විනිශ්චය IV

                   


                      

                          පරිච්ඡේදය II - දෙවෙනි කොටස


"ස්වාමිපුරුෂයා දන්නවද මෙහෙ ආවා කියලා?"

"නෑ."

"දැනගත්තොත් තවත් අමාරුවේ වැටෙයි."

"මම දැං ඇවිල්ලනෙ ඉන්නේ. ඉස්සරහ ඉන්නවා දැක්කනං මම ජොනී බැලුවත් නැතත් වෙනසක් වෙන්න දෙයක් නෑනෙ."

 

මහත් ඕනෑකමින් ඇගේ මුහුණ දෙස බලාසිටි ඔහු සැකසහිත ලෙස හිස ඉහල පහල වැනීය.  ජොනීට දෙන්නට ආයුධයක් ඇගේ  ඇඳුම තුළ සඟවා  ගෙන තිබෙන්නට ඉඩ ඇති බව දැන සිටියත් ඔහුට ඇය පරීක්ෂා කිරීමට ක්‍රමයක් නොවීය. ඇය පරීක්ෂා කරවාගැනීම  සඳහා සුදුසු වෙනත් අයෙකු ද ඔහු දැන නොසිටියේය. "මිනිහට දෙන්න මොකක්වත් හංගාගෙන ආවේ නෑනෙ?" 

"නෑ, සර්. මට ඕනෑ එයා බලන්න විතරයි. සමහර විට අන්තිම වතාවට වෙන්න පුළුවන්....." ඇගේ දෑසෙහි පිරුන කඳුළුකැට දෙකම්මුල් දිගේ ගලාගියේය. 

"හරි, හරි. ටික වෙලාවකට බලන්න පුළුවන්." ඔහු ඉක්මනින්ම පැවසීය. 

සිරකුටිවලට පිවිසීමට ඇති දොර විවෘත කළ ඔහු පසෙකට වී ඇයට ඇතුල්වීමට ඉඩ දුන්නේය. දොර යළි වසාදැමීමට මදක් පසුබට වූ ඔහු කාමරය හරහා  ගොස් ජනේලයට සමීප විය. 

තමා කළේ මෝඩ වැඩක් යයි ඔහුට සිතිණ. මැක්ග්‍රාත්ට දෙන්නට ඇය පිස්තෝලයක් ගෙන එන්නට ඉඩ ඇත. එහෙත් ඇය පරීක්ෂා කර බැලීමට ඉඩක් නොලැබිණ. තිබූ එකම විකල්පය වූයේ ඇය ආපසු හරවා යැවීමය. පසුතැවිල්ලක ඡායවක් ඇඳුන සිනාවක් යන්තමට ඔහුගේ මුහුණෙහි ඇඳී ගියේය. ඔහුට කවදාවත් ගැහැනියකගේ කඳුළුවලට එරෙහිව යාමට හැකි වී නැත. 

බිත්ති ඔරලෝසුව ටික් ටික හඬින් වෙලාව ගතවන බව ඇඟවීය. කිහිපවරක් ඔහු නොසන්සුන් ලෙස සිරකුටිවලට ඇතුළුවීමට ඇති  දොර දෙස බැලීය. ඇය මෙහි පැමිණි බව හන්ටර් විනිසුරුවරයා දැනගන්නට පෙර ඉඩලීන් පිටව යන්නේ නම් හොඳ යයි ඔහුට සිතුනි. ඇය කොපමණ වේලාවක් සිරගෙදර ඉදිරිපිට රැඳී සිටින්නට ඇත්දැයි දැන නොසිටිය ද සෑහෙන වේලාවක් ඉන්නට ඇත.කවුරුන් හෝ ඇය මෙහි රැඳී සිටිනු දකින්නට ඇති බව නම් ස්ථිරය. එසේ වුවහොත් එවැනි ඕපාදූපයක් වැඩි වේලාවක් රහසක්ව පවතින්නේ නැත.

නොසන්සුන් ලෙස මුහුණ ජනේලයට සමීප කළ ඔහු වීදිය දෙස නෙත් යොමු කළේය. හන්ටර් විනිශ්චයකාරයා ගලින් සැදුනු බැංකු ගොඩනැගිල්ලේ කෙළවරින් හැරී සිරගෙදර දෙසට එනු ඔහුට දැකගත හැකි විය. විනිශ්චයකාරයා ඉක්මනින් පියවර තබන ආකාරයෙන් ඇඟවෙන කෝපාවිෂ්ට ස්වභාවය ඔහුගේ බිරිඳ සිරගෙදර සිටින මැක්ග්‍රාත් බලන්නට ආ වග ඔහු නිසැකවම දන්නා බව  පෙන්වන සලකුණකි. 

ඉඩලීන් පිට කිරීමට ප්‍රමාද වැඩි බව බක්ට වැටහිණ. සිරගෙයට පිටුපසින් පිටවිය හැකි දොරටුවක් ද නැත. ඉක්මන් ගමනින් කාමරය හරහා ගිය ඔහු සිරකුටිවලට පිවිසෙන දොර විවෘත කළේය. යකඩ කූරු වලින් වෙන් වී සිටියද ඒ අතරින් මැක්ග්‍රාත් හා ඉඩලීන් වැළඳගනිමින් සිටියහ. "ඉඩලීන්, හන්ටර් නඩුකාරයා පාරදිගේ මේ පැත්තට එනවා. මං හිතන්නේ මිනිහා දන්නවා ඔයා මෙහාට ආ වග." ඔහු  වහාම දොර වසා දැමීය. සැනෙකින් නැවතත් විවෘත වූ දොර තුළින් බෙහෙවින්ම බියට පත්ව සිටි ඉඩලීන් පිටතට පැමිණියාය. ඒ සමගම මෙන් මහ හඬක් නගමින් විවෘත වු ඇතුළුවන දොර බිත්තියෙහි වැදී නතර විය. දොරට සවිකර තිබූ වීදුරුව බිඳෙන්නට ඇතැයි බක්ට සිතුනේය. 

හන්ටර් නඩුකාරයා වයස හැටක් හැටපහක් පමණ වූ සෘජු කයක් ඇති කෙට්ටු පුද්ගලයෙකි. සම්පූර්ණයෙන්ම පාහේ සුදු පැහැ ගැන්වුන හිසකෙස්,  සුදු උඩු රැවුලක් හා කඩවසම් වංශවත් පෙනුමකින් යුත් මුහුණකින් හෙබි ඔහුගේ දෑස් කෝපයෙන් දිලිසෙමින් තිබුණි. කාමරය ඇතුලට පැමිණි ඔහු අත දිගහැර දැඩි පහරක් එල්ල කළේය. එම පහර වැදුනු ඉඩලීන්ගේ කම්මුලෙහි රත්පැහැ වයිරම්වලින් කෝපය සලකුණු විය. ඇය බියෙන් හැකිලී ඔහුගෙන් ඈත් වූවාය. "තෝ, වේසී, තෝ, පර වේසී." හන්ටර් වියරුවෙන් කෑගසන්නට විය. 

ඒ සමීපයට පැමිණි බක් ඉඩලීන් හා විනිශ්චයකාරයාට මැදින් සිටගත්තේය. විනිශ්චයකාරයාට මුහුණ පා සිටගත් ඔහු, "ඔබේ බිරිඳත් සමග කරන රණ්ඩුසරුවල් මගේ වැඩක් නෙමෙයි විනිශ්චයකාරතුමනි. ඒත් ඒවා මෙතැනින් එළියේ කරගන්න." යයි පැවසීය. 

"තමුසෙට හෙන ගහන්ඩ, තමුසෙ තමයි ඒකිට මිනිහව බලන්න ඉඩ දුන්නේ. මොකක්ද තමුසෙට තියන අයිතිය......?"

"මට කිසිම අයිතියක් නෑ කිසිම කෙනෙක් මිනිහව බලන එකෙන් වලක්වන්න. ඒ හෙට මැරෙන්න ඉන්න මිනිහෙක්."

"ඒක ඊටත් කලින් උනානම් තමයි හොඳ!"

තත්පර කිහිපයක් දෙදෙනා එකිනෙකා දෙස කෝපය විහිදෙන නෙත් යොමාගෙන සිටියහ. අවසානයේ විනිශ්චයකාරයා කතා කළේය. "කරුණාකරලා ඔතනින් අයින් උනා නම් මම බිරිඳත් එක්ක පිටවෙලා යන්නම්."  

හිස හැරවූ බක් ඉඩලීන් දෙස බැලීය. ඇය මැක්ග්‍රාත් හමු වන්නට පුරුදුව සිටි බවත් එය මැක්ග්‍රාත්ට පමණක් සීමා නොවූ බවත් ඔහු දැන සිටියේය. එසේ වුවද ඇයගේ කඳුළු වැකි මුහුණත් භීතිය පිරි ඇස් දෙකත් දෙස බලන විට ඇයට දෝෂාරෝපණය කිරීමට හිත හදා ගැනීමට ඔහුට නොහැකි විය. "ඉඩලීන්, මෙයත් එක්ක යන්න කැමතිද? අකමැති නම් යන්න අවශ්‍ය නෑ." ඔහු කීය. 

එක් ක්ෂණයකට බලාපොරොත්තුවක සේයාවක් ඇයගේ දෑස් තුල දැල්වී නිවී ගියේය. ඇය වහාම හිස ඉහල පහල වැනුවාය. "ස්තූතියි ෂෙරීෆ්, මම එයත් එක්ක යන්නම්."

බක් ඇයට ඉඩදී ඉවත් විය. ඇය දොර අසලට ගොස් හන්ටර් විනිසුරුවරයා දොර ඇරදෙන තෙක් සිට පිට වූවාය. හන්ටර් ඇය දෙසවත් නොබලා, කතා නොකර ඊගහක් මෙන් සෘජුව ඇය පසෙකින් ගමන් කළේය. ඔවුහු ගලින් සාදන ලද බැංකු ගොඩනැගිල්ල කෙළවරින් හැරී නොපෙනී ගියහ. 

බක් කනස්සල්ලෙන් යුතුව සිතුවේ අකමැති නම් හන්ටර් සමග යාමට අවශ්‍ය නැතැයි කී පමණින් ඉඩලීන් සමග සම්බන්ධයක් තිබෙන බවට හන්ටර් තමාට චෝදනා නොකිරීම පුදුමයක් බවයි. 

හන්ටර් විනිසුරුවරයා තම බිරිඳට පහර දිය හැකි පුද්ගලයෙකුදැයි ඔහුගේ සිත නොසන්සුන්ව තිබුනේය. අද උදෑසනට පෙර නම් ඔහු එයට නැතැයි පිළිතුරු දෙන්නට ඉඩ තිබුණි. එහෙත් හන්ටර් ඉඩලීන්ට පහර දෙනු ඔහු මේ දැන් දුටුවේය. ඔහු නොසිටියේ නම් එය එක් කම්මුල් පහරකින් ඔබ්බට යන්නට ඉඩ තිබුනේය යන අප්‍රසන්න සිතුවිල්ල ඔහු සිත තුළ පැන නැගින. 

නොසන්සුන්කාරී ලෙස එහාටත් මෙහාටත් ඇවිද්ද ඔහුට දවස ඉක්මනින් ගෙවී යන්නේ නම් හොඳ යයි  සිතුනි. මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවීම වැලැක්විය හැකි මගක් සොයාගත හැකි නම් යන්න සිතට දැනුනේ නිරායාසයෙනි. අකමැත්තෙන්ම මේසය අසල වාඩිවූ ඔහු පයිප්පය හිස් කොට නැවත පුරවාගෙන පත්තු කරගත්තේය. කාමරය නිල් පැහැති දුම්කොල දුමින් පිරී ගියේය. 

බක්ගේ සිත එළියට එන්නට දඟලන කූඩු කරන ලද සතෙකු මෙන් විය. එහෙත් එළියට එන්නට තැනක් නැත. හන්ටර් විනිශ්චයකාරයා මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය නියමකර ඇත. අලුගෝසුවා ද පැමිණ සිටී. මැක්ග්‍රාත් පෝරකයට නැංවීම බක් ප්‍රතික්ෂේප කළහොත් හන්ටර් ඒ සඳහා වෙනත් අයෙකු යොදවනු ඇත. 

බිත්ති ඔරලෝසුව ටික් ටික් හඬ නංවන්නේ මැක්ග්‍රාත්ට ජීවත්වීමට ඇති වෙලාව එක් තත්පරය  බැගින් අඩු කරමිනි. ඕවන් බක්ට ඔරලෝසුවේ ටික් ටික් නාදය ඇසුනේ හෙන හඬක් ලෙසිනි. කුමක් හෝ දෙයක් කළයුතු බව ඔහුට වැටහුනත් කළ යුත්තේ කුමක්ද යන්න සිතාගැනීමට නොහැකි විය. 

තෙවන පරිච්ඡේදයත් සමග ලබන සතියේ හමුවෙමු.   

  

  



  




   

14 comments:

  1. රසවත් කොටසක්! ආයෙත් ඇවිත් බලන්නෝන !

    ReplyDelete
  2. අර කිව්වැහේ කෙටි ඒත් රසවත් කොටසක්. මේ යන විදිහ හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඕනවට වැඩිය කෙටි කරන්නත් බෑ. මේකෙ පරිච්ඡේද 20 ක් තියනවා. අවු. 10ක් විතර යයි ඉවරවෙන්න!

      Delete
  3. එක් ව හන්ටර් සමග යන්නට ඉඩක් ලැබුනෙන් දුක තියා
    බක්ගෙ අසළින් සුසුම් පිටකර සොඳුරු ඉඩලින් දැන් ගියා
    දික්ව නැත තව දිවි ගෙවන්නට මරණ දණ්ඩන දෙයි කියා
    මැක්ද වැළපෙයි කුමක් වෙයිදෝ බලා හිඳිමි මම නෙත් අයා...

    හරිම ලස්සනයි ..
    ඊළඟ කොටස එනතුරු ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. අපූරු කවියක්. බලාපොරොත්තු නැති දෙවල් වීමට නියමිතයි.

      Delete
  4. කුමක් හෝ දෙයක් කළයුතු බව ඔහුට වැටහුනත් කළ යුත්තේ කුමක්ද යන්න සිතාගැනීමට නොහැකි විය. - හිටපු ගමන් අපිටත් මේ වගේ වැඩ වෙනවනේ.
    මේ වගේ කෙටියෙන් තියෙද්දී නම් කියවන්න ලේසියි කියලා හිතුනා.
    ඊළඟ මොකද වෙන්නේ...? කලයුතු දේ වැටහෙයි ද ඉතිරි දවස් ටිකේ වත්...? එහෙම වුනොත් හොඳයි කියලාත් හිතුනා. මොකද මැක්ග්‍රාත් මැරුණට පස්සේ කතාව රසවත් නැති වෙයි වගේ හිතුනා මට.

    ReplyDelete
    Replies
    1. මොකක් වෙයිද කියන කුතුහලය අවසානය දක්වාම තියනවා.

      Delete
  5. බක්ගෙ මානසික හැසිරිම ගැන විස්තරය එක්ක තවත් කතාව රසවත් වෙනව.
    උඩින් පරිච්චේද 20ක් කියල තියෙන්නෙ. ඒ කියන්නෙ මේ යන හැටියට, තව බොහෝ කොටස් ටිකක් තියෙනව කියන එකද?

    ReplyDelete
    Replies
    1. පරිච්ඡේදයක් කොටස් දෙකකට කැඩුවොත් කොටස් 40ක්.

      Delete
  6. ඉතා රසවත් කොටසක් ...Mayya

    ReplyDelete
  7. උඩ ලියල තියෙන එක X 2

    ReplyDelete
    Replies
    1. කොටස් වශයෙන් ගත්තොත් හතරවන කොටස. පරිච්ඡේද වශයෙන් ගත්තොත් දෙවන පරිච්ඡේදයේ අවසන් කොටස.

      Delete