ජනාධිපති ආරක්ෂකයෙකුගේ මතක සටහන් - II

 

   දිමිත්‍රි සාටොන්ස්කි

මෙය කියවීමට පෙර පළමු කොටස මෙතැනින් කියවන්න                      

 

(කාටූනය istockphoto.com වෙතින්

අපගේ රාජකාරිය වූයේම කිසිවකුගේ අවධානයට ලක් නොවන සේ සිටීමයි. හුරුපුරුදු දේවල් පිටුපස සැඟවීම, පසුබිමෙහි රැඳී සිටීම, ජනයා අතරම නොපෙනී යාම ඒ සඳහා යොදාගත්  උපක්‍රමයි. පෙනෙන ලෙස සිටියදී පවා කිසිවකු අප දුටුවේ නැත. රාජ්‍ය නායකයා අප පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකළේය. ඔහුගේ පය පැකිළුනොත්, වැටෙන්නට ගියහොත් හෝ සමබරතාව ගිලිහී ගියහොත්

උදව් කිරීමට ඉදිරිපත් වූයේ අප නොවේ. සැමවිටම ඒ සඳහා පෙරට විත් අත දුන්නේ ජනරාල් හෝ සමහර විට පොලිටිබියුරෝවේ සාමාජිකයෙකි. එහෙත් මා දන්නා තරමින් අප කිසිවෙකුත් මෙය අප පහත්කොට සැලකීමක් ලෙස සැලකුවේ නැත. අපගේ රාජකාරි කෙරෙහි අවධානයෙන් සිටීම සඳහා අප වෙනත් අයගේ අවධානයට ලක් නොවී සිටීම අවශ්‍ය කරුණක් විය. ඇත්තෙන්ම අපට වැදගත් මෙහෙවරක් පැවරී තිබිණ. එය රටෙහි වඩාත්ම වැදගත් මෙහෙවර නොවේ යයි කෙනෙකුට කියන්නට පුළුවන. එහෙත් සත්‍ය වශයෙන්ම වඩාත්ම දුෂ්කර කටයුත්ත වූයේ ද එයයි.

 පුහුණුවීම් හී යෙදුන දින වලදී පවා අපගේ රැකියාව එතරම්ම බාරදූර හා දුෂ්කර විය. ඒ රාජ්‍ය නායකයා වෙත එල්ල විය හැකි යයි උපකල්පනය කරන සෑම ආකාරයකම ප්‍රහාර මවා පෑමේදීය. වරින් වර අපි පූර්ව අනතුරු ඇඟවීම් අවස්ථාවලදී ස්වයංක්‍රියාකාරී විම වර්ධනය කෙරෙන   පුහුණුවීම් වල යෙදුනෙමු.  අවසානයේදී එය ඉතා විශිෂ්ඨ ලෙස සකස් කරන ලද සැලසුමකට ද වඩා විශ්වාසදායක විය. සෑම කෙනෙකුම තම කාර්යය සිළිබඳව නිශ්චිත අවබෝධයක් ඇතිව නිවැරදි මොහොතේ නිවැරදි තැන ස්ථානගත වන්නේ නම් ඕනෑම විටක ඕනෑම තර්ජනයක් වළක්වා ගතහැකිය.

 අප ක්‍රීඩාගාරයේදී පැය ගණනාවක් ගුවන් නියමුවන්ට නැතිනම් මෝටර් රථ ධාවකයින්ට සමාන ආකෘති යොදාගෙන සංකීර්ණ වූ හදිසි අවස්ථා වලදී අවශ්‍යවන ක්ෂණික ප්‍රතික්‍රියා වර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් වල යෙදුනෙමු. කරාටේ හා ජූඩෝ ක්‍රීඩා පුහුණුවීම සඳහා ද කාලය යෙදුවෙමු. එහෙත් අපගේ ප්‍රධාන පුහුණුවීමේ ස්ථානය වූයේ බිම් මහලේ පිහිටි දිගු, අළු පැහැති බිත්ති වලින් සමන්විත වූ, සෑම ශබ්දයක්ම දෝංකාර දෙන වෙඩි පිටියකි. අපි හැමදෙනම  ඕනෑම ඉරියව්වකින් සිට ඕනෑම ආයුධයකින් වෙඩි තැබීමට අති දක්ෂයන් වීමු. එහෙත් මගේ මුරයේ සිටි මේජර් වැනි අති විශිෂ්ඨයෝ ද අප අතර වූහ. ඔහුට අමෙරිකානු ගොපළු චිත්‍රපට වල එන ගොපල්ලකු මෙන් ඉලක්කය ගන්නා බවක් හෝ නොදැනෙන ලෙස එකවර ඉලක්ක දෙකකට පිස්තෝලයෙන් වෙඩි තැබිය හැකි වූ අතර බොහෝවිට ඒ හැම අවස්ථාවකම පාහේ ඉලක්කය නිවැරදිව ගැනීමට සමත්විය.

වරක් මට ඔහු ක්‍රියාත්මක වන ආකාරය දැකගැනීමට හැකිවිය. අපි නගරයක් හරහා ගමන් කරමින් සිටියෙමු. සුපුරුදු ලෙස රාජ්‍ය නායකයාගේ වෙඩි නොවදින ලිමසීන් රථයට පෙර අපගේ එක් රථයක් ගමන් ගත් අතර පසුපසින් තවත් දෙකක් ගමන් ගත්තේය. මේජර්වරයා සහ මම තවත් දෙදෙනෙකුත් සමග ලිමසීන් රථය ආසන්නයෙන්ම පසුගමන් කළ මෝටර්  රථයේ ගමන් කළෙමු. මේජර් ඉදිරිපස අසුනේ රියදුරු පසෙකින් සිටියේය. ඒ වන විටත් අඳුර වැටී තිබිණ. විවෘත ප්‍රදේශයක් ඔස්සේ වැටුන මාවතක් දිගේ අප වේගයෙන් ඉදිරියට ඇදෙමින් සිටියෙමු. එක්තරා මංසන්ධියකදී එක්වරම, ඒ මොහොතේ අපට දිස්වූ ආකාරයට, ලොකු තුවක්කුවක් අතින් ගත් පුද්ගලයෙක් ලිමසීන් රථය ඉදිරියට පැන්නේය. එකම උණ්ඩයකින් ඔහු බිමහෙලූ මේජර් තමන්ගේ හපන්කමේ ප්‍රතිඵල බලන්නටවත් හිස හරවන්නේ නැතිව ඉදිරියටම දෑස් යොමා සිටියේ තවත් ප්‍රහාරයක් එල්ල විමට තිබූ ඉඩ නිසාය. එහෙත් මා සමග පසුපස අසුනේ ගමන්ගත් සඟයා හා මා ආපසු හැරී බැලූයේ කුතුහලය නිසාම නොව අපට ලැබී තිබූ උපදෙස් අනුව අනතුර සම්පූර්ණයෙන්ම ඉවරයක් කරදැමූ බව තහවුරු කරගැනීම අපගෙන් අපේක්ෂා කළ නිසාය.

අපට පසුපසින් පැමිණි  රථය සිරුර මග හැරීම සඳහා වේගය අඩු කළ විට එහි ප්‍රධාන ලාම්පු වල ආලෝකයේ ආධාරයෙන්  රථවාහන හසුරුවන පොලිස් නිලධාරියෙකුගේ මලසිරුර වැතිර තිබෙනු දක්නට ලැබුණි. ඔහුගේ දකුණු අත ඉදිරියට දිගුවී තිබූ අතර ඒ අසලම පදික වේදිකාවේ ඔහුගේ වේග මාපක උපකරණය විය. කිසියම් නොපැහැදිළි වූ හේතුවක් නිසා ඔහුට අපගේ පැමිණීම පිළිබඳව දන්වා නොතිබෙන්නට ඇත. එසේත් නැත්නම් සිදුවන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට තරම් දැනීමක් නැති රැකියාවට නවකයෙකු වන්නට පුළුවන.

අසරණයා! ඔහු උත්සාහ කළේ ඔහුගේ රැකියාව කිරීමට පමණි. එහෙත් අපට කළහැකි වෙනත් දෙයක් නොවීය. අපගේ ස්වයංක්‍රියාකාරිත්වය අකුරටම වැඩකර තිබීම සතුටුවිය හැකි කරුණකි.

ගමනේ ඉතිරිය අපි නිහඬවම ගමන් කළෙමු. අප පිටිසරබද පිහිටි මන්දිරයට පැමිණ රාජ්‍ය නායකයා ලිමසීන් රථයෙන් බස්වා නිවෙස වෙත කැඳවාගෙන ගිය පසු  මේජර් වෙත පැමිණි ජෙනරල් ඉතාමත් ඕනෑකමින් අතට අත දුන්නේය. ඒ කෘතඥතාව පළකිරීමටද නැතිනම් කණගාටුව පළකිරීමටද? බොහෝවිට ඒ දෙකටම වන්නට පුළුවන. ඉන්පසු අප අපට නියමිත තැන්වල ස්ථානගත වුනෙමු.

අප  උපක්‍රමශීලීව සැඟවී සිටි ස්ථාන වල සිට මන්දිරයේ සෑම ස්ථානයක්ම නිරීක්ෂණයට ලක්කළ හැකිවූ නිසා පිටස්තර කිසිවෙකුටත් අපගේ නිරීක්ෂණයට ලක්නොවී ඇතුළුවිය නොහැකි විය. සෑම අමුත්තෙකුගේම අනන්‍යතාව ප්‍රවේශවන ස්ථානයේදී පමණක් නොව ඇතුළු වූ පසු ඔවුන් නිවසට පිවිසෙන තෙක් ඇති සෑම ස්ථානයකදීම එක්වරක්  නොව දෙවරක්ම පරීක්ෂා කරන ලදී. වියයුතු පරිදිම, මෙහි නිතර පැමිණි, රාජ්‍ය නායකයා මුණගැසීමට අවසර තිබූ සෑම කෙනෙකුම පාහේ අපි දැනගෙන සිටියෙමු. සෑම වතාවකම, එවෙලේම නිකුත් කරන ලද එක් වරකට පමණක් වලංගු අවසර පත්‍රය හැඳුනම්පත හා සසඳා බැලීමෙන් ද පැමිණි පුද්ගලයා රටේ ප්‍රධාන පෙලේ   පුද්ගලයෙක් වුවද ඔහුගේ ඡායාරූපය  අපට හොඳින් හුරුපුරුදු මුහුණ සමග සැසඳීමෙන් ද  තියුණු පරීක්ෂාවකට ලක් කළෙමු.  එය සැහැල්ලුවෙන් ගතහැකි කරුණක් නොවීය. රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව සියයට සියයක් තහවුරු කළහැකි එකම ක්‍රමය එය විය. නොසලකා හැරිය යුතු තරම් කුඩා අතපසුවීමකින් වුවද අතිශය දරුණු ප්‍රතිවිපාක ඇතිවිය හැකි බව ද අපි දැන සිටියෙමු. පක්ෂයේ ඉහලම පෙලේ නිලධාරීන් පවා මේ බව තේරුම් ගත් අතර අප පරීක්ෂා කිරීම් නිම කරන තුරු කිසිදු නුරුස්නා බවක් නොපෙන්වා ඉවසීමෙන් බලා සිටියහ. රාජ්‍ය නායකයාගේ පවුලේ උදවිය පවා මේ පිළිවෙතට යටත් විය.  ඔවුහු එතරම් ඉවසීමක් නොදැක්වූවද ඔවුන්ගේ නොඉවසිල්ලෙන් පලක් නොවීය. රාජ්‍ය නායකයා ආලින්දයේ ඉඳගෙන සිටින විට ඔහු ඉදිරිපිටදීම පරීක්ෂා කිරීම සිදු වුවද ඊට කිසිදු බාධාවක් ඔහුගෙන් සිදු නොවීය. ඔහු කළ එකම දෙය නම් තම පුතාට හෝ දුවට අත වනා ආචාර කිරීම පමණකි.

කායාරක්ෂකයින් අතරින් රාජ්‍ය නායකයා හා කථා කිරීමට අවස්ථාව ලද එකම පුද්ගලයා මා විය. එය සිදුවූයේ මෙසේය. වරෙක රාජ්‍ය නායකයා නිවාඩුවක් සඳහා මුහුදු වෙරළාශ්‍රිත පෙදෙසකට ගියේය. අපගේ ආරක්ෂක කණ්ඩායම ද ඔහු සමගම ගමන් කර මොස්කව් හී නිවසේදී හා පිටිසරබද නිවසේදී කළ ආකාරයටම ක්‍රියාත්මක වූයෙමු. එහෙත් අපගේ දැඩි පාලන කවය තුළ වෙනස් වූ වාතාවරණයක් මැවී තිබුනේ මෙය නිවාඩු නිකේතනයක් වූ බැවිනි. මෙදින මාගේ මුරපොළ වී තිබුනේ මුහුද හොඳින් දර්ශණය වන අඩිපාරකි. එය යොමු වී තිබුණේ වෙරළට හා නාන කුටි වෙතට ගමන් කළහැකි සෝපානය වෙතටය. මුළු පාරම නිරීක්ෂණය කරමින් මම පඳුරු අතරට වී සිටියෙමි. එය දැඩි උෂ්ණාධික දිනයකි.  රෝස පැහැති ලොකු මල් පිපී ප්‍රබල සුගන්ධයක් විහිදවූ පඳුරු අතර හුස්ම ගැනීමට අපහසු තරම් වාතාශ්‍රය අඩු බවක් මට දැනිනි. මා මනා සෞඛ්‍ය තත්ත්වයකින් පසු වුවද මගේ හිස කරකැවෙන්නට පටන් ගති. මට ඇතිවූයේ මා වටා වූ සියල්ල පාවෙන්නාක් මෙන් හැඟීමකි.

රාජ්‍ය නායකයා බොහෝ කලකින් මුහුදට ගොස් නැති හෙයින් මේ පාරෙහි පැමිණ නැත. ඔහුගේ පවුලේ කිසිවකුද මෙහි කල්ගත නොකරයි. එනිසා කිසිවකුට මා දැකීමට ඉඩක් නැති තරම්ය. සෑහෙන වේලාවක් මේ කරුණු සිතේ එහා මෙහා පෙරළමින් සිටි මා අවසානයේ තීරණය කළේ නීතියට පිටුපා පඳුරු අතරින් එළියට ඒමටය. එළිමහනට විත් මාවතට පිවිසුන මා අසල වූ කුඩා බංකුවක් මත ඇලවී විවේකීව සිටීමට තරම් නිර්භීත විය.

මා සැබැවින්ම දැඩි සුගන්ධයෙන් යුත් මල් වලින් මත් වී සිටින්නට ඇත. මන්ද යත් හිටිගමන් රාජ්‍ය නායකයා කනේරු ගසක් පිටුපසින් මතුවී මා ඉදිරිපිට ගල්ගැසී නතරවන තෙක්ම මට කිසිවක් ඇසුනේවත් පෙනුනේවත් නැති බැවිනි.  ඔහු සාමාන්‍ය අවස්ථාවල අඳින ලිහිල් ජැකට්ටුවක් හා මුහුදට වැටී වියලුනාක් මෙන් පෙණුන තරමක් පරණ පාට වූ පිදුරු තොප්පියකි පැළඳ සිටියේය. මා කෙතරම් කලබලයට පත්වූයේ ද යත්  වහාම නැගිට සීරුවෙන් සිටිනු වෙනුවට සිටි ලෙසම ඉඳගෙන ඔහු දෙස බලාගත්වනම සිටියෙමි.

III කොටස බලාපොරොත්තු වන්න!

No comments:

Post a Comment