මේ, "The Big Sea" නමින් ලියැවුන ලැංග්ස්ටන් හියුස්ගේ ස්වයං- ලිඛිත චරිතාපදානයේ "Salvation" නම් වන තුන්වන පරිච්ඡෙදයේ පරිවර්තනයකි. මෙහි විශේෂත්වය නම් එය කෙටිකතාවක් සේ ගෙන රසවිඳිය හැකි පූර්ණ නිර්මාණයක් වීමයි. බොහෝදෙන මෙය ආගම හා ඇදහිලි ගැන කෙරෙන විවේචනාත්මක බැල්මක් ලෙස දකින්නට කැමති වුවද මගේ කියවීම ඊට මදක් වෙනස් වෙයි. මා සිතන්නේ සංකේතාත්මකව ගතයුතු ආගමික සංකල්ප ආශ්චර්යාත්මක සිදුවීම් ලෙස ගෙන අන්ධ භක්තියෙන් ඇදහීම ආගමට මෙන්ම මිනිස් චර්යාවනට ද ඇති කරන බලපෑම මින් ඉස්මතු කෙරෙන බවයි. රීඩ් නැන්දා විසින් ලැංග්ස්ටන් ගේ ලමා සිතට ඇතුළු කරන ජේසුතුමන් පැමිණීම, බැටළු පැටවුන් ගලවා ගැනීම, ආලෝකයක් දැකීම හා ආත්මයේ ඇතිවන වෙනස උදාහරණ වෙයි. කුඩා ලැංග්ස්ටන්ගේ සිතෙහි ඇතිවන ප්‍රතිචාරය කතාවේ අවසන් වැකියෙන් සනිටුහන් වෙයි. සිනමාකරුවකු සමීප රූප, මධ්‍යම රූප හා දුර රූප සම්මිශ්‍රණයෙන් අර්ථ ගොඩනගන්නාක් මෙන් පූජකවරයා, රීඩ් නැන්දා, බැතිමතුන් සමූහය වරින්වර ඉදිරියෙහි හා පසුබිමෙහි තබමින් කතුවරයා අරුත් දනවන ආකාරය අපූරුය. (ඡායාරූපය centerforfiction.org වෙබ් අඩවියෙනි)
ගැලවීම
මා පාපයෙන් ගලවා ගනු ලැබූයේ මට වයස දහතුනක් වෙද්දි. ඇත්තටම ඒක ගලවා ගැනීමක්ම නෙමෙයි. ඒක උනේ මෙහෙමයි.
මගේ රීඩ් නැන්දාගේ පල්ලියේ ලොකු පූජා මාලාවක් තිබ්බා. සති ගණනාවක්ම හැම රාත්‍රියකම දේශනා, ගායනා, යාඥා, ඝෝෂා කිරීම් එක දිගටම. පාපක්‍රියාවල යෙදුන මහා පව්කාරයන් ගණනාවක්ම ක්‍රිස්තුන්වහන්සේ ඉදිරියට පමුණුවනු ලැබුවා. පල්ලියේ සාමාජික බැතිමතුන් සංඛ්‍යාව වැඩි උනේ පුදුම විදිහට. මේ පූජා මාලාව ඉවරවෙන්න ලං වෙනකොට විශේෂ පූජාවක් තිබ්බා ලමයින් වෙනුවෙන්ම, බැටළු පැටවුන් දෙවියන්ගේ සෙවනට කැඳවාගැනීම සඳහා. මගේ නැන්දා මේ ගැන කතාව පටන් ගත්තේ ඒක තියන්න දවස් ගණනාවකට ඉස්සරල ඉඳලමයි. ඒ රාත්‍රියේ මාව ඉදිරි පේලියේ පසුතැවිලි වන්නන්ගේ බංකුව වෙත කැඳවාගෙන ගිහින් ජේසු තුමන් වෙත නොගිය අනෙකුත් පුංචි පව්කාරයන් සමග වාඩි කෙරුවා.
මගේ නැන්දා කිව්වෙ “ඔයාට ගැලවීම ලැබුනහම ආලෝකයක් දකින්නට ලැබෙනවා, ඔබේ අභ්‍යන්තරයෙහි අපූරු දෙයක් සිදුවෙනවා. ඒ කියන්නෙ ජේසුතුමන් ඔබේ ජීවිතයට ආව කියන එකයි” කියල. “එතැන් සිට දෙවියන් වහන්සේ ඔබත් සමගයි. ඔබට ඔබේ ආත්මය තුළ ජේසුස් වහන්සේ දකින්න, අහන්න, විඳින්න පුළුවන්”, ඇය කිව්වා. මම ඇය විශ්වාස කළා. මම අහල තිබුන වයසක අය ගොඩදෙනෙක් ඒ දෙයම කියනවා. ඒ ගොල්ලන්ට වරදින්න විදියක් නෑනෙ. ඉතිං ජේසුතුමන් මා වෙත එනතෙක් මිනිසුන් පිරිල උනුසුම් වූ පල්ලිය ඇතුළේ මම නිශ්චලව වාඩිවෙලා බලාගෙන හිටියා.
පූජකතුමන් කෙඳිරිලි, කෑගැසීම් හා හුදෙකලා වැලපීම් වලින් පිරි නරකාදියෙහි භයානක චිත්‍රයක් අඳිමින් රිද්මයානුකූලව අපූරු දේශනයක් කළා. ඒත් එක්කම රැකවරණය ලැබූ පුංචි බැටළු පැටවුන් අනූනම දෙනෙකුත් අතරමංව මග ඇරුන එක් පුංචි බැටළු පැටවෙකු ගැනත් ගීතයක් ගායනා කළා. ඊලඟට ඔහු, “ඔබ එන්නෙ නැද්ද? ඔබ එන්නෙ නැද්ද, ජේසු තුමන් වෙත? බැටළු පැටවුනි, ඔබ එන්නෙ නැද්ද?” කියමින් දෑත් පසුතැවිලි වන්නන්ගේ බංකුවේ වාඩි වී සිටි තරුණ පවුකාරයන් වූ අප සියළු දෙනා වෙත දිගු කළා. පුංචි ගැහැණු ලමයි අඬන්නට පටන් ගත්තා. ඉන් සමහරක් ඉදිරියට පැන කෙලින්ම ජේසු තුමන් වෙත ගියා. ඒත් අපි වැඩි දෙනෙක් එහෙමම ඉඳගෙන හිටියා.
වයසක උදවිය බොහෝ දෙනෙක්; කළු වූ මුහුණුත් හැඩපළු ගෙතුන කෙසුත් ඇති වයසක ගැහැණුන් වගේම වැඩ කරලම ගොරෝසු වූ අත් ඇති වයසක මිනිසුනුත් ඇවිත් අප වටා දණ ගහලා යාඥා කළා. මලානිකව දැල්වෙන පහන් හා ගැලවීම ලැබිය යුතු අසරණ පව්කාරයින් ගැන මුළු පල්ලියම ගීතිකාවක් ගායනා කළා. යාඥා හඬින් හා ගීතිකා හඬින් මුළු ගොඩනැගිල්ලම දෙදරුම් කෑවා.
මම තවමත් ජේසුතුමන් දකින්න බලාපොරොත්තුවෙන් එහෙමම හිටියා. අන්තිමේදී තව එක් ලමයෙකුත් මමත් හැරෙන්නට අනෙක් සියළුම ලමයින් අල්තාරය වෙත ගොස් ගැලවීම ලැබුවා. අනෙක් ලමයා වෙස්ලි, බේබදු, රස්තියාදුකාරයෙකුගේ පුතෙක්. යාඥා කරන කන්‍යා සොයුරියනුත් උපස්ථායකයිනුත් අපව වටකරගත්තා. පල්ලිය ඇතුළෙ හොඳටම රස්නෙයි. ඒ මදිවට දැන් හුඟක් පරක්කු වෙලා. අන්තිමේදී වෙස්ලි මගේ කණට කෙඳුරුවා, “අනේ දෙයියනේ, හෙන ගහන්ඩ, මට නම් දැන් මෙතන ඉඳගෙන ඉඳල එපාවෙලා. අපිත් ගිහිල්ල ගැලවීම ලබමු.” ඔහු නැගිටල ගිහින් ගැලවීම ලබාගත්තා.
පසුතැවෙන්නන්ගේ බංකුවේ මම විතරක් තනි උනා. පුංචි පල්ලිය ඇතුළේ යාඥා, ගීතිකා රැව්, පිළිරැව් දෙද්දී මගේ නැන්දා ඇවිත් මා පාමුල දණ ගහගෙන ඇඬුවා. පල්ලියේ සියළුම බැතිමතුන් මා වෙනුවෙන්ම කළ යාඥා ඇහුනේ මහා හඬින් නැගුන විලාප හා කෙඳිරිලි වලින් පිරි ඝෝෂාවක් වගෙයි. මම ඉතා සන්සුන්ව බලා සිටියේ ජේසුතුමන් වඩින තෙක්. කොපමණ වෙලා බලා හිටියත් ඔහු ආවෙ නෑ. මට ඔහු දකින්නට ඕනැ උනා. ඒත් මට කිසිවක් දැනුනෙ නෑ. මොකක්වත්ම උනේ නෑ. මට ඕනැ උනා මා තුළ යමක් සිදුවෙනවා දකින්නට. ඒත් කිසිවක් සිදු උනේ නෑ.
මට ගීතිකා ඇහුනා, පූජකතුමන්ගේ හඬ ඇහුනා, “ඇයි ඔබ එන්නෙ නැත්තෙ? මගේ ආදරණීය දරුව, ඇයි ඔබ ජේසුතුමන් වෙත එන්නෙ නැත්තෙ? එතුමන්ට ඔබ අවශ්‍යයි. ඇයි ඔබ එන්නෙ නැත්තෙ? රීඩ් සොයුරිය, මොකක්ද මේ දරුවගෙ නම?”
“ලැංග්ස්ටන්”, නැන්දා ඉකිි බින්දා.
“ලැංග්ස්ටන්, ඇයි ඔබ එන්නෙ නැත්තෙ? ඇයි ඔබ ඇවිත් ගැලවීම ලබාගන්නෙ නැත්තෙ? දෙවියන්ගේ බැටළු පැටියා! ඇයි ඔබ එන්නේ නැත්තෙ?”
දැන්නම් හොඳටම වෙලා ගිහින්. මට මං ගැනම ලැජ්ජා හිතෙන්න පටන් ගත්තා, හැම දෙයක්ම මෙච්චර වෙලා නවත්තගෙන හිටපු එක ගැන. මට කල්පනා උනේ, දෙවියන් මොනව හිතනව ඇත්ද වෙස්ලි ගැන. එයත් ජේසුස් වහන්සේ දැක්කෙ නැති උනාට දණහිස ලඟට එනකල් තියන බාච්චු කලිසම් කකුල් වන වන, ආඩම්බරෙන් වේදිකාවෙ වාඩිවෙලා ඉන්න ගමන් මං දිහාට විරිත්තනවා. උපස්ථායකයිනුත් වයසක ගැහැණුත් ඒ ගොල්ලන්ගෙ දෙපා ලඟ වටවෙලා යාඥා කරනවා. දෙවියන් වෙස්ලිට මාරාන්තික දඬුවමක් කළේ නෑ එතුමන්ට අපහාස කරා කියලවත්, පල්ලියෙදි බොරු කිව්වා කියලවත්. ඉතිං, මං තීරණය කලා තවත් කරදර කරනවට වැඩිය ජේසුතුමන් වැඩියා කියල බොරුවක් කරල මාත් නැගිටල ගිහිල්ලා ගැලවීම ලබාගන්න එක හොඳවෙයි කියල.
එහෙම හිතල මං නැගිට්ටා.
මං නැගිටිනව දැක්ක විතරයි මුළු ශාලාවම ඝෝෂාවෙන් පිරිල ගියා. සතුට පිරිල ඉතිරිල ගියා. ගැහැණු උඩපැන්නා. මගේ නැන්දා මාව බදාගෙන වැළඳගත්තා. පූජකතුමන් මාව අතින් අල්ලගෙන වේදිකාව වෙතට කැඳවාගෙන ගියා. සියල්ල සන්සුන් උනාට පස්සෙ, අතරින් පතර අධික ප්‍රීතිය නිසා නික්මුන "ආමේන්!"කිහිපයක් හැරෙන්නට රජවුන නිශ්ශබ්දතාව මැද සියළුම නවක, තරුණ බැටළු පැටවුන්ට දෙවියන් ගේ නාමයෙන් ආශිර්වාද කරනු ලැබුවා. ප්‍රීතිමත් ගැයුම් වලින් මුළු ශාලාවම පිරුනා.
එදා රාත්‍රියේ අවුරුදු දොලහක ලොකු ලමයෙක් වූ මගේ ජීවිතයේ, තව එක් වරක් හැරෙන්නට, අවසාන වතාවට මම හැඬුවා, ඇඳට වෙලා නවතා ගන්නට බැරි තරමට තනියම හැඬුවා. මම කොට්ටෙට මුහුණ තද කරගෙන හිටියත් නැන්දට ඇහුනා. ඇය අවදිවෙලා මාමට කිව්වා මම අඬන්නෙ ශුද්ධ වූ ආත්මය මගේ ජීවිතයට ඇවිත් තියන නිසාත්, මට ජේසුතුමන් දර්ශනය වූ නිසාත් කියල. ඒත් මම ඇත්තටම ඇඬුවේ මම බොරු කියූ බව, ජේසුතුමන් නොදුටු බව, මම පල්ලියේ සියළුදෙනාම රැවටූ බව ඇයට කියන්න බැරි නිසයි. මට උදව් කරන්න නොපැමිණි නිසා ජේසුස් සිටින බව මා තවදුරටත් විශ්වාස නොකළ නිසයි.
👍........
ReplyDelete