බය හා කෝපය තුළ සැඟවගත් කොරෝනා 

                                භීෂණයෙන් මිදෙන මග

මුලින් කොරෝනා වී පසුව කොවිඩ් 19 වු වෛරසය සමස්ත ලෝකයට මෙන්ම ශ්‍රී ලංකාවට ද විසඳා ගැනීමට ප්‍රශ්න ගණනාවක් ඉතිරි කරමින් තවමත් ලෝකය පුරා පැතිරයමින් පවතී.  කොවිඩ් 19 වෛරසය විසින් වෛද්‍ය විද්‍යාවට එල්ල කරන ලද අභියෝග යම් දිනෙක මිනිසා විසින් ජයගනු ඇත. එහෙත් මිනිසාගේ චර්යා රටාවට  කොවිඩ් 19 විසින් කරන ලද අභියෝග ජය ගැනීමට මිනිසාට හැකිවේද? 

ශ්‍රී ලංකාවේ ජනතාව පාලකයින්  හා එක්ව පලමුව අභිමානයෙන් ද දෙවනුව වරද කාගෙදමානසිකත්වයෙන් ද  වෛරසයට මුහුණ දුන්හ. චීන ජාතික කාන්තාව සුවය ලැබීමත් සමගම කොරෝනා තුරන් කල ලෝකයේ පලමු රටලෙස අභිෂේක කරන ලද ශ්‍රී ලංකාව සැබෑවටම වෛරසයට ගොදුරු වෙද්දී රටේ බහුතරය කළේ ඇඟිල්ල දිගු කළහැකි පැති සෙවීමය. එම ඇඟිල්ල පලමුව ඉතාලි ශ්‍රී ලාංකිකයන්ට ද දෙවනුව මුස්ලිම් ජාතිකයන්ට ද දික් විය. මින් මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධව එසැවුන ඇඟිල්ල බොහෝ දුර යන්නට තිබුන ද වැලිසර නාවික හමුදා පොකුරට, සුදුවැල්ල කුඩු පොකුරට මෙන්ම මැතිවරණ උනුසුමට ද පින් සිදුවන්නට මුස්ලිම් විරෝධය මලානික විය. මේ තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොව ඉන්දියාව, එක්සත් රාජධනිය වැනි රටවල පවා දක්නට ලැබුන ලක්ෂණයකි. එසේ වුවද මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සමාන්තරව සුපුරුදු පරිදි මතුවන මුස්ලිම් ආක්‍රමණ භීතිකාව පාස්කු  ප්‍රහාර කොමිසම, දෙවනගල හා මුහුදු මහා විහාරය කේන්ද්‍ර කරගනිමින් පැනනැගී මැතිවරණයේ අවසානයත් සමග වියයුතු පරිදිම නිද්‍රාවට පත්විය. ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලිසෑය බිලි ගන්නා අමෙරිකන් කොරිඩෝවකට ඉඩ සලසමින් ගිවිසගැනීමට නියමිතව තිබුනැයි කියූ M.C.C. ගිවිසුමට අත්වූයේ ද ඒ සමානම ඉරණමකි.  මේ දිනවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇති පරිසර විනාශ විරෝධය ද මුස්ලිම් සබඳතාවක සහය නොමැතිව මලානික ස්වරූපයෙන් ගලා යනු දක්නට ලැබේ.

මෙම සිදුවීම් සියල්ල එකට ගත්විට පැහැදිලි වන කරුණු දෙකකි. එකක් නම්  නම් රටක පුරවැසියන්ට බෙහෙවින් සංවේදී වන මාතෘකාවක් අරබයා ආවේග ඇවිස්සූ විට තමන් කැමති පැත්තකට අවිචාරශීලීව ඔවුන් දක්කා ගැනීමේ පහසුව දේශපාලකයින් අවබෝධ කරගෙන ඇතිබවය. අනෙක් කරුන නම් මිනිසා ගන්නා තීරණ වල නිරවද්‍යතාව කෙරෙහි ඔහු තුළ පවත්නා බිය, සැකය, කෝපය හා වෛරය වැනි හැඟීම් ඇති කරණ තීරණාත්මක බලපෑමය. 

මෙවන් පසුබිමක ලොව පුරා දේශපාලකයින් හා පුරවැසි ජනතාව එකිනෙකාගේ සද්භාවයෙහි හා කැපවීමෙහි ගැඹුර උරගා බලද්දී මිනිසුන්ගේ චර්යා රටා පිළිබඳව හදාරණ විද්‍යාඥයින් පිරිසක් විසින් අප ගන්නා තීරණ කෙරෙහි බලපාන සාධක හා එම සාධකවල ස්වභාවය අනුව ගන්නා තීරණවල නිරවද්‍යභාවය හා අවදානම් සහගතබව රඳා පවතින අයුරු පිළිබඳව අධ්‍යයනයක් කළහ. මෙම අධ්‍යයනය පදනම්ව ඇත්තේ කෝවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හමුවේ  මිනිසා ගන්නා තීරණ කෙරෙහි මිනිස් සන්තානය තුළ ඇතිවන හැඟීම් ඇති කරන බලපෑම මත වුවත් වඩාත් වැදගත් වන්නේ එය කොවිඩි 19ට පමණක් සීමා නොකොට ඉන් ඔබ්බට ගොස් මෙම පර්යේෂණයේ නිගමන සමාජයීය හා දේශපාලනමය වූ ඕනෑම අවස්ථාවක් අවබෝධ කරගැනීම සඳහා යොදාගත හැකි වීමයි. මෙම පර්යේෂණයෙන් ඔවුන් උත්සාහ කළේ තීරණාත්මක අවස්ථාවලදී මිනිසාගේ වෙනස්වන හැඟීම් වලට අනුව ගනු ලබන තීරණ කොතෙක් දුරට මිනිසාගේ යහපතට හෝ අයහපතට හේතුවන්නේ ද යන්න සොයා බැලීමයි. ඔවුන් මෙහිදී යොදා ගත්තේ බය හා කෝපය යන චිත්තවේග දෙකයි.

 කොරෝනා වෛරස් අවදානම පිළිබඳ අපගේ ප්‍රත්‍යක්ෂඥානය බය හා කෝපය විසින් වෙනස් කරන හැටිනමින් sciencenews.org වෙබ් අඩවියට ලිපියක් සම්පාදනය කරන එහි ලේඛිකා සුජාතා ගුප්ත සඳහන් කරන්නේ පුද්ගලයින් අවදානම් කෙරෙහි එකිනෙකාට වෙනස් ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීම විද්‍යාව තුලින් පැහැදිලි කලහැකි බවයි.  එපමණක් නොව,  අද බොහෝ දෙනෙක් මුහුණ දී ඇති පරිදි, පිළිතුරු පැහැදිළි නොවන අවස්ථාවල ක්ෂණික තීරණ ගැනීමෙන් ඔබ්බට ගොස්  ඥානාන්විත තෝරා ගැනීමක් කිරීම සඳහා මග පෙන්වීමක් කිරීමට ද විද්‍යාවට හැකියාවක් තිබෙන බව පවසන ඇය, පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකාවක වූ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ රාජ්‍ය පාලනය පිළිබඳ  ජෝන් එෆ්. කෙනඩි විද්‍යායතනයේ චර්යාවාදී විද්‍යාඥවරියක වන ජෙනිෆර් ලර්නර් සමග පවත්වන පහත දැක්වෙන සාකච්ඡාවෙන් එම පර්යේෂණය තුළින් කළ සොයා ගැනීම් පිළිබඳව තව දුරටත් විස්තර කරයි. 

මෙම වසංගතයේ අවදානම ගැන තක්සේරුවක් ඇතිකර ගන්න මෙතරමි අමාරු ඇයි?

අපි දන්නවා කලින් අනුමාන කළ නොහැකි, අවිනිශ්චිත වූ ඕනෑම දෙයක් අනතුරක් පිළිබඳ ජනතාවගේ හැඟීම ඉහල නංවනවා. අවදානම් සංජානනය පිළිබඳ අප දන්නා බොහෝ දේවල් පෝල් ස්ලොවික්ගෙන් (ඔරිගොන්      විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙක්) ලැබුන දේවල්. ඔහු සොයාගත්තා ඉතා ඉහල අවදානම් සහිත දේවල් උනත්  නිසැක, පුරෝකතනය කළහැකි හා  පුද්ගලයින්ගේ පාලනයට යටත්ව තිබෙන දේවල් ලෙස පෙනෙන්නේ නම් අඩු අවදානම් සහිත දේවල් ලෙස සලකනු ලබන බව. උදාහරණයක් ලෙස ඉතා ඉහල  හදිසි අනතුරු අනුපාතයක් පෙන්වූවත්  පුද්ගලයින්ගේ පාලනය යටතේ තිබෙන නිසා  පිස්තෝල වැනි කුඩා ගිනිඅවි ආරක්ෂා සහිත බව මිනිසුන් සිතනවා. අනෙක් අතට අවිනිශ්චිත, පුරෝකතනය කළ නොහැකි, පාලනයෙන් තොර දේවල් වැඩි අවදානමක් සහිත ලෙස පෙනෙනවා.

පුරෝකතනය කළ නොහැකි දේ වලට විකීරණශීලී අපද්‍රව්‍ය, DNA තාක්ෂණය හා න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරක අනතුරු ඇතුළත් කළහැකියි. කොවිඩ් 19 ද මේ ගණයටම අයත් වෙනවා. එයට  දීර්ඝ සැඟවුනු අවධියක්  තිබෙන අතරම ප්‍රතික්‍රියා දක්වන ආකාරය ද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්.

අනෙකුත් පර්යේෂණ වලින් පෙනීයන්නේ ගනු ලබන නොයෙකුත් ක්‍රියාමාර්ග නිවැරදි තක්සේරුවකට ලක්කර යහපත් ප්‍රතිඵල හා ප්‍රතිවිපාක අවබෝධ කරගැනීමට තරම් යහපත් මානසික මට්ටමක ඉතා දීර්ඝ කාලයක් අධික ආතතියකට ලක්වූ පුද්ගලයින් නොසිටින බවයි. එසේ වුවත් තීරණ වලට එළඹ ස්ථාවර බවක් ඇතිකර ගැනීමේ     අවශ්‍යතාව ද අනෙක් අතින් ඇතිවෙනවා.  අප දැනට සිටින තත්ත්වය මේකයි.

ඔබේ පර්යේෂණයෙන් කෙරෙන්නේ තීරණ ගැනීම කෙරෙහි හැඟීම්  කෙසේ බලපාන්නේදැයි සොයා බැලීමයි. ඒ ගැන කියන්න පුළුවන්ද?

බොහෝ මනෝ විද්‍යාඥයින් දැන් උපකල්පනය කරන්නේ හොඳට හෝ නරකට ජීවිතයේ බොහෝ අර්ථවත් තීරණ ගැනීමේ ගාමක බලය වන්නේ හැඟීම් බවයි.

මීට පෙර තිබුන විශ්වාසය වූයේ  මිනිසුන් බය, තරහ, සාංකාව, විරෝධය හා ඉච්චාභංගත්වය වැනි නිෂේධාත්මක හැඟීම්වලට භාජනය වනවිට ඔවුන් තුළ සර්වඅශුභවාදී ආකල්ප ගොඩනැගී සෑම දෙයක්ම සාමාන්‍ය තත්ත්වයකදී දකිනවාට වඩා අවදානම් සහගත ලෙස දකිනු ඇත යන්නයි. නමුත් සත්‍යය මෙය නොවේ. අප විසින් කරන ලද  අධ්‍යයන බොහෝ ගණනකින් පෙනීයන්නේ බය විසින් බයත් සමගම ඇතිවන  අවදානම පිළිබඳ හැඟීම ඉහල නංවන අතර කෝපය අවදානම පිළිබඳ හැඟීම අඩු කරන බවයි. ලොව පුරා ඇති විද්‍යාගාර ද මෙම සොයාගැනීම තහවුරු කර ඇත.

එහි තර්කානුකූල බවක් ද වේ. බය ඉබේම අවිනිශ්චිතතාව පිළිබඳ හැඟීමක් මෙන්ම සිදුවන්නට යන්නේ වැලැක්විය නොහැකි දෙයක් යන හැඟීම ද උපදවයි. එහෙත් කෝපය උපදවන්නේ මීට ප්‍රතිවිරුද්ධ ආකාරයේ හැඟීම් රටාවකි. මිනිසුන් කෝපයෙන් උමතු වූ විට සෑම දෙනෙකුගේම පාලනයෙන් තොර සාධක නිසා අයහපත් ප්‍රතිඵල ඇති වූ බව විශ්වාස කරන්නේ නැත. ඔවුන් වරද පටවන්නේ පුද්ගලයෙකු වෙතයි. එහි නිවැරදි බව  පිළිබඳ අචල විශ්වාසයක් ඔවුන් තුළ තිබෙනවා.

බයට පත් හා කෝපයට පත් මිනිසුන් සසඳන ඔබගේ පර්යේෂණ සැබෑ ජීවිතයේදී ඉදිරියට යන්නේ කෙසේද?

 අපි අධ්‍යයන කිහිපයක් කළා. සැප්තැම්බර් 11 ප්‍රහාරයේ ඛේදවාචකයත් සමගම ලෝකව්‍යාප්ත සිදුවීමක් චිත්තවේග ප්‍රතිචාර මතුකරන්නේ කෙසේදැයි අධ්‍යයනය කිරීම සඳහා. අප යොදාගත් නිදර්ශක මුළු රටම  නියෝජනය වන පරිදි තෝරාගත්, පොදුවේ එක්සත් ජනපදයේම ජනගහණය නිරූපනය වන සේ යොදාගත් ඒවා.

පළමුව අපි ප්‍රහාර සිදුවූ ආසන්නම කාලයේදී ප්‍රශ්නාවලියක් භාවිත කරමින් මිනිසුන් තුළ බිය හා සාංකාව නැතිනම් කෝපය හා විරෝධය කෙරෙහි ඇති නැමියාව පිළිබඳව සොයා බැලීමක් සිදුකලා. මාස දෙකකට පසු තරහව හෝ බය ජනිත කලහැකි ප්‍රවෘත්ති වාර්තාවක් අහඹු ලෙස ඔවුන්ට කියවීමට දීමෙන් අපි පරීක්ෂණයක් කළා සහභාගිවූවන් තුළ හැඟීම් ඇවිස්සීමට හැකියාවක් ඇත්දැයි සොයා බැලීම සඳහා. සහභාගිවූවන්ගෙන්, කෝප සහගත සිතුවිළි වලින් පෙලුන අයට වඩා සාංකාව හා බිය අත්විඳීමට වැඩි නැමියාවක් දැක්වූ අය, එසේත් නැතිනම් බිය දනවනසුළු කතා කියවීමට කැමැත්තක් දැක්වූ අය ආරක්ෂිත ඇඳුමක් මිලදී ගැනීම හෝ ලැබෙන ලිපි ඇන්ත්රැක්ස් භීතිකාව නිසා පූර්ව පරීක්ෂාවකට ලක් කිරීම වැනි අවදානම් වැලැක්වීමේ පියවර ගන්නා බව කීමට තිබූ ඉඩකඩ වැඩිබව පෙනුනා. මූලික වශයෙන් බය හා කෝපය මිනිසුන්ගේ අනතුරු පිළිබඳ සංජානනය, අනතුරක් ඇතිවීමේ අවදානමක් ඉදිරියේ ගැනීමට කැමති පියවර, කරන තෝරාගැනීම් හා සහය දක්වන ප්‍රතිපත්ති කෙරෙහි ඇතිකරන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ බලපෑම්.

9/11 ප්‍රහාරයෙන් වසරකට පමණ පසුව අප නැවතත් සහභාගිවන්නන් තුළ බය හා කෝපය ඇතිවන ආකාරයේ පෙළඹවීම් ඇති කළා. අනතුරු අවදානම් සංජානනය පිළිබඳව අපට ලැබුනේ එම ප්‍රතිඵලයමයි. නමුත් අපට තවදුරටත් දකින්නට ලැබුනා මෙසේ පෙළඹවීම් තුළින් ඇතිකරන ලද හැඟීම් අනාගතය පිළිබඳව ඔවුන්ට දැනුන දේට විතරක් නෙමෙයි අතීතය පිළිබඳව දැනුන දේටත් බලපෑමක් ඇතිකළා කියල. ඔවුන්ගේ හැඟීම්වලට බලපෑම් කරල හැසිරවීමක් කළා කියල මිනිසුන්ට දැනුනෙවත් නැහැ.      

ඔබ සත්‍ය පුවත් භාවිතකර සොයාගත්තා චිත්තවේග හැසිරවීම පහසු බව. අප අසත්‍ය පුවත් කියවීමේදී සිදුවන්නේ කුමක්ද?

මනුෂ්‍යයින් හැඟීම් අවුස්සන සුළු කතා තුළින් මෙහෙයවනු ලැබීමට දැඩි අනුකූල බවක් දක්වනවා. සත්‍ය, අලුත් කතාවලට වඩා ව්‍යාජ පුවත්වලට පුළුවන් අපගේ හැඟීම්වලට බලපෑම් කරන්නට. මක් නිසාද යත් ඒවා විශේෂයෙන් සැලසුම් කර තිබෙන්නේ අපගේ හැඟීම්වලට බලපෑම් කරන්නමයි.

සැප්තැම්බර් 11 සිදුවීමට වඩා මෙම වසංගත තත්ත්වය ව්‍යාකූලයි. ඊට හේතුව තමයි සැප්තැම්බර් 11 සිදුවීමට වසරකට පසුව ඊට අදාළ කරුණු පිළිබඳව වඩාත් පැහැදිලිබවක් කිබුනා. වසංගතය පිළිබඳව අපි තවමත් හරිම ටිකයි දන්නේ. අපිට නිවැරදි දත්ත ලැබි නැහැ. පුද්ගලයින් කීදෙනෙකුට ආසාදනය වෙලාද, කීදෙනෙක් සුවය ලබා තියනවද වැනි කරුණු පිළිබඳ.

අපගේ අධ්‍යයනවලින් ලැබෙන එක සංඥාවක් තමයි පුරවැසියන්ට ආරක්ෂාවක් අවශ්‍යයි හැඟීම් උත්තේජනය හරහා ඔවුන් මෙහෙයවනු ලැබීමට එරෙහිව, විශේෂයෙන් තමන්ගේ ජීවිතයේ වෙනස්කම් ඇතිකරන කරුණු වලට අදාළව. 9/11 ප්‍රහාරයට පසුව වගේම වර්තමාන වසංගත තත්ත්වයට පසුවත් ඇතිවන හැඟීම්වල ප්‍රබලත්වය ගනු ලබන තීරණ කෙරෙහි තීරණාත්මක බලපෑමක් කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස වෙළඳසැල් නැවත විවෘත කිරීමට ගන්නා තීරණ හෝ ව්‍යාජ ප්‍රතිකාර මිලදී ගැනීමට තරම් බයට පත්වීම වගේ. 

 ඒ කියන්නෙ බය හොඳ දෙයක් නොවුනත් එය සෞඛ්‍ය අර්බුදයක් ඇති අවස්ථාවකදී කෝපයට වඩා ආරක්ෂාකාරී ආවේගයක්?

බය නැත්නම් කෝපය යන දෙකින් ඹ්නෑම එකක අන්තයට යාම තම පවුල වෙනුවෙන් වඩා හොඳ දේ තෝරාගැනීමට සිදුවන අවස්ථාවලදී ගන්නා තීරණවලට ද හානිකරයි. මිනිසුන් තුළ පවත්නා කෝප සහගත ස්වභාවය වැඩි වන්නට වැඩි වන්නට අවදානම පිළිබඳ ඔවුන්ගේ සංජානනය ද අඩුවෙනවා. කෝප සහගත සිතුවිළි සහිතව සිටින කාලය දීර්ඝ වනවිට අවදානම පිළිබඳ  ඔවුන් තුළ ඇති සංවේදීබව ද අඩුවෙනවා. දිගුකලක් පවතින කනස්සලු ස්වභාවය නිසා අවදානම් වලින් වැළකීමට මිනිසුන් පෙළඹෙනවා. එසේ වුවත් උවමනාවට වඩා දිග කාලයක් ඉහල කනස්සලු ස්වභාවයෙන් සිටීම  ප්‍රතිශක්තිකරණ පද්ධතිය යටපත් කරන කෝටිසොල් ( ආතතිය හා සම්බන්ධ හෝමෝනයක් ) වැඩි වශයෙන් ශ්‍රාවය වීමට හේතුවක්. එමෙන්ම දිගටම උවමනාවටත් වඩා ඉහල සුපරීක්ෂාකාරී බවකින් ඉන්න පුද්ගලයින්ට සුළු අනතුරු වලින් ලොකු අනතුරු වෙන්කර හඳුනාගන්න අපහසු වෙනවා.

හැඟීම් නිසා අප අමාරුවේ වැටෙනවා නම්, වඩා හොඳ තීරණ ගැනීම සඳහා කලයුත්තේ කුමක්ද?

තීරණ ගැනීම සඳහා හැඟීම් වටිනා මගපෙන්වීමක් කරනවා. එය ප්‍රජානනයට වඩා වේගවත් ක්‍රියාවලියක්. අපට අනතුරක් වලක්වා ගැනීම සඳහා ක්ෂණිකව ඉවතට පනින්නට නැත්නම් පැන දුවන්නට සිදුවන අවස්ථාවකදී බය, තරහව, අවිශ්වාසය වැනි හැඟීම් බෙහෙවින් උපකාරී වෙනවා.

 අපි අමාරුවේ වැටෙන්නේ ඉතාමත් තීව්‍ර ලෙස උත්සන්න වූ හැඟීම් අත්විඳින්නට සිදු උනොත් තමයි. ඒවා කොපමණ ප්‍රබල ද කියනවනම් අවදානමක් ගතයුත්තේ ආදායම් ඉපයීම වෙනුවෙන් ද නැතිනම් සෞඛ්‍යය වෙනුවෙන් ද වැනි තෝරාගැනීමක් කිරීමට සිදුවන අවස්ථාවකදී අනිවාර්යයෙන්ම ගැනීමට සිදුවන තීරණ ක්‍රමවත්ව ගැනීමේ ශක්තිය අක්‍රිය කරන්නට එම හැඟීම්වලට  පුළුවන්.

 අපි ලෝකය පුරාම විවිධ රටවල කෝවිඩ් 19ට අදාළව මෙම ප්‍රශ්නය ගැන ඉතා උනන්දුවෙන් පර්යේෂණවල නියැලෙනවා. එක් අධ්‍යයනයක් අවධානය යොමුකරනවා අවදානම් පිළිබඳව සන්නිවේදනය කරන ආකාරය  කෙසේද ජනතාවගේ අවදානම් වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ග පිළිපැදීම කෙරෙහි බලපාන්නෙ කියල. අනෙක්         අධ්‍යයනය හැඟීම් පාලනය කිරීම හා ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

 අපේ බලාපොරොත්තුව තමයි මෙම අධ්‍යයන වලින් කරන සොයාගැනීම් අපට උපකාරි වෙයි කියල බිය හා කෝපය වැනි නිෂේධාත්මක හැඟීම් අඩු කර ගන්නටත් කෘතගුණ සැලකීම හා කරුණාව වැනි සාධනීය හැඟීම් වර්ධනය කර ගන්නටත් ජනතාවට ඉගැන්විය හැකි ක්‍රමෝපාය හඳුනාගන්නට. එවිට ඔවුන්ට පුළුවන් වෙයි නිවැරදි විනිශ්චයන්ට හා තීරණවලට එළඹීමට.

කෝවිඩ් 19 වෛරසය වැනි මිනිස් සංහතියේ පැවැත්මට තර්ජනයක් වූ අවස්ථාවක ඉතාමත් නිවැරදි තීරණය නිවැරදි මොහොතේ ගැනීමේ අවශ්‍යතාව අමුතුවෙන් පැහැදිළි කළයුත්තක් නොවේ. ඒ සඳහා පිටිවහලක් වන මෙවැනි පර්යේෂණ වල ප්‍රතිඵල සර්වකාලීන වේ. මක් නිසාද යත් අනාගතයේ පැන නැගිය හැකි ව්‍යසන සඳහා ද මනා ආයෝජනයක් වන බැවිනි. පටු අවශ්‍යතා ඉටු කරගැනීම සඳහා මිනිස් මනස කෘතිම ලෙස හැසිරවීම් නිෂේධ කර දැමිය හැකි බැවිනි.  ආසාදිත සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාව ද ඉහල අමෙරිකා එක්සත් ජනපදය කෝවිඩ් 19 පාලනයෙහි ලා අසාර්ථකත්වයේ සංකේතයක් ලෙස සැලකුම් ලැබුවද සැලසුම් සහගතව ගන්නා මෙවැනි පියවර දීර්ඝ කාලීනව රටක් මේ හා සමාන ව්‍යසනයන්ට වඩාත් හොඳින් මුහුණ දීමට රුකුළක් වෙයි. එපමණක් නොව ලිපිය ආරම්භයේදී ද සඳහන් කළ පරිදි කෘතිම ලෙස ගොඩනගන ලද කල්පිත හරහා ජනතා මනස  පාලනය කරනු ලැබීමේ අභියෝගවලට විසඳුම ද මෙවන් පියවර මත රඳා පවතී. චර්යාවාදී විද්‍යාඥ ජෙනිෆර් ලර්නර් මෙම තත්ත්වය අපූරුවට වචනවලට නැගුවේ ඔවුන්ගේ හැඟීම්වලට බලපෑම් කරල හැසිරවීමක් කළා කියල මිනිසුන්ට දැනුනෙවත් නැහැ.යනුවෙනි.  අප රටේ ද මෑතකාලීන ඉතිහාසයෙහි තීරණාත්මක සිදුවීම් කීයක් අලලා මේ වචන පෙළ අපට භාවිත කළ  හැකි වේදැයි මෙනෙහි කර බැලීම වැදගත් වේ.

මෙම ලිපියට පාදක වූ සුජාතා ගුප්තගේ How fear and anger change our perceptions of Coronavirus" ලිපිය https://www.sciencenews.org වෙබ් අඩවියට පිවිසීමෙන් කියවිය හැකිය. 

                  

 

  

No comments:

Post a Comment