සිංගප්පූරුවක් වන්නේ කෙසේද?

 

                                   

                                              ( 2020-11-22 'රාවය' පුවත්පතේ පළවිය.)

                                                          සිංගප්පූරුව වගේ වෙමුද?

මනුෂ්‍ය ස්වභාවය දහයෙන් නවයක්ම හුරු කිරීම මත ද දහයෙන් එකක් පමණක් ජාන මත ද රඳා පවතී. හුරු කිරීම මත රඳා පවතින කොටස අධ්‍යාපනයෙන් හැඩගැසිය හැකි අතර ජානමය කොටස ද කාලයගේ ඇවෑමෙන් විද්‍යාවට අනුගත වීමට ඇති ඉඩකඩ බොහෝය.බර්ට්‍රන්ඩ් රසල් (Has Man a Future?) 


    

රටක් සීඝ්‍ර ආර්ථික වර්ධනයක් අත්කරගත් විට ඊට හේතුසාධක වූ කරුණු සොයාබැලීමත් එම රට විසින් අනුගමනය කළ ප්‍රතිපත්ති අනුකරණය කිරීමට යොමුවීමත් මෑත යුගයේ ලොව පුරා දක්නට ලැබුන ප්‍රවනතාවකි. එසේ ලොව පුරා අවධානයට ලක්වූ, විශේෂයෙන් ආසියානු කලාපයේ අවධානයට ලක්වූ රටකි, සිංගප්පූරුව.

එහි ආර්ථික සෞභාග්‍යය කෙතරම්ද යත් “අපට බලය දුන්නොත් ලංකාව සිංගප්පූරුවක් කරනවා“යනුවෙන් චන්ද පොරොන්දුවක් ද අප රටෙහි බිහිවිය. පොරොන්දු දුන් අයට බලය හිමිවුවත් ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් වූ බවට නම් සාක්ෂි නැත. එම පොරොන්දුව තවදුරටත් වලංගු නොවන්නේ අපගේ දැන් ඉලක්කය තවත් චීනයක් වීම නිසයි. එහෙත් මෙහි ඇති උත්ප්‍රාසය වන්නේ මුල් යුගයේ සිංගප්පූරුවට අවශ්‍ය වී තිබුනේ තවත් ලංකාවක් වීමට නිසාය.

ආර්ථික වර්ධනයෙන් කෙසේ වෙතත් මෙම රටවල් දෙක සමාන වන වෙනත් කරුණු ඇත්තේය. එකක් නම් කවුරුත් දන්නා පරිදි දෙරටම දූපත් රාජ්‍ය වීමය. අනෙක් කරුණ නම් ජන සංයුතියයි. ශ්‍රී ලංකාව සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී ජාතීන්ගෙන් සමන්විත වන අතර සිංගප්පූරුව චීන, මැලේ හා ඉන්දියන් ජාතීන්ගේ එකමුතුවෙන් සැදී ඇත. බොහෝ විට සිදුවන පරිදිම මෙම රටවල් දෙකේම විවිධ ජනකොට්ඨාශ අතර ගැටුම් ඇතිවී ඇත. අප රට තුළ විනාශකාරී ගැටුම් ගණනාවක්ම සිදුවී ඇතත් ඒ අතරින් නැවත නැවතත් කතාබහට ලක්වන්නේ 1915 සිංහල මුස්ලිම් ගැටුම, 1958 සිංහල දෙමළ කෝලාහාලය, 1983 කලු ජූලිය හා එයින් උත්තේජනය ලබා මතුවී 2009 තෙක් ඇදීගිය සිවිල් යුද්ධයයි. මේ ප්‍රධාන සිදුවීම් අතරතුර තවත් ජනවාර්ගික ගැටුම් ගණනාවක්ම සිදුව ඇති බවත් සඳහන් කළ යුතුය.

සිංගප්පූරුව ද ජනවාර්ගික ගැටුම්වල අත්දැකීම් ලබා ඇති රටකි. 1964 ජූලි හා සැප්තැම්බර් මාසවලදී මැලේ හා චීන ජාතිකයන් අතර ඇතිවූ ගැටුම් මින් ප්‍රධාන වේ. මින් 26 දෙනෙක් මියගිය අතර 560 දෙනෙකු තුවාල ලැබීය. ශ්‍රී ලංකාව හා සැසඳීමේදී නොසලකා හැරිය යුතු තරම්ය. එහෙත් දෙරට අතර සමානකම් එපමණකින් නිමවන්නේ මේ සිදුවීම් වලින් පසු දෙරට ගමන්ගත්තේ හාත්පසින්ම වෙනස් වූ දෙමගක නිසායශ්‍රී ලංකාවේ අපි අතීතයේ ඛේදජනක සිදුවීම් සමරන්නේ මාධ්‍ය හරහා එළිදක්වන භාවාතීශය, හැඟීම් අවුස්සන සුලු ලිපි වලින් හෝ වරද කාගෙද?’ යන්න උලුප්පා පෙන්වා රටේ ප්‍රතිරූපයට හා සමාජයේ පැවැත්මට සිදුවී ඇති හානිය මෙනෙහි කරමින් පසුතැවිලි වන ශාස්ත්‍රීය මට්ටමේ ලිපි වලිනි. 'කලු ජූලිය', 'කලු ඔක්තෝබරය', 'පාස්කු ප්‍රහාරය' වැනි ලේබල් හැදෙන්නේ එසේය. පසුතැවිලි වීම හොඳ දෙයක් වුවත් පසුතැවිල්ලෙන් එහාට ගන්නා පියවරක් නොමැතිවීම සිදුවූ සිදුවීම්වලටත් වඩා ඛේදජනකය. පාසල් පෙළපොත් වලට පාතිමා, රාමා, ක්‍රිෂ්ණා වැනි නම් කිහිපයක් එකතුකිරීමෙන් නැතිනම් ඒ ඒ ජන කණ්ඩායම් වලට ආවේනික සංස්කෘතිකාංග අලලා පාඩම් ඒකකයක් ඇතුළත් කිරීමෙන් පමණක් හැදෙන පරපුරෙහි සිත් තුළට ජාතික සමගිය පිළිබඳ පණිවුඩය ගෙනයා හැකියයි සිතිම ඒ තරම්ම නැතිනම් ඒ දෙකටමත් වඩා ඛේදජනකය. දිගින් දිගටම ඇතිවන හා අනාගතයේදි ද කොයි මොහොතක හෝ ඇවිලීමට ඉඩඇති ජාතිවාදී ගිනිදැල්වල විරාමයක් දැකිය නොහැකි බවට සැකසංකා මතුවන්නේ එබැවිනි. සිංගප්පූරුව දෙසට අපගේ අවධානය යොමුකිරීම වැදගත් වන්නේ මෙතැන්හිදීය.  

සිංගප්පූරුව අනුගමනය කලේ මීට වඩා වෙනස් පිළිවෙතකි. 1964 වාර්ගික ගැටුම් ඇකිවූ ජූලි 21 දින සමරනු වස් ඔවුහු 1997 වසරේදී ජූලි 21 දින වාර්ගික සමගි දිනය ලෙස නම්කරන ලද අතර සෑම වසරකම එම දිනය සැමරීමට අමතක නොකරති. විශේෂයෙන් පාසල්වල සිසුන් මෙම දිනයේදී යෙදෙන ක්‍රියාකාරකම්වල තේමාව වන්නේ ජාතීන් අතර පවතින සමගිය රටෙහි වර්තමාන දියුණුවට කොතෙක් ඉවහල් වී ඇත්ද හා එය තව දුරටත් රැකගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවාද යන්න අවධාරණය කිරීමයි. රටෙහි ඉතිහාසය ගැන සිසුන්ට අවබෝධයක් ලබාදීමත් එහි වෙසෙන ජාතීන්ගේ පැවැත්ම හා සම්ප්‍රදාය ගැන අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීමට මෙන්ම ඒවාට ගරුකිරීමට හුරුකිරීමත් තවත් අරමුණක් වෙයි. මෙම දිනයේදී සාමාන්‍ය පාසල් නිල ඇඳුම වෙනුවට තම ජාතියට අනන්‍ය වූ සම්ප්‍රදායික ඇඳුමකින් සැරසී පාසල් ඒමට සිසුන්ට අවස්ථාව ලබාදීම, එක් එක් ප්‍රජා කණ්ඩායම් වලට ආවේනික ආහාර වර්‍ග සකස් කොට රසවිඳීමට අවස්ථාව ලබාදීම, සම්ප්‍රදායික ක්‍රීඩාවල යෙදීම මෙන්ම නාට්‍ය, විවිධ ප්‍රසංග වැනි සංස්කෘතිකාංග සංවිධානය කිරීම ද මෙම දිනයේ විශේෂාංග අතර වෙයි. පාසල් පමණක් නොව රට පුරා පිහිටුවා ඇති බොහෝ ප්‍රජා සංවිධාන ද වාර්ගික සමගි දිනය සැමරීම සඳහා ක්‍රියාකාරීව සහභාගි වෙති. 

වාර්ෂිකව මෙම දිනය සැමරීමෙන් සිංගප්පූරුව බලාපොරොත්තු වන්නේ රට තුළ වාසය කරන විවිධ ජාතීන්ගේ සංස්කෘතික හා ආගමික අනන්‍යතා  ගැන අන්‍යෝන්‍ය අවබෝධයක් ලබාදී එම විවිධත්වයට ගරුකිරීමට හුරුකිරීමය. එමගින් ගැටුම් වලක්වා  ජාතික සමගියක් ඇතිකොට රටෙහි ආර්ථ්ක දියුණුවට බාධා ඇතිවීම වළක්වා ගැනීම අරමුණු කෙරේ. ඉතින් අපිත්  සිංගප්පූරුව වගේ වුනොත් නරකද?

2 comments:

  1. I totally agree with you. We should teach our children to respect and accept other cultures in a more practical way rather than just put a unit in school text books.

    ReplyDelete
    Replies
    1. Thanks for the comment. I had been a teacher and a teacher trainer before my retirement.

      Delete