විනිශ්චය - II

              මේ පසුගිය සතියේ ඉදිරිපත් කළ The Trial at Apache Junction  නවකතාවේ පළමු පරිච්ඡේදයේ දෙවන හා අවසාන කොටසයි. පසුගිය කොටසට සාධනීය ප්‍රතිචාර කිහිපයක් ලැබී තිබුණ මුත් මේ ලියන මොහොත වන විට එය කියවා ඇත්තේ 31ක් තරම් සුලු ප්‍රමාණයකි. Litseeker ලියන දේවල් කියවන්නට මහා ලොකු පිරිසක් එන්නේ නැති වුවද එය මාගේ බ්ලොග් සටහනක් කියවා ඇති අවම සංඛ්‍යාවලින් එකක් වෙයි. කෙසේ වුවද පළමු පරිච්ඡේදය මෙතෙකින් නිම වෙයි. දෙවන පරිච්ඡේදයටත් යනවා ද යන්න පසුව තීරණය කරමු.

පළමු කොටස මෙතැනින්.                          

                                     

                                

                                                පරිච්ඡේදය - I

                                               දෙවෙනි කොටස

ඔහු මේ වනතෙක් බලාපොරොත්තු වූයේත් තවමත් බලාපොරොත්තු තබාගෙන සිටින්නේත් ආණ්ඩුකාරයා තීරණයක් ලබාදීමට තරම් කල්වේලා ඇතිව අගනගරයට පැමිණෙතැයි කියාය. එසේ වුවහොත් ඔහුට තීරණයක් ගැනීම අවශ්‍ය නොවේ. එහෙත් වෙනත් විදිහක, අසහනකාරී සිතුවිල්ලක් එක්වරම ඔහුගේ සිතට නැගින. සමහර විට ආණ්ඩුකාරයා කාර්යාලයේ නොසිටිනවා නොව තීන්දුව දෙන්නට ඔහුට අවශ්‍ය නැතිවා වෙන්නට පුළුවන. වෙලාවට සම්බන්ධ කරගත නොහැකි වුවහොත් කිසිම පාර්ශවයකින් දෝෂාරෝපණයක් අහන්නට ඔහුට සිදුවන්නේ නැත. 

ඔහු මෙතෙක් වේලා තදින් උරමින් සිටි පයිප්පයේ දුම්කොල දමන කොටස අතින් අල්ලාගෙන සිටිය නොහැකි තරමට රත්වී ඇත. පැළඳ සිටි බූට් සපත්තුවේ අඩියේ ගසා අළු ටික ඉවත් කිරීම සඳහා ඔහු මදකට නැවතුනේය. මෙතැන සිටගෙන සිටියදී ගඟ අද්දර පිහිටි කොට්න්වුඩ් ගස් ගොම්මනේ අනවසර පදිංචිකරුවන් විසින් ඉදිකරන ලද පැල්පත් හා කූඩාරම් කිහිපයක් පෙනේ. දුර නිසා මිනිසුන් එහාමෙහා යනු  පෙනෙන්නේ. කුඩාවටය. ගස්වලට ඉහලින්  ගිණිමැළවලින් නැගුන දුම් තුනී මීදුමක් මෙන්  පෙනේ. 

මිනිසෙකු අනවසර පදිංචිකරුවන්ගේ කූඩාරම පැත්තේ සිට එනු දුටු බක් නැවතුනේ කෘෂ වූ ශරීර ස්වරූපයෙන්ම ඒ රූෆස් කින්කේඩ් බව හඳුනාගෙනය. යාර සියයක පමණ දුරින් සිටියද තම කඩිනම්, කලබලකාරී පියවර තබමින් කින්කේඩ් ඉක්මනින් එම දුර පියමන් කළේය. 

බක් දැක ඇති වඩාත්ම තියුණු හා කාවදින සුළු දෑසක් තිබුනේ කින්කේඩ්ටය. පිටට නෙරා ආ හකුඇට, ගිලීගිය කම්මුල් හා තොල් දෙකක් නැති සේ පෙනෙන මුවකින් යුත් ඔහුගේ මුහුණ ද සිරුර මෙන්ම කෙට්ටු ස්වරූපයක් ගත්තේය.  

"ඉතින්?" කින්කේඩ් පැවසීය.

"ඉතින් කියන්නේ මොකද්ද?" 

"මම දැක්කා ඔබ විදුලි පණිවුඩ කන්තෝරුවේ ඉඳලා එනවා. ආණ්ඩුකාරයාගෙන් පණිවුඩයක් ලැබුනද?"

බක් හිස දෙපසට වැනීය. "මම තව විදුලි පණිවුඩයක් යැව්වා. එයාගේ ලේකම්ට. මම ඇයට කිව්වා ඇවිල්ලා මැක්ග්‍රාත්ට පැහැදිලි කරලා දෙන්න කියලා ආණ්ඩුකාරයා සම්බන්ධ කරගන්න බෑ කියලා." 

"මිනිහා හැංගිලා. එයා හිතනවා පැය විසිහතරක් හොයාගන්න බැරිවෙන්න මගෑරලා හිටියොත් මිනිහට තීරණයක් ගන්න අවශ්‍ය වෙන්නෙ නෑ කියලා. එතකොට එයාට ඡන්ද නැතිවෙන්නෙත් නෑනෙ." 

"එහෙම වෙන්නත් පුළුවන්." 

කින්කේඩ් බක්ගේ දෑස දෙස කෙලින් බැලීය. "අපි ජොනීට මැරෙන්න අරින්නේ නෑ. මිනිහා ඩෑන් ගැලොවේ මැරුවේ ආත්මාරක්ෂාවට. මිනිහා විනිශ්චයකාර හන්ටර්ගේ ගෑනිත් එක්ක පැටලෙන්න තරම් මෝඩයෙක් නොවුනා නම් වැඩිම උනොත් අවුරුද්දක් හිරගෙට යන්න වෙයි." 

"මිනිහා එච්චර මෝඩයෙක් නොවුනා නම් ගැලොවේ මරන්නැතිව ඉන්න තිබුණා. ආර්ච් නෝත්කොට් එක්ක පැටලෙන්න ඕන හින්දමනේ ගිහිල්ලා නෝත්කොට්ගෙ තණ පිට්ටනිය මැදම කෑල්ලක් අල්ලා ගත්තේ. එයාට ලැබෙන්න ඕන දේ තමයි ලැබුනේ, එච්චරයි." 

කින්කේඩ්ගේ දෑසින් විහිදුන ආවේගය මදක් නිවී ගියේය. "මිනිහා මෝඩයෙක් වෙන්න පුළුවන්. ඒත් අපි කාටවත් කරන්න බැරි දෙයක් කරන්න එයාට ධෛර්යය තිබුණා. තමන්ගෙ මෝඩකම හින්දවත් ධෛර්යය හින්දවත් මිනිහෙක් මැරෙන්න ඕන නෑ." 

බක් ඔහුට තිබූ එකම නිදහසට කරුණ එළියට දැම්මේය. "උසාවියේ නඩුව අහලයි වැරදිකාරයා වෙලා එල්ලලා මරන්න නියම උනේ. මගේ රාජකාරිය තමයි නඩු තීන්දුව ක්‍රියාත්මක වෙන බවට වගබලා ගැනීම." 

"තීන්දුව හරි උනත් වැරදි උනත්?" 

"යකාට ගියාවේ, හරි ද වැරදි ද කියලා තීරණය කරන එක මට අයිති වැඩකි නෙමෙයි. ඒක උසාවියට අයිති වැඩක්." 

කින්කේඩ් පිළිතුරු දුන්නේ නැත. එහෙත් කින්කේඩ්ට කියන්නට තිබූ දෙය ඔහුගේ ඇස්වලින් බක්ට පෙනින. ආපසු හැරුන කින්කේඩ් ඉවත්ව ගියේය. ඔහු යන දෙස බලාසිටි බක් හිරගෙට යන ගමන නැවත ඇරඹුවේ ඔහු සම්පූර්ණයෙන්ම නොපෙනී ගිය  පසුය. 

කින්කේඩ් හා ඔහු සමග සිටින අනෙකුත් අනවසර පදිංචිකරුවන් කියා ඇත්තේ මැක්ග්‍රාත් එල්ලා මැරීමට ඉඩ නොදෙන බවයි. ආර්ච් නෝත්කොට් හා සෙසූ ගොවිපලහිමියන් මෙන්ම ඔවුන් යටතේ වැඩකරන අය සපත කර සිටින්නේ මැක්ග්‍රාත්ට එල්ලුම්ගසෙන් ගැලවීමට ඉඩ නොදෙන බවයි.

ඕවන් බක් දැන් සිටින්නේ මේ දෙපැත්තටම මැදි වීය. නීතියට අනුකූලව කටයුතු කරන බවට ඔහු දිවුරුම් දී ඇත. ඔහුට එකඟ වන්නට නොහැකි ඒවා තිබුන ද උසාවි නියෝග ද ඊට ඇතුළත් ය. 

මැක්ග්‍රාත් එල්ලුම් ගසට යැවිම මෙහෙයවීම ඔහු ප්‍රතික්ෂේප කළහොත් විනිශ්චයකාර හන්ටර් ඒ සඳහා වෙනත් අයෙකු යොදවනු ඇත. බොහෝ විට ඒ සඳහා යෙදවෙනු ඇත්තේ අනවසර පදිංචිකරුවන් කෙරෙහි කැමැත්තක් නොදක්වන විශේෂයෙන් ජොනී මැක්ග්‍රාත්ට අකමැති ඩියැක් ෆොස්ටර් ය. ඔහු ෂෙරීෆ් තනතුර සඳහා ද ඇහැ ගහගෙන සිටී. 

ඔහු සෘජුව තමා ඉදිරියේ ඇති ගැටළුවට මුහුණ දුන්නේය. කරන්නට යන්නේ කුමක්දැයි තීරණයක් ගත්තේය. 

පළමුව කරන වඩාත් වැදගත් දේ නම් ලැබෙන ප්‍රතිවිපාකය කුමක් වුවත් ජොනී මැක්ග්‍රාත් එල්ලා මැරීමේ කාර්යය මෙහෙයවීම ප්‍රතික්ෂේප කිරීමයි. දෙවනුව ඔහු ෂෙරීෆ් ලෙස සිටින තාත් එල්ලා මැරීම සඳහා අවසර නොදීමයි. හන්ටර් විනිශ්චයකාරයාට මැක්ග්‍රාත් එල්ලා දැමීමට අවශ්‍ය නම් පළමු ඔහුට ඕවන් බක් ෂෙරීෆ් තනතුරෙන් පහකිරීමට සිදුවනු ඇත. 

සෘජුව තීරණයකට එළඹීම සිතෙහි පැවති කැළඹිල්ල සමනය කිරීමට හේතු වූ බව ඔහුට වැටහිණ. ඉදිරි පැය විසිහතර තුළ අපාචේ ජනක්ෂන් හී සියළු යක්ෂයින් අවදිවනු ඇත. එය වැළැක්වීමට හැකියාවක් නැතත් ඔහු කරන්නට යන්නේ නිවැරදි දේය. අඩු තරමින් නිවැරදි යයි ඔහුට හැඟෙන දේය. 

නිසැකවම මේ පියවර නිසා ඔහුට ඔහුගේ රැකියාව අහිමි වනු ඇත. ඔහුගේ මිතුරන් අහිමි වනු ඇත. ඔහුට ඔහුගේ ජීවිතය පවා අහිමිවන්නට ඉඩ තිබේ.    

    

   







 

14 comments:

  1. දිගටම ලියන්න, අතහැරලා දාන්න එපා ලිට්සීකර්....මයියා

    ReplyDelete
  2. මමත් ආවෙ මේ කතාව බලන්නට
    තවත් පරන කොටසක් ඇත කියන්නට
    එයත් දැකල එතනට ගොස් රැඳෙන්නට
    රැයත් වුනා අවසර දෙනු දුවන්නට...

    එක කොටසත් බලන්න යනෝ.
    ජයවේවා !!!

    ReplyDelete
  3. එහෙම හිට් කවුන්ටරෙන්ම, හැම දෙයක්ම මැනලා අධර්‍ය වෙන්න එපා. ඔබ අපේ බ්ලොග් වලටත් ඇවිත්, අපව දිරි ගන්වලා යනවා. ආන්න ඒකයි අවයවය. අයින හපා ගෙන, කෝටුවෙ ගිය ඉබ්බ වගේ ඉන්න.
    http://rotiyababa.blogspot.com/2014/11/blog-post_19.html

    ReplyDelete
  4. අපගේ කාර්‍යබහුල ජීවිතය තුල සමහර විට දිග පෝස්ටු කියවන්න කාලය මදිවෙනවා.
    සමහර විට ඔබ දිග පෝස්ටු ලියනවා නම්; කාලය කියන සාධකය මත පාඨකයින් කියැවීම අතහැර දමන්න පුළුවන්. ඒ ගැන සැළකිළිමත් වන්න.
    ස්තූතියි. කියපු දේ සද්භාවයෙන් කිව්වේ!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. අවශ්‍ය ප්‍රමාණයට වඩා දිගු නොවෙන්න වගබලා ගන්නවා. මේකත් කොටස් දෙකකට දැම්මෙ ඒකයි.

      Delete
  5. අපගේ කාර්‍යබහුල ජීවිතය තුල සමහර විට දිග පෝස්ටු කියවන්න කාලය මදිවෙනවා.
    සමහර විට ඔබ දිග පෝස්ටු ලියනවා නම්; කාලය කියන සාධකය මත පාඨකයින් කියැවීම අතහැර දමන්න පුළුවන්. ඒ ගැන සැළකිළිමත් වන්න.
    ස්තූතියි. කියපු දේ සද්භාවයෙන් කිව්වේ!

    ReplyDelete
  6. හෑ, කෝ බොලේ මම කලින් දාපු කමෙන්ට් එක?
    මම කිව්වෙ, හිට් කවුන්ටරෙන්ම හැම දෙයක්ම මනින්න එපා, දිගටම ලියන්න කියලයි.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුව... නයා හුඹහට ඇදං ගිහිල්ල 😁😁😁

      Delete
  7. ++++++++++++, ඉදිරියටත් කියවන්නට එමි

    ReplyDelete
  8. හ්ම්. පරණ සිංඩිවලින් තමයි ඉස්සර ඉදල බ්ලොග් කියවන අය කියවන්න හුරැවෙලා ඉන්නෙ. මේ බ්ලොග ඒවයෙ නැති එකත් එක හේතුවක් කියවන පිරිස අඩු වෙන්න. (මගේ බ්ලොගත් ඒවයේ නැ ඉතිං 😁)

    ඒත් පටන් ගත්ත එක අතරමග නවත්තන්න එපා. කාලයක යනකොට, අනික් බ්ලොග්වල කමෙන් අතරින්... කට්ටිය මේ බ්ලොග් අඩවියත් අඳුරගනීවි.

    ජය. දිගටම ලියමු 🙏!

    ReplyDelete
    Replies
    1. මම අදහස් කළේ බ්ලොග් එක නැවැත්වීම ගැන නෙවෙයි. මේ නවකතාව දිගටම පරිවර්තනය කිරීම ගැනයි.

      Delete
    2. ඔව්. මාත් කිව්වෙ පරිවර්ථනය ගැන තමා. දිගටම කරන් යමු.

      මුලින්ම මං බ්ලොග පටන්ගන්නකොට කිවෙව්වෙත් කීප දෙනයි. ඉටත් කාලෙකට පස්සෙ තමා කස්ටිය කමෙන්කරල හිට සෙට් උනේ.

      Delete
    3. දාන කමෙන් වලටත් ඉඩ තියෙන වෙලාවක රිප්ලයි දාන්න... පුළුවංනම් හොදයි.

      මං සෙන්කතා ටිකක් එකතුකරල PDF එකක් හැදුව. ඒ කටටිය කියවයි කියන බලාපොරොත්තුවෙන නෙමේ. අනාගතේ කවුරැහරි ඒව හෙව්වොත් ගන්න පුලුවන් වෙන්න බලාගෙන.

      Delete