එක්තරා රටක හිටපු තරුණයෙකුට ඕනැ උනා හොඳ බිස්නස් එකක් කරලා තමන්ගෙ පවුල නඩත්තු කරන්න. ඔහු දහඅතේ කල්පනා කළා මොකද්ද පටන්ගන්නේ කියලා. මෙහෙම කල්පනා කරමින් ඉන්නකොට එයාට මුණගැහුනා ලෝකය පුරාම ඇවිදල හුඟක් දේවල් දැනකියාගත් කෙනෙක්. තමන් ලෝකෙ පුරාම යද්දි දැකපු දේවල් විස්තර කරන අතරෙ එක රටක් ගැන කිව්වා. ඒ රටේ ලූනු නෑ. ඉතින් ඒ රටේ මිනිස්සු කවදාවත් ලූනු දැකල තිබුනෙ නෑ.
ලූනු
නැති රටක්! තරුණයා පුදුම උනා. ලූනු නැතුව
කොහොමද කෑම රස වෙන්නෙ? තවත් කල්පනා කර කර ඉන්නෙ නැතිව තරුණයා ලූනු තොගයක්
මිලදී අරගෙන රථයක පටවගෙන අර දේශය බලා පිටත් උනා. දවස් කීපයකට පස්සෙ ඔහු අර ලූනු නැති
රටට ආවා. ඔහු කෙලින්ම ගියේ ඒ රටේ රජතුමාගෙ මාලිගයට. මේ අමුතු ජාතිය දිහා පුදුම
වෙලා බලාගෙන හිටිය ආරක්ෂකයින්ට කිව්වා රජතුමාට විශේෂ ත්‍යාගයක් ගෙනාවා, රජතුමාව
බැහැදකින්න ඕනැ කියල. අවසරය ලැබුන තරුණයා ලූනු තොගයත් අරගෙන රජතුමා හමුවට ගියා.
මම
ඔබට මගේ රටෙන් විශේෂ වූ තෑග්ගක් ගෙනාවා. මේක ඔබේ රටේ නැති මගේ රටට විශේෂ වූ
පැලෑටියක්. ඕනෑම කෑම වර්ගයක රස වැඩි කිරීමේ අපූරු හැකියාවක් මෙයට තිබෙනවා. මා ඔබට
එය තිළිණ කරනවා. ඔබට පුළුවන් එය ඔබේ ජනතාවට හඳුන්වාදෙන්න.
රජතුමා
එක්වරම ලූනු බාරගන්න
කැමති උනේ නෑ. ඔහු තරුණයාට කිව්වා ඒවා යොදාගෙන කෑම පිළියෙල කරල පෙන්වන්න කියලා.තරුණයත්
තමන් දන්න සියළුම හැකියාවන් ප්‍රයෝජනයට අරගෙන කෑම මේසයක් පිළියෙළ කරා. ඇමතිවරු,
උසස් පවුල්වල අය, ඉහල නිලධාරීන් හැමෝටම කෑමට ආරාධනා කරල තිබුනා. මුලින්ම තරුණයා රස
බලල පෙන්නුවට පස්සෙ භෝජන සංග්‍රහය ඇරඹුනා.
ටික
වෙලාවක් යනකොට මුළු ශාලාවම සතුට, විශ්මය පළකරන ශබ්දවලින් පිරිලගියා. කෑමවල රසත්
සුවඳත් හැමෝගෙම පැසසුමට ලක්වුනා. රජතුමා තරුණයට ස්තූති කරල සම්පූර්ණ ලූනු තොගයම
බාර අරගෙන ඒ බරට තරුණයට රත්තරන් දුන්නා.
රත්තරන්
අරගෙන ආපසු එන ගමනෙදි අතරමගදි ඔහුට තවත් වෙළෙන්දෙක් මුණගැහුනා. තරුණයා තමන් ගිය
අපූරු රට ගැනත් ඒ රටේ සශ්‍රීකත්වය ගැනත් එහිදි උදාවූ වාසනාව ගැනත් සියළුම විස්තර
අර වෙළෙන්දට කිව්වා. රත්තරන් වල වටිනාකම ලූනු වලටත් වඩා අඩුයි කියලත් කිව්වා. එහිදී දැනගන්න
ලැබුන තවත් කාරණයක් ගැනත් වෙළෙන්දට කිව්වා. ඒක තමයි ඒ රටේ සුදුලූනුත් නෑ කියන එක. වෙළෙන්දට
හරි සතුටු හිතුනා. සුදුලූනු ලූනු වලටත් වැඩිය රසයි, සුවඳයි. ලූනු වලට රත්තරන්
දෙනවනං සුදුලූනු වලට දියමන්ති ගන්න පුළුවන් වෙයි කියල වෙළෙන්දට හිතුනා.
ඉතින්
ඔහු ලොකු සුදුලූනු තොගයකුත් අරගෙන ඒව ගෙනිහින් දුන්නම ආපසු ලැබෙන වස්තු කන්දරාවත්
හිතෙන් මවාගෙන සුදුලූනු නැති රටට ඉක්මනට ගියා. ලූනු
රස බලලා වැඩි කාලයක් නැති හින්දා ලූනු ගෙනාපු වෙලාවෙ වගේ සැකයක් ඇති උනෙත් නෑ. ඒ
නිසා රජතුමා ඉස්සරල වගේම කෑම හදල පෙන්වන්න කිව්වා. වෙළෙන්දත් දන්න ශිල්ප ඔක්කොම දාල
කෑම හදල සංග්‍රහ කලා.
කෑම රස විඳපු හැමෝම සතුටින් පිනාගියා. සුදුලූනු දැමූ කෑම ගිය සැරේ
කෑමටත් වැඩිය රසයි කියල හැමෝම පිළිගත්තා. රජතුමා ඇමති මණ්ඩලය සමග සාකච්ඡා කලා. ඒත්
තීරණයකට එන්න හරි අමාරු උනා දෙන තෑග්ග මොකක්ද කියල. මොකද හැමෝම එකඟ වුනා රත්තරන්
දෙනඑක ප්‍රමාණවත් නෑ කියල. ඉතින් රත්තරන් වලට වඩා වටින්නෙ මොනවද කියල කල්පනා කරන
කොට මතක් උනා කලින් සැරේ තරුණයගෙන් ලැබුන ලූනු තොගය!
රජතුමා වෙළෙන්දට තරුණයගෙන් ලැබුන ලූනු තොගය තෑගි කලා. වෙළෙන්දටත් ඒ
ලූනු තොගය අරන් ආපහු එනව ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ.
No comments:
Post a Comment