුට
පෙන්වා වෙළෙන්දා මෙසේ කී ය.
“අද සිට සත් දිනක් ඇතුළත ඔබේ රාජධානියේ
සිටින ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයකුට මේ පෙට්ටිය ඇතුළේ තිබෙන්නේ මොනවා දැ යි කීමට පුළුවන්
වුනොත් ඔබට මැණික් වලින් පිරුන මගේ නැව් හත ම දෙනවා. එහෙත් ඔබේ එක ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයකුට
වත් හරියට කියන්න බැරි වුනොත් ඔබේ රාජධානිය මට දිය යුතුයි”. රජ වාසල ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයාට එය එ තරම් අපහසු නොවනු
ඇතැ යි සිතූ රජු ඔට්ටුව බාර-ගෙන ඇත. එහෙත් එය ඉටු කිරීමට අපහසු බව රජ වාසල ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයා
පවසයි. එ හෙයින් දක්ෂ ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයකු
සෙවීම සඳහා රාජධානිය පුරා ම දූතයෝ යොදවන
ලද හ.
මේ නිවේදනයට සවන් දුන් ගම්මුලාදෑනියා, “වෙට්ටපිත්තල ගුරු තුමාට ඕකත් කජ්ජක් ද ? මෙන්න මේ වෙට්ටපිත්තල ගුරු
තුමා කැඳවාගෙන යන්නැ” යි කීවේ ඉමහත් සතුටිනි. කට්ටයාට ද
වෙට්ටපිත්තලයාට ද දූතයා සමග රජු වෙත යෑමට සිදු විය. රජු වෙත පැමිණි වෙට්ටපිත්තලයා
වෙළෙන්දාගේ රහස් පෙට්ටියේ ඇත්තේ මොනවා දැ යි නියමිත දිනට නො වරදවා ම කියා-දීමට
පොරොන්දු විය. අතිශය සතුටට පත් රජු වෙට්ටපිත්තලයාට වටිනා ගෙයක් ද මෙහෙ කරුවකු ද
කෑම බීම ද සැපැයුවේ ය. කපටියෝ දෙ දෙන ස දිනක් රජ සැප ලැබූහ. ස වැනි දින රාත්‍රී
කට්ටයා වෙට්ටපිත්තලයා අමතා “අපි රජ සැප වින්දා. හොඳට ම සන්තෝෂ වුණා. හෙට පැන-ලා යන්නත් බෑ. අපි මුහුදෙ පැන-ල මැරෙමු” යි කී ය.
“නමුත් අපට පීනන්න පුළුවන් නේ දැ?” යි සිය දිවි හානි කර ගැනීමට නො කැමැති වූ වෙට්ටපිත්තලයා පැවැසී ය.
“අපි මූද මැදට පීනමු. අත පය වාරු නැති
වෙන කල් පීනමු. එයිට පස්සෙ ගිලී මැරේවි.”
මෙසේ කතා කර ගත් දෙ දෙනා ම මූදට පැන පීනන්නට වූ හ. පීනා යන ඔවුනට එක්
මැණික් නැවක් පසු කරද්දී කුඩා ලමයකු ගේ කට හඬෙක් ඇසිණ.
“සීයෙ, සීයෙ නැව් අයිති කාරයා ගේ කෝකිය
උඹයි. උඹ නම් මේ රහස දන්නව ඇති.”
“දරුවො, උඹට මොනවට ද මේ ඕනෑ නැති දේවල්
?” මහල්ලකු ගේ කට හඬෙකින් කියැවිණ.
“මං අහන්න ආසයි. ඒක කියන කං මම
නිදා-ගන්නෙ නෑ” යි ළමයා කරදර කරන්නට විය.
“අනේ කියන්න ; අනේ කියන්න” යි ළමයා ගේ කරදරය නොනැවැත්තේ ය. අවසානයේ බැරි
ම තැන රහස
කීවේ ය :
“එහෙ නම් අහ-ගන්. ඔය යකඩ පෙට්ටිය ඇතුළෙ
පිත්තල පෙට්ටියක් තියෙනවා. පිත්තල පෙට්ටිය ඇතුළෙ රිදී පෙට්ටියක් තියෙනව. රිදී
පෙට්ටිය ඇතුළෙ රත්රන් පෙට්ටියක් තියෙනව. රත්රන් පෙට්ටිය ඇතුළෙ තියෙන්නෙ ලෝකෙ තියන
ඉතා ම මිහිරි සුවඳ පැන් අවුන්සයක්. දැන් ඉතින් නිදා-ගන්න.”
මේ දෙ බසට මහත් ඔනෑ කමින් කන් දී සිටි දෙ දෙන මුහුද මැද දී ම
එකිනෙකාට රහසේ ම ස්තූති කර-ගෙන නැවැතත් වෙරළට පීනූහ. පසු දා පාන්දර වෙළෙන්දා ගේ
ලෝහ පෙට්ටියේ වූ දේ කීමට වෙට්ටපිත්තලයා පොහොසත් වූ බවත් රජුට මැණික් නැව් හත හිමි
වූ බවත් කිව යුතු නො වේ. වෙට්ටපිත්තලයා ඒ මොහොතේ ම රාජකීය ජ්‍යෝතිශාශ්ත්‍රඥයා ලෙස
පත් කළ රජු ඔහු සමග පිළිසඳරෙහි යෙදී සිටියේ ය.
වෙට්ටපිත්තලයා රජු සමග රජ වාසලේ සිටිද්දී ඔවුන් ගේ ගෙදරට වහා දිව ගිය
කට්ටයා ඊට ගිනි ලෑවේ ය. හේ තමා ගේ අත් දෙක ද දවා-ගත්තේ ය. ඉක්බිති රජ වාසලට
දිව-ගිය හෙතෙම රජු ඉදිරියේ ම වෙට්ටපිත්තලයාට කතා කොට “අයියෝ ගුරු තුමා, මට සමා වෙන්න, ගේ විශාල ගින්නකින් දැවී-ගියා, ඔබේ
වටිනා පොත් පත් බේරා-ගන්න මම මහන්සි ගත්තා, ඒත් කිසි ම වැඩක් උණේ නැහැ” යි වැලැපෙන්නට විය.
මේ ආරංචිය ඇසූ වෙට්ටපිත්තලයා ළය පහරමින්, කෙස් සිඳ-ගනිමින් හඬා වැලැප
කඳුළු වැගුරුවේ ය. “අනේ, දැන් ඉතින් මට ආයෙත් සාත්තර කියන්න බෑ.
මගේ පොත් ටික ඉවරයි.”
රජ මහත් කරුණාවෙන් වෙට්ටපිත්තලයා අමතා ඔහු සැනැසීමට අමාත්‍ය ධුරයක්
පිරිනැමී ය. ඉන් පසු කට්ටයා ගේ පිළිස්සුණු දෑත් මහත් කරුණාවෙන් බැලූ රජ “මේ වගේ හිතවත් මෙහෙ කරුවන් බොහොම අඩුයි. උඹ උඹේ ස්වාමියා ගේ පොත්
ආරක්ෂා කරන්න ජීවිතෙත් සමඟ සටන් කළා. මටත් ඕනෑ, උඹ වගේ අය තමයි” කියා රාජකීය යුද හමුදාවේ සේනාධිපති තනතුරට ඔහු පත් කෙළේ ය.
නියමයි. යන්තමින්, අසම්පූර්ණව මතකයේ තිබූ කතාවක් අලුත් වුනා.🙏👌😊
ReplyDeleteතව මේ වගේ කීපයක් යන්තමට හිතේ තියනවා. පරණ පොත් අල්මාරිය අදින්න ඕනෑ. මතකද 'උඩුකුරුඤඤං' කතාව?
Deleteමේවා ගති!
ReplyDeleteහොඳටම තුති!!
අපි පොඩි කාලේ ඉහල පන්තිවල සිංහල, ඉංග්‍රීසි පොත් අමාරුවෙන් කියෙව්වා ඒවගේ තිබුන කතන්දරවලට තිබුන ආසාවට. අද පෙළපොත් එහෙම කියවන්න හිතෙනවද බලන්න!
Delete