බෙනඩික්ට් දොඩම්පෙගම විසින් කලකට පෙර ‘නවයුගය සඟරාවට ලියන ලද ලිපියකින් උපුටාගත් කතාවකි, මේ. මෙම ලේඛකයා පිළිබඳව ද යමක් පැවසීම අත්‍යවශ්‍යය. ප්‍රවීණ ලේඛකයෙකු මෙන්ම පුවත්පත් කලාවේදියෙකු ද වූ ඔහු අප මතකයේ රැඳෙන්නේ ඔහු විසින් සිංහල සිනමාවට කරන ලද සේවය නිසාය. විශේෂයෙන් රසිකයන්ගේ රසවින්දනය ඉහල නැංවීම සඳහා සිනමා සාහිත්‍යය වෙනුවෙන් කරන ලද සේවය නිසාය. 

                                                   බොරු කාරයා සොයා ගත් හැටි


හොඳ උගතෙක් එක් ගමකට පැමිණියේ ය. ගමේ මිනිසුන්ගේ අදහස් උදහස්, ස්වභාවය, ඉගෙනීමට ඔහුට උවමනා විය.

ඔහු දිනක් කඩමණ්ඩියට ගොස් ගමේ සිටින ඉතාම සත්‍යවාදී මිනිසාත්, ලොකුම බොරුකාරයාත් කව්ද කියා විමසුවේ ය. ගමේ සිටින ලොකු ම බොරුකාරයා කසාබ් බවත්, රස්ටගු හොඳ ම සත්‍යවාදි මිනිසා බවත් සියල්ලෝ ම එකහෙලා පැවසූහ.

උගතා මේ දෙදෙනා ම හමුවීමට ගොස් අනික් ගමට යාමට හොඳ ම පාර කුමක්දැ යි ඇසුවේ ය.

කන්ද උඩින් යන පාර යයි කසාබ් කීවේ ය.

කන්ද උඩින් යන පාර යයි රස්ටගු ද කිවේ ය.

උගතාට මෙය ලොකු පුදුමයක් විය.

ඔහු තවත් කිහිප දෙනෙකුගෙන් පාර විමසුවේ ය.

ගඟෙන් එගොඩවී යෑම ලඟ යයි සමහරු කීහ. වෙල මැදින් ඇති පාර වඩා හොඳ යයි තව සමහරු කීහ.

උගතා අනික් ගමට පැමිණි පසු මේ කථාව කඩ මන්ඩියේ දී පැවසුවේ ය. වැඩිදුරටත් ඔහු මෙසේ කී ය.

තර්කානුකූලව බලන විට වැරැද්ද කෙළේ මමයි. හොඳ මිනිසා ගැනත්, ලොකු ම බොරුකාරයා ගැනත් මම විපරම් කර ඇත්තේ වැරදි මිනිසුන්ගෙන්. මම ඉතාම ලෙහෙසියෙන් කන්ද උඩ පාරින් මේ ගමට ආව.

කඩමන්ඩියේ මෙය අසා සිටි ප්‍රඥාවන්ත මිනිහෙක් මෙසේ කීවේ ය.

තර්කානුකූල උඹලා අන්ධයි. උඹලාට වෙනත් අයගේ පිහිට ඕනෙ යමක අර්ථය තේරුම් ගන්ඩ. කාරණාව වෙලා තියෙන්නෙ උඹ හිතන හැටියට නෙමේ. සත්‍යය මේකයි; ගඟෙන් එගොඩ වීම ලඟ ම පාරයි. බොරුකාරයා කන්දෙන් යන්ඩ කිව්වෙ ඒකයි. සත්‍යවාදී මිනිසා සත්‍යවාදී මිනිහෙක් පමණක් නෙමේ. ඔහු උඹෙ බූරුවාවත් දැක්ක. බූරුවා නිසා කන්ද උඩින් පහසුවෙන් යා හැකි බව ඔහුට වැටහුණ. උඹ ලඟ ඔරුවක් නැති බව බොරුකාරයාට මතක් උනේ නැහැ. නැත්නම් ඔහු නුඹට කියන්නෙ ගඟෙන් එගොඩ උනා නම් ලඟය කියායි.   

1 comment:

  1. සිංහල බ්ලොග් ලෝකයට ආදරෙන් පිලිගන්නවා මිත්‍රයා!

    ReplyDelete