වෙදකම, හෙදකම හා අපේකම




1992 හෝ 93 වසරය. මා රෝහල්ගතව සිටියේ fistula නමින් හඳුන්වන රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහාය. මගේ වම්පස ඇඳේ සිටියේ කකුලක තුවාලයක් තිබූ රෝගියෙකි. ඔහුගේ ගැටළුව වූයේ එය නිට්ටාවට සුව නොවීමයි. ඔහු මෙම රෝහල වෙත එවා තිබුනේ මේ අවට ප්‍රාදේශීය රෝහලකිනි. වාට්ටුවේ ගතකළ දින කිහිපය තුළ මා දුටුවේ ශල්‍ය වෛද්‍යවරු දෙදෙනෙකු සිටින බවයි. මේ දෙදෙනම වරින් වර රෝගීන් පරීක්ෂා කිරීමට පැමිණියහ. ඉන් එක් වෛද්‍යවරයෙක් ප්‍රතිකාර කිරීම සඳහා මා මෙම වාට්ටුවට යොමුකළ වෛද්‍යවරයාය. දිනක් අනෙක් ශල්‍ය වෛද්‍යවරයා රෝගීන් පරීක්ෂා කිරීමට වෛද්‍ය ශිෂ්‍යයින් කණ්ඩායමක් ද සමග පැමිණි අතර මගේ අසල්වැසි රෝගියා අසල නතර විය. වෛද්‍ය වාර්තා පෙන්වමින් ඉංග්‍රීසි බසින් තම සිසුන් ඇමතූ ඔහු රෝගියාගේ කකුල කැපීමට සිදුවන බව පැහැදිළි කළේය. ඉන්පසු රෝගියා දෙසට හැරුන ඔහු, “මේ කකුල කපමු, බොරු කකුලක් දාගත්තම ඔය ඉන්නවා වගේම ඇවිදින්න පුළුවන්, බය වෙන්න දෙයක් නෑ.” යයි පවසා මගේ ඇඳ දෙසට හැරුනේය. අන්දුන් කුන්දුන් වූ

මගේ අසල්වැසි රෝගියා වෛද්‍යවරයා ඉවත්ව ගිය පසුව ද බලාගත් අතේ බලාසිටින්නට වූ අතර අන් අය සමග කතා කිරීම ද නතර කළේය.

පසුදින මා ප්‍රතිකාර ගත් ශල්‍ය වෛද්‍යවරයා වාට්ටුවට පැමිණි අතර යළිත් වරක් එම රෝගියාගේ වෛද්‍ය වාර්තා අධ්‍යයනය කොට රෝගියාගෙන් ද විස්තර විමසා සිටියේය. එයට සවන්දුන් ඔහු මෙසේ පැවසීය. “ඔයාට වෙලා තියෙන්නෙ බෙහෙත් වැඩිවෙලා. මං ඔයාට බෙහෙත් දීලා ටිකට් කපලා ගෙදර යවනවා. මාසෙකින් ඇවිල්ල ආපහු ඇඩ්මිට් වෙන්න. ඔය තුවාලෙ හොඳ කරල දෙන්නම්, හරියට අඩිය තියන්නත් බෑනේද? ඇට කෑල්ලක් කැඩිල හිටල තියෙන්නෙ. ඒ ගමන්ම ඒකත් හදල දෙන්නං. එතකොට තිබුන වගේම අඩිය තියන්නත් පුළුවන් වෙයි.” කියූ ලෙසම පසුදින ඔහු ගෙදර යැවූයේ මසකින් නැවත පැමිණ ඇතුළුවන ලෙස උපදෙස් දෙමිනි. දින කිහිපයකට පසු මාද සුවය ලබා ගෙදර ගිය බැවින් අවසාන ජවනිකාව කෙසේ වීදැයි දැනගැනීමට නොහැකි වුවද වෛද්‍යවරයා දැක්වූ විශ්වසනීයත්වය අනුව සියල්ල කියූ ලෙසම සිදුවන්නට ඇතැයි සිතේ.

ලඟ සිදුවීම මීට වඩා හාත්පසින්ම වෙනස්ය. එක් දිනෙක රාත්‍රී කාලයේ ආලෝකයක් නොමැතිව මිදුලට බැසීම හේතුවෙන් කුණකටුවා නමින් හඳුන්වන සර්පයෙකු මගේ කකුල දෂ්ට කළේය. එවකට අප නිවස ආසන්නයේ සර්ප විෂට වෙදකම් කරන විශ්‍රාමික ගුරු මහතෙකු විසීය. මරණ ලද සර්පයා ද රැගෙන අප වහාම ගියේ ඔහු වෙතය. දෂ්ට කළ ස්ථානය හා සර්පයා පරීක්ෂා කළ ඔහු මිදුලේ කෙලවරක තිබූ දෙහි ගස වෙත ගොස් කට්ටක් කඩාගෙන විත් ඉන් දෂ්ට කළ ස්ථානය පෑරුවේය. පසුව ගේ තුලට ගොස් කුඩා ගුලියක් ගෙනැවිත් දෙහි ඇඹුලෙන් දියකර තුවාල කළ තැන ගැල්වීය. “දැන් මොනවද දැනෙන්නෙ?” ඊලඟට මගෙන් විමසීය. තුවාලය වටේම ඇඟිලි තුඩු වලින් පිරිමදින්නාක් මෙන් හැඟීමක් මට දැනින. ඒ බව පැවසූ විට “හරි, ඒ විස අදිනවා. මේ ගුලි තුනත් ඔය වගේ දවස් තුනක් දෙහි ඇඹුලෙන් ගාන්න. බැලත මලවලා කකුලට බඳින්න ඉදිමුම බහින්න.” යයි කීය. මුදල් ගත්තේ නැත. ඔහු සිරිතක් ලෙස කරන වෙදකම් වලට මුදල් නොගන්නා බව පසුව දැන ගතිමි.

ලිපිය සම්පූර්ණ වීමට තුන්වන සිදුවීමත් සඳහන් කළයුතුය. එවකට තරුණ වියේ පසුවූ මගේ ඥාතියෙක් ගසකට නැගීමට ගොස් එයින් වැටී ඔත්පල විය. ගමේ කැඩුම් බිඳුම් වෙද මහතා වෙත ගෙනයන ලදුව උකුල් ඇටය පැනීමකට ලක්වී ඇතිබව පවසා වෙදකම් කළ ද පය බිම තබා ඇවිදීමට තරම් සුවයක් ලැබුනේ නැත. එවකට කැඩුම් බිඳුම් වෙදකමට ප්‍රසිද්ධ වූ හොරිවිලින් ද ප්‍රතිකාර ගත් නමුත් සුවයක් නොවීය. අවසානයේ කුරුණෑගල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළු කරන ලදී. එහිදී කරන ලද පරීක්ෂණ වලින් හෙළි වූයේ පාදයේ අස්ථියක් බිඳීමකට ලක්වී ඇති බවයි. බිඳී ඇති අස්ථිය යළි සකසා සුවය ලැබීමට මාස ගණනක රෝහලේ ගත කිරීමට සිදු වුවද ඉන් පසුව ඔහුට සාමාන්‍ය පරිදි ඇවිදීමට හැකිවිය.

මේ සිදුවීම් තුනම මා අත්දැකීමෙන් දන්නා සත්‍ය සිදුවීම්ය. මෙය කියවන අය ද මෙවන් සිදුවීම් අත්විඳ තිබෙන්නට හෝ අසා තිබෙන්නට පුළුවන. තමා ලද ඒ අත්දැකීම අනුව අප අතර ප්‍රචලිත දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව මෙන්ම බටහිර වෛද්‍ය ක්‍රම පිළිබඳව ද විවිධ නිගමන වලට එළඹෙන්නට ද ඇත. ප්‍රතිකාර ක්‍රමවල විවිධ පැති නිරූපණය කරන ඉහත සිද්ධි උපුටා දැක්වූයේ ද එසේ නිගමන වලට එළඹීම එතරම් සරල නැති බව කියන්නටය. වෛද්‍ය ක්‍රමය කුමක් වුවද ප්‍රතිකාරය කරන වෛද්‍යවරයා හා රෝගියාගේ ස්වභාවය අනුව පමණක් නොව ප්‍රතිකාර කරන ස්ථානයේ ස්වභාවය අනුව ද රෝගියාගේ ඉරණම තීරණය විය හැකිය.

බටහිර වෛද්‍ය ක්ෂේත්‍රය මේ සඳහා යොදාගෙන ඇති ප්‍රතිකර්මය වන්නේ ඖෂධ හා වෛද්‍ය ක්‍රම භාවිතයට ගැනීමට පෙර දැඩි පරීක්ෂාවකට ලක්කර නිරවද්‍යතාව තහවුරු කරගැනීමයි. මෙය දෙයාකාරයකින් ප්‍රතිඵලදායක වෙයි. ක් අතකින් එය වඩාත් නිවැරදි දෙය සුරක්ෂිත ලෙස රෝගියාට ලැබෙන බව තහවුරු කරයි. අනෙක් අතින් වංචාකරුවන්ගේ ව්‍යාජ නිෂ්පාදන වලින් ජනතාව ආරක්ෂා කරයි. දැන් අයෙකුට දේශීය වෛද්‍ය ක්‍රමයේ මෙවන් විධික්‍රමයක් නැත්දැයි ප්‍රශ්න කිරීමට පුළුවන. ඉඟුරු, කොත්තමල්ලි, කහ හා පස්පංගුවේ ගුණ පර්යේෂණාගාර වලින් සොයා නොගත් බව සැබෑය. වෛද්‍ය පර්යේෂණාගාර වල කෙරෙන පර්යේෂණ වෙනුවට මෙහිදී යොදාගැනෙන්නට ඇත්තේ වඩාත් නිවැරදි ක්‍රමය භාවිතයෙන් තෝරාබේරා ගැනීම වන්නට ඇතැයි අනුමාන කරන්නට පුළුවන. ලාබ ලැබීමේ චේතනාවෙන් තොරව සේවය කිරීමේ අරමුණම මූලික වූ සමාජයක මින් සිදුවන්නට ඇති හානිය අවම වන්නට ඇති වුවද මුදල පසුපසම හඹායන අද සමාජයේ මෙවන් පියවරකින් සිදුවිය හැකි හානිය අතිමහත් යයි සිතෙන්නේ ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට බලා සිටින වංචාකරුවන්ගේ ප්‍රමාණය ගැන මෙනෙහි කරන විටය. මෙම කරුණ තේරුම් ගැනීමට පෙරදිග වෛද්‍ය ක්‍රම හා ශරීරාලංකාර විධි සොයාගෙන මෙරටට පැමිණෙන යුරෝපීයයන් රවටා මුදල් ගරාගන්නා ආයුර්වේද යයි කියාගන්නා ප්‍රතිකාර මධ්‍යස්ථාන ගැන සිහියට නගාගැනීම ප්‍රමාණවත්ය.

ඉතින් අප කැමති වුවද අකමැති වුවද කොතරම් හදිස්සි වුවද වඩාත් නුවණක්කාර ක්‍රියාව වන්නේ සංකීර්ණ, ජීවිත අවදානම වැඩි රෝගී තත්ත්ව සඳහා යොදාගන්නා ඖෂධ වර්‍ග හා ප්‍රතිකර්ම විධි, පෙරදිග වේවා අපරදිග වේවා, සියුම් තත්ත්ව පරීක්ෂා වලට ලක් කොට නිරවද්‍යතාව තහවුරු කරගැනීම හා එවන් පරීක්ෂාවනට දේශපාලන මතවාද යොදා නොගැනීමය.




No comments:

Post a Comment