ලේඛකයා
පිළිබඳව:
ජෝර්ජ් ඕවල් (1903 – 1950) නම් ලේඛකයා ලොව ප්‍රකට වූයේ Animal Farm හා Nineteen Eighty-Four යන කෘති දෙක නිසා ය. එම කෘති දෙකින්ම නිදහස පිළිබඳ මිනිසාගේ ආශාව හා එය යටපත් කිරීම සඳහා මිනිසා විසින්ම ගන්නා පියවර පිළිබඳව තියුණු විවේචනයක් එල්ල කරයි. මේ කෘති දෙකම සිංහලෙන් පළ වී පාඨකයින්ගේ අවධානය දිනා ගැනීමට සමත් වූ නිර්මාණ වෙති. 1931 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කරන ලද පහත දැක්වෙන නිබන්ධය (essay) ඔහුගේ මුල් කාලයේ නිර්මාණවලට අයත් ය. මෙය නිබන්ධයක් ලෙස හෝ කෙටිකථාවක් ලෙස හෝ වර්ග කිරීම ද විවාදයට තුඩු දී ඇත. වරෙක ලේඛකයා විසින්ම කතාවක් සේ හඳුන්වා ඇති මෙම නිර්මාණය තවත් තැනක ඔහු හඳුන්වා ඇත්තේ නිබන්ධයක් ලෙස ය. කෙසේ වුව ද බ්‍රිතාන්‍යයන් විසින් බුරුමය පාලනය කළ යුගය පසුබිම් කරගෙන ලියවී ඇති මෙය ලේඛකයා බුරුමයේ පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කළ කාලයේ සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් රචනා කරන ලද්දක් සේ සැලකේ.
මරණීය දණ්ඩනය ඡන්ද පොරොන්දුවක් වී ඇති මෙකළ කියවීමට වටිනා ලියවිල්ලක් ලෙස දකිමි.
එල්ලා මැරීම
ඒ බුරුමයේ වැස්සෙන් තෙතබරිත වූ උදෑසනක් විය. කහ පැහැති ඇළුමිනියම් කොල මෙන් මලානික වූ ආලෝකයක් උස් තාප්ප වලට ඉහලින් සිරගෙදර මිදුලට පතිත වෙමින් තිබිණ. අපි මරණයට නියම වූ සිරකරුවන්ට වෙන්කර ඇති සිරකුටි අසල බලා සිටියෙමු.
ඉදිරිපසට යකඩ කූරු පේලි දෙක බැගින් සවිකරන ලද කුටි පෙලක් වූ මේවා පෙනුනේ සතුන් වෙනුවෙන් තැනූ කුඩා කූඩු මෙනි. දිග හා පළල අඩි දහය බැගින් වූ සිරමැදිරි තුළ ලෑලි ඇඳක් හා බීමට වතුර ගන්නා භාජනය හැරෙන්නට වෙනත් කිසිවක් නොවීය. සමහරක් මැදිරි තුළ ඇතුළත යකඩ කූරු පෙළට ඔබ්බෙන් පොරෝනා ඇඟ වටා දවටාගත් තළෙළු මිනිසුන් නිහඬව ඇනතබාගෙන උන්හ. මේ මරණීය දණ්ඩනයට නියම වී ඉදිරි සතිය හෝ දෙක ඇතුළත එල්ලා මැරීමට නියමිත මිනිසුන් ය.එක් මිනිසෙකු ඔහුගේ කූඩුවෙන් පිටතට ගෙන තිබිණ. මුඩු
කරන ලද හිසකුත් නොපැහැදිළි, දිලිසෙන ඇස් වලිනුත් යුතු වූ ඔහු කුඩා සිරුරකින් හෙබි හින්දු මිනිසෙකි. ඝනව වැඩී තිබූ රළු රැවුල සිරුරේ
හැටියට උවමනාවට වඩා විකාරරූපී ලෙස විශාලව පෙණුනේ චිත්‍රපටවල රඟන විහිළුකාරයින්ගේ
රැවුලෙහි පෙනුම එයට ලබාදෙමිනි. උස් වූ ඉන්දියානු ජේලර්වරු හයදෙනෙකුගේ ආරක්ෂාව යටතේ
ඔහු එල්ලුම්ගස සඳහා සූදානම් කෙරෙමින් පැවතිණ. දෙදෙනෙකු බයිනෙත්තු සවිකල රයිෆල්
රැගෙන පසෙකට වී සිටි අතර සෙසූ අය සිරකරුට මාංචු දමා ඒ තුළින් දම්වැලක් යවා එය
ඔවුන්ගේ ඉනපටිවලට අමුණා ගෙන ඔහුගේ දෑත් සිරුර දෙපසට තබා තදින් බැඳ දැමූහ. ඔවුහු
සිරකරු වටා තෙරපෙමින්, ඔහු සැබැවින්ම එතැන සිටින්නේ දැයි සැක හැර දැනගැනීමට මෙන් ඔවුන්ගේ අත් වලින් ලිහිල් ලෙස සිරකරු ග්‍රහණය
කරගෙන උන්හ. එය හරියටම මිනිසුන් තවමත් පණ ඇති මාළුවකු නැවත වතුරට පැනීමට ඇති
ඉඩකඩ
නිසා ඌ අල්ලාගෙන
සිටින්නාක් මෙනි. එහෙත් ඔහු සිදුවන දේ පිළිබඳ
අවබෝධයක් නැතිවාක් මෙන් කිසිදු ප්‍රතිරෝධයක් නොදක්වා අප්‍රාණික දෙඅත් බැඳ තිබූ ලණුවල සවියට බාර දී සිටගෙන සිටියේය.
අටේ කනිසම වදිනවාත් සමගම සංඥා නලා හඬක්
තෙතබරිත වූ වාතය හරහා ශෝකී කෙඳිරිල්ලක් මෙන් ගලා ආවේය. අප සිටි තැනින් ඈත්ව සිටගෙන,
කල්පනාබරව තම සැරයටියෙන් බොරළු කැට වලට අනිමින් සිටි සිරගෙදර පාලකවරයා එම හඬත්
සමගම හිස ඔසවා බැලීය. දුඹුරු පැහැ ගැන්වුන, දත් බුරුසුවක් වැනි උඩු
රැවුලක් ද ගොරෝසු කටහඬක් ද තිබූ ඔහු හමුදා වෛද්‍යවරයෙකු විය. “දෙයියන්ගෙ නාමෙට ඉක්මන් කරනවා ෆ්‍රාන්සිස්.” ඔහු නොරිස්සුම් ලීලාවෙන් පැවසී
ය. “මේ වෙලාව වෙනකොට මිනිහා මැරිලා ඉන්න
ඕනෑ. තමුසෙ තවම ලෑස්ති නැද්ද?”
ඝන කපු රෙද්දකින් මැසූ සුදු ඇඳුමකින්
හා රත්රන් උපැස් යුවලකින් සැරසී සිටි තරබාරු ද්‍රවිඩ ජාතිකයෙකු වූ ෆ්‍රාන්සිස් නම් ප්‍රධාන ජේලර්වරයා තම කලු
සැහැති අත වැනීය. “ඔව් සෑර්, ඔව් සෑර්”, ඔහු තදකරගෙන සිටි කටින් එළියට පනින
සිනාවක් සමග පිළිතුරු දුන්නේ ය. “හැම දෙයක්ම සතුටුදායක ලෙස සූදානම් කරල
තියෙන්නෙ. අළුගෝසුවා ලේස්ති පිට ඉන්නෙ. අපිට යන්න පුළුවන්.”
“එහෙනම් ඉක්මනින් ගමන් අරඹනවා.
හිරකාරයන්ට උදේ කෑම ගන්න බෑ මේ වැඩේ ඉවර වෙනකල්.”
අපි එල්ලුම්ගස බලා ගමන් ඇරඹීමු. රයිෆල් වම් උරහිසට ගත් ජේලර්වරු දෙදෙනෙක් සිරකරුගේ
දෙපසින් ගමන් කළ අතර තවත් දෙදෙනෙක් ඔහුගේ
බාහුවෙන් හා උරහිසෙන් අල්ලාගෙන ගමන් කළේ ඔහුට සහය දෙන බවක් මෙන්ම තල්ලු කරගෙන යන ආකාරයක්
ද පෙනෙන පරිද්දෙනි. මහෙස්ත්‍රාත් වැනි
සෙසූ අය ද සමග අපි පසුපසින් ගමන් කළෙමු. අප යාර දහයක්
ඉදිරියට ගියපසු එක්වරම කිසිදු අණ කිරීමක් හෝ අනතුරු ඇඟවීමක් නොමැතිව කණ්ඩායම
එක්වරම නැවතින. බෙහෙවින් අප්‍රසන්න වූ දෙයක් සිදුවී තිබිණ. කොහේදෝ සිට පැමිණි
බල්ලෙක් මිදුලට පිවිස සිටියේය. ඌ මහ හඬින් බුරා හැලෙමින්, උතුරා යන සතුටකින් මුළු
ඇඟම නටවමින් අප වටා උඩ පනින්නට වූයේ මෙතරම් මිනිසුන්
පිරිසක් දකින්නට ලැබීමේ සතුට ප්‍රකාශ කිරීමට මෙනි. ඌ වල්බල්ලන් හා මිශ්‍ර වූ ලෝම
පිරුන විශාල එයර්ඩේල් වර්ගයේ බල්ලෙකි. මොහොතකට අප වටා උඩ පනිමින් රවුමක් ගැසූ ඌ කිසිවෙකුටත්
නවතාලීමට අවස්ථාවක් ලැබෙන්නටත් පෙර සිරකරු වෙතට පැන, පිම්මක් ගසා ඔහුගේ මුහුණ ලෙව
කන්නට උත්සාහ කළේය. සියළුම දෙනා බල්ලා අල්ලා ගැනීමටවත් අමතකව ගල්ගැසී බලාසිටියහ.
“කවුද ඔය බල්ලට මෙහාට එන්න දුන්නෙ?
අල්ලාගන්නවා ඌව කවුරුහරි.”
පාලකවරයා කෝපයෙන් පැවසීය.
ආරක්ෂක කණ්ඩායමෙන් මෑත්වූ එක්
ආරක්ෂකයෙක් බල්ලා අල්ලාගැනීම සඳහා නිෂ්ඵල උත්සාහයක් දැරුව ද එය ද සෙල්ලමක් ලෙස
සැලකූ බල්ලා උඩ පැන නැටුමක් නටා ඔහුගේ ග්‍රහණයෙන් මිදුනේය. යුරෝපීය හා ආසියානු මිශ්‍රිත අයෙකු බව පෙනුන තරුණ
ජේලර්වරයෙකු
බොරළු අහුරක් අතට ගෙන දමා ගසා ඌ එලවන්නට උත්සාහ කළේය. එහෙත් ගල් ප්‍රහාරය මගහැරි
බල්ලා නැවතත් අප පසුපසින් ආවේය. උගේ බිරුම් හඬ සිරගෙදර තාප්ප මැද දෝංකාර දුනි.
ආරක්ෂකයින් දෙදෙනාගේ ග්‍රහණයට මැදිව සිටි සිරකරු හැඟීම් විරහිතව බලා සිටියේ එය
එල්ලුම්ගසට ගෙනයාමේ තවත් චාරිත්‍රයක් ලෙස සැලකුවාක් මෙනි. මිනිත්තු කිහිපයකට පසු අයෙකුට
ඌ අල්ලාගැනීමට හැකි විය. මගේ ලේන්සුව උගේ කරපටියට දමා අල්ලාගෙන නැවතත් ගමන ඇරඹුවේ
බල්ලාගේ දැඟලිලි හා කෙඳිරිගෑම් මධ්‍යයේය.
එල්ලුම්ගස තිබෙන ස්ථානයට ලඟාවීම සඳහා
යාර හතලිහක පමණ දුරක් යා යුතුව තිබිණ. මම ඉදිරියෙන්
ගමන් කළ සිරකරුවාගේ නිරාවරණය වූ තලඑළලු පිට පෙදෙස දෙස බැලීමි. බැඳ දමන ලද දෙඅත්
නිසා ගමනේ අස්වාභාවික ගතියක් පෙනුනත් දනහිස් කෙලින් නොකර උඩපනිමින් මෙන් ඇවිදින ඉන්දියානු ජාතිකයාගේ ඉරියව්වෙන් ඔහු කලබල නොවී ස්ථාවරව ගමන් කළේය. තබන පියවරක්
පාසා ඔහුගේ මස්පිඩු චංචල විය. හිස මුදුණෙහි වූ කෙස් රොද ඉහල පහල නැටුවේය. තෙත
බොරළු පොලව මත ඔහුගේ පා සටහන් සලකුණු විය. දෙපසින් දෙදෙනෙක් උරහිසින් ග්‍රහණය
කරගෙන සිටියදීත් වරෙක යන පාරෙහි තිබූ මඩ කඩිත්තක් මගහැරීමට ඔහු ඉන්
මදක් ඉවතට වී පා තැබීය.
විශ්වාස කරන්නට බැරි තරම් වුව ද
ඒ
මොහොත වන තෙක්ම නිරෝගී, සිහිකල්පනාවෙන් යුත් මිනිසෙකුගේ ජීවිතය විනාශ කර දැමීම කොතරම්
බරපතල ක්‍රියාවක් දැයි මට අවබෝධ වී නොතිබිණ. සිරකරු මඩ කඩිත්ත
මගහැරීම සඳහා ඉවතට අඩිය තබනවා දකිද්දී ජීවයෙන් පිරුනු ජීවිතයක් හිටි අඩියේ විනාශ
කර දැමීමේ අරුත; විස්තර කළ නොහැකි තරම් වන අපරාධය මට අවබෝධ විය. මේ මරණාසන්න
මිනිසෙකු නොවේ, අප මෙන්ම ජීවත්ව සිටින මිනිසෙකි. ඔහුගේ සිරුරේ සියළුම අවයව ප්‍රාණයෙන්
පිරී ඇත; අභ්‍යන්තර ඉන්ද්‍රියයෝ ආහාර ජීර්ණයෙහි යෙදී සිටිති; සම අලුතින් උපදිමින්
පවතී; නියපොතු වැවෙමින් තිබේ; පටක නිපදවෙමින් පවතී. මුළු සිරුරම මේ භාරදූර
කාර්යයන් හී නියැලී සිටී. එල්ලුම් ගසේ ලෑල්ල මත සිටගෙන සිටියදීත් හිස් අවකාශයට
ඇදවැටෙන අතර ජීවත් වීමට තිබෙන තත්පරයකින් දහයකින් එකක් තරම් වූ කාලය තුළදීත් ඔහුගේ
නියපොතු වැවෙනු ඇත. ඔහුගේ දෑසට කහ පැහැති
බොරළු ද අඳුරු පැහැයෙන් යුත් බිත්ති ද දකින්නට හැකි විය. තවමත් ඔහුගේ මොලයට මතක තබාගැනීමටත් , කලින්
දැනගැනීමටත්, තර්කානුකූලව සිතන්නටත් - මඩවගුර ගැන පවා නිගමනයකට එළඹෙන්නටත් හැකි
විය. ඔහු සහ අප එකම ලෝකය දකිමින්, අසමින්, විඳිමින් තේරුම් ගනිමින් එකට ඇවිදින
මිනිසුන් කණ්ඩායමකි. තවත් විනාඩි දෙකකින්, ක්ෂණයක බිඳීමකින් අපගෙන් කෙනෙකු මිය යනු
ඇත. එක සිතක්, එක ලෝකයක් අතුරුදන් වනු ඇත.
සිරගෙදර ප්‍රධාන බිමෙන් වෙන්වූ කටු
පඳුරුවලින් ගහණ බිම් කඩක එල්ලුම්ගස පිහිටා තිබිණ. එය තුන්පැත්තක් මඩුවක මෙන්
ගඩොලින් බැඳ මුදුනෙහි ලෑලි අතුරා ඒ මත කණු දෙකක් සිටුවා ලණුවක් එල්ලෙන හරස් දණ්ඩක්
රැඳවූ ඉදිකිරීමකි. සිරගෙදර සුදු නිල ඇඳුම ඇඟ ලා ගත්, තඹ පැහැ ගැන්වුන හිසකෙස් ඇති
සිරකරුවෙකු වූ අළුගෝසුවා ඔහුගේ යන්ත්‍රය අසල බලා සිටියේය. අප ඇතුළුවන විට ඔහු
යටහත් පහත් ලෙස නැමී ආචාර කළේය. ෆ්‍රාන්සිස්ගෙන් ලැබුනු නියෝගයකට අනුව සිරකරු
පෙරටත් වඩා තදින් අල්ලාගත් ආරක්ෂකයින් දෙදෙන සිරකරු එල්ලුම්ගස වෙත
යන්තමට
තල්ලු කරගෙන යන්නාක් මෙන් රැගෙන ගොස් අපහසුවෙන් මෙන් පියගැට පෙළ නැංවූහ. ඉන්පසු ඒ
මතට ආ අළුගෝසුවා සිරකරුගේ ගෙල වටා ලනුව රැඳවීය.
අපි යාර පහකට ඔබ්බෙන් සිටගෙන බලා
සිටියෙමු. ආරක්ෂකයෝ එල්ලුම්ගස වටා රවුමක් සැදුනාක් මෙන් සිටගත්හ. තොණ්ඩුව ගෙල වටා රැඳවූ
පසු සිරකරු ඔහුගේ දෙවියන්ට යාඥා කිරීමට පටන් ගත්තේය. එය “රාම්! රාම්! රාම්!” යනුවෙන් උච්ච ස්වරයෙන් ශබ්ද නගා පුනරුච්චාරණය
කිරීමක් විය. එය බල කිරීමක් අඟවන හෝ බියට පත් ස්වරයකින් ගැයෙන යාඥාවක් හෝ උදව්
ඉල්ලා කෙරෙන හඬ නැගීමක් ලෙස නොව සීනුවක් නාද කරන්නාක් මෙන් ස්ථාවර, රිද්මයානුකූල
හඬ නැගීමකි. බල්ලා මේ හඬට පිළිතුරු දුන්නේ අඳෝනාවක් විලසින් නැගූ කෙඳිරිලි හඬකිනි.
තවමත් පෝරකය මත සිටගෙන සිටගෙන සිටි අළුගෝසුවා පිටි දැමීමට ගන්නා බෑගයක් මෙන් කපු
රෙදි වලින් මැසූ කුඩා බෑගයක් දමා සිරකරුගේ මුහුණ වැසීය. රෙදි වැස්මෙන් යටපත් වුව
ද
සිරකරු නගන හඬ නොනැවතී දිගටම ඇසින. රාම්! රාම්! රාම්! රාම්! රාම්!
අළුගෝසුවා පහලට බැස ලීවරය අල්ලාගෙන
සූදානමින් සිටියේය. කාලය මිනිත්තුවෙන්
මිනිත්තුව ගතවන බවක් දැනින. මුහුණු වැස්මෙන් සිරවූ මුවින් නැගෙන සිරකරුගේ හඬ
නොනැවතී, නොබිඳී එක දිගටම ඇසින. රාම්! රාම්! රාම්! සිරගෙදර පාලක ඉදිරියට නවාගත්
හිසින් යුතුව අත තිබූ සැරයටියෙන් බිමට අනිමින් සිටියේය. සමහරවිට සිරකරුට නිශචිත
වාර ගණනක් - පනස්වරක් නැතිනම් සියවරක් - හඬ නැගීම සඳහා ඉඩ දීමට ගණන් කරමින් සිටියා
වන්නට ඇත. සියලුදෙනාගේම පෙනුම වෙනස් වී තිබිණ. ඉන්දියානුවන් නරක් වූ කෝපි මෙන්
අඳුරු පැහැයක් ගෙන තිබූ අතර බයිනෙත්තු එකක් හෝ දෙකක් සැලෙමින් තිබිණ. බැඳ දමා,
වැස්මකින් හිස වසා පෝරකය මත නංවා සිටි මිනිසා දෙස අපි බලා සිටියෙමු; ඔහුගේ හඬට කන්
දීගෙන සිටියෙමු. හඬ නගන සෑම අවස්ථාවක්ම ජීවත්වීමට ලැබෙන තවත් එක් තත්පරයකි. අප
සියළුදෙනාගේම සිත්හී තිබුනේ එකම සිතුවිල්ලකි; ඉක්මනින් ඔහු මරණයට පත්කරන්න, ඉවරයක්
කරල දාන්න, ඒ කාලකණ්ණි ශබ්දය නවත්වන්න!
එක්වරම පාලකවරයා තීරණයක් ගත්තේය. හිස
එසවූ ඔහු තම සැරයටියෙන් ක්ෂණිකව සංඥාවක් දුන්නේය. “චලෝ!” ඔහු බියකරු විලාසයක් පෙන්වමින්
කෑගැසීය.
ලෝහ ගැටෙන ශබ්දයක් නැගිණ; හාත්පස
නිහඬතාව පැතිරිණ; සිරකරු අතුරුදන්ව තිබිණ; ලණුව පමණක්
ඇඹරෙමින්, කරකැවෙමින් තිබිණ. මම බල්ලා අතහැරියෙමි. අතහැරි විගසම බල්ලා උඩ පනිමින්
පෝරකය පසුපසට දිවගිය ද අතරමග නැවතී, බුරා, බියගුලු ලෙස අප දෙස බලමින් වල්පැලෑටි
වලින් පිරුන මිදුලේ කොනකට වී සිටියේය. අප සිරකරුගේ සිරුර පරීක්ෂා කිරීම සඳහා පෝරකය
පසුපසට ගියෙමු. මියගොස් සිටි ඔහු පා ඇඟිලි පහතට දික්වන සේ එල්ලී සෙමින් කරකැවෙමින් සිටියේය.
තමාගේ සැරයටිය දිගු කළ පාලකවරයා එයින් තළෙළු
පාටින් දිස් වූ සිරුරට ඇන්නේය. එය යන්තමට පැද්දෙන්නට විය. “වරදක් නෑ, හොඳයි.” ඔහු පැවසීය. පෝරකය යට සිට පසුපසට ආ
ඔහු දිගු හුස්මක් හෙලීය. එක්වරම මෙන් ඔහුගේ මුහුණේ තිබූ නොසන්සුන් පෙනුම පහව
ගියේය. අත් ඔරලෝසුව වෙත නෙත් යොමු කළ ඔහු, “අට පහුවෙලා විනාඩි අටයි. අද උදය වරුවට
එච්චරයි. දෙවියන්ට ස්තූති වේවා!” යි පැවසීය.
බයිනෙත්තු ගලවා ඉවත් කළ ආරක්ෂකයෝ ඉවතට
ගමන් කළහ. වැරදි ලෙස හැසිරුන බව වටහාගත්තාක් මෙන් සන්සුන්ව සිටි බල්ලා ඔවුන් පසුපස
ඇදුනේය. පෝරකය තිබූ පරිශ්‍රයෙන් ඉවත් වූ අපි මරණීය දණ්ඩනයට නියම වූ සිරකරුවන් සිටි
කුටි පසු කර සිරගෙදර විශාල මධ්‍ය අංගනයට පිවිසියෙමු. බැටන් පොලු වලින් සන්නද්ධ වූ
ආරක්ෂකයින්ගේ පාලනය යටතේ වරදකරුවන් ඒ වන
විටත් උදෑසන ආහාරය ලබා ගනිමින් සිටියහ. ඔවුහු
කුඩා බෙලෙක් පිඟන් අතැතිව දිග පේලියක ඇන තබාගෙන උන් අතර බාල්දි අතින් ගත් ආරක්ෂකයින්
දෙදෙනෙක් බත් බෙදමින් ගමන් කළහ. එල්ලා මැරීමේ සිදුවීමෙන් පසු එය බෙහෙවින් ප්‍රසන්න,
විනෝදජනක දර්ශනයක් ලෙස පෙනින. එම රාජකාරිය අවසන්ව ඇති බැවින් අප සැමගේ සිත් විශාල
සහනදායී හැඟීමකින් පිරිණ. සිංදුවක් කියන්නට, එහාට මෙහාට දුවන්නට, හඬ නගා සිනා
නගන්නට තරම් පෙළඹීමක් ඇති වී තිබුනේය. සියළුදෙනාම එකවර සතුටින් කතාබස් කරන්නට පටන්
ගත්හ.
මා පසෙකින් ගමන් ගත් යුරෝපීය පෙනුමැති
තරුණයා අප පසුකර ආ දෙසට හිස හරවා යමක් කීමට ඇති බව අඟවන සිනාවක් නැගීය. සර් දන්නවද
ඇපීල් එක අහක ගිය බව අහපුවාම අපේ යාළුවාට
(ඔහු අදහස් කළේ මියගිය තැනැත්තා ය.) බයටම සිර කාමරේ මූත්‍ර පහ උනා
කියලා? ගන්න සර් සිගරැට් එකක්. කොහොමද සර් මගේ සිල්වර් සිගරැට් කේස්එක? මණිබඩු
කාරයාගෙන් ගත්තේ රුපියල් දෙකයි ඇනා අටකට. නියම යුරෝපයේ ස්ටයිල් එක.
මිනිසුන් කිහිපදෙනෙක් සිනා නැගූහ.
හේතුව කිසිවෙකුටත් පැහැදිළි නොවීය.
ෆ්‍රාන්සිස් නොනවත්වා කියවමින්
පාලකවරයා පසෙකින් ගමන් කළේය. “සෑර්, හැම දෙයක්ම ඉතාම සාර්ථක විදියට
සිද්ද උනා. හැම දෙයක්ම (අසුර ගසමින්) මෙහෙම කරන කොට ඉවරයි.
හැම
වෙලාවෙම එහෙම වෙන්නෙ නෑ, මට මතකයි කීප සැරයක්ම දොස්තරට සිද්ද උනා පෝරකය යටට
ගිහිල්ලා සිරකාරයගේ කකුල්වලින් අදින්න මැරිල කියලා තහවුරු කරන්න ඉස්සරලා. හරිම එපා
කරපු වැඩක්!”
“එහාට මෙහාට ඇඹරෙනවා නේද? ඒක නං හොඳ නෑ
තමයි.” පාලකවරයා පැවසීය.
“ඔව් සෑර්, හිතුවක්කාර වෙලා කියන එක
අහන්නැති එක ඊටත් වඩා නරකයි! එක මිනිහෙක් මට මතකයි කූඩුවේ යකඩ කූරුවල එල්ලිලා
හිටියා අපි මිනිහව එළියට ගන්න යනකොට. සෑර් විශ්වාස කරන එකක් නෑ, ආරක්ෂකයො හයදෙනෙක්
ඕනැ උනා මිනිහව ඒකෙං ගලවගන්න. එක කකුලකින් තුන්දෙනා ගානෙ ඇදල තමයි අහකට ගත්තෙ. අපි
පැහැදිළි කරල කිව්වා, යාළුවා, බලනවා තමුසෙ මොන තරම් කරදරයක් ද අපිට කරන්නෙ කියලා.
කොහෙද, ඇහැව්වෙ නෑ. මිනිහ නම් හරිම කරදරකාරයෙක්.”
නොදැනීම මෙන් මට මහ හඬින් සිනා පහළ
විය. සැමදෙනම සිනාසෙන්නට වූහ. පාලකවරයා පවා ඉවසිලිමත් ලෙස සිනා මුහුණක් පෙන්වීය. “ඔක්කොම ඇවිල්ලා පොඩි ඩ්‍රින්ක් එකක්
ගමු.” ඔහු මිත්‍රශීලී ස්වරයෙන් පැවසීය. “විස්කි බෝතලයක් තියනවා මගෙ කාර් එකේ.
අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්.”
අපි සිරගෙදර දැවැන්ත ගේට්ටු ද්විත්වය
පසුකොට මාර්ගයට පිවිසුනෙමු. “මිනිහගෙ කකුල්වලින් ඇද්දා!” හඬ නගා පැවසූ එක් බුරුම ජාතික මහේස්ත්‍රාත්වරයෙක්
මහ හඬින් කොක්හඬලන්නට විය. ෆ්‍රාන්සිස්ගේ කතාව ඒ මොහොතේ බෙහෙවින් විහිළුසහගත ලෙස
දැනින. ස්වදේශික, යුරෝපීය අපි සියළුදෙනම එකතු වී මිත්‍රශීලී
බවින් යුතුව එකට මත්පැන් පානය කළෙමු. මියගිය මිනිසාගේ සිරුර යාර සියයකට එපිටින්
තිබිණ.
පපුව හූරාගෙන යන කථාවක්!
ReplyDeleteබ්ලොග් එකතු කරන්න කියවන්න මේ පැත්තේ එන්න https://sithuvili.net/
ReplyDeleteමේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "අංක 8 කැටපත් පවුර" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!
ReplyDelete