විනිශ්චය III

 



                                      පරිච්ඡේදය II - පළමු කොටස

අකමැත්තෙන් මෙන් ආපසු හිරගෙදර වෙත පැමිණි ඕවන් බක් ඊට යාබදව පිහිටි හිස් පිට්ටනියේ මොහොතකට නැවතී ජේසන් හා ජෙස් ග්‍රියර් දෙදෙනා වැඩ කරන අයුරු බලා සිටියේය. මිටි පහර නැගූ හඬ ඔවුන්ගේ වෘත්තීය පරිචය පෙන්වමින් ඒකාකාරී රිද්මයකට නැගී ආවේය. ඔවුහු පෝරකයට නගින පඩිපෙළ නිමවා එයට ඇණ ගසමින් සිටියහ. සිරගෙදරට ආපසු යාමට පසුබටවෙමින් සිටි බක් පෝරකයට අඩි පහලවක් වනතෙක් ලංවීය. "සුබ උදෑසනක්, ෂෙරීෆ්!" ජේසන් ග්‍රියර් පැවසීය. 

"සුබ උදෑසනක්, කොච්චර වෙලාවක් යයිද ඉවරවෙන්න?"

"වැඩිම උනොත් ඉර මුදුන්වෙන වෙලාව වෙනකොට. මේ පඩිවලට ඇණ ගැහුවට පස්සෙ අපිට තියෙන්නේ උගුල් දොර හයිකරන්න විතරයි. ඒකට නං ටිකක් වෙලා යයි. අපි ඒක හරියටම කරන්න ඕනෑ." 

"මීට ඉස්සර පෝරකයක් හදලා තියනවද?" 

"ම්හු, සැලැස්ම නඩුකාරයාගෙන් ඉල්ලාගත්තේ."

තමන් සිරගෙදර වෙත යායුතු බව බක් දැන සිටියද දෙදෙනා පෝරකයේ පඩිපෙළ ක්‍රමානුකූලව සාදන දෙස බලමින් ඔහු බක් තවදුරටත් ප්‍රමාද විය. තවමත් උණුසුම්ව තිබූ පයිප්පය සාක්කුවෙන් ඉවතට ගත් ඔහු එය පුරවාගත්තේය. මෙවර ඔහු එය කලබල නැතිව සෙමින් උරන්නට ගත්තේය. 

අවසානයේ තවදුරටත් ප්‍රමාද කළ නොහැකි තැන සිරගෙදර දොරේ අගුල ඇර ඇතුලු වී නැවතත් මැක්ග්‍රාත් සිටින සිරකුටිය වෙත ගිය ඔහු කෑම භාජන රැගෙන සිරගෙදර ඉදිරිපස තිබූ ඔහුගේ කාර්යාල කාමරයට පිවිසියේය. 

ඔහු මැක්ග්‍රාත්ට කැමති නැති බව ඔහුටම වැටහී ගියෙන් ඒ කුමක් නිසාදැයි තමන්ගෙන්ම විමසා ගත්තේය. ඔහුගේ කඩවසම් පෙනුම හා කිසිම උත්සාහයක් නැතිව ගැහැණුන් ඇදබැඳ ගැනීමේ හැකියාව ගැන ඊර්ෂියාවක් ඇතිවී ද? නොදැනීම ඔහුගේ හිස දෙපසට සැලුනේය. ඒක නෙමෙයි හේතුව. පෞද්ගලිකව කිසිම  හේතුවක් නෑ. ඔහු අනුමාන කළ පරිදි සත්‍යය නම් ඔහු මැක්ග්‍රාත් ප්‍රිය නොකළේ ඔහු කිසිදු හරයක්, ගැඹුරක් නොතිබූ පුද්ගලයෙක් නිසයි. ළමාවියේ සිටම මැක්ග්‍රාත්ට සැම දෙයක්ම නිරායාසයෙන්ම ලැබෙන්නට ඇත. තවමත් එය එසේමය. එහි ප්‍රතිඵලය වූයේ මැක්ග්‍රාත් ලාමක හා ආත්මාර්ථකාමී මිනිසෙකු වීමයි. බක් වඩාත්ම පුදුමයට පත්කළ සිද්ධිය වූයේ මෙතරම් ආත්මාර්ථකාමී හා ලාමක අයෙකු වූ මැක්ග්‍රාත් කුඩා ජලපහර දිගේ ඉහලට ගොස් ආර්ච් නෝත්-කොට්ගේ තණබිමෙන් කොටසක් අල්ලාගෙන හිමිකම් පෑමයි. ඒ ක්‍රියාව ඔහුගේ චරිතය හා ගැලපෙන්නක් නොවේ. තමන් ගැනම පමණක් සිතන, සැම දෙයක්ම පහසුවෙන් ලැබුන තරුණයෙකුට කොහෙත්ම ගැලපෙන්නක් නොවේ. 

සුළු වේලාවක් බක් කල්පනා කළේ ජොනී මැක්ග්‍රාත් තම චරිත ස්වභාවයට නොගැළපෙන මෙවැනි ක්‍රියාවක් කිරීමට පෙළඹුන හේතුව ය. එක්වරම හේතුව සිතට නැගින. ගැහැණුන් දිනාගැනීම මැක්ග්‍රාත්ට පහසු දෙයක් විය. ආකර්ෂණීය පෙනුමත් කඩවසම් බවත් නිසා මලට ඇදෙන මීමැස්සන් රංචුවක් මෙන් ඔවුහු ඔහු වෙත ඇදුනහ. එහෙත් අනෙක් මිනිසුන් නිරන්තරයෙන්ම ඔහු ගැන විශ්වාසයක් නොතැබූහ. නොලැබුන නිසාම ඔහුට මිනිසුන්ගේ ගෞරවය අත්‍යවශ්‍ය වී තිබිණ. හිතුවක්කාර ලෙස ආච් නෝත්-කොට්ගේ තණ පිටියෙන් කොටසකට හිමිකම් පෑම නිසා ඔහුට එම ගෞරවය ලැබිණ. අනවසර පදිංචිකරුවන් සෑමදෙනෙකුගේම පැසසුම් හා ගෞරවය ඔහුට හිමි විය. එපමණක් නොව නගරයේ සිටි සමහරක් මිනිසුන් පවා අකමැත්තෙන් වුවද ඔහුගේ හිතුවක්කාර ක්‍රියාව අගය කළහ. කෙටි කලකට මැක්ග්‍රාත් ගොලායත්ට අභියෝග කළ ඩේවිඩ් මෙන් ගවහිමියන්ගේ බලයට අභියෝග කළ වීරයෙකු විය. නෝත්කොට් ඔහු නෙරපා හැරි පළමු වතාවේ ප්‍රතිවිරෝධයක් නොදක්වා ඉවත්ව ගිය ඔහු කින්කේඩ් සමග පැමිණ පෙර ලියාපදිංචි නොකල ඉඩම්වල පදිංචියට නීත්‍යනුකූල හිමිකම් ලබාදෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස බක්ගෙන් ඉල්ලා සිටියේය. ගතයුතු තීරණය අනෙකක් යයි හැඟුනත් ඔහු මායිම් ලකුණු කරගත් ඉඩම් කැබැල්ලේ අයිතිය ඔහුට දීමට බක් පියවර ගත්තේය. 

යළිත් වරක් ඉඩම් කැබැල්ලෙන් මැක්ග්‍රාත් ඉවත් කිරීමට ආච් නෝත්කොට් උත්සාහ කළ අතර එහිදී ඇති වූ වෙඩි හුවමාරුවකින් ඩෑන් ගැලොවේ මියගියේය. 

දැන් ආච් නෝත්කොට්ගේ තණබිම මැද මායිම් ලකුණු කරන ලද  අක්කර එකසිය හැටක් වූ ඉඩම අතහැර දමා ඇති හෙයින් නෝත්කොට් මායිම් කණු ගලවා විනාශ කර දමා තිබේ. මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවුව හොත් අවසානය එලෙසම වනු ඇත. කින්කේඩ් හා ඉඩම්වලට හිමිකම් කීමට බලාපොරොත්තුවෙන් සිටින ඔහුගේ සහචර පිරිසට සිදුවන්නේ ගවහිමියන්ට අනවශ්‍ය ඉඩම්වල පදිංචි වීමට හෝ ප්‍රදේශයෙන් සහමුලින්ම ඉවත්ව යාමට ය. ඒ නිසාම ජොනීගේ මරණීය දණ්ඩනය සාමාන්‍ය අපරාධයකට දඬුවම් පැනවීමට වඩා වැඩි දෙයක් බවට පත්වෙයි. ජනපදයේ හා එහි වැසියන්ගේ අනාගතය රඳා පවතින්නේ මේ තීන්දුව මත ය. ඔහු එල්ලා දැමුවහොත් ඉඩම් බලාපොරොත්තුව සිටින පදිංචිකරුවන් ඉවත්ව යනු ඇත. එල්ලා නොදැමුවහොත් ඔවුන් නවතිනු ඇති අතර ඔවුන්ට පදිංචිවීම සඳහා ගවහිමියන් විසින් සතුකරගෙන සිටින දැවැන්ත හොවිපොළ බිම් බෙදීමට සිදුවනු ඇත. 

මැක්ග්‍රාත්ගේ ආහාර බඳුන් රැගෙන පිටතට පැමිණි බක් ඒවා බිම තබා දොර අගුළු දැම්මේය. නැවතත් හාජන අතට ගත් ඔහු හෝටලයේ කෑම කාමරය දක්වා පැමිණ වාඩි වී රෝස් විජිල් පැමිණෙන තෙක් සිට ඔහුගේ උදෑසන ආහාර වේල ඇනවුම් කළේය. ඇය ආහාර බන්දේසිය ද රැගෙන ආපසු ගියාය. 

මේ උදෑසන කාලයේ පවා සාමාන්‍යයෙන් දකිනවාට වඩා වැඩි සෙනගක් කෑම කාමරය තුළ දකින්නට පුළුවන. කලාතුරකින්වත් නගරයට  නොපැමිණෙන ජනයා  ජනපදයේ ඈත ප්‍රදේශවලින් පැමිණි සිටිනු  බක්ට හඳුනාගත හැකි විය. ඔහු නොරිස්සුම් සහගත ලෙස කල්පනා කළේ අද රෝමයේ නිවාඩු දිනයක් මෙන් වනු ඇති බවයි. හෙට හිමිදිරියේ එල්ලා මැරීම නැරඹීමට ළමුන් පවා සිටිනු ඇති බවට ඔට්ටුවක් ඇල්ලීමට වුව බක් සූදානම්ය. ඔවුන්ගේ දෙමව්පියන් දරුවන්ට එය බැලීමට ඉඩදීම ගැන පසුව පසුතැවිළි වෙනු ඇත. මේ අවට කිසිවෙකුත් එල්ලා මැරීමක් දැක නැත. එය කෙතරම් භයානක දර්ශණයක්දැයි ඔවුන්ට කිසිම අවබෝධයක් නැත.

නාදුනන පුද්ගලයෙක් අසල මේසයකින් නැගිට බක් වෙත ආවේ ඔහුගේ කබායේ පැළඳගෙන සිටි නිල ලාංඡනය දෙස ඇස් යොමු කරගෙනය. 

"ෂෙරිෆ් ඔබද?" ඔහු ඇසීය. 

බක් හිස සැලීය.

"මම ලූක් ගැන්ට්." ඔහු පැවසීය. 

බක් නැගි සිට ගැන්ට් දිගුකල අත අල්ලාගත්තේ එතරම් උනන්දුවකින් තොරවය. ගැන්ට් යනු විනිශ්චයකාර හන්ටර් විසින් කැනන් සිටි බන්ධනාගාරයෙන් කැඳවනු ලැබූ අළුගෝසුවාය. සීතලට දැනුන ගැන්ට්ගේ අත ඔහු ඉක්මනින්ම අතහැරියේය. ඔහු ගැන්ට්ට වාඩිවෙන්නට ආරාධනා කළේද නැත. අපහසුතාවට පත්ව මෙන් මදක් සිටගෙන සිටි ගැන්ට් "මම එහෙනං යන්නම්." යයි පැවසීය. 

"හොඳයි." බක් හිස සලා ප්‍රතිචාර දැක්වීය. 

ගැන්ට් තමාගේ මේසය වෙත ආපසු ගියේය. බක් කල්පනා කළේ මේ පුද්ගලයා ගැන දැනුන අප්‍රසන්න හැඟීම ගැනය. ගැන්ට්ගේ පෙනුමෙහි හෝ හැසිරීමෙහි කිසිදු අමුත්තක් නොවීය. සැබැවින්ම බක් දැනසිටි බොහෝ මිනිසුන්ට වඩා ඔහු කෙරෙන් ශීලාචාර බවක් දිස්විය. බක්ගේ සිතට නැගුන සිතුවිල්ල නම් ගැන්ට් අතින් අවාසනාවන්ත ජීවිත කීයක් නැති වී ඇත්ද යන්නයි. 

ඔහු සිතන ආකාරය සාධාරණ නැති බවක් ඔහුට හැඟින. එල්ලුම්ගසේ අගුලුදොර විවෘත තරන්නේ ගැන්ට් වන්නට පුළුවන. එහෙත් මැක්ග්‍රාත් පෝරකය වෙත කැඳවාගෙන ගොස් පඩිපෙළ දිගේ උඩට නැංවීමට සිදුවන්නේ තමාටමය. 

රෝස් ඔහුගේ කෑම වේල රැගෙන ආවාය. ආහාර ගැනීමට තිබූ රුචිය නැතිව ගොස් තිබුන ද ඔහු බලෙන්ම මෙන් කෑම ගිල දමා මුදල් මේසය මත තබා ඉක්මන් ගමනින් ආපසු හිරගෙදර වෙත ගියේය. 

විනිශ්චයකාරයාගේ බිරිඳ ඉඩලීන් හන්ටර් හිරගෙදර අගුලු දැමූ දොරට පිටින් ඔහු එනතෙක් බලා සිටියාය. සුරූපී කාන්තාවක් වුවද මේ උදෑසන ඇය සිටියේ බියෙන් සුදුමැලි වූ ස්වභාවයකිනි. ඇය වීදියේ දෙපසටම වරින්වර ඇස් යොමු කළේ කවුරුන් හෝ දකී යයි බියෙන් මෙනි. එසේ වුවද ඇගේ පැමිණීමේ ප්‍රතිවිපාකය කුමක් වුවද කෙසේ හෝ එයට මුහුණදෙන අධිෂ්ඨානශීලී බවක් ඇය කෙරෙන් දිස්විය. 

කඩිනමින් දොර අගුළු විවෘත කළ බක් ඇයට ඇතුළුවීමට ඉඩ සැලැස්වීය. ඇය කළ දෙය අනුමත නොකළ ද  ඔහුගේ සිතෙහි ඇය කෙරේ කණගාටුවක් ඇතිවූයේ ඉබේටම මෙනි. ජොනී මැක්ග්‍රාත් එතරම් දෙයක් ලැබීමට තරම් වටිනා පුද්ගලයෙකු නොවේ. එහෙත් ඇය ඔහුට ආදරය කරන්නීය. නොඑසේනම් ආදරය කරන බව සිතන්නීය.

"ෂෙරීෆ් බක්, මට එයා බලන්න පුළුවන්ද?" ඇය බයාදු ලෙස ඇසුවාය. 


දෙවන පරිච්ඡේදයේ දෙවන කොටස කියවන්න දින හතකින් නැවත එන්න.      


 

  


    

      





 

10 comments:

  1. හොදයි...දවස් 7 කින් එන්නම්.....දිගටම ලියා ගෙන යන්න - Mayya

    ReplyDelete
  2. හම්මේ අදනම් එක දිගටම කියෙව්වා.. මර කතාවක් තමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, දිගටම කියවලා බලන්න.

      Delete
  3. ඔබගේ ලිවීම් වෙනමම කලාවක්!

    ReplyDelete
    Replies
    1. වැඩි හරියක් පරිවර්තනනෙ.

      Delete
  4. අදද මන්දා පලවෙනි වතාවට මෙහෙ ආවේ. හරි සෝක් කතාවක්.

    ReplyDelete
  5. පරිවර්ථනය සුමටව තියෙනව... කියවන්න පහසු විදිහට. මේ පැත්තෙ එන්න පහු උනාට සමාවෙන්න ❤!

    ReplyDelete