විනිශ්චය - V

                 


                                                

                                               පරිච්ඡේදය III 

                                              පළමුවන කොටස  

වේලාව උදෑසන නමය වනවිට ආර්ච් නෝත්කොට් පැමිණියේය. ෂෙරීෆ්ගේ කාර්යාලයේ දොර විවෘත කරගෙන පැමිණි ඔහු සමග අශ්වයින්ගේ ගන්ධය ද උන්ගේ කුරවලට පෑගී පොඩිඋන සේජ්බ්‍රෂ් කොලවල සුවඳ හා ඔහුගේ කහ පැහැති ශක්තිමත් දත් අතර සිරවුන හවානා සුරුට්ටුවේ සුවඳ ද  ඇතුළු විය. 

නෝත්කොට් ද බොහෝවිට විනිසුරු හන්ටර්ගේ වයසේම පසුවන බවක් පෙනුන ද දෙදෙනා අතර සමානත්වය එතෙකින් අවසන් වෙයි. නෝත්කොට් අඩි හයයි අඟල් දෙකක් උස දැවැන්තයෙකු වූ අතර ඔහුගේ සිරුරේ තරබාරු බවක් පෙන්වන ලිහිල් මාංශ පේශි අවුන්සයක් පමණවත් නොවීය. ශක්තිමත් සිරුරකින් හෙබි ඔහු ජීවිත කාලයම ගතකර තිබුනේ ශ්‍රමය වැය කිරීමට සිදුවන බර වැඩ කිරීමෙනි. ශක්තිසම්පන්න දැඩි සිරුර එහි ප්‍රතිඵලයකි. දිනකට උසස් වර්ගයේ හවානා සුරුට්ටු තුනක් පානය කළ ඔහු ඉඳහිට මිතුරකු සමග මත්පැන් ස්වල්පයක් පානය කළේ ඔහු එවන් දේ වලට විරුද්ධ සමාජශීලී නොවන පුද්ගලයෙකු ලෙස හංවඩු ගැහෙනවාට ඇති අකමැත්ත නිසාය.

රැවුල සම්පූර්ණයෙන් මුඩු කොට සිටි නෝත්කොට්ගේ හොඳින් වැඩුන හිසකෙස් වානේවල අළු පැහැයෙන් යුක්ත විය. බක් මෙතෙක් දැක ඇති වඩාත්ම ඝනව වැඩුන ඇහිබැමිවලින් ආවරනය ලැබූ ඔහුගේ දෙඇස් ශිත සෘතුවේ මිදුන දියපහරක අයිස්වල පැහැය ගත්තේය. ඔහුගේ හක්ක පිටතට නෙරා බෙදී වෙන්ව තිබෙන ස්වභාවයක් පෙන්නුම් කළ අතර උස්ව නෙරාගිය කම්මුල් ඇටවලට යටින් වූ කම්මුල් ගිලී ගොස් තිබුනේය. සිහින්ව පිහිටා තිබූ ඔහුගේ තොල් තවත් සිහින්ව පෙනුනේ මෙම උදෑසන ඔහු මුව තවත් තදකරගෙන සිටි නිසාය. "මොන යකාගේ කතාවක් ද මේ හැමතැනම කියන්නේ?" ඔහුගේ හඬ මහ හඬින් දෝංකාර දෙමින් නැගින. 

ඕවන් බක් නැගී සිටියේ නෝත්කොට් හට ගරුකළ නිසා හෝ ඔහ ප්‍රියකළ නිසා හෝ නොව තමන් පමණක් නිවැරදිය යන උඬගුබවින් පෙළුන ගවහිමියා හා හැකිතාක් සම මට්ටමට සිටින්නටය. "මට තේරෙන්නෙ නෑ ඔහේ මොනවද කතා කරන්නෙ කියලා." ඔහු පැවසීය.  

නෝත්කොට් නිතරම පාහේ ඔහු සමග ගැටුම් ඇතිකරගෙන තිබුනේය. අවඥාසහගත අහංකාර බවකින් යුතුව අනෙක් අයට සැලකූ නෝත්කොට් අවම වශයෙන් කතාවෙන් හෝ සියළුදෙනා යටපත්කොට තමන්ට අවශ්‍ය ආකාරයට වැඩ කළේය. 

"තමුසෙ දන්නවා මං කතාකරන්නෙ මොකක් ගැනද කියලා. මම කතාකරන්නේ අර ගඟ අයිනේ බලෙන් පදිංචි වෙලා ඉන්න යක්කු ගැන. උන් කියනවා මැක්ග්‍රාත් එල්ලන්න දෙන්නෙ නෑ කියලා." නෝත්කොට් කෝපයෙන් පැවසීය. 

"මිනිස්සු හුඟක් දේවල් කියනවා." බක් සන්සුන් ලෙස පිළිතුරු දුන්නේය. 

"තව එකක්. ආරංචියක් තියනවා තමුසේ මැක්ග්‍රාත්ට දීපු දඬුවම වෙනස්කරන්න කියලා ආණ්ඩුකාරයාට පණිවුඩයක් යැව්වා කියලා." 

"ඔව්, ලිව්වා."

"මොනවද එයා කිව්වේ?"

"මම හිතන්නෑ ඒක ඔහේට අදාල දෙයක් කියලා." 

"යකාට ගියාවේ. මම ඒක මට අදාළ කරගන්නවා,  මොනවද මිනිහා කිව්වේ?"

නොලැබුන පිළිතුරක් වෙනුවෙන් නෝත්කොට් හෝ වෙන කවරකු සමග හෝ ගැටුමක් ඇතිකර ගැනීම තේරුමක් නැති දෙයක් ලෙස වටහා ගත් බක් යන්තමට උරහිස් හකුලා "මිනිහා උත්තරයක් එව්වේ නෑ." යි පැවසීය. 

නෝත්කොට් ශබ්ද නගා හුස්මක් පිටකළේය. "දෙවියන්ට ස්තූතිවන්ත වෙන්න අඩුගානෙ මිනිහ පෙන්නුවා මිනිහට  මොලේ ටිකක් හරි තියනවා කියලා."

"එහෙම නැත්තං පෙන්නුවා කොන්ද නෑ කියලා ටිකක්වත්. එයා හිතනවා ඇති එල්ලලා මරණ එක ඉවරවෙන කල් මගඇරලා හිටියාම එක පැත්තකින්වත් ඡන්ද නැතිවෙන්නෙ නැතිවෙයි කියලා."

"මිනිහා එච්චර හොඳ කෙනෙක් කියලා හිතන්නෙ නෑ නේද?"

"නෑ."

"මම ගැන උනත් හොඳ කෙනෙක් කියලා හිතන්නැතිව ඇති නේද?"

"කොහොමද දැනගත්තේ?" 

"තමුසෙ මට කැමති උනත් එකයි, නැතත් එකයි. මට ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ ඔහේ තමුන්ගේ රාජකාරිය හරියට කරන තාක්කල්. ඒ කියන්නෙ හෙට මැක්ග්‍රාත්ව එල්ලුම්ගහට යවන එක."

තවත් මිනිස්සු මරණයට පත් උනත්?

තවත් මිනිස්සු මැරෙන්නෙ මොකටද? ඔය බලෙන් පදිංචි වෙලා ඉන්න යක්ෂයෝ ටික කරන්නෙ බොරුවක්.  හරියට බැලුවොත් වෙලාව ආවම උන් එකෙක්වත් අතක්වත් උස්සන්නෑ. 

ඇයි? තමුනුයි තමුන්ගෙ යාළුවොයි ඒ අයට එහෙම කරන්න බැරිවෙන්න වගබලා ගන්න නිසාද?

හරි. අපිත් එනවා. ඔය හොරට පදිංචි වෙලා ඉන්න උන්ට ඕනෑ සටනක් නම් අපි ඒක දෙන්න ලෑස්තියි.

බක්ට දැනුන නොරිස්සුම්බව ක්‍රමයෙන් පාලනය කරගත නොහැකි කෝපයක් දක්වා වර්ධනය වෙමින් තිබිණ. "මැක්ග්‍රාත් එල්ලලා මරන්න තීරණය නොකළ යුතුව තිබුනා. නීතියට අනුව බැලුවොත් ඔබේ ඉඩමේ පදිංචි වෙලා ඉන්න ඔහුට සම්පූර්ණ අයිතිය තිබුනා. ගැලොවේට කිසිම බලයක් නෑ එයාව බලෙන් අයින් කරන්න." 

නෝත්කොට් ඔහු දෙස අනුකම්පාසහගත ලෙස බැලීය. "ඔබ හිතන්නෙ මැක්ග්‍රාත් ගැලොවේ මැරුවේ ඒ හින්දා කියලද?" 

"ඇයි, ඒක එහෙම නෙවෙයිද?" ඕවන් බක්ගේ සිතෙහි ක්ෂණිකව නොසන්සුන් බවක් මතුවිය. 

"නෑ, කොහෙත්ම නෑ. මැක්ග්‍රාත් ගැලොවේ මැරුවේ මිනිහගේ කට වහන්න."

මොකක් ගැනද? 

නෝත්කොට් සිය විශ්මය පළ කළේය. "මම හිතුවේ ඔබ දන්නවා කියලා. මම හිතුවේ හැමෝම දන්නවා කියලා." 

"මොකක් දන්නවා කියලද?" 

"නගරයේ උඩහ කෙළවරේ තියන ගස්ගොන්නේ මැක්ග්‍රාත් නඩුකාරයාගේ ගෑනිත් එක්ක ඉන්නවා ගැලොවේගෙ අතටම අහුඋනා." 

"ඒක නඩුවෙදි මතුකලේ නැත්තෙ ඇයි?" බක්ට සිය බඩ සීතල වේගන යන්නාක් මෙන් දැනින. මෙය සත්‍යයක් නම් මේ පිළිබඳව ඔහු දැනුවත් කළයුතුව තිබුණි. එය එසේ නොවන්නේ යයි සිතීමට කිසිම හේතුවක් ඔහුට පෙනුනේ නැත. 

"ගැලොවේ මැරුනා. ඔහු දැකපු ඕනෑම දෙයක් අසා දැනගත් සාක්ෂි හැටියටයි සැලකෙන්නේ. විනිශ්චයකාර හන්ටර් ජනපද නීතිපතිට කිව්වා ඒක පිළිගන්න බෑ කියලා."

"ඒත් නඩුව ආරම්භ වෙන්න ඉස්සර විනිශ්චයකාරයා ඒක දැනගෙන හිටියා?"

"ඇත්තෙන්ම දැනගෙන හිටියා."

බක්ට බොහෝ දේ පැහැදිළි විය. විනිශ්චයකාරයා පැනවූ මරණීය දණ්ඩනයට හේතුව ද පැහැදිළි විය. බිරිඳගේ අනාචාරී හැසිරීමෙන් ඔහු අවමානයට පත්වූවා පමණක් නොව ගැලොවේ එය දැනසිටීම කලින් සැලසුම් කළ මිනීමැරුමක් සඳහා වරදකරු ලෙස ඔප්පු කිරීමට කලින් නොතිබූ පෙළඹවීමක් ද සපයා දුන්නේය. මැක්ග්‍රාත් නෝත්කොට්ගේ තණබිමෙහි හදාගෙන තිබූ ගෙවත්තෙන් ඔහු නෙරපීම සඳහා ගැලොවේ දැරූ උත්සාහයෙන් සිදුවූයේ මැක්ග්‍රාත්ට අවස්ථාවක් ලබාදීම පමණි. එම රාත්‍රියේ එතැන සිටි සියළුම මිනිසුන්ගෙන් වෙඩි තබනු ලැබූයේ ගැලොවේට පමණි. සමහරවිට මැක්ග්‍රාත් ගැලොවේගේ මිනීමැරුම කළින් සැලසුම් කළා වන්නට පුළුවන. එහෙත් නඩුව ඇසීමේදී එය සැලකිල්ලට නොගත්තේ නම් සාක්ෂිවලින් තහවුරු වන ප්‍රමාණයට වඩා බරපතල තීන්දුවක් ඔහුට එරෙහිව දීම සඳහා එම කරුණ යොදා නොගතයුතුව තිබුණි. මරණීය දණ්ඩනය සාධාරණ වන්නට පුළුවන. එහෙත් එය නිත්‍යානුකූල නොවේ.

මෙය බක් කලින් දැන සිටි දෙයක් නොවන බව තේරුම් ගත් නෝත්කොට් ඔහු දෙස දෑස් යොමුකොට උද්දාමය මුසු වූ හඬකින් "දැන් මොකද තමුසෙගෙ මහ ලොකු මැක්ග්‍රාත් ගැන හිතන්නේ?" යයි විමසීය.       

"ඒ තරම් දෙයක් නෑ. ඒත් වැදගත්ම කාරණය ඒක නෙමෙයි.  හන්ටර් නඩුකාරයා විනිශ්චාසනයේ ඉඳගෙන අහන නඩුවක් නිත්‍යානුකූල නෑ. තීන්දුවත් නිත්‍යානුකූල නෑ. හන්ටර් නඩුකාරයාගෙ හිතේ තිබුන ඊර්ෂ්‍යාව තීන්දුවට බලපෑවා."  

"වෙන්නැති. ඒත් ඒක ඔබට අදාල දෙයක් නෙවෙයි. ඔබේ රාජකාරිය මැක්ග්‍රාත් එල්ලුම්ගහට යවන එක." 

බක්ගේ කෝපය කැකෑරී, කැලැත්තී උතුරා ආවේය. මැක්ග්‍රාත් හා ඉඩලීන් එකට සිටිනු ගැලොවේට අසුවූ බව කවුරුන් හෝ ඔහුට කිව යුතුව තිබුණි. විනිශ්චයකාරයා එය මුලසිටම දැනසිටි බව කවුරුන් හෝ ඔහුට කිව යුතුව තිබුණි. ඔහු රවටනු ලැබුවාක් වැනි හැඟීමක් ඔහුට ඇති විය.

"යනවා ඕයි යන්න මෙතනින් එළියට. මගේ රාජකාරිය මට කවුරුවත් කියලා දෙන්න ඕනැ නෑ." ඔහු කෝපාවිෂ්ටව ගිගුරුවේය. 

කතාකළ ස්වරය නිසා නෝත්කොට් ඔහු දෙස ඕනෑකමින් බලා යමක් කියන්නට මෙන් මුව විවරකොට යළිත් සිත වෙනස් කරගත්තේය. තවත් වචනයක් හෝ නොකියා ඔහු දොරෙන් එළියට ගියේ උලුවස්ස මත රැඳුන දුහුවිලි තට්ටුවෙන් දොර නැහැවී යන තරම් තදින් දොර වසා දමමිනි. 

තුන්වන පරිච්ඡේදයේ දෙවෙනි කොටසත් සමග ඊලඟ සතියේ හමුවෙමු.



 

   

 


 

 




  

   





    

11 comments:

  1. ම්ම්. රහයි ඒ කොටසත්. එක හුස්මට කියෙව්වා .
    ජයවේවා !!!

    ReplyDelete
  2. නියමයි. දිග වැඩි නෑ, වෙහෙසක් නැතුව එක හුස්මට කියෙව්වා. හා, හා ඊළඟ?

    ReplyDelete
  3. කතාව රසවත්. ... අර නම් සෙට් එක වෙනුවට අපේ සිංහල නම් තිබ්බා නම්මරු කියලා හිතුනා. මට හිතෙනව කතාව අවසන් වෙනතුරු මැක්ග්‍රාත් එල්ලුම්ගහට යවන එක ගැනම කතා වෙයිකියලා. 😆


    ReplyDelete
    Replies
    1. පරිවර්තනවලදී නම් හා සිදුවීම් අපට ඕන විදියට වෙනස්කරන්න බැහැනේ.

      Delete
    2. අනුවර්තන හා චායානුවර්තන වලදී විතරයි එහෙම වෙනස් කරන්න ඇහැකි. උදාහරණයක්:
      රොමාගෙ වාසනාව

      කලොත් ලස්සනයි, ඒත් ඒක වෙනමම මානයක්.

      Delete
  4. මාත් ආවා කියවගෙන එන්නම්...

    ReplyDelete
  5. ඒක මරුනේ.. ආයේ දිගටම කරක් ගහන්ඩෝන

    ReplyDelete
  6. නියමයි ...ඔහොම යන් Mayya

    ReplyDelete
  7. කියෙව්ව. වෙනද වගේම සුමටව ගියල තියේ!

    ReplyDelete
  8. මේක කියවන්න මිස් වෙලා. කතාව දැන් සම්පුර්ණයි .ඊළඟ කොටස එනකන් ඉන්නව

    ReplyDelete