වේවැල් කෝටු, නාරං, සියඹලා අතූ.......



මේ බොහෝ ඈත අතීතයට අයත් කතාවකි. ඒ 1986 වසරයි. ගුරු පුහුණුව නිමකළ අපගේ අවසන් විභාග ප්‍රතිඵල නිකුත් වී තිබිණ. දැන් කළයුත්තේ ගුරු පුහුණු වැටුප සකස් කරගැනීමයි. එවකට නිකවැරටිය අධ්‍යාපන කලාපයේ පාසැලක සේවය කළ මා නිකවැරටිය කලාප අධ්‍යාපන  කාර්යාලයට ගියේ ඒ සඳහාය.

වැටුප සකස්කර ගැනීම සඳහා තවත් පියවරක් ඉතිරිව තිබිණ. එනම් ප්‍රතිඵල සනාථ කරගැනීමයි. කලාප කාර්යාලය විසින් අපගේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව වෙත යැවිය යුතු අතර විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිඵල නිවැරදි බවට සනාථ කර එවිය යුතුය. මෙම පියවර අනුගමනය කරන්නේ වංචා වලක්වා ගැනීම සඳහාය. මා සතිපතා දිගින් දිගටම කාර්යාලයට ගියත් ලිපිගොනුව බාර ලිපිකරුවාගේ (ලිපිකරු මහතා යයි ලියන්නට මගේ සිත ඉඩ දෙන්නේ නැත.) පිළිතුර වූයේ තවමත් ප්‍රතිඵල සනාථ කර එවා නැති බවයි.

 අවසානයේ තවත් ඉතිරිව තිබුනේ එක පියවරකි. එනම් විභාග දෙපාර්තමේන්තුවට ගොස් විපරම් කර බලා ඉක්මනින් සනාථ කරවාගැනීමට උත්සාහ දැරීමයි. අදාල ලිපිකරුට මේ බව සඳහන් කළ මා ඔහුගෙන් ඉල්ලා සිටියේ එම ප්‍රතිඵල සනාථ කරන ලිපියට අදාළ ලිපිගොනු අංකය හා දිනය මා වෙත ලබාදෙන ලෙසයි. ඒ, එවකට මැලේ වීදියේ පිහිටි විභාග දෙපාර්තමේන්තුව වෙත ගොස් සොයාබැලීම සඳහාය. එයට යම් අනුකූලතාවක් දැක්වූ ඔහු එම තොරතුරු මා වෙත ලබාදීම සඳහා මගේ ලිපිගොනුව අතට ගෙන මේසය මත තබත්ම වෙනත් නිලධාරියෙකුගෙන් ලැබුන කැඳවීමක් මත අසුනෙන් නැගිට යාමට සිදුවිය. ඔහු නොමැති අතර මගේ ලිපිගොනුව අතට ගෙන පිටු පෙරලා බැලීමට අවස්ථාව ලැබුන මා විශ්මයට පත්කරමින් මගේ ප්‍රතිඵල සනාථ කරමින් විභාග දෙපාර්තමේන්තුව විසින් එවන ලද ලිපිය ලිපිගොනුවේ පිටු අතරින් එළියට පැන්නේය. ලිපිකරු නැවත පැමිණෙන තෙක් සිටි මා, බොරු කීවේ මන්දැයි ඔහුගෙන් විමසූ විට වල්ගය ගිනිගත් හනුමන්තා සිහිකරමින් කෝපයෙන් උඩපනිමින් ඔහු කෑගසන්නට පටන්ගති. 

“ඔයාට මේ ෆයිල්එක පෙරලන්න අයිතියක් නෑ! ඔයා මොකටද මෙි ෆයිල් එක පෙරලුවේ?" 

“මම ඕක පෙරලුවේ නැත්තං ඔයා කියපු බොරුව අහල මම තකහනියක්  කාලය නාස්ති කරගෙන, වියදං කරගෙන කොළඹ ගිහිල්ල රස්තියාදු වෙලා එනවනෙ. ඇයි ඔහොම බොරු කරන්නෙ?" මම ද ප්‍රතිචාර දැක්වූයෙමි. ඇවුලුන වේගයෙන්ම නිවී ගිය ලිපිකරු ඊලඟට කීවේ, "මේ දවස්වල හරියට වැඩ. ෆයිල්එක බලන්න වෙලාවක් තිබුනෙ නෑ. මම මේක හදල ගිනුම් අංශයට යවන්නං." 

මේ අතීත කතාව නැවත මතක් උනේ වර්තමාන කතාව ද මීට වඩා වෙනසක් නැති නිසාය. එය විශ්‍රාම ගැනීමකට සම්බන්ධය. එහෙත් වර්තමාන කතාව මෙතැන නොලියන්නේ ඊට අදාල කථානායකගේ ඉල්ලීම පරිදිය. හේතුව මෙසේය.

"ඔය ගෑනි ඕක දැක්කොත් මගෙ ෆයිල්එකේ තියන ලියුම් ටිකත් එක එක අතුරුදහන් වෙයි. මට ජීවිතේට පැන්ෂන් එක ගන්න හම්බුවෙන්නෙ නෑ!"

ඒ අතීත කතාව 1986  සිදුවූවකි. නොලියූ වර්තමාන කතාව (මේ සිදුවීම නිකවැරටියට අදාළව නොවන බව සටහන් කරන්නේ වැරදි වැටහීම් ඇති නොවීම පිනිසය.) සිදුවන්නේ  අවුරුදු තිස්හතරකට පසු 2020 දීය.

රට හදා නොදීම පිළිබඳව අපි තව කොතෙක් කලක් දේශපාලකයන්ගේ ඔලුවලට "අවුරුදු 72" න් තඩිබාමින් සිටිමුද?  

 

   

2 comments:

  1. I totally agree with this because even I have faced many difficulties at the zonal education office when I was there for official matters. It seems like it is their hobby to keep people waiting and wasting their time and money and everything..

    ReplyDelete
    Replies
    1. The irony is signing those confirmation sheets became my duty later in my career.

      Delete