“තමා කවුද?” අවසානයේ ඔහුගේ මුවින් එළියට පැන්නේය. ගල්ගැසී සිටි මා ඉන් මිදී වහා නැගිට සිටියේ එවිටය. මම ලෙෆ්ටිනන්ට් කර්නල් වරයෙකු බවත් ඔහුගේ කායාරක්ෂකයෙකු බවත් කියා සිටියෙමි.
“වාඩි වෙනවා.” ඔහුගේ කටහඬෙහි නොපහන්බවක් බවක් පෙනෙන්නට තිබිණ.
“මාත් ටිකකට මෙහෙන් වාඩි වෙන්නම්. හරිම රස්නෙයි නේද? හුස්ම ගන්නත් අමාරුයි වගේ.”ඔහු බංකුවට පසුපස හරවා නැමී බංකුවේ පසුපසට බරදී සෙම්න් පහත් වන්නට පටන් ගත්තේය. එය මහත් වේදනාත්මක ක්‍රියාවක් බව මට වැටහිණ. වරින් වර ඔහුගේ සිරුර භයානක ලෙස එක් පැත්තකට පැද්දී යයි. මා බියට පත්වූයේ ඔහුගේ සමබරතාව බිඳී යතැයි කියාය. එහෙත් ඔහු සෑමවිටම ඇස මා වෙත යොමුකරගත් ගමන්ම සිටියේය. මා ඔහුට උදව් කළයුතුව තිබුනත් නීතියට පිටින් ගොස් රාජ්‍ය නායකයාගේ සිරුරට අත තැබීමට හැකියාවක් නොවීය. එබැවින් යාර දෙකක් දුරින් සීරුවෙන් සිටගෙන මෝඩයෙකු මෙන් බලා සිටීමට මට සිදුවිය.
අවසානයේ කිසිදු අතුරු ආන්තරාවක් නැතිව ඔහු වාඩි උනේය. පැහැදිළිව පෙනුන දෙය නම් තවකෙකුගේ උදව්වක් නැතිව ඔහුට නැවත නැගීසිටීමට බැරි බවයි. නැවතත් ඔහු මට කතා කළේය.
“ඉඳ ගන්නවා, ඉඳ ගන්නවා. තේරෙනවනෙ කෙරෙන හැටි……. හිටගෙන ඉන්න එකේ ඇති වැඩේ මොකක්ද…... ඔතෙන්ට වෙලා? ඕන දෙයක් වෙන්න,…….නැද්ද?”
අවසාන ඇවිටිල්ල නියෝගයක් ලෙස දැනුන බැවින් මම ඊට අවනත වූයෙමි. මම ද බංකුවේ අනෙක් කෙළවරට පහත් වුනෙමි. ඔහුගේ නියෝගය නීතිරීති සලකා බැලීමකින් තොරව ගත් එකක් නිසා මා එයට අවනත නොවිය යුතුව තිබුණි. ඒත් මේ අවස්ථාවේ නීතිරීති වලට කළ හැක්කේ කුමක්ද? මේ මුළු සිදුවීමම අපූර්වත්වයකින් යුතුවිය. නීතිරීති වලින් කොහෙත්ම ආවරණය නොවන ආකාරයට ඔහු පෞද්ගලික සබඳතාවක් ඇතිකරගෙන තිබේ. අප දෙදෙනා කරන දෙයකට මුලපිරීමට සිදුව තිබෙන්නේ ද අප දෙදෙනාටමය.
“ම්….මං අහන්නේ…. “ඔහු නැවතත් මා ඇමතීය. “ඔබ හිතනවද මට, ඔබගේ මේ……….හැඳුනුම්පත ……. බැලුවට කමක් නෑ කියල?”
“ඇත්තෙන්ම!” මා කෑනොගැසුවා පමණි. බංකුවෙන් පැන හැඳුනුම්පත අතට ගෙන ඔහුගේ උකුල මත නුහුරු ලෙස වැතිර තිබූ අත්ල මත කෙළවරකින් යන්තමට අල්ලාගත් හැඳුනුම්පත තැබුවේ ඔහුගේ අතෙහි මගේ අත නොගෑවෙනු පිණිසය.
නියපොත්ත රුවා පිටුව පෙරලාගැනීමට ඔහුට බොහෝ වේලා ගතවිය. අවසානයේ රතු හම් පිටකවරයකින් යුතු කාඩ්පත පෙරලා එහි තිබූ සෑම දෙයක්ම ශබ්ද නගා පරිස්සමින් කියවා එහි තිබූ ඡායාරූපය හා මගේ මුහුණ අතර සමානත්වයක් පෙනෙන තෙක් කිහිප වරක් සසඳා බැලීය.
ඔහු කල්පනා බරව ටික වේලාවක් නිශ්ශබ්දව ගතකළේය. ඔහු පහසුවෙන් ඉඳගෙන සිටිනු දැකීමෙන් මට සතුටක් දැනිණ. තොප්පිය ඉවත්කළ ඔහු එය අප අතරින් බංකුව මත තැබීය. අප සෙවනේ ඉඳගෙන සිටියත් වාතයෙහි බර ගතියක් නොවීය. මුහුද දෙසින් මද සුළඟක් හමා ආවේය. එසේ වුවද රාජ්‍ය නායකයා කුමක් හෝ අපහසුතාවකින් පෙළින.
“ඔබ ළඟ ආයුධයක් තිබෙනවද?” ඔහු විමසීය.
“ඔව්, සර්.” මම පිළිතුරු දුනිමි.
“කොහෙද ඒක තියාගෙන ඉන්නෙ?” ඔහුගේ ඇස් හොඳින් ඇඟට හිරවන සේ තිබූ මගේ ඇඳුම පුරා ගමන් කළේය.
“මේ තියෙන්නෙ”, මගේ ජැකට්ටුව විවෘත කොට කිහිල්ලට යටින් තිබූ පිස්තෝල රඳවනය පෙන්වා මා කී දෙය තහවුරු කළෙමි.
“හොඳ ජැකට්ටුවක් ඔයාට තියෙන්නෙ. ඇතුළෙ මොකක් හරි හංගල තියනව කියල කාටවත් හොයන්න බෑ. …… මෙහෙ හදපු එකක් වගේ පෙනෙන්නෙ නෑ. මම පොඩ්ඩක් බලන්නද?”
“නෑ, මෙහෙ හදපු එකක්, හැබැයි දැනට තියන අලුත්ම වර්ගයේ එකක්.”
මම තවත් නීතියක් කඩකළෙමි. සමහරක් විට බරපතලම එක වන්නටත් පුළුවන. මා ආයුධය ඉවතට ගෙන උණ්ඩ ඉවත් කරන විට එය බංකුවෙන් ඉවතට යොමුවී තිබුන ද ගිනිඅවියෙන් නැගුන ‘ක්ලික්’ හඬත් සමගම රාජ්‍ය නායකයා ඉන් ආරක්ෂා වීමට මෙන් තම වමත ඉස්සුවේය.
ඔහු පිස්තෝලය තම දකුණතේ අත්ල මත තබාගෙන ඒ දෙස ටික වේලාවක් නෙත් යොමාගෙන සිටියේය.
“අපි යුද්ධ කරන කාලේ තිබ්බ ඒවා නෙවෙයි.” ඔහු පැවසීය. “ඒක තමයි ජීවිතේ. ඒ කාලෙ මම තරුණයි, නිරෝගියි. ප්‍රශ්න මොකවත් නෑ. එදා දවසෙ බේරිලා හිටියොත් හැමදේම හරි. හොඳ දේවල්ම තමයි ඊලඟට වෙන්න තිබුනෙ.... “
රාජ්‍ය නායකයා මට යුද්ධය ගැන විස්තර කීමට පටන් ගත්තේය. පෙනුන විදියට නම් ඔහුගේ ජීවිතයේ ප්‍රීතිමත්ම යුගය එය විය. එහි තිබූ අපූර්වත්වය වූයේ ඔහුට මතක තිබුනේ ජර්මානුවන්ට එරෙහිව මෙන්ම කාන්තාවන්ට එරෙහිව ද ලද ජයග්‍රහණ, සැරසිලි, මිතුරන් හා පැවැත්වූ මත්පැන් සාද, දුඹුරු පැහැ හිසකෙස් තිබූ හෙදියක් සිටි ආරෝග්‍යශාලාව පමණක් නොව බැරෑරුම් ලෙස සිතූ, දැඩි ලෙස ක්‍රියාකළ නමුත් සාධාරණ වූ, එනිසාම දෙනලද නියෝගවලට අනුකූලව කටයුතු කිරීම සතුටක් දැනවූ ඉහල නිලධාරීන්ගෙන් ලද තරවටු කිරීම් වැනි සතුට දනවන මිහිරි මතක පමණක් වීමය.
“ඔබ දන්නෙ නෑ බලය කියන්නෙ මොකද්ද කියල,” ඔහු සුසුමක් හෙලුවේය. “ඒක හරි අපූරු, විශ්මයජනක හැඟීමක්. එක සැරයක් රස දැනුනොත් තේරෙනවා ඒක නැතිව ඔබට ජීවත් වෙන්න බෑ කියල. ඒත් ඒක හරි වගකීමක්. ලොකු බරක්. හැම කෙනෙකුටම, සිදුවෙන හැම දේකටම, ඔබ වගකිවයුත්තෙක් වෙනවා, තමන්ගෙ පවුලට පවා ………”
ඔහු මොහොතක් නිශ්ශබ්දව සිටියේය.
“ඔබට දරුවො ඉන්නවද?” ඔහු විමසීය.
මට අවුරුදු අටක දුවෙකුත්, අවුරුදු තුනක පුතෙකුත් සිටින බව ඔහුට කිව්වෙමි. “අවුරුදු අටක්…… ඒක මොකක්ද? මගේ ළමයි පොඩිකාලෙ ඒ ගොල්ලත් බොනික්කො වගේ තමයි. කෙල්ල මට තුරුල්වෙලා හුරතල් වෙන්න ආසයි.. කොල්ලා - මම මිනිහට බයික් එක එළවන්න පුරුදු කරා. ඇත්තටම ඒගොල්ල වෙනුවෙන් වෙන්කරන්න වැඩි කාලයක් මට තිබුනෙ නෑ. ඒ තරමට වැඩ. හැම තිස්සෙම එහෙමෙහෙ දුවනවා. ඒත්, ඒ ගොල්ල ටිකක් ලොකුවෙන කොට ඔවුන් මගේ කියල තවදුරටත් මට හිතුනෙ නෑ. මගෙන් වාසි ගන්නමයි බලාගෙන හිටියෙ. අන්තිමටම ආත්මාර්ථකාමියි. …… ඒත් මොනව කියල කරන්නද? මගෙම ලෙයින් මසින් හැදිච්ච උන්නේ…….”
එක් වරම නිහඬ වූ ඔහුගේ මුව විවර වී තිබුනේ ලේ පිළිබඳ මතකයෙන් බියට පත් වූවාක් මෙනි.
“ඔබ දන්නවද අර මංසන්ධියේ හිටපු හාදයා ….. මිනිහට ලමයි එහෙම හිටියද කියල? දැං මේගොල්ල මට කිසිදෙයක් කියන්නෙ නෑ. මාව පරිස්සම් කරනවා. මම දැං නිරෝගී මනුස්සයෙක් නෙවෙයි. හොඳටම අසනීපයි. උදේට නැගිටගන්නත් අමාරුයි. ඒත්, කොහොම හරි කරන්න ඕනෑ. රටම රැඳිල තියෙන්නෙ මගේ අතේ. වෙන කවුද මේක කරන්නෙ? කවුද?” ඔහුට කෑ නොගැසුනා පමණි.
මේ වනතෙක් ඔහු ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නා මිස කතාව ඉදිරියට ගෙනයන්නට මා කිසිදු උත්සාහයක් ගත්තේ නැත. එහෙත් දැන් ඔහුගේ සිත කරදර වලින් ඉවතට ගන්නට මා යමක් කළයුතු යයි මට සිතිණ.. අනෙක් අතට මාතෘකාව වෙනස් කරන්නට තරම් ධෛර්යයක් ද මා තුළ නොවීය. කුමක් කීවත් ඔහු අපගේ රාජ්‍ය නායකයාය. එනිසා මා තීරණය කළේ නැවතත් දරුවන් පිළිබඳ කතාවට යන්නටය.
“ඒත් ඔබතුමන්ට මුණුපුරු මිණිපිරියන් ඉන්නවනේ.” මම සෙමින් මතක් කළෙමි. ඔහුගේ ඇමතුමක් නොමැතිව මා කතා කිරීම පිළිබඳව මදක් හෝ පුදුමටය පත්වූ බවක් ඔහු පෙන්වූයේ නැත.
“මුණුපුරෝ නේද? ඈ… ඒ ගොල්ලන්ට ඕනෑ එකම දේ ජෑස් විතරයි. ඒවා ඇහෙන කොට මගෙ ඔලුව කරකැවෙනවා. ඊට පස්සෙ, සීයෙ, මට අලුත් කාරෙකක් ඕනෑ. කියන එක තමයි මට ඇහෙන්නෙ.”
ඔහු දැඩි අප්‍රසාදය හා කෝපය පළකිරීමට උත්සාහ කළද කටින් පිටවූයේ ශෝකාකූල කෙඳිරියක් පමණි..
“ඒකට මගෙ මීමිනිපිරී! එයා නම් වෙනස්. අපූරු කෙල්ල!” ඔහුගේ මුහුණ ආලෝකමත් විය. මගේ ඉලක්කය හරි ගියේය. “එයා හැමතිස්සෙම හදන්නෙ මාව බය කරන්න. සිංහයෙක් වගේ ගොරවනවා, මගේ කණ්ණාඩිය ඇදල දානවා, කැකිරි පලනවා! ඒත් ඒ මගේ මීමිනිපිරීනෙ.” ඔහුගේ කටහඬ ශෝකී ස්වරයක් ගත්තේය. ඇස්දෙක තෙත් විය. “තව කොච්චර කාලෙකටද එයත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් වෙන්නෙ? අවුරුද්දක්?... දෙකක්?. ... එක අතකට එයා ලොකු වෙනකොට මං දකින්නැති එකත් හොඳයි. එයත් අන්තිමට ජෑස් පස්සෙම දුවයි. අනිත් එක, එහා ලෝකෙට ගියාට පස්සෙ මොනව උනහම මොකද? මං කියන්නෙ…. එහෙම එකක් තියනවනං.”
ගස් හා පඳුරු වලට පිටුපසින් වූ අඩිපාරේ බොරලු කාගේ හෝ පයට පෑගෙන ශබ්දය අපට ඇසෙන්නට විය.
“ඒගොල්ල මාව හොයනවා වාගේ.” රාජ්‍ය නායකයා සෘජුව වාඩිවිය. “ඒ ගොල්ල මාව ඇඳට දැම්මා. ඒ උනාට මං ජනේලෙකින් පැනල ආවා, මුහුදු හුලං ටිකක් විඳින්න.” රාජ්‍ය නායකයා ජනේලයකින් පනින දර්ශනය මැවී පෙනෙන විට මගේ ඇස්දෙක ලොකු වන්නට ඇත. ඒ නිසාදෝ ඔහු එය පැහැදිළි කළේය. “ඒක ගොඩක් පහලට තියන ජනේලයක්. ඒකෙන් ගෙවත්තට අඩිය තියන්න පුළුවන්. මම නෑ කියල ඒගොල්ලන්ට තේරිලා ඇති. දොස්තරලටත් මාව බලන්න ඕන වෙලා ඇති. ආයෙත් අර එපා කරපු ඉන්ජෙක්ෂන්….”
ඔහු බියසුලු බවක් පෙන්වන සිනහවක් පැවේ එන්නත් කරන්නේ සිරුරේ කිනම් තැනකද යන්න මතක් වනවාට අමතරව එය පෙන්වන තරම් වේදනාකාරී නොවන බව සිහියට නැගීමෙන් විය හැකිය.
“ආ, ඒක නෙමෙයි, ඔබ කොතන හරි හැංගුනොත් හොඳයි, දන්නවනෙ, ඔබට මෙතන ඉන්න අයිතියක් නෑ. මම මෙතනම ඉඳගෙන ඉන්නම් ඔවුන් මාව හොයාගන්නකං. මට තනියම එහෙමෙහෙ ඇවිදින්නත් අමාරුයි. එහෙනං, ගුඩ්බායි, ඉලන්දාරියා. මං හිතන්නෑ අපිට ආයෙ මේ වගේ කතාකරන්න අවස්ථාවක් ලැබෙයි කියලා..”
ඔහු අතක් දිගුකළ අතර මම රාජ්‍ය නායකයාගේ සීතල, ජීවයෙන් තොර ඇඟිලි මගේ ජීවිතයේ ප්‍රථම හා අවසාන වතාවට තරයේ අල්ලා ගතිමි. ඉන්පසු නැවතත් මම පඳුරු අතරට ගියෙමි. එවිටම තිදෙනෙක් අඩිපාර දිගේ විත් මතුවිය. ඒ ජෙනරාල්, වෛද්‍යවරයෙක් හා පොලිටිබියුරෝ සාමාජිකයෙකි. ඔවුහු රාජ්‍ය නායකයාට නැගී සිටීමට උදව්කර ඔහු කැටුව ගියහ.
ඉන්පසුව රාජ්‍ය නායකයා නැවතත් මා හඳුනාගැනීමෙන් වැලකී සිටියේය. සමහරවිට ඔහුට මා සැබැවින්ම හඳුනාගන්නට නොහැකි වන්නට ඇත.
මාස දෙකකට පසුව (අප නැවතත් අගනුවරට පැමිණ සිටි අතර එය පොද වැස්ස සහිත සරත් සෘතුවක් විය.) ජෙනරාල් අපට උපදෙස් දෙමින් සිටියේය. ඔහු කතා කරන අතර අපගේ හිස්වලට උඩින් බලන්නට විය. ඔහු කලබල වී සිටින බව මට වැටහින.
“ආ, මට අමතක වෙන්න කලින් කියන්නෙ. ප.ව. 11ට දෙදෙනෙක් එනවා.” දැනුම් දුන් ඔහු ඔවුන්ගේ හැඩහුරුකම් විස්තර කළේය. “ඒ අයට ගේට්ටුවෙන් ඇතුල්වෙන්න දෙන්න ඕනෑ පාස්එක බලන්නෙ නැතිව. පරීක්ෂා කරන්නත් බෑ. අනෙක් හැම තැනකදිමත් කිසිම දෙයක් බලන්න බෑ, තේරුනාද?”
ඔහු අපහසුවෙන් දොර දෙසට හැරුනේ රාජ්‍ය නායකයා මෙන්ම මුළු සිරුරම හරවමින් , නමුත් ඊට වඩා මදක් කඩිසරවය.
“ඒත් සර්”, පසුපස හැරුනු ජෙනරල්ට මම කතා කළෙමි. ඔහු ආපසු හැරුනේය. “සියළුම නීතිවලට, උපදෙස් වලට මේක විරුද්ධයිනෙ. අපේ රාජකාරියේ ප්‍රතිපත්ති වලටත් විරුද්ධයි..”
“කට වහපන් මෝඩයා”, මා ලඟ සිටියෙක් මගේ කන ලඟ පිපිරුවේය. “ඒක නියෝගයක්.”
“ඒක නියෝගයක්.” ජෙනරල් තහවුරු කළේය. “කරුණාකරල තමුන්ගේ පෞද්ගලික අදහස් තමුන් ලඟම තියාගත්තොත් හොඳයි.”
“ඒ උනාට….”
“නියෝග පිළිපදින්න අකමැතිද? එහෙම නම් තමුන්ව ඉවත් කරන්න සිදුවෙනවා. ඔබ ගැන ඉහල නිලධාරීන්ට වාර්තා කරන්න මට සිදුවෙනවා. දැං යන්න පුළුවන්.”
නැගී සිටි මම පිටතට පැමිණියෙමි. ජෙනරල් මගේ අවසර පත්‍රය හා හැඳුනුම්පත ආපසු නොගත් නමුත් මාගේ රාජකාරියේ අවසානය එය බව මම වටහා ගත්තෙමි.
ඊලඟ දිනය සුපුරුදු පරිදි විවේක දිනය විය. ඉන්පසුව එළඹුනු දිනයේ මම ක්‍රීඩාගාරයට වාර්තා කළෙමි. එහෙත් එදිනට නියමිතව තිබූ පුහුණුවීම් අවලංගු කරනු ලැබ තිබුනේ ජාතික ශෝක දිනය නිමිත්තෙනි. රාජ්‍ය නායකයා හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වූ බව අසන්නට ලැබිණ. එහෙත් ඒ වනවිටත් රටවැසියන්ට එය දැනුම් දී නොතිබිණ.
* * *
දැන් නව රාජ්‍ය නායකයාගේ ආරක්ෂක අංශයේ ප්‍රධානියා මම වෙමි. ජෙනරල් විශ්‍රාම ගෙන ඈත පෙදෙසක වූ තම ගම් ප්‍රදේශය බලා ගොසිනි. අනෙකුත් කායාරක්ෂකයින්ගෙන් වැඩිදෙනෙක්, විශේෂයෙන් මගේ පැරණි වැඩමුරයේ සිටි අය වෙනත් රාජකාරි සඳහා යොදවනු ලැබ ඇත නව රාජ්‍ය නායකයා වූයේ පැරණි රාජ්‍ය නායකයා බංකුවෙන් නැගිටවා කැඳවාගෙන යාමට ජෙනරල් හා වෛද්‍යවරයා සමග පැමිණි පොලිටිබියුරෝ සාමාජිකයාය. ඔහු ද පැරණි රාජ්‍ය නායකයා මෙන්ම වයසක වුවත් ඊට වඩා ක්‍රියාශීලී වූ බැවින් සෑමවිටම මට ඔහු බලාගැනීමට සිදු නොවීය..
පළමු දිනයේ සිටම මට ඇතිවූ හැඟීමක් වූයේ නව රාජ්‍ය නායකයාට මා සමග කතා කරන්නට කුමක් හෝ දෙයක් ඇති බවයි. එහෙත් අප දෙදෙනාට කිසිදු අවස්ථාවක තනිව මුණගැසීමට නොහැකි වූ නිසා එයට සුදුසු අවස්ථාවක් සොයාගැනීමට නොහැකි වූ බවද මට හැඟින. හරියටම සතියකට පෙර නව රාජ්‍ය නායකයාට එයට අවස්ථාවක් යොදාගැනීමට හැකිවිය. මගේ අතින් අල්ලාගත් ඔහු, “මා සමග එන්න. මට ඔබෙන් අහන්න යමක් තිබෙනවා.” යි පවසා ආළින්දයේ කෙළවරට ඉක්මනින් මා කැටුව ගොස්,
“මට කියන්න ඇයි ඔබ එදා ජෙනරල්ගෙ නියෝගයට අවනත නොවුනේ ?” යි විමසීය.
සිතට එකඟවම කියන්නේ නම් මගෙන් අසාවි යයි වෙන ඕනැම දෙයක් බලාපොරොත්තු වන්නට තිබුණ ද (උදාහරණයක් කිව්වොත් නව රාජ්‍ය නායකයාට තම දරුවන් සමග ප්‍රශ්න තිබිණ.) මෙය නම් බලාපොරොත්තු වූ දෙයක් නොවේ. මා අනුමාන කළේ ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙස මා උසස් කරනු ලැබූ නිසා හිටපු ජෙනරල්ට මට එරෙහිව ඉහලට වාර්තා කරන්නට අවස්ථාවක් නොලැබෙන්නට ඇත, නැතිනම් කැමැත්තක් නොතිබෙන්නට ඇත කියාය. මා මුළුමනින්ම විශ්මයට පත්වූ අතර සත්‍යයම පවසා සිටියෙමි. සත්‍යය නම් මා පෙරසිටි රාජ්‍ය නායකයා සමග කතා කළ බව, ඔහු ගැන පැහැදීමක් ඇති වූ බව හා ඔහු කෙතරම් හුදෙකලාව හා අසතුටෙන් සිටින්නේද යන්න මා තේරුම්ගත් බවයි. එනිසාම ඔහුට කරදර කරන්නට හා පීඩාවට පත්කරන්නට එම පුද්ගලයින් දෙදෙනාට කිසිදු අයිතියක් නැතිබවට, විශේෂයෙන් පිළිගත් කාර්ය පටිපාටියට පිටින් ගොස් එසේ කරන්නට අයතියක් නැතිබවට, මා තීරණයකට එළඹි බවයි. එමෙන්ම මට ඉවෙන් මෙන් දැනුනේ මේ අවසාන මුණගැසීම දරුණු හෘදයාබාධයකට මග පාදන්නට ඇති බවයි.
මා කළ හේතු දැක්වීම පුරාම නව රාජ්‍ය නායකයා එකම ප්‍රශ්නයක්වත් නොඅසා හිස සලමින් සිට මගේ කතාව අවසන් වූ වහාම මට යන්නට අවසර දුන්නේය. මා සිතුවේ මා කළ පැහැදිළි කිරීම ගැන ඔහු සෑහීමකට පත් නොවන්නට ඇතැයි කියාය. පැහැදිළිවම පුදුමයෙන් අන්දුන් කුන්දුන් නොවූවා නම් මා ජෙනරල්ට කියාසිටි කරුණු වැනි එනම් නීතිරීති උපදෙස්, ආරක්ෂක ප්‍රතිපත්ති වැනි වෙනත් හේතු දක්වන්නට ඉඩ තිබිණි. එය වඩාත් විශ්වාස කළහැකි මෙන්ම, එක් අතකින් බලනවිට, වඩාත් නිවැරදි වන්නට ද ඉඩ තිබිණ.
පුදුමයකට මෙන් මා තනතුරින් ඉවත් නොකලා පමණක් නොව ඊයේ මෝටර් රථය තුළදී, රියදුරා ද සිටියදීම නව රාජ්‍ය නායකයා මට ඔහුගේ බාල දියණියගේ උපන්දින සාදයට ආරාධනා කළේය.
“පවුලෙ අයයි ළඟම යාලුවොයි විතරයි එන්නෙ. ඔබත් එනව නම් මම කැමතියි - සිවිල් ඇඳුමෙන් - යාළුවෙක් වාගෙ.”
ඉතින් හෙට මම නව රාජ්‍ය නායකයාගේ අවිවාහක බාල දියණියගේ උපන්දින උත්සවයට යන්නෙමි. මගේ බිරිඳ මා සතු හොඳම ඇඳුම් කට්ටලයේ කලිසම මදිමින් සිටී. ඇය මට ආයාචනා කර සිටියේ එහි වයින්, විශේෂයෙන් මාම්සි වයින් , ඉහිරවා නොගන්නා ලෙසයි.
“මාම්සි? මොන මාම්සිද?” මම අනෙක් කාමරයේ සිට කෑගැසුවෙමි.
“ක්ලැරන්ස් ආදිපාදවරයා* ගිලුන ජාතියේ ඒවා.”
* එංගලන්තයේ රාජකීය පවුලට සම්බන්ධ ඔටුන්නට හිමිකම් කී ආදිපාදවරයෙකි. ඔහුගේ සොහොයුරා වූ හතරවන ජෝර්ජ් රජුට විරුද්ධව කුමන්ත්‍රණය කිරීමේ වරදට මාම්සි වයින් පීප්පයක ගිල්වා මරාදමන ලදැයි කියවේ.
මේ කතාව මෙතෙකින් අවසන් වෙයි. කියවූ ඔබගේ සිතට නැගුන සිතුවිළි මෙහි සටහන් කරන්නේ නම් කෘතඥ වෙමි.
No comments:
Post a Comment