කිරි කළ, බෝධි පූජා හා රෝග සුවකරන ෆේස්බුක් ආශිර්වාද පූජා




මන්ට හෝ පවුලේ කෙනෙකුට රෝගයක් වැළඳුන විට හෝ අද්භූත බලවේගයකින් අපල උපද්‍රව සිදුවන බව විශ්වාස කළවිට හෝ බෞද්ධ සංස්කෘතියට අනුව හැඩගැසුන අපගේ ගැමියා පන්සලට ගොස් බෝධි පූජාවක් පවත්වා, කිරි කලයකින් බෝධිය නාවා, හාමුදුරුවන්ගෙන් පිරිතක්, බණක් අසා සිත පහදවාගෙන යහපතක් බලාපොරොත්තු වූහ.

බුද්ධත්වය යන සංකල්පය විනා පිරිනිවීමෙන් පසු බුදු කෙනෙක් මේ සකල විශවයේම නැතැයි ද එහෙයින්ම පිහිටක් ලැබෙන්නට නම් ධර්මය අනුගමනය කිරීම විනා වෙන මගක් නැතැයි ද කියන්නට පන්සලේ හාමුදුරුවෝ ද වෙහෙස නොවූහ. ධර්මානුකූල බව කෙසේ වෙතත් අනාදිමත් කාලයක සිට සංස්කෘතිකාංගයක් ලෙස පැවත ආ මේ චාරිත්‍ර අධ්‍යාපනයේ මහිමයෙන් ගැමියා නගරයට සංක්‍රමණය වීමත් සමග ඔහුත් සමග නගරයට පැමිණ වඩාත් විධිමත් හා වාණිජමය ස්වරූපයකින් සමාජය තුළ මුල්බැස ගත්තේය. අසූහාරදහසේ පහන් පිංකම්, පිච්ච මල් පූජා, අබතෙල් පූජා යනාදිය කලඑළි බැස්සේ මෙහි ප්‍රතිඵලයක් ලෙසය.

මෙවන් පූජා පිළිබඳව පූජ්‍ය වල්පොල රාහුල හාමුදුරුවන්ගේ ‘සත්‍යෝදය’ කෘතියෙහි සඳහන් වන්නේ මෙසේය. “බුදුරජාණන් වහන්සේ ජීවත්ව සිටින දවසකවත් මෙය උන්වහන්සේට ගෞරවයක් නොවේ. උන්වහන්සේටත් එළිය උවමනා කරන්නේ එක මනුෂ්‍ය‍යෙකුට උවමනා පමණටය. බුදුරජාණන් වහන්සේ ජීවමානව ඇත්නම්, උන්වහන්සේ මැද හිඳුවා, වටේ පහන් අසූහාර දහසක් දැල්වීම මොන තරම් පීඩාවක්දැයි සිතා බලන්න. සිද්ධස්ථානයක සුදුසු පරිදි පහන් දැල්වීම අවශ්‍යයි.”

රෝග පීඩා වලින් හෝ වෙනත් උපද්‍රව වලින් හෝ ගැලවීමට මගක් නොපෙනෙන ජනයා කරකියාගත දෙයක් නොමැති තැන මනුෂ්‍ය පාලනයෙන් ඔබ්බෙහි ඇතැයි විශ්වාස කරන අද්භූත බලවේග කෙරෙහි බලාපොරොත්තු රැඳවීම අළුත් දෙයක් නොවේ. මේ බොහෝ විශ්වාස පදනම් වී ඇත්තේ යම්කිසි ආගමක් හා ඇතිකරගත් බැඳීමක් සමගය. එහෙත් මීට අළුතින්ම එකතු වී ඇති ආශිර්වාදය වන්නේ ෆේස්බුක් ආශිර්වාදයයි.

මෙයින් අදහස් කෙරෙන්නේ ප්‍රතිකාර ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගැනුම් වස් පළකරන ඉල්ලීම් නොව හුදෙක් ආශිර්වාද පතා පළ කෙරෙන දැන්වීම්ය. මේ උදාහරණය.

මගේ පුතාට ලේ පිලිකාවක්! සල්ලි එපා ! මේක බලල ප්‍රාර්ථනාවක් කරන්න.”

හෙට දින ශ්‍රී ලංකාවට ඇතුළුවීමට නියමිත සුළි කුණාටුවෙන් අපේ රටට කිසිදු කරදරයකි නොවේවා! කියල ප්‍රාර්ථනා කරන් යමු”

පන්සලක්, පල්ලියක් වෙත ගොස් මෙවන් ප්‍රාර්ථනාවක් කිරීමේදී අවම වශයෙන් ඉටුවීම කෙසේ වෙතත් තමන්ගේ ආගමික භක්තිය හෝ පදනම වශයෙන් තිබෙි. එහෙත් ෆේස්බුක් පිටුවක ෂෙයාර් කරන දැන්වීමකින් රෝග සුවවේ යයි බලාපොරොත්තු වීම කුමන තර්කයකට හෝ විශ්වාසයකට එකඟ වේද? අසරණ වූවෙකු කෙරෙහි අපගේ අනුකම්පාව ප්‍රදර්ශනය කෙරෙනු විනා ඉන් ඇතිවන වෙනත් ඵලයක් වේද? අසූහාර දහසේ පහන් පිනකමත් මෙයත් අතර වෙනසක් වේද? වඩාත් ප්‍රායෝගික හා ප්‍රතිඵලදායක වන්නේ රෝගී තත්ත්වයක් උදෙසා අදාල ප්‍රතිකාර සඳහා යොමු කිරීමත් අධිෂ්ඨානශීලීව පවත්නා ගැටළුවට මුහුණදීම සඳහා මානසික ශක්තිය වර්ධනය කරගත හැකි උපදේශනයක සහය ලබාදීමත් නොවන්නේද?







No comments:

Post a Comment