ජනාධිපති ආරක්ෂකයෙකුගේ මතක සටහන් - හැඳින්වීම + I කොටස

 

හැඳින්වීම:

අප ස්වභාවයෙන්ම කුතුහළයෙන් යුක්ත වෙමු. නොදන්නා දේවල් පමණක් නොව දන්නා පුද්ගලයින් පිළිබඳ නොදන්නා තොරතුරු සෙවීමෙහි ද නොසංසිඳෙන පිපාසයකින් යුතු වෙමු. ජනප්‍රියත්වයේ ඉහලටම යාම නිසා ප්‍රකට වන්නන් මෙන්ම පහලටම යාම නිසා ප්‍රකට වන අය ද අපගේ මෙම පිපාසයට ගොදුරු වෙති. අපගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අප පාලනය කිරීමේ වගකීම බාරගෙන ඇති දේශපාලනඥයින් ද මින් මිදෙන්නේ නැත

 උතුරු කොරියාවේ නායක කිම් ජොන් වුන් දින කිහිපයක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටියහොත් බටහිර ජනමාධ්‍ය මෙන්ම විද්‍යුත් මාධ්‍ය ද කහඹිලියා ගෑවුනාක් මෙන් ඔහුට උනේ කුමක්දැයි සොයන්නට දරණ උත්සාහය මීට නිදසුන් වේ.

පොදුවේ අප දේශපාලනඥයින් (මෑත යුගයේ) හඳුනා ගෙන ඇත්තේ බලය ලබා ගැනීම හා ලබාගත් පසු එය රැකගැනීම සඳහා ඕනෑම ජඩ වැඩක් කිරීමට පසුබට නොවන, ඉතා භයානක ලෙස නිර්ලජ්ජිත සත්ත්ව කොට්ඨාශයක් වශයෙනි. එහෙත් දේශපාලනයෙන් ඉවතට ගත්විට සමාජය තුළ මෙන්ම තම පවුල් ඒකකය තුළ සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස ඔවුන් කෙලෙස හැසිරෙනවා ඇත්ද? මේ කරුණ තේමා කරගෙන නොයෙකුත් ලිපි ලේඛන මෙන්ම නිර්මාණ ද බිහිවී ඇත. මේ අරඅඳින්නේ ද එවන් නිර්මාණයක් ගැන කතා කිරීමටයි.

මේ කතාව උපුටා ගත්තේ ඩයිජස්ට් වර්ගයේ සෝවියට් ප්‍රකාශනයක් වූ ස්පුට්නික් සඟරාවේ1990 මාර්තු කලාපයෙනියකඩ තිරයකින් වසා දැඩි පාලනයකට නතුව පැවති සෝවියට් දේශය නිදහසේ ලියන්නට කියන්නට කැමැත්තවුන්ට මාරාන්තික ප්‍රතිවිපාක ලඟා කරදුන් බව නොරහසකි. එහෙත් ගොර්බචොව්ගේ පෙරළියට පසු ලේඛකයින්ට යම්තාක් දුරට ලැබුන නිදහසේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ සාහිත්‍ය ධාරාවේ කොටසක් ලෙස මෙම නිර්මාණය ද සලකන්නට පුළුවන. Dmitri Zatonsky නම් ලේඛකයා විසින් රචිත Dossier of a Presidential Bodyguard නම් වූ කතාවෙන් කෙරෙන්නේ රුසියාවේ රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව භාරව සිටි හමුදා ඛණ්ඩයේ නිලධාරියෙකු තම රාජකාරිය තුළින් දකින රාජ්‍ය නායකයා පිළිබඳ චිත්‍රයකි. ස්පුට්නික් සඟරාවේ පලව තිබුනේ මුල් නිර්මාණය නොව එහි සංක්ෂිප්ත පරිවර්තනයකි. මුල් නිර්මාණය සොයාගත නොහැකි වුවද ප්‍රබල රාජ්‍යයක අසහාය නායකයෙකු දෙස ලේඛකයා හෙලන බැල්ම අවබෝධ කරගැනීමට එය බාධාවක් නොවේ යයි සිතමි එම නිසා මෙම කතාව ජනාධිපති ආරක්ෂකයෙකුගේ මතක සටහන්නමින් කොටස් කිහිපයකින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. කොටස් කිහිපයකින් ඉදිරිපත් කරන්නේ යම් ලියවිල්ලක් දීර්ඝ වූ විට එය වෙබ් පිටු මත කියවීමට යම් මැලි බවක් ඇතිවන බවට වූ මාගේ පෞද්ගලික අත්දැකීම.

පළමු කොටස අද ඉදිරිපත් කරන අතර දෙවන කොටස ඉදිරි දිනකදී පළකිරීමට බලාපොරොත්තු වෙමි. 


                         ජනාධිපති ආරක්ෂකයෙකුගේ මතක සටහන් - I 

                                                      දිමිත්‍රි සාටොන්ස්කි


                                        (චාලි චැප්ලින්ගේ The Great Dictator චිත්‍රපටයේ දර්ශනයක්)


රාජ්‍ය නායකයාගේ කායාරක්ෂකයින් වූ අප බොහෝ දෙනෙකු සිටි අතර හරියටම කී දෙනෙක් සිටියේදැයි සේවක මණ්ඩල භාර දෙපාර්තමේන්තුව හා අප භාරව සිටි ජනරාල්වරයා හැරෙන්නට කිසිවකුත් හරියටම දැන සිටියේ නැත. අප වැඩමුර හතරකට වෙන්කර තිබුනේ එක් දිනයක් හා රාත්‍රියක් වූ වැඩමුරයක සේවය කළ පසු තවත් දිනයක් හා රාත්‍රියක් විවේක ලැබෙන පරිදිය. ඊලඟ දිනය හා රාත්‍රිය පුහුණුවීම්වල යෙදුන අපට නැවතත් දිනයක් හා රාත්‍රියක් විවේක ලැබිණ. මා සමග වැඩමුරයෙහි සේවය කළ අය අසනීප නිවාඩු ගත්විට, වෙනත් රාජකාරියක් සඳහා යෙදවූ විට හෝ වැඩ තහනම් කරනු ලැබූ විට වෙනත් අය ඒ සඳහා ආදේශ කරනු ලැබූහ. මගේම වැඩමුරයේ වුවද  සෑම කෙනෙකුම දැනහැඳින ගන්නට නොහැකි වූ මා හට අනෙක් වැඩමුරවල වැඩ කළ අය ගැන කිසිදු දැනුමක් තිබුනේම නැත.

සෑම කෙනෙක් ගැනම දැන සිටියේ දිනපතාම වැඩට පැමිණි ජනරාල් පමණි. එසේ වුවද රාජ්‍ය නායකයාට ඔහු අවශ්‍ය වූ  පැය කිහිපය මිස පැය විසිහතරම සේවය කිරීමට ඔහුට අවශ්‍ය නොවීය. වෙනත් වචන වලින් කියනවා නම් ඔහු රැඳී සිටියයුතු වූයේ රාජ්‍ය නායකයා ඇඳට වී විවේක නොගන්නා විට පමණි.

රාජ්‍ය නායකයා වියපත්ව සිටියත් ඇත්තෙන්ම රජයේ සිටි ඔහුට වඩා වයසින් වැඩි අය හා බැලීමේදී ඔහු රෝගී වීමට හෝ දුබල වීමට හෝ තරම් වයසකට ගොස් සිටියේ නැත. කෙටි පියවර අඩමානෙට තබමින් ඇවිද්ද ඔහුගේ අංගචලන සීමාසහිත වූ අතර ඔහුට ආපසු හැරීමට සිදුවූ අවස්ථා වලදී නම්‍යශීලී නොවූ මුළු සිරුරම වමට හෝ දකුණට හැරවීමට සිදුවිය කතාවක් පැවැත්වීමට සිදුවූ විට කතා පිටපත, කන්නාඩිය හා සමහරක් වෙලාවට ලේන්සුව ද ඔහු අතට දුන්නේ ජනරාල්ය. හිරු එළියට පළඳින තොප්පිය, වැස්සොත් ක්ෂණිකව හිසට ඉහලින් ඔසවන කුඩය නැතිනම් රාජ්‍ය නායකයා හොඳින් දන්නා එහෙත් නම අමතක වී තිබියහැකි අයෙකුට ආචාර කිරීමට සිදුවූ අවස්ථාවක නම මතක් කිරීම වැනි රාජ්‍ය නායකයාට අවශ්‍ය සෑමදෙයක්ම සූදානම් කර තබාගත්තේ ජනරාල්ය.

පැතිර තිබූ කතාව නම් ජනරාල් රාජ්‍ය නායකයාගෙන් ඈත්ව කිසිවිටෙක නොසිටි බවත්, රාජ්‍ය නායකත්වයට පත්වන්නට පෙර රටෙහි දකුණුදිග ප්‍රදේශයෙහි තනතුරක් දරණ කාලයේ ( මා ඉපදෙන්නටත් පෙර) ජනරාල් ඔහුගේ රියදුරා ලෙස සිටි බවත්ය. 

වරෙක මට මෙවන් සිදුවීමක් දැකගැනීමට හැකිවිය. එක් ජාතික නිවාඩු දිනයක රාජ්‍ය නායකයා අනෙකුත් දේශපාලන මණ්ඩල සභිකයන් ද පිරිවරාගෙන පිළිගැනීමේ පීඨිකාව මත සිටගෙන සිටියේය. චාරිත්‍රානුකූලව නියමිතව තිබුණේ කුඩා දරුවන් සමූහයක් රටේ නායකයින්ට මල් කළඹ බැගින් පිළිගන්වා ඔවුන් අතින් රසකැවිලි පෙට්ටියක් ලබා ගැනීමටය. අවශ්‍ය රසකැවිලි පෙට්ටි සියළුම දේශපාලන මණ්ඩල සභිකයන් වෙත සපයා තිබිණ. මල් කළඹ පිළිගැන්වූ පසු සියළුම දෙනා රසකැවිලි පෙට්ටි දරුවන් වෙත ලබා දුන්හ. රාජ්‍ය නායකයාට මල් කළඹ පිළිගැන්වූ කුඩා දැරිය ඉවසිලිවන්ත ලෙස ඔහු ඉදිරිපිට බලා සිටියත් ඔහු පමණක් පෙට්ටිය අතැතිව සිටගෙන බලා සිටියේ එයට කුමක් කරන්නදැයි නොදැනය. ඇයට උපදෙස් ලැබී තිබුණේ මල් කළඹ රසකැවිලි සඳහා හුවමාරු කරගන්නට බැවින් පෙට්ටිය නැතිව ඇයට පිටවිය නොහැකි විය. මේ අතර රතු චතුරශ්‍රයෙහි පිරී සිටි හමුදා භටයින්, යුද ටැංකි, සන්නද්ධ රථ හා රොකට් විදින පෙළපාලිය ඇරඹීම සඳහා සංඥාව ලැබෙන තෙක් බලා සිටියහ. රසකැවිලි පෙට්ටියට කළයුත්තේ කුමක්දැයි රාජ්‍ය නායකයාට කීමට තරම් ධෛර්යයක් පිළිගැනීමේ පීඨිකාව මත සිටි කිසිවෙකුට  නොමැති විය. අවසානයේ, සුපුරුදු ලෙස උත්සව අවස්ථා වලදී චතුරශ්‍රයේ සිටින අයට නොපෙනෙන්නට කායාරක්ෂකයින් වූ අප මෙන්ම ලෙනින්ගේ සොහොන මත වූ පිළිගැනීමේ පීඨිකාවේ මදක් පසුපසට වන්නට සිටගෙන සිටි ජනරාල් විසින් කරන ලද ඉඟිය තේරුම්ගත් රාජ්‍ය නායකයා පෙට්ටිය ගැහැණු ලමයා අතට දුන්නේය. ඉන්පසු ආචාර පෙළපාලිය ආරම්භ කිරීමට හැකිවිය.

එහෙත් අපගේ රාජකාරිය වෙනස් එකක් විය. ජනරාල්ගේ කාර්යය වූයේ ක්‍රියාත්මකවීම වුවත් අපට තිබුනේ බලාගෙන සිටීමයි. කිසියම් ආපදාවක්, අනතුරක් හෝ ව්‍යසනයක් සිදුවූ අවස්ථා වලදී  මැදිහත් වීමයි අපගෙන් බලාපොරොත්තු වූයේ.  කෙසේ වුවද අපගේ පෙනීසිටීම මෙන්ම නිරන්තර සූදානම ද එවන් අනතුරකට ඇති ඉඩකඩ අහුරාලීය. බලාසිටීම අපගේ  ක්‍රියාත්මකවීම විය. එය සමහර විට ක්‍රියාත්මකවීම් අතරෙන් වඩාත්ම වෙහෙසකර ක්‍රියාත්මකවීම වන්නට පුළුවන.


No comments:

Post a Comment