රේස් බුකියට ගිය ෆේස් බුකිය!

 

(cartoon movement වෙතින්)

වාසිතය බ්ලොග් අඩවිය කරන  ඩියොන් මිතිල ප්‍රනාන්දු ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පී මයිකල් ඇන්ජලෝ පිළිබඳව අපූරු ලිපියක් තම බ්ලොග් අඩවියේ පළ කර තිබිණ. එම තොරතුරු ගොනුකර ගැනීම පිණිස ඔහු සෑහෙන වෙහෙසක් දරන්නට ඇත.

එම තොරතුරු වල ඇති වටිනාකම නිසාම එම දැනුම මාගේ හිතමිතුරන් හා හුවමාරු කර ගැනීමේ අදහසින් එය ෆේස් බුකිය හරහා බෙදා ගැනීමට උත්සාහ කළෙමි.  (වත්පොත, මුහුණු පොත ආදී වශයෙන් තවත් භාවිතයේ පවතිණ සිංහල යෙදුම් තිබුණ ද වඩා ගැලපෙන්නේ මේ යෙදුම බව මට දැන් පහල වූ අදහසයි. ප්‍රකට මාධ්‍යවේදී නාලක ගුණවර්ධන මහතාගේ අදහස නම් Facebook යනු සමාගමක නමක් බැවින් එය පරිවර්තනය කිරීම වැරදි දෙයක් බවයි. මා මේ නම සුදුසු යයි යෝජනා කරන්නේ එහි හැසිරීම නිරීක්ෂණය කිරීමෙන් පසුවයි.)  පුදුමයකි! ෆේස් බුකිය විසින් වාසිතය බ්ලොග් අඩවිය අවහිර කර ඇත. එහි අන්තර්ගතය සමාජයට අහිතකරලු! එම අදහස් සමාජයට අහිතකර වන්නේ කෙසේදැයි පෙන්වා දෙන්නේ නම් ඒ මහත්වරුන්ට නයිට්‍රජන් දියර පොහොර බූලියක් තෑගි කිරීමට සැදී පැහැදී සිටිමි. 

මේ මා ලත් පළමු අත්දැකීම නොවේ. මීට පෙර ද ඉකොනොමැට්ටාගේ බොජුන්හල බ්ලොග් අඩවියේ ලිපියක් හුවමාරු කරගැනීමට ගිය අවස්ථාවේ මේ ප්‍රතිචාරයටම මුහුණ දෙන්නට ලැබිණ. මේ ඉරණමටම මුහුණ දී ඇති තවත් බ්ලොග් අඩවි තිබෙන්නට පුළුවන. මෙයින් එම බ්ලොග් කරුවන්ට වෙන පාඩුවක් නැතත් එසේ වීමට හේතු සොයාබැලීම ප්‍රතිඵලදායී ව්‍යායාමයක් ලෙස සිතමි. මෙම බ්ලොග් අඩවි දෙකටම පොදු ලක්ෂණයක් වන්නේ දේශපාලනය හෝ වෙනත් බෙදීම් උත්තේජනය නොකරන ආකාරයේ ඒවා බව ය. එමෙන්ම තම පාඨක පිරිස දැනුමින් පොහොසත් කිරීමට තමා සතු දැනුම බෙදා ගැනීමට උත්සුක වන ආකාරයේ ඒවා වීම ය. මිථිල සඳහන් කර තිබුනේ මෙම අවහිර කිරීම වසර දෙකකට පෙර සිදුවූ බවත් එය ඉවත් කරගැනීමට ගත් උත්සාහය සාර්ථක නොවූ බවත් ය. ඉකොනොමැට්ටා සඳහන් කර තිබුනේ කැමති අයෙකුට තම බ්ලොග් අඩවිය පරිහරණය කිරීමට හැකි හෙයින් එම තහනම ගැන තැකීමක් නොකරන බව ය. 

ෆේස්බුකියේ තහනම ඉබේ සිදුවන්නේ නැත. අදාළ බ්ලොගයට එරෙහිව කවුරුන් විසින් හෝ පැමිණිළි කළ යුතු ය. එසේ නම් අප තේරුම් ගත යුත්තේ අප සමාජය දැනුමින් සන්නද්ධව වීචාරශීලී පිරිසක් වනවාට අකමැති "බුද්ධිමතුන්" පිරිසක් සමාජ මාධ්‍ය පරිහරණයෙහි යෙදී සිටින බව ය. ජනතාව දැනුමින් පෝෂණය වීම ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක් බව ය. කණගාටුවට කරුණ නම් වැල්ලේ හිස ගසා ගත්තාට පස්ස පැත්ත එළියේ බව මේ අය තේරුම් නොගැනීම ය. වර්තමාන සන්නිවේදන ලෝකයේ එවැනි අවහිර කිරීම් වලින් සිතීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව මොට කළ නොහැකි බව ය. මම ද ඒ අවස්ථා දෙකේදීම එම ලිපි හුවමාරු කරගැනීමට වක්‍ර ක්‍රමයක පිහිට ලබා ගත්තෙමි. කළ යුතු දේ නම් පළකර ඇති අදහස් හා එකඟ නොවන අවස්ථා වලදී එම එකඟ නොවීම ප්‍රකාශ කිරීමට එතැන්හීම සලසා ඇති ඉඩෙන් ප්‍රයෝජන ගෙන තම අදහස් ද ඊට එකතු කිරීම ය. ෆේස්බුකියේ කපන උදවිය ද කළ යුත්තේ අඩු තරමින් අසූචි ටිකක් තවරා හෝ තම නිර්ණායක අසිපත් වල බැඳී ඇති මළකඩ ඉවත් කරගැනීම ය! 


 

 

4 comments:

  1. මිතිල ට කාලයක් කොපි කරනවා කියල කට්ටියක් චෝදනා කරලා තිබුන, අපි සම්මානයක් දෙන වෙලාවේ අපටත් චෝදනා කළා. පස්සේ අපි මිතිලට කීව මුලාශ්‍ර දාන්න . එතකොට ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ කියල. අපි ඒ සම්මානය දුන්න. ඒ අයම ඔය කම්ප්ලේන් එකත් කරන්න ඇති.

    ReplyDelete
    Replies
    1. කොච්චර උනත් සම්මානයක් වටිනව. ඔව්.
      පදැන් පිටකොරුවෙත් සෑහෙන අඩුයි ඩොලර් ප්‍රශ්නෙ නිසා.

      Delete